iMage: APNews

ගෙවී ගිය ඔක්තෝබර් 10 මරණීය දණ්ඩනයට එරෙහි ලෝක දිනයයි

අද, ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු ස්වභාවය ඉස්මතු වන විට, මරණ දඬුවම යනු වෙනස් කොට සැලකීම සහ හිංසනය යන ව්‍යුහයන් විසින් භාවිතා කරන බොහෝ පීඩන මෙවලම් වලින් එකක් බව අපි පිළිගත යුතුය.

මෙම ලිපිය මඟින් මරණ දණ්ඩනය හිංසනයේ මෙවලමක් ලෙස ක්‍රියා කරන ආකාරය සහ රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් අවදානමට ලක්විය හැකි සහ කොන් වූ පුද්ගලයින් අපයෝජනයට ලක් කරන සීමා රහිත ජාතික ආරක්‍ෂක පාලන තන්ත්‍රයක එහි භූමිකාව විස්තර කෙරේ.


මේ වන විට ලංකාවේ සටන් දෙකක් සිදු වෙමින් පවතී ; ඒ බැලූ බැල්මට නිමක් නැති සේ පෙනෙන ‘ත්‍රස්තවාදයට එරෙහි සටන’ සහ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි සටනයි’. මෙම සටන් දෙකම රඳා පවතින්නේ හිංසනයේ මෙවලම් මතයි; එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තර්ජනය මතයි. මෙම සටන් දෙකෙහිම කැපී පෙනෙන සමානකම් ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ ය. මේ ගැටුම් දෙක හේතුවෙන් බොහෝ දුරට ආන්තිකකරණය වූ, අවදානමට ලක්විය හැකි හා ජනවාර්ගික-ආගමික සුළු ජාතීන් සහ දුප්පතුන් වැනි වෙනස් කොට සැලකීම් වලට ලක් වෙන ප්‍රජාවන් කෙරෙහි බලපායි.

ත්‍රස්තවාදයට එරෙහි සටන සහ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන

ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය වලද විවිධ අදහස් හා මතවාද මෙම යුද්ධ දෙක අවුලවීමට අර්බුදකාරී කාර්යභාරයක් ඉටු කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මතය මත පදනම් වී ඇත්තේ මෙම නීතිය මඟින් ‘නිසි’ පුරවැසියන් නොවන ත්‍රස්තවාදීන් යැයි සැලකෙන අය ඉලක්ක කර ගනිමින් ඒ මගින් මිනිසුන්ව සුරක්‍ෂිත කල හැක යන්න අදහස මතයි.

කෙසේ වෙතත් යථාර්ථය නම්, PTA විසින් මුලින්ම දෙමළ ජනයා තුළත් පසුව මුස්ලිම්වරුන් තුළත් දැන් පොදුවේ විරුද්ධවාදීන් තුළත් අනාරක්‍ෂිත භාවයක් ඇති කර තිබීමයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාවේ දක්වා ඇති පරිදි මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් රැසකට මුහුණ දෙති.

තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය අපකීර්තියට පත්වන අතර ඔවුන්ට නීතී ආධාර ලබා ගැනීම සඳහා ප්‍රවේශ වීම ඇතුළු විවිධ අභියෝගයන්ට මුහුණ දීම හේතුවෙන් ඔවුන් සිරගත වන කාලය තව දුරටත් දීර්ඝ වෙයි. අනෙක් අතට මෙය එම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට විනාශකාරී බලපෑමක් ඇති කරයි.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දියත් කල අතර මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා යැයි කියමින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගේ මරණ දඬුවම් නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ 2019 වසරේදී ය. ගෝඨාභය රාජපක්ෂ රජය මින් ඔබ්බට ගොස් අද මත්ද්‍රව්‍යවලට එරෙහි සටන, ත්‍රස්තවාදයට එරෙහි සටනේ දිගුවක් ලෙස නිරූපණය කරයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ට එරෙහිව යුද හමුදාව ලැබූ ‘ජයග්‍රහණය’ පෙන්වා දීමෙන් රජය කියා සිටින්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන ද මෙහෙයවීම සඳහා හමුදාව වඩාත් සුදුසු බවයි. වර්තමාන ආණ්ඩුවේ සාමාජිකයින්ගේ, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ, හමුදාපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශවලින් මෙය වඩාත් පැහැදිලි වේ. එනම් ඔවුන් නිරන්තරයෙන් ‘මත්ද්‍රව්‍ය විරෝධී සටන’ ‘ත්‍රස්තවාදයට එරෙහි සටන’ හා සමාන කරන අතර මත්ද්‍රව්‍ය තුරන් කිරීම ජාතික ආරක්‍ෂාවේ ගැටලුවක් ලෙස ඉදිරිපත් කරති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දඬුවම මඟින් මිනිසුන්ගේ ආරක්ෂාව වැඩි කළ හැකි යැයි රජය පවසයි. කෙසේ වෙතත්, මේවා තම නායකයින් ශක්තිමත්, එනම් මිනිසුන් ආරක්ෂා කරන පීතෘ චරිතයක් ලෙස නිරූපණය කිරීමට භාවිතා කරන ජනප්‍රිය පාලන මෙවලම් ක්‍රම වේ. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට තරඟ කළේ ත්‍රස්ත ප්‍රහාරවලින් රට ආරක්‍ෂිත කිරීමේ පදනම මත ය. ඔහු ද නීතිප්‍රකාරව මරණ දඬුවම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ද කියා සිටියේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත්, තේරී පත් වුවහොත් ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. මෑත කාලීනව ඔහු 2019 පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට මරණ දඬුවම ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයින්ට සහ මරණ දඬුවමට නියම වූ අයට සිදු වන අසාධාරණකම් ගැනත් ඒවා ඔවුන්ගේ ජනවාර්ගික-ආගමික අනන්‍යතාවයන් සහ ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්‍වයන් හේතුවෙන් උග්‍ර වන්නේ කෙසේද යන්න මම මින් පෙර වෙනත් ලිපි මගින් ඉදිරිපත් ඇත්තෙමි.

මෙම සන්දර්භය තුළ, ජාතික ආරක්‍ෂාව යන රාමුව තුළ ඇති මෙම සටන් දෙකම, තුල ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී විවිධ ජනවාර්ගික හා ආගමික වර්ගීකරණ මෙන්ම මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයේදී සමාජ ආර්ථික ගැටළු එනම් වෙනස් කොට සැලකීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම යන විවිධ ස්වරූපයන්ගෙන් පෝෂණය වී ඇත. මෙම සටන් මෙහෙයවන අචාර විදි අති-පුරුෂ, මිලිටරිකරණය වූ, ප්‍රචණ්ඩකාරී සහ පාලනය පදනම් කරගෙන ඇත.

තවද මෙම ද්විත්ව සටන් අවධානය වෙනතකට යොමු කිරීමේ මෙවලම් ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයකට පෙර මෙන් PTA හි පැවැත්ම සාධාරණීකරණය කිරීමට රජයට අවශ්‍ය වූ විට PTA යටතේ අත්අඩංගුවට ගැනීම් වැඩි වන බවක් පෙනේ. රජයේ ක්‍රියාකාරිත්වයේ හෝ අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් ලෙස මහජනයාගේ අවධානය දැඩි ආර්ථික තත්වයෙන් ගෙන් වෙනතකට යොමු කිරීමට සිදු වූ විට, මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පතුරුවන බෞද්ධ භික්ෂුව වන ඥානසාර හිමියන් රූපවාහිනියේ පෙනී සිට ඉදිරි ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි. එසේම, මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය පොලිසිය හා බන්ධනාගාර පද්ධතිය තුළ දේශපාලනීකරණය සහ දූෂණය වැනි පද්ධතිමය හා ව්‍යුහාත්මක අක්‍රියතාවන්ගෙන් මහජනතාව වෙනතකට යොමු කිරීම සඳහා භාවිතා කරන මෙවලමකි. මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම වසන් කිරීම සඳහා ද එය භාවිතා කළ හැකි වන්නේ, ගෝලීය සංවිධානාත්මක අපරාධ දර්ශකය 2021 මඟින් අවධාරණය කර ඇති පරිදි, ‘නීති විරෝධී ආර්ථිකයන්ට පහසුකම් සැලසීමෙන් හෝ සහභාගී වීමෙන්’ රාජ්‍ය පාර්ශවයන් සංවිධානාත්මක අපරාධවල දෛශිකයන්ගේ භූමිකාව තහවුරු කරන බැවිනි. ‘

මෙම සාධක පහත කරුණු වෙත යොමු වේ. එනම් PTA හා මරණ දඬුවම යනු දුප්පත් හා ජනවාර්ගික-ආගමික සුළු ජාතීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කරන, වෙනස් කොට සැලකන, ප්‍රචණ්ඩකාරී හා අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජාතික ආරක්ෂණ තන්ත්‍රයක පීඩනයේ මෙවලම් බවයි. එපමණක් නොව ත්‍රස්තවාදයට සහ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන් යනු විසඳිය යුතු පද්ධතිමය හා ව්‍යුහාත්මක ගැටලු වලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා භාවිතා කරන මෙවලමක් වේ. තවද ජාතික ආරක්‍ෂාව නම් මෙම ද්විත්ව සටන්වලදී මර්දනකාරී රාජ්‍ය ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගන්නා පොදු නිදහසට කරුණක් ලෙස හැඳින්විය හැක.

බියෙන් තොර ජාතික (අනා)රක්ෂාවක් නොමැත

ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන් පවත්වා ගෙන යාම සඳහා රජය නිරන්තරයෙන් අනාරක්‍ෂිත තත්ත්වයක් ඇති කරයි. ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කිරීමට නියමිත ත්‍රස්තවාදී ප්‍රහාර සහ LTTE සංවිධානය නැවත කණ්ඩායම් ගතවීම සැමදා විය හැකි යැයි කියනු ලබන අතර, ‘මත්ද්‍රව්‍ය උවදුර’ සමාජ පිළිවෙල හා යහපැවැත්ම සඳහා ඇති ලොකුම තර්ජනය ලෙස නිරූපනය කෙරේ. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දණ්ඩනය යන දෙකටම මහජන සහයෝගය ලබා ගැනීමට පදනම් වන්නේ භීතියයි. එමඟින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ යැයි පෙන්වීම තුලින් සහ වැඩි ආරක්‍ෂාව සඳහා මහජන ඉල්ලීම් ඉදිරිපත් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සහ මරණීය දණ්ඩනයට එල්ල වන අභියෝග මඟ හරවා ගැනීමට හෝ ඒවාට ප්‍රතිවිරෝධී වීමට භීතිය යන්න රජයට ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත්වේ. අවසානයේදී, පාලන තන්ත්‍රයේ පරමාර්ථය වන්නේ ඕනෑම තත්වයක් යටතේ බලය පවත්වා ගැනීමයි. එවැනි පාලන තන්ත්‍රයක් තුළ භීතිය බලමුලු ගැන්වීම ‘රාජ්‍යයේ ආරක්‍ෂක විධිවිධානයට මූලික’ වේ.

මේ හේතුවෙන් රජය මගින් ජනතාවගේ භීතිය තවත් තීව්‍ර කරන අතර ඔවුන්ගේ ආරක්‍ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා වූ ඉල්ලීම් මර්දනකාරී පියවරයන් සාධාරණීකරණය කිරීම සදහා භාවිතා කරයි. මහජන භීතිය රජය විසින් ආයුධයක් බවට පත් කර ගෙන ඇත්තේ එය සමාජ විරෝධීන් ලෙස නිරූපනය කරන අයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෘරත්වයන් සාමාන්‍ය ලෙස සමාජ පිළිගැනීමක් ඇති කිරීමටයි. මහජනයා මර්දනකාරී මෙවලම් සදහා සහයෝගය දක්වන්නේ අපරාධ අඩු කිරීම සහ වැළැක්වීම සඳහා මනුෂ්‍යත්වය උසස් කොට සලකන අඩු ප්‍රචණ්ඩකාරී හා අඩු කුරිරු සමාජයක් නිර්මානය කළ යුතු බවත් ඒ සදහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මරණ දණ්ඩනය බාධාවන් බව අවබෝධ කර නොගෙනයි.

මූලික අයිතිවාසිකම් සීමා කිරීම සඳහා සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් මහජනයා තුළ භීතිය ඇති කරමින් ක්‍රියා කරන, පාලනය නොකළ ජාතික ආරක්‍ෂක තන්ත්‍රයක් විසින් බරපතල සමාජ ප්‍රතිවිපාක ගෙන දිය හැකිය. නිදසුනක් වශයෙන්, 2000 දශකයේ මුල් භාගයේදී කොලොම්බියාවේදී, ජනාධිපති උරිබේ විසින් ‘ප්‍රජාතන්ත්‍රවාදී ආරක්‍ෂාව’ යන සංකල්පය හඳුන්වා දුන් අතර එමඟින් සියලුම පුරවැසියන් රාජ්‍ය නියෝජිතයන් ලෙස සහභාගී කර ගැනීම අපේක්‍ෂා කරන ලදී. එයින් සිදු වුයේ ආරක්‍ෂාව සාමූහික ප්‍රයත්නයක් බවට පත් වීමත් සියලුම පුරවැසියන් ආරක්‍ෂක අංශයේ තොරතුරු සපයන්නන් ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කිරීමත් එමඟින් ‘ප්‍රජාවන් අතර අවිශ්වාසය ඉහළ යාමත් සහයෝගීතාවයේ සහ දේශපාලන ලෙස සංවිධාන ගත වීමේ හැකියාව අඩු වීමත්ය.

ජාතික ආරක්‍ෂක පද්ධතියක් සඳහා ‘ඉහළ සිට එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජ්‍යය’ ප්‍රමාණවත් ලෙස සීමා කළ යුතු අතර, ‘පහළ සිට (පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ සහ සාමාන්‍යයෙන් සිවිල් සමාජය වැනි) මහජන නියෝජනය සඳහා වන ආයතනවලට වගකිම වැඩිකළ යුතුය. එසේ නොමැති නම්, පද්ධති දෙකක් පවතින තත්වයක් පැන නගී – එනම් ‘ප්‍රඥප්තිවල දක්වා ඇති පරිදි නීතීය සාමය ආරක්‍ෂා කිරීම සඳහා විස්තීර්ණ බලතල වලින් සමන්විත නියාමන රාජ්‍යයක් ඇති වීම හා ‘කිසිදු නීතිමය සහතිකයකින් තොරව අසීමිත අත්තනෝමතික බව සහ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන පරමාධිකාරී හෝ පරිපාලනමය රාජ්‍යයක් ඇති වීමයි. එම නිසා ‘නියාමන වටිනාකමක් තිබයදීත් පරීක්‍ෂා කිරීම් වැනි නීති යාන්ත්‍රණයන් ආරක්‍ෂාව සදහා තිබියදීත්, සමස්ත නීති පද්ධතියම ඇත්ත වශෙයන් දේශපාලන අධිකාරීන් සතු වන උපකරණයක් ලෙස ක්‍රියාත්මක වීමේ’ අවදානමක් පවතී.

මෙම අන්තරාය ඇත්ත වශයෙන්ම සැබෑවකි!

(Groundviews වෙබ් අඩවියේ ඔක්තෝබර් 10 වෙනිදා පළවූ, අම්බිකා සත්ගුණනාදන් විසින් රචිත Creating National (In)security: Prevention of Terrorism Act and the Death Penalty ලිපියේ ‘විකල්ප’ විසින් සංස්කරණය කළ සිංහල අනුවර්තනයයි

අම්බිකා සත්කුණනාදන් | Ambika Satkunanathan