iMage:VIKALPA

කොහොමද ආදර හසුනක් පටන් ගන්නෙ?

මට සමාවෙන්න. කාලෙකින් මං ආදර හසුනක් ලියලා නෑ. මගේ ප්‍රේමණීය ශ්‍රී ලංකා, මගේ ආදරය, මගේ ශක්තිය, ඔබ මගේ හදවතේ ඉන්නවා. හැමදාමත් හිටියා. සදහටමත් ඉන්නවා. හැබැයි මේ නිශ්චිත මොහොතේ ඔබව මට වෙන කවරදාටත් වඩා තදින් දැනෙනවා. හුඟක් ප්‍රේම සම්බන්ධතාවලට වෙනව වගේ ඔබ කෙරෙහි වූ
මගේ ආදරයත් අවසානයේදී උදාසීන වුණා. නමුත් දැන් ඔබ මගේ අභ්‍යන්තරයේ නිද්‍රාවකින් අවදි වෙලා, මගේ හදවත හොරකං කරගෙන ආපහු ගෝල්ෆේස් පිට්ටනියට අරන් ගිහින්. මගේ මනසත් කීකරුව ඒ පස්සෙන් ඇවිත්. ගෝටාගෝ ගමේ මගේ රට වැසියන්ගේ ධෛර්යය, අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාව සහ හාස්‍යලෝලීත්වය විසින් මාව
එතැන රඳවාගෙන ඉන්නවා. බෙර පදවල රිද්මය සහ නොනවතින සටන් පාඨ සජ්ජායනය මගේ ඔලුව වෙනම තැනකට ගෙනියනවා. අසීමිත දුෂ්කරතා සහ හිඟපාඩුකං මැද්දෙ මගේ මිනිසුන් පළ කරන ත්‍යාගශීලීත්වය සහ කාරුණික බව මා තුළ බලාපොරොත්තු දල්වනවා.
ඔබ තමයි මගේ රට.
මගේ නිවහන.

ඒත් ඔබ මගේ හදවත බිඳ දමා තිබෙනවා.

ඔබ මගේ හදවත නැවත නැවතත් බිඳ දමා තිබෙනවා. ජාතිවාදීන් සහ බෙදුම්වාදීන්ට ඔබව නිර්වචනය කරන්නට ඉඩ දෙමින් ඔබ මගේ හදවත බින්දා. ඔබේ නාමයෙන් මිනීමරපු ප්‍රචණ්ඩ පිරිමින්ව උත්කර්ෂයට පත් කරමින් ඔබ මගේ හදවත බින්දා. ඔබව කොල්ල කාපු දූෂිත හොරුන්ව තව තවත් ඔසවා තබමින් ඔබ මගේ හදවත බින්දා.
නිර්ලජ්ජිත අවස්ථාවාදීන් ඔබේ සිරුර හාරා කෑලි කෑලි උදුරා වෙන්දේසි කරන විට ඔබ ඔබ මතම කඩා වැටෙමින් මගේ හදවත බින්දා. බියගුලු බව, ඥාති සංග්‍රහය සහ කෑදරකමට ප්‍රශංසා කරමින් ඔබ මගේ හදවත බින්දා. අතොරක් නැතිව අයුක්තිය අසාධාරණය කඳු ගැහෙද්දී කිසිවක් නොවුණා සේ නිදා සිටිමින් ඔබ මගේ හදවත බින්දා. අතුරුදහන් වූ දරුවන්ගේ අම්මා, සාගින්දරෙන් දැවෙන දරුවාගේ තාත්තා,

අත්තනෝමතිකව රඳවා තබා ගෙන සිටින්නාගේ බිරිඳ, විදේශයක සූරා කෑමට ලක්වෙන ගැහැණියගේ සැමියා, බලහත්කාරයෙන් ආදාහනය කළ තැනැත්තාගේ සීයා, දූෂණයට ලක්වුණු දියණියගේ අත්තම්මා, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දියණිය සහ රටින් පළා යන්නට සිදු වූ පුරවැසියාගේ පුතා දැක, වචනයක්වත් නොකියා, ඔවුන්ට කිසිදු
විසඳුමක් නොදී,

නිර්දය ලෙස ඉවත බලා ගිනිමින් ඔබ මගේ හදවත බින්දා.

නමුත් මං තවමත් ඔබට ආදරෙයි.

මං පිළිගන්නවා, ඔබ කෙරෙහි වන මගේ ආදරය පැන නගින්නේ වරප්‍රසාදිත තැනකින් බව. මං කවදාවත් බඩගින්නේ ඉඳල නෑ, මගේ තාත්තා ඝාතනයට ලක්වුණේ නෑ, මගේ අයියා වද හිංසනයට ලක් වුණේ නෑ, මගේ අක්කා අතුරුදහන් වුණේ නෑ. මගේ භූමිය මගෙන් සොරාගත්තේ නෑ. මගේ භාෂාවට හිමි තැන නැති වුණේ නෑ, මගේ
දෙවියන්ව කෙළසා දැමුණේ නෑ, මගේ චාරිත්‍ර අවඥාවට ලක් වුණේ නෑ, මං භාෂාව කරන විලාසය උපහාසයට ලක් වුණේ නෑ, මගේ වැඩිහිටියන්ගේ හඬ නිහඬ කරනු ලැබුවේ නෑ, මගේ නිජබිමට මට තියෙන අයිතිය මොක්කද කියල ප්‍රශ්න කෙරුණේ නෑ. ඒත් මේ හැම අසාධාරණයක්ම අපේ බොහෝ දෙනෙකුට සිද්ද වෙද්දි ඔබ ඔහේ බලාගෙන හිටියා. ඔබ ඒවා ඔබේ නමින් සිද්ද වෙන්න ඉඩ ඇරියා. ඔබේ අල්තාරය මත පිදෙන පූජා හැටියට බාර ගත්තා.

තවමත් ඔබට ආදරය කරන්නට හැකි වීම මා සතු වරප්‍රසාදයක්. එසේ කරන්නට බැරි තරම් බොහෝ අයගේ වේදනාව විශාලයි. එසේ කරන්නට බැරි තරම් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු හිඳිලා. බොහෝ අය තුළ කැකෑරෙන වේදනාව හදවත් ගැඹුරටම පසාරු කරගෙන ගිහින්. ඔබ මේ බොහෝ දෙනෙකුන්ව අසරණ කර අතැර දැම්මා. ඔවුන්ට හයියක් ආත්ම ශක්තියක් විය යුතුව තිබූ, ඔවුන්ට දයාව ස්නේහය පළ කළ යුතුව තිබූ ඔබ, ඔවුන්ව පිළිසරණක් නැතිවුන් බවට පත් කළා.

මට සමාවෙන්න.

මෙය තවදුරටත් ආදර හසුනක් වගේ නොදැනුණාට ඇත්තටම මෙය ප්‍රේමයෙන් ලියන ආදර හසුනක්. ඔබ වටහා ගත යුතුයි ඔබ කෙරෙහි වන මගේ ආදරය වේදනාව, කෝපය සහ වරදකාරී හැඟීම සමග වෙන් කළ නොහැකි විදියට පැටලිලා තියෙන බව. සමහර විට මගේ ජීවිතය සහ වෘත්තිය මාව ඔබෙන් ඈතට ගෙන ගිය විට පවා මා ඔබ මගේ හදවතේ කුටියක රඳවා අගුලු ලෑවේ ඒ නිසා වෙන්න ඇති.

නමුත් ඔබ කෙරෙහි වන මගේ ආදරය හැමදාමත්, කිසියම් සුවඳකින්, හඩකින්, ඇහැ ගැහෙන දසුනකින්, මතකයකින්, නැතිනම් කතාබහකින් ඇවිස්සී මා අවුලාලීමට සූදානමින් ඒ කුටීරයේ දොර අද්දරම ගැවසෙමින් හිටියා.

දැන්, වෙන කවරදාටත් වඩා ඔබේ රුව, ඔබේ ප්‍රභාව ගිලී ගිය මේ මොහොතේ, ඔබ කෙරෙහි වන මගේ ආදරය, එය වට කර බැඳ තිබූ වේල්ල කඩා බිඳගෙන මා කරා විත් මහා ප්‍රවාහයක මා රැගෙන යමින් තිබෙනවා. එය යළි මා ඔබ වෙත කැඳවා ගෙන ඇවිත් තියෙනවා. එය ඔබ වැළඳ ගැනිමට, ඔබ මත වැතිර ගැනීමට විසල් සාංකාවක් මා තුළ ඇති කර තිබෙනවා. ඒ ආදරය, මෙය තවත් හදවත් බිඳීමකින් අවසන් නොවන්නේ යැයි විශ්වාස කරන්නට මාව පොළඹවනවා.

ඒ ඇයි? මං මගෙන්ම අහනවා.

ඒ ඇයි කියා මං මගෙන්ම අහනවා.

අද මා දකින්නේ ඔබ තුළ ඇති යැයි මා නොසිතූ, ක්ෂණිකව දැවැන්තව පැන ගැනි සාමූහික විඥානයක් ; අපේ සමාජය මෙසේ විය යුතු යැයි වූ පරිකල්පනයක්; අපේ අපරිමිත ශක්‍යතාවයේ මුදා හැරීමක්; අපේ හාස්‍ය රසයේ සැමරුමක්. අපේ හමුදා හෝ දේශපාලන නායකයන්, ආගමික ආයතන. සම්ප්‍රදායන්, අපට උගන්වා ඇති ඉතිහාසයන් යන මේ කිසිවක් කෙරහි නොව, හුදෙක් අපේ මිනිසුන් කෙරෙහි ඇති අපරිමිත ශක්තිය පිළිබඳ උදා වූ අවබෝධයක්. නොයෙක් අඩුපාඩු සහිත, රිදීම් තැලීම් වලින් පළුදු වූ, හුස්ම හිර වූ, ගලේ ගැසුවත් ඔරොත්තු දෙන ප්‍රජා මානසිකත්වය සහිත, නිර්මාණශීලී, අතිශය පරිත්‍යාගශීලී, විනෝදයට බර අපේ මිනිසුන්.

එතකොටම මට එකපාරට අවබෝධ වෙනවා, ඔබ යම් රූපයකින් පවතින්නේ අප ඔබව ඒ රූපයෙන් මවා ගත් නිසා නේද, අපි ඔබව එසේ නිර්මාණය කළ නිසා නේද, ඔබ පිළිබිඹු කරන යම් චරිත නිරූපණයක් බිහිවෙන්නේ අපේ විශ්වාසය සහ දායකත්වය නිසා නේද කියන එක.

නමුත් අපි ඔබ කෙරෙහි වන අපේ වගකීම පැහැර හැර තිබෙනවා.

ඔබේ පැවැත්මේ හැඩය, ඔබේ චරිත ස්වභාවය, ඔබේ ප්‍රචණ්ඩත්වය, ඔබේ නිර්දය බව ඇති කරේ බලයට කෑදර, තමන්වම පුම්බා ගන්නා, තමන් මහා කෙරුමන් යැයිද සියල්ලන්ටම වඩා උත්තමයන් බවට ද ඔලු උදුම්මාගත්, අසීමිත වස්තු තණ්හාවෙන් ආත්මාර්ථකාමිත්වයෙන් සහ කුහකකමින් පිරුණු පිරිමින් (සහ ගැහැණුන්, වැඩි වශයෙන්ම පිරිමින්) විසින්.

ඔබ පවතින්නේ අපේ විශ්වාසය මත.
ඔවුන් ඔබට ලබා දී තිබූ පැවැත්ම අවිශ්වාස කරන්නට අපි අසමත් වුණා.

අප අතරින් ඇතැම් අය අනිකාට වඩා සමානයන් බව කියන ඔවුන්ගේ ව්‍යවස්ථාව අපි පිළිගත්තා. අපි අන්ධයින් සේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ඒකාධිපතිවාදය බවට පත් කරන්නට වැඩ කළ ඔවුන්ගේ දේශපාලන පක්ෂ පසුපස්සේ ගියා. අපේ සහෝදර පුරවැසියන්ව අත්තනෝමතිකව රඳවාගැනීම සහ කෲර වද හිංසාවට ලක්කිරීම නීත්‍යනුකූල කරන නීති සම්මත කරගන්නට අපි ඉඩ දුන්නා. ඔවුන් අපිව කොල්ල කද්දී අපි නොදැක්කා වගේ හිටියා. එයින් තව තවත් කොල්ල කන්නට ඔවුන්ට ධෛර්යය ලැබුණා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ දඬුවම් නොලැබූ අපරාධකාරයින්ව අපි යුද විරුවන් හැටියට සැමරුවා. අපි හොරුන්ව, බොරුකාරයින්ව සහ මිනීමරුවන්ව පූජාසනයේ තියා එය තව තවත් උඩට නග්ගන්නට ඔවුන්ට සහාය දුන්නා. මේ තමයි රටක් කෙරෙන ක්‍රමය යැයි අපි අපිටම කියාගනිමින් පොඩි පොඩි මට්ටමින් අපිත් ඒ ක්‍රමයම අනුගමනය කළා. අප සතුව
තිබෙන පරමාධිපත්‍යය බලය පිළිබඳව අපි උදාසිනව හිටියා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් පිළිබඳව අපි අලස වුණා, මනුෂ්‍යත්වයෙන් යුතුව සලකන්නේ කාටද කියන එක ගැන අපි තෝරාගැනීම් කළා. අපි අලසව උදාසීනව හිටියා.

අප ඔවුන්ට අනුග්‍රහය ලබාදුන්නු හැම අවස්ථාවකදිම, ඔවුන්ගේ දුරාචාරයන්ට දඬුවම් නොලබා ගැලවී යන්නට ඉඩ දුන් හැම අවස්ථාවකම, අපේ අසල්වැසියා සමග සහයෝගීතාව පළ කරන්නට අප අසමත් වූ හැම අවස්ථාවකම අප ඔබව තව තවත් කුඩා කළා, තව තවත් අවලස්සන කළා. තව තවත් දුප්පත් කළා.

ඔබේ වඩා යහපත් මුහුණුවරක් පරිකල්පනය කරන්නට අප වගබලාගත්තානම් ඔබ ඒ පරිකල්පනයේ විද්‍යමානයක් විය හැකිව තිබුණා. ඒ වෙනුවට අපි ඔවුන්ට ඔබේ නරකම මුහුණුවරක්, ඔවුන්ට සේවය කරන්නට පමණක් කැපවුණු පැවැත්මක් පරිකල්පනය කරන්නට ඉඩ ඇරියා.

අපි යළිත් අලුතින් පරිකල්පනය කරන්නට පටන් ගෙන තියෙනවා.
එයයි, යළිත් ඔබ පිළිබඳ විශ්වාස කරන්නට මාව පොළඹවන්නේ.

අපේ පරිකල්පනය වඩ වඩා පොහොසත් වෙද්දී, අපේ සාමූහික විඥානය වඩ වඩා ශක්තිමත් වෙද්දී, ඔබ වසාගෙන සිටින ඔවුන්ගේ බලය වියැකී යන්නට පටන් ගනීවි. අවසානයේ ඔබට ඔබේ සැබෑ මුහුණවර අත්පත් කරගන්නට හැකිවේවි. එය දැනටමත් සිද්ද වෙන්නට පටන් අරන්.
ඔව්. දැනටමත්…එය සිද්ද වෙන්නට පටන් අරන්.

මට දැන් අවබෝධ වෙනවා බොහෝ වාර ගාණක් ඔබ මගේ හදවත බිඳ දැම්මේ මං බොහො වාර ගණනක් මගේ හදවත බිඳ දැමූ නිසයි. ඔබ අසමත් වූ හැම අවස්ථාවකම මං අසමත් වූ නිසයි. අපි හැමෝම අසමත් වුණා. අපි ඔබ තුළ ජීවත් වෙන තරමටම ඔබ අප තුළ ජීවත් වෙනවා.

මංගේ ශ්‍රී ලංකාව, මට සමාවෙන්න

මං මීට වඩා හොඳින් ඔබව රැක බලා ගන්න කැප වෙනවා.
අපි හැමෝම වඩා හොඳින් ඔබව රැක බලා ගත යුතුයි.

මගේ ලියුම කියවූවාට ස්තූතියි. මේ වචන උපදින්නේ ආදරයේ තැනකින්ම පමණක් බව ඔබ වටහා ගනීවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

දැන් මා මෙය නිමා කළ යුතුයි. නමුත් ආදර හසුනක් අවසන් කරන්නේ කෙසේදැයි මට මතක නැහැ.

මං හිතන්නේ දැං මං මගේ සහෝදර සඟයන්ගෙන් ප්‍රබෝධය ලබාගෙන අලුත් විදියක් හොයාගත යුතුයි.

කපුටු කාක් කාක් කාක්

ජයවේවා!

අමල් ද චිකේරා | Amal de Chickera
|
|
|
සිංහල පරිවර්තනය නදී කම්මැල්ලවීර | Nadie Kammallaweera

(අමල් ද චිකේරා ශ්‍රී ලාංකික මානව හිමිකම් නීතීඥයෙක්. ලන්ඩන් නුවර ජිවත් වෙන ඔහු ලෝකයේ ‘රටක් නැති’ මිනිසුන්ගේ අයිතීන් සහ ජාතිකත්වයට ඇති අයිතිය පිළිබඳව වැඩ කරන Institute on Statelessness and Inclusion සංවිධානයේ සම අධ්‍යක්ෂවරයෙක්.)