මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක් නොමැති බවය. ඔහුගේ මතය හා සියළුම සෙසු දේශපාලන පක්ෂ ගැටෙනුයේ ඔවුන් සියළු දෙනාම දැන් සුදානම් වෙමින් සිටිනුයේ පළාත් සභා ඡන්දයෙන් තම පක්ෂය වෙත රොක්වෙන ජනමතය උරගා බැලීමටය. පුංචි ඡන්දය ගැන බලාපොරොත්තු රැසක් විපක්ෂ දේශපාලන පක්ෂ නායකත්වය දෙන මැතිවරණ සංධාන තුල ගොඩනැඟෙමින් තියෙන මොහොතක ජනාධිපතිවරයාගේ ප්‍රකාෂය දෙබරයට ගල් ගැසුවා සේ වීය. හැමෝම දත කන්නේ ලිට්මස් පරීක්ෂනයන් කිරීමටය.

සැබැවින්ම වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, දේශපාලන, සහ ආර්ථික අර්බුදය, බලය ලබා ගැනීමට කැසකවන දේශපාලන පක්ෂ හරිහැටි හඳුනාගෙන තිබේද? අරගලයට පණ පෙවූ සියළු දෙනාම අපේක්ෂා කලේ ජරාජීර්ණ වී ඇති පරිපාලන ක්‍රමවේදය පද්ධතිමය වෙනසකට භාජනය කරවීමයි. එනමුත් දැන් සිදුවෙමින් පවතින්නේ අර්බුදය ගෙනහැරපාමින් නැවතත් දේශපාලන බලය ඩැහැගැනීමට හුදු තවත් එක් මුහුණු මාරුවක් සඳහා සූදානම් වීමය. පොදු සම්මතය නම් ගැටළුව නිවැරදිව හඳුනාගැනීම, අර්බුදයින් ගොඩඒමට අපේක්ෂිත විසඳුමෙන් හරි අඩක්ම වන බවයි. අරගලයෙන් පසු එවැන්නක් සිදුවූ වගක් දකින්නට නොලැබුණි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමාජගත කරන දේශපාලන පක්ෂ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට හරවත් සමාජ කතිකාවක් දියත් කර නොමැත. විපක්ෂයේ සිටින පක්ෂ අතර රටට හඳුන්වාදිය යුතු පද්ධතිමය වෙනස කුමක්ද යන්න පිලිබඳව පොදු එකඟතාවක් නොමැත. උනුත් එකයි, මුනුත් එකයි අපි විතරයි යන්න හුදෙක් ඡන්ද දායකයා නොමග ඇරීමේ තවත් එක් උපායක් යන්න මෙම ලියුම්කරුගේ මතයයි.

නිවැරදි සමාජ කථිකාවක් නෑ

මෙවන් වාතාවරණයක් තුල ඡන්ද දායකයා පහසුවෙන්ම නොමග යාමට ඇති සම්භාවිතාව මැතිවරණ පොරපිටියේ ඔස්තාර්ලා හොදින් අවබෝධ කරගෙන සිටී. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බොහෝ රටවල, පසුගිය දශක කිහිපයකම මැතිවරණ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුනේ, සාවද්‍ය තොරතුරු සූක්ෂමව කලමනාකරණය කරගනිමින් පාවෙන ජනමතය නොමග යැවීමෙනි. 2019 විරුවෙකු පෙන්වා 69 ලක්ෂයක් ඡන්ද දායකයින් නුසුදුස්සෙකුට රැවටුනේ ඒ අයුරිනි. එහි ප්‍රතිවිපාක මුළු සමාජයම අත්විදින අතර තවත් එවැනිම රැවටීමකට භාජනය වීමට ඇති සියළුම මංපෙත් ඇහිරිය යුත්තේ ජාතියේ අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය අඩිතාලම යොදා ගැනීමටය. මෙම ලිපිය සටහන් කරනුයේ ඒ සඳහාය.

සමාජ මාධ්‍ය විසින් වර්තමානයේ ව්‍යාප්ත කරනුයේ පරම සත්‍ය නොව අර්ධ සත්‍යයයි. ඒ අනුව යමින් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොණික මාධ්‍ය ද වපුරණුයේ ද සත්‍ය වෙනුවට සාපේක්ෂ සත්‍යයයි. බ්‍රසීලයේ සිට බ්‍රිතාන්‍ය දක්වා පැවැත්වූ මැතිවරණ සහ ජනමත විචාරණවල සමස්ත ප්‍රතිපලය මෙම තත්වය හොදින් පැහැදිලි කරයි. හුදු ජනප්‍රියත්වය හඹායන මැතිවරණ ව්‍යාපාරවලින් අත් වූ ඉරණම පවත්නා අර්බුදයෙන් තවත් ව්‍යාකූල කරවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය දැන් ආර්ථික පරාවළල්ලක් වී ඇති බව මොනවට පැහැදිලි කරවයි. සියළුම දේ වෙනස්වන බව බුදු දහමේ උගැන්වීම් තුලින් ගෙනහැර පෑව ද, වෙනස්වීම් සිදුවිය යුත්තේ පවතින අර්බුදවලින් යහපත් තත්වයකට සංක්‍රමණය වීමට මිස, තවත් අර්බුදවල සිරවීම සඳහා නොවේ. ශ්‍රී ලාංකේය අප සියළුදෙනා දැන් මුහුණ දී සිටින අර්බුදය ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය අඬිතාලම, පද්ධතිමය වෙනස සොයාගැනීමට සුදුසුම වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් ලෙසට සලකා නව සහශ්‍රයට අනුගත, නැවුම්, අපූර්ව සම්මත රාමුවලින් ඔබ්බට ගිය අපිටම ආවේණික වැඩ පිළිවෙලකට ජාති හිතෛෂී සියළු දෙනාම එකතුව සොයා ගැනීමට කටයුතු කල යුතු වේ. මේ සඳහා දර්ශණයක් සහිත වැඩපිලිවෙලක් දියත් කලහැකි දේශපාලන නායකත්වයක් තවමත් බිහිවී නොමැත. යතාර්ථය එයයි.

පළාත් සභා උවමනා කලේ කාටද?

නොයිදුල් අපූර්ව විසදුම් සොයායෑම වෙනුවට පැළැස්තර ඇලවීමේ න්‍යාය මත පිහිටා කටයුතු කිරීමේ ආදීනව සාක්ෂි සටහන් ඇතුව පෙන්වාදීමට ඇති කදිම සාධකය ශ්‍රී ලංකාවේ පළාත් සභා ඔස්සේ පවත්වාගෙන යන සමාන්තර පරිපාලන රටාවයි. වර්තමානයේ රාජ්‍ය සම්පත් නාස්තිකරවන ආයතන අතුරින් ප්‍රධානම තැනට පත්වන්නේ මෙකී පරිපාලන ව්‍යුහයයි.

උතුරු නැඟෙනහිර පලාත්වල ජීවත් වූ ජනයාට එල්ල වූ සමාජ අසාධාරණයන් තුලින් පැන නැඟුනු ‘ත්‍රස්තවාදය’ පෙරදැරිකරගත් ‘බෙදුම්වාදය’ පරාජය කරවීමට යොදාගත් උපායමාර්ගික විසඳුම පිලිබද ආවර්ජනයක් කිරීමට කිසිම දේශපාලන පක්ෂයක් සුදානම් නැත. මෙකී බලය විමධ්‍යගත කරවීමේ ඊනියා පරිපාලන ව්‍යුහය ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ මැතිවරණ ව්‍යාපාරය තවත් එක් කර්මාන්තයක් බවට පරිවර්තනය කර ඇත. 1987 පළාත් සභාවලට විරුද්ධ දේශපාලන ස්ථාවරයක සිටි පක්ෂ දැන් තිත්ත කසාය බිවු ගොළුවන් සේ කටයුතු කරනුයේ එකී කර්මාන්තයෙන් තම බල කේන්ද්‍රය ශක්තිමත් කරගැනීමටය. මෙම ලිපියට ප්‍රස්ථූණ ජනාධිපතිවරයා විසින් කරන ලද මැතිවරණ කල් මැරීමේ ස්ථාවරය මතු වන්නේ ඔය අයුරිණි.

පළාත් සභා පිහිටුවාලීමට නෛතික බලය ලැබෙන 13 වැනි ව්‍යවස්තා සංශෝධනය පිළිබද ගැටළු තවමත් නිරවුල් කරගෙන නොමැත. වරින් වර ඒවා දේශපාලන තුරුම්පු බවට පත්වෙමින් ඉස්මතුවේ. දැනට ක්‍රියාත්මක පළාත්සභා ක්‍රමවේදය, උතුරු නැඟෙනහිර පුරවැසියන් හෝ ඔවුන් නියෝජණය කරන දේශපාලන පක්ෂ හෝ විමුක්ති සන්නද්ධ සංවිධාන විසින් ඉල්ලා සිටින ලද දෙයක් නොවේ. අපටම ආවේණික නිර්මාණශීලී විසඳුම් සොයාගැනීමට අපොහොසත්වීම නිසා භාහිර බලවේග විසින් කරන ලද බලපෑම් වලට අනුකූලතාවයන් දක්වමින්, නාස්තිකාරී අකාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වාදී අවුරුදු පතා ණය වී වත්මන් ආර්ථික අගාදයට ඇද වැටී සිටින්නෙමු.

2022 මහා බැංකු වාර්තාවේ දත්ත අනුසාරයෙන් පහත සඳහන් ප්‍රස්ථාර සටහන සකසා ඇත.

ඉහත දත්තයන් 2012-2022 දශකය සදහා පමණි. 1987 සිට රජයේ ඒකාබද්ධ අරමුදලට සහ අය-වැයට වාර්ෂිකව කර ඇති බලපෑම කොපමණද යන්න තක්සේරු කරගැනීමට පාඨක ඔබට භාර කරමි.

පළාත්සභාවලට තරඟ වදින දේශපාලන පක්ෂ මෙම තත්වය නිවැරදි කරන ආකාරය ඡන්ද දායකයින්ට පැහැදිලි කර තිබේද?

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන නොසලකමින් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනුවස් අවැඩදායි පරිපාලනයක් ආරම්භ කිරීමට කටයුතු කරනුයේ ඡන්ද දායකයාට සහ බදු ගෙවන්නන්ට කිසිම වගකීමක් හෝ වගවීමක් නොමැති පාලන තන්ත්‍රයක් සඳහා බලය ලබා ගැනීමටය. අඩුම තරමින් පළාත් සභාවල ආදායම වැඩි කරගන්නා හෝ වියදම අඩුකරගන්නා ක්‍රමවේදයන් ගැන සාකච්ඡාවක් කර ඇත්ද? හිටපු එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කො‍ෆී අනන් මහතා පිහිටුවා ඇති පදනම විසින් මෙවැනි ජනතාවට වග නොකියමින් දේශපාලන බලය අවභාවිතා කරන පාලන ක්‍රම වේදයන් අධීක්ෂණය කරවීම සඳහා ජගත් දර්ශකයක් ලඟදී හඳුන්වා දී ඇත. The Atlas of Impunity දර්ශකය රටවල් 163 පිලිබද අධ්‍යනයක් කර එහි පළමු වාර්තාව 2023 දී ඉදිරිපත් කර ඇත.

පළාත් සභාවලට සිය පාලිත වැසියන්ගෙන් බඳු අයකරගැනීමට නෛතික බලයක් නොමැත. එබැවින් මධ්‍යම රජයේ සම්පත් වගකීමකින් තොරව රිසි සේ වියදම් කිරීමේ අවස්ථාවක් ලඟා කර ගැනීමේ වාරය එනතෙක් ඇඟිලි ගනිමින් සිටීම අපට තේරුම් ගත හැක. මෙම තත්වය හොදින් තේරුම් ගෙන සිටින වත්මන් දේශපාලන පක්ෂ රාජ්‍ය පාලන බලය සිය අනසකට තබාගෙන ජනතාව පෙලන මැර බලය සිය වන්දිබට්ටයන් වෙත පළාත්සභා තුලින් විමධ්‍යගත කර ඇත. පළාත් සභා මගින් පවත්වාගෙන යන සමාන්තර පරිපාලන ක්‍රමවේදය අහෝසි කරවීමට සියළුම දේශපාලන පක්ෂ දැඩි ස්ථාවරයකට පැමිණීම රට ගොඩනැඟීමට අවශ්‍ය මූලික පද්ධතිමය වෙනස වන බව මෙම ලියුම්කරුගේ මතයයි.

උතුරු නැඟෙනහිර සහ සෙසු පළාත්වල ජීවත්වෙන දෙමළ, මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ සමාන අයිතිවාසිකම් බුක්තිවිදින පුරවැසියන් සේ සලකා රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් කරගනිමින් දැයේ සංවර්ධණයට දායක කර ගත යුතු වීම අපේක්ෂිත පද්ධතිමය ක්‍රමවේදයේ තවත් සංඝටයක් කරගත යුතු බව තවත් එක් අදහසකි.

විසිඑක්වෙනි සියවසට ඔබින, ඩිජිටප් තාක්ෂණයට අනුගත සියළුම දෙනාට සහභාගී විය හැකි කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් වර්තමානයේ සීඝ්‍රයෙන් දියුණුවන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් තුලින් හඳුන්වාදී ජාතිය නගා සිටවීමේ ඓතිහාසික කාර්යට සියළු පුරවැසියන් එක් කරගත යුතුවේ. මේ සඳහා පෙරමුණ ගතහැකි නිර්මාණශීලී අදහස් සහිත තරුණ කරුණියන් වෙත දේශපාලන බලය පැවරීමය.

ජනතා හඬ අවදි කලයුත්තේ කුමක් සඳහාද?

දැනට දේශපාලන බලය අත්පත් කරගෙන සිටින ජනාධිපතිවරයාට ජනවරමක් හෝ වත්මන් පාර්ලිමේන්තුව ජන සම්මත නෛතික බලයක් නොමැති බව නැවත නැවත මතක් කර දිය යුතු නැත. එබැවින් පළමුව සිදුවිය යුත්තේ ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපෑම් කරවීමය. පළාත් සභා සුදු අලින් පත් කරවීමට මැතිවරණ පැවැත්වීමට සම්පත් නාස්ති නොකර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා මහජන මතය අවධි කල යුතු බව සටහන් කර සිටිමි. මෙම කටයුත්තට රොඳ බදින සියළුම දෙනාට සිහිපත් කරගත යුතු වන්නේ, බොරුවට නිදා සිටින අය අවදි කරවීමට උත්සහ නොකර, අළුත් සිහින දැකීමට පමණක් වත් ඔවුන් නැවත නිදිකරවීමය.

ජයශ්‍රී ප්‍රියලාල් | Jayasri Priyalal