iMage: Vikalpa/’GotaGoGama’

ලංකාවේ යම් යම් සාධනීය වෙනස්කම් සිදුවෙමින් පවතින බව පැහැදිලිය. මා කතා කරන්නේ රට සහ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා ගැන නොවේ. ඉන්ධන, ආහාර, ඖෂධ හෝ ඩොලර් සංචිතවල හිඟයට සාර්ථකව මුහුණ දීම සඳහා තවමත් විසඳුමක් ඉදිරිපත්වී නොමැති බව අපි කවුරුත් දනිමු. නමුත්, රට නිවැරදි මාවතට තල්ලු කර දිගුකාලීන විසඳුම් සෙවීමට මිනිසුන්ට බල ගැන්විය හැකි ආකාරයේ යම් තරමක සංස්කෘතික වෙනසක් සිදුවෙමින් පවතින බව පැහැදිළි වෙමින් පවතී. ලංකාවේ පොදු ජනතාව අවසානයේ දී ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් නිර්පාක්ෂිකව එක්සත් වීමට ධෛර්යය පෙන්නුම් කර ඇත. දේශපාලනිකව බලසම්පන්නවූ ආණ්ඩුවක් දින කිහිපයක් තුළ දණ ගැස්වීමට තරම් මේ සමගියෙන් බලවත් වී තිබේ. මෙවන් මහජන විරෝධතාවක් හරහා එවැන්නක් කළ හැකිවේ යැයි සති දෙක තුනකට පෙරදීනම් කිසිවෙකු විශ්වාස කළේ නැත. තරුණ පරපුර කසේ වෙතත්, පැරණි මාදිලියේ විරෝධතා දැක පුරුදු, වැඩිහිටි (මගේ) පරම්පරාව නම් නිසැකවම මෙවන් දෙයක් මෙලෙස සිදුකළ හැකියැයි ගිය සතිය තෙක්ම විශ්වාස නොකළ බව මගේ හැඟීමයි.

මෙම වෙනසටම මුලපිරුවේ කව්ද යන්න එහි මුල් දින කිහිපයේදීම ඉතා පැහැදිලි විය. විරෝධතාවල මුල් තැන ගෙන සිටියේ අපේ තරුණ පරපුරයි. මේ නව පරපුරක් පමණක්ම නොවේ. මේ පැමිණ ඇත්තේ පැහැදිලිවම අළුත් විදිවට සිතන පරපුරකි. වෙනස් විදියට අඳින, වෙනස් විදියට කතාබහ කරන පමණක් නොව, වෙනස් විදියට විරෝධතා දක්වන පරම්පරාවකි. (සාපේක්ෂව) සාමකාමී වූ විරෝධතාවකින් දින තුනක් තුළ ආණ්ඩුවට මුළු කැබිනට් මණ්ඩලයම අහිමි කිරීමට මෙම නව පරම්පරාව හේතු විය. මැතිවරණයකදී හෝ මහජන උද්ඝෝෂණවලදී ජීවිත අහිමි වීම සාමාන්‍ය දෙයක් වූ රටක මෙය විශිෂ්ට ජයග්‍රහණයක් නොවේද? මෙයට දායක වූ අනෙක් වැඩිහිටි පාර්ශවයන් සියල්ලන්ගෙන් සහයෝගීතාවයට නිසි ගෞරවය ලබිය යුතු වූව ද, සත්‍යය නම්, බොහෝ වෘත්තිකයන්, පූජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සංවිධානාත්මක කණ්ඩායම් (කලාකරුවන්, වෘත්තීය සමිති වැනි) ඊට එක් වූයේ විරෝධතාවයට යම් ජවයක් ලබීමෙන් පසුව සහ කැබිනට් මණ්ඩලයේ බිඳවැටීම දැකීමෙන් පසුව බවයි. පළමු දින කිහිපය තුළ ගොඩනැගුණු ගම්‍යතාවයට ප්‍රධානම හේතුව තරුණ පිරිසගේ අඛණ්ඩ උත්සාහය බව මගේ හැඟීමයි.

මෙය, දශකයකට පමණ පෙර මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ ඇති වූ, අරාබි වසන්තයට සමාන නැගිටීමක් බව රජයේ කොටස් ඇතුළු ඇතැමුන් තර්ක කිරීමට ඉක්මන් වූහ. මේ තර්කයේ එල්ලී සිටින අය එසේ කරන්නේ, අරාබි වසන්තය තුළින් එම රටවල් දිගු කාලීන අවුල් ජාලාවල පැටලුනු බව පෙන්වා, එවන් නැගී සිටීමක් නිෂ්ඵල බව කීමටයි. මෙම තර්කය හේතු ගණනාවක් නිසා වැරදිය. පළමුවෙන්ම, අරාබි වසන්තය පිටුපස සෘජුව හෝ වක්‍රව බටහිර රටවල් සිටි බව ප්‍රසිද්ධ රහසකි. මූලික වශයෙන් අරාබි වසන්තය මගින් පෙරළා දැමීමට උත්සාහ කළ පාලන තන්ත්‍රයන් එක්තරා ආකාරයක ඒකාධිපතිත්වයන්ය. එවායේ සිටි සමහර නායකයන්, ඡන්දයකින් පත් වී හෝ නොවී, වසර 20-30 කට වැඩි කාලයක් එක දිගට බලයේ සිටි අයයි.

ශ්‍රී ලාංකේය කතාවේ ඇත්තේ වසර දෙකකටත් අඩු කාලයකට පෙර ඉතා ශක්තිමත්ව, ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ආණ්ඩුවකි. මෙය අරාබි වසන්තයට සංසන්දනය කිරීම, බටහිර සහයෝගය ලබා ගැනීම කෙසේ වෙතත්, කිසිදු පක්ෂයක හෝ වෙනත් සංවිධානයක පිටුබලයක් නොමැතිව ස්වේච්ඡාවෙන් මෙම නැගිටීමට පණපෙවූ ශ්‍රී ලාංකීය තරුණ පරපුරට කරන නිග්‍රහයකි. මීට යම් තරමකට හෝ ආසන්න නූතන ගෝලීය උදාහරණයක් වේ නම් ඒ සමහර විට දකුණු කොරියාව හෝ ග්‍රීසිය විය හැකියි.

2016-17 කාලයේ දකුණු කොරියානුවන් දූෂිත නායකයෙකු නෙරපා හැරීම සඳහා මාස 5 ක් තිස්සේ විරෝධතා දැක්වූහ. 2011 දී ග්‍රීසියේ ජනතාව පාරට බැස්සේ, ඔවුන්ගේ රජය ග්‍රීක ආර්ථිකය කඩාවැටීම නැවැත්වීමට වැඩි යමක් නොකරන බව දුටු විටයි. සිත්ගන්නා කරුණ නම්, ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ ඉහත උදාහරණ දෙකේම දෙමුහුන් එකතුවක් වීමයි. එනම් දූෂණයට මෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටට්ටවීමට එරෙහි සටනකි. ශ්‍රී ලාංකේය නැගිටීම තමන්ටම ආවේණික වූ දේශීය ආකෘතියක් අනුගමනය කරන බව මින් පෙනේ. වැඩකට ඇති හෝ නැති සෑම දෙයක්ම පිටරටින් එනතුරු බලා සිටින, මෑතකාලීන දුක්ඛිත ඉතිහාසයක් ඇති පසුබිමක, අඩු තරමින් විරෝධතාවක් හෝ දේශීය ආකෘතියකට සිදු කිරීමෙන් නව පරපුර දී ඇති ආදර්ශය ගැන මම සතුටු වෙමි.

විරෝධතාවල නියැලෙන තරුණ තරුණියන්ගේ භාෂාව, විලාසිතාවන්, සහ හැසිරීම පිළිබඳව තරමක් විවේචනාත්මක ලියවුණු, ප්‍රමුඛ පෙළේ සිංහල පුවත්පතක (2022 අප්‍රේල් 7 වැනිදා) කතුවැකිය කියවීමට ලඟදී මට අවස්ථාව ලැබුණි. මෙම විවේචනය සමඟ ගෙන ආ සමහර උදාහරණ වූයේ විරෝධතා අතරතුර අසභ්‍ය වචන භාවිතා කිරීම, සෙල්ෆි ගැනීම, ගීත ගායනා කිරීම යනාදියයි. සමාජයේ තවත් කිහිප දෙනෙකු විසින් ද මේ දිනවල මෙවැනිම මැසිවිළි නගනු මම දැක ඇත්තෙමි. මෙම නිරීක්ෂණ නිවැරදි නමුත් මෙම විවේචනය සාධාරණ නොවේ. මතක තබාගත යුතු කාරණය නම්, මෙම නැගිටීම සිදුකළේ පුරුදු පුහුණු වූ විරෝධතාකරුවන් පිරිසක් නොව සමාජයේ සෑම තරාතිරමකම පැමිණි සාමාන්‍ය ජනතාව බවයි. විවිධ හැසිරීම්, භාෂා සහ විලාසයන් ඒ තුළ දැකීම නොවැළැක්විය හැකිය. මෙම ජනකාය පාරට බැස ඇත්තේ ඔවුන්ගේ ජීවිතය දැනටමත් කඩාකප්පල් වී ඇති නිසාත්, කවුරුන් හෝ ඒ සඳහා යමක් කළ යුතු නිසාත් මිස, ඔවුන්ටත් වැඩ රාජකාරි නැති නිසා නොවේ.

ඔවුන්ගේ කලකිරීම සහ කෝපය ඔවුන්ට අවශ්‍ය ආකාරයට පෙන්වීම අසාධාරණ ද? ඊට වඩාත් ඔබින්නේ පාර්ලිමේන්තුවේ පවා නිතර ඇසෙන නොසරුප් වදන් නම්, එහි අරුමය කුමක්ද? භාෂණයේ පොදු නිදහස අදාළ වන්නේ සාහිත්‍යකරුවන්ට පමණක්ද? ඒ වගේම සෙල්ෆියක් ගසා හෝ සිංදුවක් කියා තමන්ගේ දුක මොහොතකට හෝ අමතක කළ හැකි නව පරපුරක් සිටීම මට නම් පෙනෙන්නේ සුභ ලකුණක් ලෙසයි.

අපේ සියවසක් පැරණි විරෝධතාවයේ කුණු වූ අච්චුව නව පරපුර මත බලෙන් පටවනු වෙනුවට මේ තරුණ තරුණියන් ගෙනැවිත් ඇති මේ අවිහිංසාවාදී වෙනස්කම්වල නැවුම් බව අප වැළඳගත යුතු නොවේද? මේ නැවුම් බව ගායනයට හෝ සෙල්ෆි ගැනීමට පමණක් සීමා නොවේ. කඳුළු ගෑස් ප්‍රහාරයකින් පසු විරෝධතාකරුවන් සහ පොලිසිය එකම වතුර බෝතලයක් බෙදා ගන්නා අයුරු මා දුටු පළමු අවස්ථාව මෙයයි. ලංකාවේ උද්ඝෝෂණ කරන සෙනඟක්, තුවක්කු බැටන් පොලු අතේ තියෙන පොලිසියේ මහතුන් බදා වැළඳ තම දුක බෙදාගනු පමණක් නොව, ඔවුන්ව සන්සුන් කරනු අයුරුත් මා දුටු පළවෙනි වතාව මෙයයි. එපමණක් නොව උද්ඝෝෂණයක් අතරතුර ඇතිවිය හැකි අනවශ්‍ය ගැටුම් වළක්වා ගැනීම උදෙසා, ලංකාවේ පොලිසිය විශේෂ හමුදා බලකායකට එරෙහිව නැගී සිට උද්ඝෝෂණයකයන්ට ප්‍රමාණවත් වූ රැකවරණයක් ලබාදෙනු මා දුටු පළමු අවස්ථාව ද මෙයයි. සමස්ත ක්‍රියාවලිය පුරාවටම ලියා ඇති මෙම නව පරම්පරාවේ සලකුණු අපට මග හැරිය නොහැක. අඩක් ඉංග්‍රීසියෙන් ලියා ඇති සටන් පාඨවලින් සහ හැෂ්ටැග් මගින් ගෝලීය අවධානය ආකර්ෂණය කර ගැනීමටද උපකාර වී තිබේ. ෆේස්බුක් භාවිතය, කවුරුන් කොතැන උද්ඝෝෂණ කරන්නේ ද යන්න ගැන අන් අයට පැවසීමට සීමා නොකර, ප්‍රචණ්ඩකාරී නොවන නොවන ලෙස අවධාරණය කරීමටත්, කඳුළු ගෑස් ප්‍රහාරයකදී හෝ අත්අඩංගුවට ගැනීමකදී කළ යුතු දේ පිළිබඳ උපදෙස් වැනි වැදගත් තොරතුරු/ඉඟි බෙදා ගැනීමටත්, එකසේ යොදාගෙන ඇත. ෆේස්බුක් ආධාරයෙන් උද්ඝෝෂණය පිළිබඳ ලෝකයට කීමට ගත් පියවර හේතුවෙන්, ප්‍රධාන ධාරාවේ වෙනත් ප්‍රවෘත්ති මාධ්‍යවලට වඩා බොහෝ කාර්යශූර ලෙසින් නිවැරදි තොරතුරු ලෝකයට නිරාවරණය විණි. කෙටියෙන් කිවහොත්, මේ සියල්ලෙන් සංඛේතවත් වූයේ නව පරම්පරාවක ආගමනයයි.

මගේ දැනී මේ හැටියට, යාපනයේ සිට මාතර දක්වාත්, මුඩුක්කුවේ සිට කොළඹ හත දක්වාත්, ජනතාව මේ ආකාරයක සහයෝගීතාවයෙන් උරෙන් උර ගැටී සිටගත් පළමු අවස්ථාව මෙය විය හැකිය. මේ එකමුතුකම අහම්බයකින් ලැබුණු ප්‍රසාද දීමනාවකි. සමහර විට එය වත්මන් අඳුරු වළාකුලේ ඇති එකම රිදී රේඛාවද විය හැකිය.

මහාචාර්ය හිරෝෂන් හෙට්ටිආරච්චි | Prof: Hiroshan Hettiarachchi

සටහන: මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2022 අප්‍රේල් 10 වන දින groundviews.org වෙබ් අඩවිය මගින් පළකරන ලදී (https://groundviews.org/2022/04/10/protesting-in-style-the-arrival-of-a-new-generation/).