iMage: NW

වත්මන් අර්බුදය අප අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒ පිළිබඳව ඇත්තේ එක් පිළිතුරක් නොවේ. නිසැකවම අර්බුදය පිළිබඳ එකිනෙකට වෙනස්, පරස්පර මෙන්ම ගැටුම්කාරී තේරුම් කිරීම් රැසක් පැවතීම අප අපේක්ෂා කළ යුතුය. අර්බුදයේ බහු-විධ ස්වරූපය තරමටම ඒ පිළිබඳ තේරුම් කිරීම්වලද බහු-විධ ස්වරූපයක් පැවතීම පුදුමයට කාරණයක් නොවේ. මා ප්‍රයත්න දරන්නේ එම සියළු තේරුම් කිරීම් අභිබවා යන පරම තේරුම් කිරීමක් සැපයීමට නොවේ. ඒ වෙනුවට සමකාලීන අර්බුදය පිළිබඳ ජනප්‍රිය සංවාදය තුළ බොහෝ විට මග හැරී යන එක්තරා පැතිමානයක් හුවා දක්වන්නටයි. ඉනුත් නොනැවතී එම පැතිමානය වත්මන් අර්බුදයේ දේශපාලන ප්‍රකාශමාන වීම් වටහා ගැනීමේදී තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වේ යැයි තර්කයක් ගොඩ නංවන්නටද මම ප්‍රයත්න දරමි. මා කතා කරන්නට යන්නේ මෙරට පාලක ප්‍රභූ තන්ත්‍රයේ හෙජමොනිය අර්බුදයට පත් වීම යන කාරණයයි.

හෙජමොනිය යන්නෙන් සරලව අදහස් වන්නේ කැමැත්ත මගින් කෙරෙන පාලනය යන්නයි. පාලනයට ලක් වන්නන් එසේ පාලනයට ලක්වන්නේ හුදෙක් මර්දනය හෝ බලහත්කාරය මගින් පමණක් නොව ඔවුනගේම කැමැත්ත මගින්ද වේ යැයි අන්තෝනියෝ ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේය. ඔහුට පෙර රුසියානු කොමියුනිස්ට්වාදීන්ද නායකත්වය යන අරුතින් හෙජමොනිය යන යෙදුම භාවිතා කළහ. කිසියම් නායකත්වයකට අප යටත් වන්නේ, අවනත වන්නේ අපගේම කැමැත්ත මගින් බව අමුතුවෙන් කිව යුතුද? හෙජමොනිය පැහැදිලි කිරීම සඳහා ලාංකීය දේශපාලන ජන වහරෙන් කොතෙකුත් නිදසුන් සැපයිය හැකිය. ඒ අතුරින් සිත් ගන්නා නිදසුනක් සිහිපත් කරන්නට මට ඉඩ දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන කාලයේදී ඔහුව වර්ණනා කරමින් තාප්ප මත අලවා තිබූ පෝස්ටරයක වූ එක්තරා කවියක් අවසන් වූයේ මෙසේය; “රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ.” හෙජමොනිය යනු හරියටම මෙයයි. කවියා අපට පවසන්නේ ඔහුගේ නායකයා ඔහුට (ඔහු අයත් සමූහයට) මහ රජෙකු වන අතරම රජෙකු යැයි නොසිතෙන තරමේ සමීපතමයෙකුද වන බවයි. පසුගිය කාලයේ මෙරට ජනප්‍රිය දේශපාලන වහර තුළ අසන්නට ලැබුණු “හදවතේ ජනපති” වැනි යෙදුම් මගින්ද හැඟවූණේ දේශපාලනයේ මෙම හෙජමොනික මානයයි. මෙයට එකතු කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පාලකයා කෙරෙහි ඇති මෙම කැමැත්ත කිසිසේත් සොබාවිකව පැන නගින්නක් නොවේය යන්නයි. ඒ වෙනුවට එය පාලකයාට සහාය දක්වන දෘෂ්ටිවාදී උපකරණ ජාලයක් ඔස්සේ අප තුළ (අපටත් නොදැනීම) ගොඩ නංවනු ලබන්නකි. ලුවී අල්තුසර් පෙන්වා දුන් පරිදි එම දෘෂ්ටිවාදී උපකරණ වන්නේ ආගම, පවුල, අධ්‍යාපන ආයතන, කලා සංස්කෘතික ආයතන යනාදියයි. අප ජීවත් වන යුගයේදී අපගේ දවසේ ජීවිතය මුළුමනින්ම පාහේ ග්‍රහණයට ගෙන තිබෙන විද්‍යුත් මාධ්‍ය ජාලය අන් සියලු දෘෂ්ටිවාදී උපකරණ අබිබවා පෙරට ‘විත් ඇති සෙයකි.

පාලක පන්තියේ හෙජමොනික උපායමාර්ග

විසිවන සියවසේ ආරම්භයේ පටන් බටහිර ලෝකයේත් එම සියවසේ මැද භාගයේ පටන් ආසියාතික සහ අප්‍රිකානු ලෝකයේත් පාලකයින් මුහුණ දුන් බරපතල අභියෝගයක් වූයේ පොදු ජන සමාජය හුදෙක් මර්දනය මගින් පමණක් නොව කැමැත්ත මගින්ද පාලනය කරන්නේ කෙසේද යන්නයි. මෙය අසීරු අභියෝගයක් වූයේ විශේෂයෙන්ම එතෙක් කාලයක් දේශපාලනයෙන් මෙන්ම සිවිල් සමාජයෙන්ද බැහැර කොට සිටි පහළ සමාජ පන්තීන්වලට අයත් ජනයා ක්‍රමානුකූලව දේශපාලන ලෝකයටත් සිවිල් සමාජ අවකාශයටත් ඇතුල් වීම නිසාය. මේ වනාහී මිනිස් වර්ගයාගේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් ගත් කල අන් කවර කලෙකවත් නොදක්නා ලද මහා විප්ලවයකි. මේ විප්ලවයට හේතු භූත වූ තවත් විප්ලවීය වෙනස්කම් තුනක් අඩු තරමින් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න නිසැකවම ධනවාදී නිදහස් වෙළඳපල ක්‍රමයයි. එම ක්‍රමය එයින් පෙර පැවති සියලු ආර්ථික ක්‍රමවලින් වෙනස්ය. මන්දයත්, එය ක්‍රියාත්මක වන්නේ මිහිතලය මත වෙසෙන සියල්ලන් එතුළට ඇතුළත් කරගන්නා සාර්වත්‍රික ස්වරූපයකිනි. විශේෂයෙන්ම විසිවන සියවසේ ආරම්භයේදී පැන නැගුණු ෆෝර්ඩ්වාදී පෙරළියෙන් පසුව සාමාන්‍ය ජනයාගේ දෛනික පාරිභෝජන භාණ්ඩ යන්ත්‍රාණුසාරයෙන් නිපදවීම වේගයෙන් වර්ධනය විය. දෙවන විප්ලවීය පරිවර්තනය වූයේ පොදු ජන අධ්‍යාපනයයි. එමගින් ඉතිහාසයේ අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි සියලුම දෙනාට එක සමාන අධ්‍යාපන අවස්ථා විවර විය. තෙවන විප්ලවීය පරිවර්තනය වූයේ සර්වජන ජන්ද බලයයි. එමගින් සියලුම දෙනාට දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමේ විධික්‍රමික අයිතිය ඉතිහාසයේ පළමු වරට ලැබිණ. මේ විප්ලවවලට සමාන්තරව වහළුන් නිදහස් මිනිසුන් බවට පත් වීම, කම්කරුවන් පුරවැසියන් බවට පත් වීම, ස්ත්‍රීන් සමානයින් බවට පත් වීම සහ යටත්විජිත වැසියන් ස්වාධීන ජාතීන් බවට පත් වීම යනාදී ඓතිහාසික පෙරළි ගණනාවක් සිදු වීම ආරම්භ විය. මේ සියල්ලෙහි පොදු ප්‍රතිපලයක් වූයේ සාමාන්‍ය ජනයා එතෙක් ප්‍රභූන්ට වෙන්ව තිබූ දේශපාලන ලෝකයට සේම සමාජ ලෝකයටද ඇතුල් වීමයි.

මෙම නව තත්ත්වය තුළ බලයට පත් වන කවර පාලකයෙකුට, පාලක ප්‍රභූ තන්ත්‍රයකට නැතහොත් පාලක බල-හවුලකට වුවත් මුහුණ දීමට සිදු වන අභියෝගයක් වන්නේ සුවිසල් පොදු ජන සමාජය සමග තිරසාර ඓන්ද්‍රීය බැම්මක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්නයි. පසුගිය සියවසක කාල පරිච්ජේදය පුරා ඒ සඳහා භාවිත වූ ප්‍රධාන උපායමාර්ග කිහිපයක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න වන්නේ සංවර්ධනය පිළිබඳ පොරොන්දුවයි. එයින් කියැවෙන්නේ අප සියලුම දෙනා සංවර්ධනය නමැති ගමනක නිරත වෙමින් සිටින්නේය යන්නත්, අපගේ පාලකයින් එම ගමනට මනාව නායකත්වය දෙන්නේය යන්නත් එහි ප්‍රතිපලයක් ලෙස අපගේ ජීවිත හෙට දිනයකදී වඩා සුඛිත මුදිත වන්නට නියමිතය යන්නත්ය. සංවර්ධන කතිකාව අප සිතනවාට වඩා සංකීර්ණ ලෙස අපගේ ජීවිත පාලනය කරයි. (කෙසේ වුවත්, අද දිනයේ පාරිසරික විපර්යාසය විසින් අනතුරු හඟවමින් ඇත්තේ සංවර්ධනය නමැති ගමනට අපව මහා ව්‍යසනයකට නොහෙළා තවදුරටත් ඉදිරියට යා නොහැකිය යන්නයි. එබැවින් ගෝලීය වශයෙන්ම දැන් පාලක පන්ති හෙජමොනියේ මූලික දෘෂ්ටිවාදී කුළුණක් අනතුරට ලක්ව තිබේ). සමකාලීන යුගයේ පාලක පන්ති හෙජමොනියේ සෙසු උපායමාර්ග වන්නේ ජාතිකවාදය, සුභසාධකවාදය, ආගමික හා ජනවාර්ගික ආරක්ෂණවාදය, බාහිර හෝ අභ්‍යන්තර සතුරෙකුට එරෙහි යුදවාදය යනාදියයි. මේවා වෙන වෙනම විශ්ලේෂණය කරන්නට මෙහි ඉඩකඩක් නොමැත. කෙටියෙන් කිව හොත්, මේ සියල්ලෙහි පොදු ගති ලක්ෂණය වන්නේ පාලකයින් හට පොදු ජනයාගේ (සැබවින්ම ඔවුනගේ සැලකිය යුතු කොටසකගේ) සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත ලබා ගැනීමට ඒවා උපකාරී වීමයි.

ලාංකීය හෙජමොනික උපායමාර්ග

අප ඉහත විශ්ලේෂණය ලංකාවට අදාළ කොට බැලුවහොත් පහසුවෙන්ම නිරීක්ෂණය කළ හැකි කාරණයක් වන්නේ මෙරට පාලක ප්‍රභූ තන්ත්‍රය ආරම්භයේ පටන්ම හෙජමොනික අර්බුදයකට මුහුණ දෙමින් සිටි බවයි. එය අපගේ සාමාන්‍ය ජන වහරින් කිව හොත් මෙරට පාලකයින්ගේ උපන්ගෙයි දෝෂයකි. මන්ද යත්, නිදහසින් පසු මෙරට බලයට පත් වූ පාලක ප්‍රභූ තන්ත්‍රය වනාහී යටත් විජිත දේශපාලන ආර්ථිකය මත යැපුණු පිරිසක් වීම නිසාය. ඔවුන් ඉන්දීය කොංග්‍රසයේ නායකයින් සේ යටත් විජිත විරෝධී අරගලයක් වටා පොදු ජනයා සංවිධානය කරන්නට සමත් වූයේ නැත. එබැවින් එම පශ්චාත් යටත් විජිත පාලකයින් හට පොදුජනයා සමග ඓන්ද්‍රීය බැම්මක් තනා ගත නොහැකි විය. නමුත්, අනෙක් අතින් එතෙක් දේශපාලන ලෝකයෙන් බැහැර කොට සිටි ජනයා විශාල වශයෙන් දේශපාලන ලෝකයට ඇතුල් වීමට අවශ්‍ය කොන්දේසි මෙරට තුළද සැපිරිණ. ඒ ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍ය තුළ එකල සිදුවෙමින් පැවති සමාජ දේශපාලන පරිවර්තනයන් යටත් විජිතවලටද හඳුන්වා දීම නිසාය. නිදසුනක් ලෙස, ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්ව ජන ජන්ද බලය හඳුන්වා දෙන ලද්දේ එකල ලංකාව තුළ පැවති සමාජ සම්මුතියක් මත පදනම් වී නොව බ්‍රිතාන්‍ය තුළ ගොඩ නැගුණු සමාජ සම්මුතියක් මත පදනම් වීය. එසේම, පොදු ජන අධ්‍යාපනය සහ ධනවාදී වෙළඳපළ ක්‍රමය යන මාධ්‍යයන්ද (විශේෂයෙන්ම මුද්‍රණ ශිල්ප ධනවාදයේ බලපෑම්) මෙරට පොදුජන සමාජයක හැඩ ගැසීමට විශාල වශයෙන් දායක විය. පොදුජනයා සමග ඓන්ද්‍රීය බැමි තනා ගන්නට ඓතිහාසිකව අසමත් වූ පාලක පැලැන්තියක් මේ නව පොදු ජන සමාජයේ කැමැත්ත දිනා ගන්නේ කෙසේද? එසේ ඔවුනගේ කැමැත්ත දිනා ගැනීමෙන් තොරව කිසිවෙකුට රාජ්‍ය බලය හිමි කරගත නොහැකිය. ඩොනමෝර් කොමිසම ලංකාව ආසියා අප්‍රිකා ලෝකයේ පළමු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවට පරිවර්තනය කිරීමෙන් මෙරට ප්‍රභූ පැලැන්තිය හෙළුවේ එවන් උභතෝකෝටිකයක් වෙතය.

නමුත්, ලාංකීය පාලක ප්‍රභූන් එම ගැටලුවට විසඳුම් කීපයක් සොයා ගන්නට සමත් වූහ. න්‍යායික වචනයෙන් කිව හොත්, ඔවුනට ඔවුනගේම හෙජමොනික උපායමාර්ග තිබිණ. පසුකාලීන ලාංකීය දේශපාලන සැකැස්ම හැඩ ගැසුණේ එම හෙජමොනික උපායමාර්ග අනුවය. සැබවින්ම එම උපායමාර්ග සම්පාදනයේ පුරෝගාමියා වූයේ මෙරට පළමු තත්කාර්යවාදී දේශපාලකයා යැයි සැලකිය හැකි ඩී.එස්. සේනානායකයි. ඔහු පළමුව වටහා ගත් කාරණයක් වූයේ ඒ වන විට නාගරික දේශපාලනය තුළ අණසක පතුරුවා ගෙන සිටි වාමාංශික ව්‍යාපාරය අභිබවා යාමට සර්වජන ජන්ද බලය තමන්ට ඉවහල් කරගත හැකි බවයි. ජනගහණයේ බහුතරයක් විසූ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ ජයග්‍රහණය කිරීම මැතිවරණ දේශපාලනයේදී වඩා තීරණාත්මක විය. එබැවින්, දක්ෂිණාංශය ගමට හැරිණ. සේනානායක ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව දිනාගැනීම සඳහා ද්විත්ව උපායමාර්ගයක් අනුගමනය කළේය. පළමුවැන්න, ඒ වනවිටත් ජන සමාජය තුළ මුල් බැසගෙන පැවති ග්‍රාමීය ප්‍රභූ අනුග්‍රාහක ජාලයන් තම බල ව්‍යාපෘතියට සුසම්බන්ධ කර ගැනීමයි. දෙවැන්න, මෙරට සාම්ප්‍රදායික ගොවි ජන ආකෘතිය පරිවර්තනයට ලක් කරනවා වෙනුවට වියළි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාරයක් හරහා එම පැවති ආකෘතියම තව දුරටත් ව්‍යාප්ත කිරීමයි. (මේ කාරණය පැහැදිලි කර දීම වෙනුවෙන් මා ආචාර්ය එස්.බී.ඩී ද සිල්වා හට ණයගැතිය). එමගින් පාලක පක්ෂයේ නව අනුග්‍රාහක ජාලයක් නිර්මාණය කර ගැනීමයි. මෙයින් ගම්‍ය වන තවත් කාරණයක් නම් මෙරට කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැටළුව පාලක ප්‍රභූ තන්ත්‍රයේ හෙජමොනිය පිළිබඳ ගැටළුව සමග වෙලී පවතින බවයි. මීට සමගාමීව බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් අදියරේදී හඳුන්වා දෙන ලද සුභසාධක රාජ්‍ය ප්‍රතිපත්තීන් නිදහසින් පසුවද දිගටම ක්‍රියාත්මක කිරීමෙන්ද නව පාලනය සහ බහුජන ශ්‍රේණීන් අතර පැවති පරතරය පියවන්නට ප්‍රයත්න දැරිණ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය රාජ්‍යය විසින් මෙහෙයවිය යුතු සුභසාධන සේවයන්ය යන්න ලංකා ජාතික සංගමයේ පිළිගැනීම වූ බවද නිදහස් ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර් ජයවර්ධන පවා එකල කේන්සියානුවාදියෙකු වූ බවද මෙහිදී අමතක නොකළ යුතුය. එබැවින්, ආරම්භයේ පටන්ම ලංකාවේ සුභසාධක රාජ්‍ය ප්‍රතිපත්තීන් සහ අනුග්‍රාහක දේශපාලනය එකිනෙක අත්වැල් බැඳගෙන පැමිණ තිබේ. මෙරට වියදම් අධික රාජ්‍ය සේවයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් වාමාංශයට චෝදනා කරන ‘ගොඩ යමු’ වැනි දක්ෂිණාංශික කණ්ඩායම් මේ ඉතිහාසය අධ්‍යයනය කොට නොමැති බැව් පෙනේ.

ඉන්පසුව, 1956 දේශපාලන පරිවර්තනය සමග පාලක ප්‍රභූවේ හෙජමොනික උපායමාර්ගවල වැදගත් හැරවුමක් සංකේතවත් විය. නිව්ටන් ගුණසිංහ පෙන්වා දෙන පරිදි, මෙහිදී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ප්‍රභූ ස්ථරය එකල බලවත් දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් ලෙස පැන නැගුණු සිංහල බෞද්ධ ජාතිකවාදය සමග උපායමාර්ගික සන්ධානයක් ගොඩ නගා ගන්නට සමත් විය. එනයින්, බහුතරයේ ජනවාර්ගික ජාතිකවාදය මගින් රාජ්‍යය නැවත නිර්වචනය කෙරිණ. මෙමගින් පාලකයින් හට පොදු ජනයාගේ බහුතර කොටසක් සමග බැම්මක් තනා ගත හැකි වුවත් එහිම අතුරු ප්‍රතිපලයක් ලෙස සුළුතර ජනවාර්ගික ආගමික ප්‍රජාවන් රාජ්‍යයෙන් ආන්තික කෙරිණ. මේ අනුව පසුව දශක තුනක් පුරා විහිඳුණු යුද්ධයකට හේතු භූත වූ මෙරට ජාතික ප්‍රශ්නයද පාලක පන්ති හෙජමොනිය පිළිබඳ ගැටළුව සමග වෙලී පැටලී ඇත. බණ්ඩාරනායකගෙන් පසුව ප්‍රභූ තන්ත්‍රයේ අනුග්‍රාහක දේශපාලනයේද ගුණාත්මක පරිවර්තනයක් ඇති විය. එනම්, සුභසාධක රාජ්‍ය ප්‍රතිපත්තීන්වල ප්‍රසාරණයත්, ආනයන ආදේශන ආර්ථික උපායමාර්ගයත් මගින් දේශපාලන අනුග්‍රාහක සම්බන්ධතා ආයතනගත කළ හැකි වීමයි. මෙහි උපරිම අදියර වූයේ 1970-77 පාලන සමයේදී රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලන අධිකාරියට යටත් කිරීමයි. මන්ත්‍රීවරුන්ගේ ‘චිට්’ එකෙන් රස්සා දෙන ක්‍රමය නිර්මාණය වූයේ එම කාල පරිච්ජේදය තුළදීය.

ආර්ථික ලිබරල්කරණය සහ සුජාතභාවයේ අර්බුදය

1977 ආර්ථික විවෘතකරණය සමග පාලක ප්‍රභූවේ හෙජමොනික උපායමාර්ගවල තවත් වැදගත් පරිවර්තනයක් සිදු වූ බව පෙනේ. මන්ද යත්, ජේ.ආර් ජයවර්ධන හට කොතරම් ඉහළ මැතිවරණ ජයග්‍රහණයක් හිමි වුවද ඔහුගේ නව ආර්ථික ප්‍රතිපත්තිවලට පොදු ජන සමාජය තුළ සුජාතභාවයක් දිනා ගැනීමේ අභියෝගය පහසු එකක් නොවූ බැවිනි. ආර්ථික ලිබරල්කරණය පිළිබඳ ලාංකීය අත්දැකීම සැබවින්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් ඒ පිළිබඳ පාඨ ග්‍රන්ථමය තේරුම් කිරීම්වලින් වෙනස්ය. එය නිසැකවම ඩේවිඩ් හාවී කතා කරන නව-ලිබරල් රාජ්‍යය පිළිබඳ ආදර්ශ රූපයට වඩා වෙනස්ය. මන්ද යත්, ජයවර්ධන ආණ්ඩුව එකල පැවති ආහාර සලාකය කපා හැරීම, ආනයන නීති ලිහිල් කිරීම, පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් ඇති කිරීම, කම්කරු සටන් මර්දනය කිරීම යනාදී සම්භාව්‍ය නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතරම රාජ්‍ය වැය විශාල වශයෙන් ඉහළ නැංවෙන ආකාරයේ මහා සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක්ම ක්‍රියාවට නැගූ බැවිනි. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සහ නිවාස වැඩ පිළිවෙල ඒ අතුරින් ප්‍රමුඛය. මෙමගින්, පාලක පක්ෂයේ දේශපාලකයින් සමග පුද්ගලිකව සම්බන්ධ කෙරුණු නව මාදිලියක අනුග්‍රාහක ජාලයක් රට පුරා නිර්මාණය කෙරිණ. දිස්ත්‍රික් සංවර්ධන සභා සමග ඇති කෙරුණු විමධ්‍යගත වැය ක්‍රමයද එම පුද්ගල-කේන්ද්‍රීය දේශපාලන අනුග්‍රාහකවාදය සමග සම්බන්ධය. ඒ අතරම, සේනානායක අනුයමින් කෘෂිකාර්මික ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමේ නව යාන්ත්‍රණයක් සැකසිණ. මින් පෙර කවර කලෙකවත් නොවූ විරූ තරමින් මධ්‍යම පන්තිය ඉලක්ක කරගත් සංවර්ධන කතිකාවක් නිර්මාණය කෙරිණ. අලුතින් හඳුන්වා දෙන ලද රූපවාහිනීය නමැති දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණය සංවර්ධන කතිකාවේත්, හුවමාරු භාණ්ඩ අධි-වන්දනාවේත්, පාරිභෝජනවාදයේත් කම්හල බවට පත් විය. පවුල යනු ඒ පාරිභෝජනවාදයේ රන් දෙවොළ බව අමුතුවෙන් කිව යුතු නැත.

මීට සමාන්තරව ජයවර්ධන ජනවාර්ගික ජාතිකවාදයට රණකාමී ගති ලක්ෂණයක් එක් කළ බව අපි දනිමු. රාජ්‍යය සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් යුද වදින ඒජන්තයෙකු බවට පරිවර්තනය කළේ ඔහුය. යළිත් වරක් වෙනස් ස්වරූපවලින් යුක්තව වුවත් පාලක හෙජමොනියේ ප්‍රධාන මෙවලම් වූයේ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය, සංවර්ධනය පිළිබඳ කතිකාව සහ අනුග්‍රාහක දේශපාලනය යන මේවාය. පාලක පන්තියේ හෙජමොනිය බරපතල අභියෝගයකට ලක් වූ තත්ත්වයක් තුළ රණසිංහ ප්‍රේමදාස විසින් හඳුන්වා දෙන ලද නව උපායමාර්ගයක් වූ සමාජයේ වඩාත්ම දිළිඳු හා ආන්තික පිරිස් ඉලක්ක කර ගත් සහන වැඩ පිළිවෙළවල්ද (නිවාස දශ ලක්ෂය, ජනසවිය, කැපකරු මාපිය ක්‍රමය යනාදී) මෙයට එකතු කළ යුතුය. ඉන්පසුව, බලයට පත් සියලුම ආණ්ඩු එම උපායමාර්ගයද පෙරට ගෙන ගියේය.

නව සුසමාදර්ශයක්

පසුගිය වසරේ ජන අරගලය විසින් අභියෝගයට ලක් වූයේ අන් කිසිවක් නොව, මෙතෙක් කලක් මෙරට පාලක ප්‍රභූවේ හෙජමොනිය රඳා පැවතුණා වූ ඉහත විස්තර කළ කුළුණු කිහිපයයි. එය පළමු වරට ජනවාර්ගික හා ආගමික බෙදීම්වලින් තොර නිර්පාක්ෂික ජනතාව යන්න සද්භාවීය පැවැත්මක් බවට පත් කළේය. දූෂිත අනුග්‍රාහක දේශපාලන ක්‍රමය (සිස්ටම් එක) අභියෝගයට ලක් කළේය. සංවර්ධන කතිකාව මිත්‍යාවක් බව මොහොතකට පසක් කළේය. මේ මොහොතේ වික්‍රමසිංහ ප්‍රමුඛ පාලක ප්‍රභූවේ විවිධ කොටස් ප්‍රයත්න දරමින් සිටින්නේ දුබල වූ ස්වකීය හෙජමොනිය ප්‍රතිස්ථාපනය කර ගැනීමටය. පාලක ප්‍රභූ තන්ත්‍රයේ විවිධ කොටස් අතර කුමන මතබේද, ගැටුම් හා බල තරඟ පැවතියද තම සාමූහික පැවැත්ම පිළිබඳ කාරණයේදී ඔවුන් කිසියම් අප්‍රකාශිත පොදු න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන බවක් පෙනේ. නිදසුනක් ලෙස, පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීම යන කාරණයේදී ඔවුන් අතර ගැටුමක් නොමැත. (පාළමෙන් එගොඩ කළ යුත්තේ කුමක්දැයි අන් කවරෙකුටත් වඩා හොඳින් වික්‍රමසිංහ දනී). එබැවින්, මේ මොහොතේ දේශපාලන ක්‍රියාවලිය වටහා ගැනීමේදී පාලක හෙජමොනිය අර්බුදයට පත් වීම නමැති කාරණය අපගේ කේන්ද්‍රීය අවධානයට ලක් විය යුතුව තිබේ. ඉනුත් ඔබ්බට ගොස් ලාංකීය දේශපාලන විද්‍යා හැදැරීම් බොහොමයක් මෙතෙක් කලක් පදනම්ව තිබූ ‘රාජ්‍යය නොහොත් ජාතිය ගොඩ නැංවීම’ පිළිබඳ සුසමාදර්ශයෙන් අප දැන් ‘හෙජමොනිය ගොඩ නැංවීම’ පිළිබඳ සුසමාදර්ශයට මාරු විය යුතු යැයි යෝජනා කරන්නට මම කැමැත්තෙමි.

සුමිත් චාමින්ද | Sumith Chaaminda