iMage: VIKALPA

‘ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියා, අරගලය හා රාජ්‍යය යන පද මේ මොහොතේ ඉතා පුළුල් ආකාරයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ සාකච්ඡා වෙමින් පවතින පසුබිමක, විරෝධාකල්ප දේශපාලනයේ නව මානයක් වශයෙන් ගෝඨාගෝගම හඳුන්වා දිය හැකිය. එහි අනුශාඛා ගණනාවක් දිවයින පුරා නිර්මාණය වෙමින් තිබේ. අරගලයට සහභාගීවෙමින් හා නිරීක්ෂණය කරන ලද අත්දැකීම් ඔස්සේ ගෝඨාගෝගම හුදෙක් ගම්මානයක් ලෙස නොව එය අවකාශීය වෙනස්වීමක් වශයෙන් මෙතැන් සිට හැදින්වීම වඩාත් සාධනීය බව ස්වයං අදහසයි. අගනගරයේ ඉතා ආරක්ෂිත, වාණිජමය වටිනාකමකින් යුත් කේන්ද්‍රස්ථානයක ධනවත් මෙන්ම පාලක පන්තිය පමණක් නියෝජනය වූ අවකාශය අද වන විට සමස්ත සමාජයම නියෝජනය කරනා පොදු අවකාශයක් බවට පත් වී අවසන්ය. රාජ්‍යයේ ප්‍රධාන පාලකයා නියෝජනය කරමින් කිසිවෙකුට අහේතුකව හැසිරීමට හෝ ගමන් කිරීමට නොහැකි වූ ප්‍රදේශයක් ජනතාව තමා සතුකර ගැනීමට සමත් විය. එබැවින් මෙය හුදෙක් ගම්මානයක් ලෙස පමණක් සීමිත, පටු රාමුවකට ව්‍යුහගත කිරීම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

විරෝධාකල්ප දේශපාලනය තුළ තම විරෝධය ප්‍රකාශ කිරීමට න්‍යායාත්මකව භාවිතා කළ යුතු යැයි සම්මුතිකව ගොඩ නගා ගත් ක්‍රමෝපායන් නොමැත. විරෝධයක හෝ අරගලයක හැඩය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ එයට සහභාගීවන්නන් එයට අනුගත වන ආකාරය හා උපයුක්ත කර ගන්නා ක්‍රමෝපායන් මතය. එය සැබවින්ම නිව්ටන්ගේ සෑම ක්‍රියාවකටම සමානවූත්, ප්‍රතිවිරුද්ධවූත් ක්‍රියාවක් පවතීය යන න්‍යායට සමානය. මෙම අරගලය පිළිබඳව සමාජයේ විවිධ කණ්ඩායම් තුළ විවිධ අදහස් හා ගැටලු ඉදිරිපත්ව තිබේ. පළමු ගැටලුව වන්නේ මෙම අරගල භූමිය කොතරම් දුරකට සාධනීය හා ප්‍රායෝගික ද? යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී පරිධියක අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පුද්ගලයා සතුය. අදහස් ප්‍රකාශ කිරීමේ ස්වභාවය ද අනන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වේ. එබැවින් මෙය අරගලයක්, විරෝධයක්, චිත්‍රපටයක් පමණක් නොව සන්දර්ශනයක් වශයෙන් ද ක්‍රියාත්මක වීම විවේචනය කළ යුත්තක් නොවන්නේ අරගලයක හැඩය ඒකාකාරී ස්වරූපයකින් යුක්ත නොවන නිසාවෙනි.

‘පුරවැසියා’ යන සංකල්පයට වඩාත් වැඩි වටිනාකමක් ආරෝපණය වෙමින් පවතින අවස්ථාවක එය සැබෑ වශයෙන්ම පාලක පංතියට මුහුණ දෙන්නට සිදු වන අභියෝගයකි. නිෂ්ක්‍රීය පුරවැසියා යනු පාලකයාගේ ආශිර්වාදයයි. ඒ නිසාවෙන්ම මෙහි මතුවන අනෙක් ගැටලුව වන්නේ මෙයට සම්බන්ධවන පාර්ශව නියෝජනය කරන කුලකය හා ඔවුන් අනුගමනය කරන උපක්‍රම දේශපාලනික හෝ පවත්නා අර්බුදය සමග සමපාත වන්නේ ද? යන්නයි. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ගෝඨාගෝගම අවකාශය තුළින් ලබාගත් නිරීක්ෂණ හා අත්දැකීම් තුළින් පැහැදිලි වන කරුණු කිහිපයකි. පළමුවැන්න, මෙම අවකාශය කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ තැනැත්තා දක්වා සියලු සමාජ කොටස් නියෝජනය වීමයි. දෙවැන්න වන්නේ එම නියෝජනයේ පවත්නා විවිධත්වයයි. එනම්, ඉතා දිළිඳුභාවයෙන් පෙළෙන පුද්ගලයා මෙන්ම ධනවත්, ප්‍රභූ හා ජනප්‍රිය යැයි සැලකෙන සියලු පාර්ශව නියෝජනය වීමයි.

තෙවැන්න, එකී විවිධත්වය තුළින් මතුවන අවකාශීය හැඩයයි. නොමැතිනම් දිනෙන් දින විරෝධතාවයේ වෙනස්වන හා අලුත්වන හැඩයයි. එක් පංතියක් තමන්ගේ කුසගින්න නිවා ගැනීමට එසේත් නැතහොත් තම ජීවිකාව සරිකර ගැනීමට මෙම අවකාශය යොදා ගන්නා අතර තවත් පංතියක් තම විරෝධතාවය තදබල ලෙස ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීමත්, අනෙක් පංතිය අවකාශයේ නඩත්තුවට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙමින් තම විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. එය මෑත කාලීන ශ්‍රී ලංකාවේ පංති සමාජය තුළ මතු වූ ඉතා සාධනීය ප්‍රවණතාවයකි. මන්දයත් ශ්‍රී ලංකාවේ සුපිරි වරප්‍රසාදලාභී පංතිය මේ වන විට සාමාන්‍ය ජනයාගේ පීඩනය, වේදනාව වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන තිබේ. ඔවුන් අනෙකුත් සමාජ පංති සමග ද මුහු වෙමින් සිටී. එය කිසිවිටකත් ශ්‍රී ලාංකික පංති සමාජය තුළින් අපේක්ෂා නොකළ ප්‍රවණතාවයකි.

ගෝඨාගෝගම අවකාශය සමස්ත දේශපාලන පද්ධතියම සාධනීය ලෙස වෙනස් කරන්නට උත්සාහ දැරීම හුදෙක් බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව සමස්ත දේශපාලන පක්ෂ හා තනි තනි පුද්ගලයන්ට ද එල්ල වන බලවත් අභියෝගයක් වන්නේ එනිසාවෙනි. එය වඩාත් සරලව පවසන්නේනම් ගෝඨාගෝගම අවකාශය නිර්පාක්ෂික පමණක් නොව නිර්පාංතික සමාජයක් ද ගොඩ නගමින් සිටින බව පැහැදිලිය.

ජාතික කොඩි අලෙවි කරන වෙළෙන්දාත්, තම දරුවන් නිදිකරමින් සිටින මවත්, ඉතා ප්‍රණීත හා කිසිදිනක අත්විඳින්නට නොලැබෙන ආහාර ගන්නා වයෝවෘද්ධ යාචකයාත්, අවතැන්වූවන් වෙනුවෙන් සාධාරණය බලාපොරොත්තුවන මව පමණක් නොව ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් විනෝදකාමීව රාත්‍රීයේ එයට එක්වන පුද්ගලයන් යන සියලු සමාජ කොට්ඨාස ඒකරාශීවීම තුළ ප්‍රභල දේශපාලන ඇඟවීමක් ප්‍රතිනිර්මාණය කෙරේ. තවදුරටත් ශ්‍රී ලාංකික දේශපාලන පද්ධතිය යනු, කිසිවෙකුට වෙන්දේසි කිරීමට නොහැකි අයුරින් ගොඩ නැගෙමින් පවතින්නකි. 1956 සිටම ආගම, ජාතිය, භාෂාව පමණක් නොව දරිද්‍රතාවය ද වෙන්දේසි කළ යුගය නිමාකරන්නට ප්‍රභල උත්සාහය දරනා අවකාශය ගෝඨාගෝගම බව පැහැදිලිය. ගෝඨාගෝගම අවකාශය තුළින් මුණ ගැසෙන ජාතික ප්‍රතිපත්ති වැඩසටහන් පවත්වන ස්ථානයත්, මනෝඋපදේශන සේවා ස්ථාන, එළිමහන් රංග පීඨ, මහජන පුස්තකාලය පමණක් නොව මහජන සරසවිය යන ප්‍රභල සංකේතාත්මක දේශපාලන ඇඟවුම් හරහා එම ක්‍රියාවලිය වඩාත් සාධනීය කරන්නට සමත් වේ.

මෙහි පවත්නා අනෙක් සුවිශේෂී ඇඟවීම වන්නේ එක් එක් පුද්ගලයාට තම තමාට අවශ්‍ය දේ තෝරා ගැනීමට පවත්නා හැකියාවයි. එනම් මහජන සරසවියට සහභාගී වීම ඔබට අවශ්‍ය නොවන්නේනම්, රංගපීඨය හා සම්බන්ධ වීමට හැකිය. එය වනාහි මෙතෙක් දේශපාලන ක්‍රමය නඩත්තු කළ දේශපාලන අලෙවිකරණයට ඇති කළ ප්‍රභල අභියෝගයකි. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය විසින් මෙහෙය වූ දේශපාලන අලෙවිකරණයට තමා සතු කර ගැනීමට ජනතාව සමත් වී තිබේ. මෙතෙක් කලක් ඔබගේ දේශපාලන අදහස් සියල්ල අලෙවිකරණය කළේ බාහිර පාර්ශවයන්ය. නමුත් දැන් අප සියල්ලන්ටම තම දේශපාලන අලෙවිකරණ උපාය මාර්ග කැමති පරිදි අලෙවි කළ හැකිය. නූතන සමාජයට, තාරුණ්‍යයට අවශ්‍යවන්නේ ද එයයි. පවත්නා දේශපාලන ක්‍රමය එය නැවත හරවන්නට උත්සාහ දරමින් සිටින්නේ ද මෙම තත්ත්වය කිසි විටකත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නිසාවෙනි.

ගෝඨාගෝගම අවකාශය ඉතා සරල අයුරින් බැහැර කළ නොහැකි අවකාශයක් වන්නේ මෙනිසාවෙනි. තවදුරටත් යල් පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති හා ඇඟවීම් පිළිගන්නට සමස්ත තාරුණ්‍යය පමණක් නොව සියලු පුරවැසියන් ද සූදානම් නොමැති බව පැහැදිලිය. දැන් ‘පුරවැසි සමාජය’ පිළිබඳව නව මානයන් ගොඩ නැගෙමින් තිබේ. එනිසාවෙන්ම පුරවැසියා යැයි අපි අපිටම ආමන්ත්‍රණය කළ හැකි අවස්ථාව ගොඩ නැංවීමේ ආරම්භකයා වනාහි ගෝඨාගෝගම අවකාශයයි. සමස්ථ ශ්‍රී ලාංකික සමාජයටම අවශ්‍ය වන්නා වූ, මෙතෙක් කලක් බලාපොරොත්තුවෙන් පසූ වූ සාධනීය ප්‍රතිපත්ති ගොඩ නගා ගැනීමට හැකි අවකාශය ගෝඨාගෝගම අරගලය තුළින් මතුව තිබේ. ඉදින් අරගලයේ හැඩය තීරණය කරන්නට ඉක්මන් නොවිය යුතු වන්නේ නව තාරුණ්‍යය විසින් අවකාශීය වෙනස්වීමක් ගොඩ නගමින් සිටින නිසාවෙනි. එබැවින් අරගලයේ හැඩය තීරණය කරන්නට උත්සුක නොවී පවත්නා අර්බුදයට වඩාත් සාධනීය විසඳුම් සෙවීමට සමස්ත ශ්‍රී ලාංකික සමාජය විසින් උත්සාහ දැරිය යුතුය.

සචිනි ගීතාංජලී | Sachini Geethanjalee