iMage:Vikalpa FIle

බොහෝ දෙනෙක් වෙළදාම වෙනුවට සිය ජීවනෝපාය සඳහා ගොවිතැන තෝරාගනුයේ ව්‍යාපාර කරගෙන යාමේදී මතුවන අවදානම් පාලනය කරගැනීම පහසු නොවෙන බැවින්ය. ඒ අනුසාරයෙන් අප ජනවහරේ ඇති ජනප්‍රිය ආප්තෝපදේශය වනුයේ, දැන වෙළදාම නොදැන ගොවිතැනය. එහෙත් මේ සියල්ල උඩුයටි කරමින් වෙළදාම හෝ ගොවිතැන යන දෙකම නොදත් අය ශ්‍රී ලංකාවේ දැන් සිය ජීවනෝපාය කරගෙන ඇත්තේ දේශපාලනයයි. මෙම අවාසනාවන්ත තත්වය දශක ගනණක් ගෙවී යාමෙන් පසු බොහෝ ශ්‍රී ලාංකේයන් මිහිපිට ජීවන අපායකට කොටුකර ඇත.

ඕනෑම ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගැනීම විසඳුමේ හරි අඬක් වන බව අප සියළුදෙනාම අත් දැක ඇත. හැබෑවටම ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුදයට පාදක වූ කරුනු කාරණා නිවැරදිව, ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් අවබෝධ කරගෙන තිබේද? දශක ගනණක් දේශපාලනය සිය එකම ජීවනෝපාය කරගත් කප්පිත්තන් මෙය තේරුම් ගැනීමටවත් අවශ්‍ය බුද්ධි මට්ටමක් සතුකරගෙන ඇත් ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. පද්ධතිමය වෙනසක් අපේක්ෂාවෙන් දහස් ගනණ් තරුණ තරුණියන් වීදි බැස මොරදෙන්නේ මේ නිසාය.

තමන් සතුව අව්‍යාජ දර්ශණයක්, නැවුම් වැඩපිළිවෙලක් හෝ මෙහෙයුම් ක්‍රමෝපායක් නොමැති කල භාහිරින් එන විශේෂඥ උපදේශන සේවාවන් මත ජාතියේ අනාගතය ගොඩනඟා ගැනීමට යොමුවීම වර්තමානයේ අප සියළුදෙනාම අත්විඳින අවාසනාවන්ත තත්වයට හේතුවී ඇත. තමන්ටම ආවේණික ක්‍රමෝපායික සැළැස්මක් නොමැති කල, වෙනත් භූ දේශපාලනික බලවතුන්ගේ ක්‍රමෝපායන්වල කොටස්කරුවන් බවට පත්වී වැඩ වරදගෙන ඇති තත්වය ඉතිහාසය පුරාම දෘශමාන වී ඇත. අතීතකාමයෙන් විරාජමාණ වී සිටින ශ්‍රී ලාංකේය දේශපාලනඥයින් මෙම තත්වය තවදුරටත් ව්‍යාකූල කර ඇත. ඔවුන්ගේ පරම අභිලාෂය උඟුලෙන් හෝ හබකින් කෙසේ හෝ රාජ්‍ය පාලනය ලබා ගැනීමය.

ෆේස්බුක් ඇතලු සමාජ මාධ්‍ය වල, මෙම දේශපාලන කුලකය හඳුන්වාදීමට කදිම වාක්‍යාංශයක් යොදාගෙන තිබේ. එය අපගේ යටත් විජිත මානසිකත්වය සමග කදිමට ගැලපේ, පෘතුගීසී – ලන්දේසී-ඉංග්‍රීසී සහ වෙන්දේසී පාලකයන් යනුවෙන් අර්තගන්වා ඇත. ඒ අනුව දැන් සිදුවෙමින් පවතින්නේ රජය සතු දේපල වෙන්දේසි කර විකිණීමේ ජාවාරමට අතගසා සිටීමය.

වෙළඳපොල ආර්ථිකය සහ නව ලිබරල් අර්ථ ශාස්ත්‍රය

මධ්‍යගත සහ ඒකාධිකාරී ආර්ථික ක්‍රමවේදයන් නිදහස් වෙළඳපොලවල කාර්යක්ෂමතාවයන්ට බාධා එල්ලකරවීම නිසා ලෝක ආර්ථිකයේ ප්‍රසාරණය සීමාකලේය. මෙම තත්වය වෙනස් කරවීමට බටහිර රටවල් නිදහස් වෙළඳපොල ස්ථාපනය කරවනු වස් නව ලිබරල් ආර්තික ක්‍රමවේදයේ නිම් වළලු පුළුල් කලේය. නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය අපේක්ෂා කලේ, වෙළඳ පලට හසුවන සමාජ ප්‍රජාවගේ අධිපාරිභෝජනය වැඩිකරවීමෙන් සමාජ සුභසාධනය ඉබේ ඇතිකරනු බවය. මෙම මිත්‍යාව මත කොටුවෙමින් අර්ථ ශාස්ත්‍රය සහ දේශපාලන සුසංයෝගයක් අසූව දශකයේ මුල සිට ලෝක රටාව තුල සම්මත කලහ. එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් අගමැතිනියත්, (Thatcherism) එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා (Reaganism) මෙම ක්‍රියාවලියේ පුරෝගාමීන් වුහ. නොබෙල් ත්‍යාග්‍යලාබී මිල්ටන් ෆ්‍රීරීඩ්මන් ආර්ථික විශේෂඥයා මෙම සංකල්පයේ මහා මොළකාරයාය. නිර්බාධකරණය, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය සහ ගෝලීයකරණය මෙම ක්‍රමවේදයේ මූලිකාංගයන්ය.

 වර්ධන සහ ව්‍යාප්ති ප්‍රතිපත්ති පටලවා ගැනීම

ඕනෑම ජාතියක ආර්ථිකයේ වර්ධනයක් ප්‍රසාරණයක් ස්වාභාවිකව සිදුවිය යුතුව ඇත. වැඩිවෙන ජනගහණයට සරිලන සම්පත් සහ සේවාවන් සැපයීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුතුව ඇත. එහෙත් මෙකී ප්‍රසාරණයන් සිදුවිය යුතුව ඇත්තේ ස්වභාවික සම්පත් සහ පරිසරයට හානියක් සිදු නොකරමින්ය. එහෙත් පසුගිය දශක කිහිපයකම සිදුව ඇත්තේ ආර්ථිකයේ වර්ධනයට (Growth) දායකවන ප්‍රතිපත්තීන් හඳුන්වාදීම වෙනුවට සම්පත් බෙදාගැනීම (Distribution) ඉලක්ක කරගත් ව්‍යාප්ති ප්‍රතිපත්තීන් නව ලිබරල් රාමුව ඔස්සේ සමාජගත කරවීමය. මෙම අනර්තකාරී වැඩපිලි‍වල් වල අතුරු ප්‍රථිපල සමස්ත ලෝක ප්‍රජාවම දැන් අත්විදිමින් සිටී. අවාසනාවකට තමන් විසින් නිර්මාණය කරන ලද මිත්‍යාවම සත්‍යයක් යැයි විශ්වාස කරන බටහිර ආයතන මෙකී මතවාදයන්ගෙන් මිදී නව වැඩපිලිවෙලක් දියත් කිරීමට සුදානම් නැත.

කරුණු මෙසේ තිබියදී ශ්‍රී ලාංකේයන් වන අප දැනට සිරවී සිටින්නේ ඉහතින් විස්තර කල සන්ධර්භය තුලය. ලෝක තත්වය කෙසේ වෙතත් අප මේ තත්වය තුලට ඇද දැම්මේ මේතාක් කල් දේශපාලනය සිය ජීවනෝපාය කරගත් සියළු දෙනාය. මෙකී තැනැත්තන්ට සම්මත රාමුව බිදගෙන නව රටාවක් සොයාගැනීමට කිසිම ක්‍රමායෝපායක් සහ වැඩපිලිවෙලක් නොමැත.

 නිරවි යුධ සමය පවත්වාගෙන යාම පහසු වනු පිණිස පවත්වාගෙන යන ගෝලීය ආයතන සියල්ලම බටහිර නව ලිබරල් චිකාගෝ පාර්ශවයේ චින්තනයට කොටුකොට වෙනත් කිසිම මතවාදයකට හිස එසවීමට ඉඩ නොදුන්හ. එහෙත් ස්වශක්තියෙන් නැඟීසිටීමට හැකි ප්‍රභල ආර්ථිකයන් සහිත ඉන්දියාව සහ චීනය මෙම ක්‍රියාවලියන් සිය දේශීයත්ව ප්‍රමුකතාවන් ඔස්සේ ක්‍රියාත්මක කොට හිතකර ප්‍රථිපල අත්කර ගෙන ඇත.

 සිය මතවාදය සංවර්ධනය වන රටවල් තුලට කාවැද්දීමට සහ රාජ්‍ය ආයතන දියකර ‍පුද්ගලික ශක්තිමත් බහු ජාතික ව්‍යාපාරවලට ගෝලීය වෙළඳපල ආක්‍රමණය පහසු කරවිමට නිර්බාධකරණය සහ අසීමිතව ණය පොම්ප කරවීය. ණය මත පාවෙණ ගෝලීය ආර්ථිකය දැන් විඩාභරව හතිහරිමින් සිටිනුයේ විකල්ප ක්‍රමවේදයන් සොයා යාම සඳහාය. ශ්‍රී ලංකාවාසීන් සියළුදෙනාම දැන් අත්විදින්නේ මෙම අර්තක්‍රමයේ අනර්ත ප්‍රතිපල වලටය. එහෙත් හුදු රාජ්‍ය බලය ලබාගෙන වරප්‍රසාද බුක්තිවිඳීමට දත කන දේශපාලකයින් මෙම තත්වය වටහා නොගෙන තිත්ත කසාය බීපු ගොළුවන් සේ කටයුතු කිරීම ගැන පුදුම විය යුතු නොවේ.

නව සහශ්‍රයේ ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාව සොයායන නව පද්ධතිමය වෙනස මේතාක් කල් ජපකරණ ලද සම්පත් බෙදාගැනීමට මුල්තැන දෙන ආර්ථික ප්‍රතිපත්තීන් (distribution focused policies) අභිබවා දේශීය ආර්ථිකය ප්‍රසාරණයට සහ ව්‍යාප්තිය උත්ප්‍රේරණය කරන ආර්ථික ප්‍රතිපත්තීන් (growth focused policies) ඉලක්ක කර නාස්තිය සහ දූෂණයට ඉඩ හසුරන පරිපාලන ක්‍රම වේදයක් තුලින් ජාතිහිතෛෂී සියළු දෙනා යල්පැණගිය මතවාද, ආගම්වාද, ජාතිවාද යන සියල්ලම පසෙකලා අපටම ආවේණික ක්‍රම උපාය ගොඩනගා ගැනීමට කටයුතු කරමු.

 
ජයශ්‍රී ප්‍රියලාල් | Jaysasri Priyalal