සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛18සංශෝධනය මහින්ද පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් අපි එය වීදියේදී පරාජය කරනවා.’’ අද කොළඹදී විරෝධතාවයක්

‛‛පිස්සු රජා අපිට එපා
මහින්දයෝ මේ අහපන්
සංශෝධනේ නවත්තපන්
නැත්තන් අපි එළවනවා’’
අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛18වන සංශෝධනයට එරෙහි ව්‍යාපාරය’ විසිනි. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල නියෝජිතයින් මෙයට එක්ව සිටියේය. ‛‛මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම අපි අද ප්‍රකාශයට පත් කරලා, අද කනත්තට ඇවිල්ලා ඒ මළගම ලෝකයට අපි ප්‍රකාශ කරනවා.’’ මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටියේ ය.

වෝඩ් පෙදෙසින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය බොරුල්ල මංසන්ධිය වෙතට පැමිණෙන විට පොළීසිය එයට බාධා කරමින් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරූ විරෝධතාකරුවන් නාරාහෙන්පිට දෙසට හරවා යැවීය. ඉන්පසු ඔවුන් සේනානායක හංදිය අසලට පැමිණ නැවතත් රාජගිරිය දෙසට යාමට උත්සහ දැරීමේදී පොළීසිය සමග ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ අවස්ථාවේදී රාජගිරිය දෙසට යන මාර්ගය පොළීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබිණී. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් එම මන්සංදියේ වාඩිලාගෙන තම විරෝධය ප්‍රකාශ කල අතර පසුව බොරැල්ල කනත්ත අසලට පැමිණ රැස්වීමක් පැවත්වීය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජොසප් ස්ටාලින් ‛‛මෙතනට අද විවිධ බලවේග ඇවිල්ලා ඉන්නවා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ පොදු මහජනතාව මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි අනිවාර්‍යයෙන්ම මේ 18වන සංශෝධනය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් වීදියේදී අපි එය පරාජය කරනවා.’’