Featured Articles, Features, Jaffna, Poems

“රණවිරු මල්ලියෙකු ලව්වා හොයා ගත හැකි යි හොඳ එව්වා”

විනෝද ගමනක් යමු

හිසින් තොර වී ගියත් තල් තුරු
කඳින් නැවි නැවි නිරතුරු
මඟ බලති ඔබ – අප එන තුරු
දකින්නට උතුරු සිරි විසිතුරු

මන්ද තව පමා වී මෙ තැන
යන්න දැන් හොඳ යි යාපනේ ගමන
යා වෙලා උතුර සහ දකුණ
හරි විනෝද යි මේ ගමන

‛ඒ නයින් ’ දෙපස සිරි විඳ විඳ
සුරු විරු සටන් සිහි කර කර
අලිමංකඩින් පැන ඒ පිටට
යමු නාහෙන් ඇඬූ පෙදෙසට

පොත්ගුල, ලන්දේසි කොටුව
නරඹා නල්ලූර් දෙවොල
හූල්ලා බලා සරු කෙත් වතු
ඇවිදිමු නො බලා ම මුහුණු

නොදන්නා බැවින් අණ්ඩර දෙමළ
කතා බෑ එහි නුවරුන් සමඟ
වෙන දා වගේ අපි අපි ම
කතා බහ කරමු උන් වෙනුවට

රණවිරු මල්ලියෙකු ලව්වා
හොයා ගත හැකි යි හොඳ එව්වා
හවස් යාමේ ඉතින් ‛සෙට්’ වී
නාමු අපි ‛කැෂුරිනා’ වෙරළේ

ප්‍රදීප් සාරංග කුමාර ලියු ‛නොසොඳුරු පෙදෙසක’ කවි පොතෙන් උපුටා ගන්නා ලදි.