iMage: thehindu.com

මේ වන විට ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා වන මාතෘකා අතර එක් ප්‍රමුඛ කරුණක් වන්නේ යුරෝපයේ දූපතකට ‘ආයෝජනයක්’, ‘ඩීල් එකක්’ කිරීම පිළිබද වන ‘කතාබහයි’. යුරෝපයේ දූපතක ආයෝජනය පිළිබද කතිකාව මාධ්‍ය සාකච්ඡාවකදී කරළියට ගෙන එන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව යි. එම සිදුවීමට අදාල ව දුමින්ද නාගමුව විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී ටිරාන් අලස් ගේ නම ප්‍රකාශ කළත්, අදාළ/ වෙනත් දේශපාලන පක්ෂයක, දේශපාලන ව්‍යාපාරයක හෝ දේශපාලකයෙක් ගේ නම සෘජුවම කීවේ නැත. නමුත් එම මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ඇසූ ඕනෑම අයෙක්ට එම දේශපාලන පක්ෂය කුමක්ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ.

එතරම් සංකීර්ණ දේශපාලන ගැටලුවක සම්පූර්ණ විස්තර සහිතව දුමින්ද නාගමුව විසින් ප්‍රකාශ නොකළේ ඇයි?

එය අප දන්නේ නැත. එය ඔවුන් ගේ දේශපාලන උපාය මාර්ගයක් විය හැකිය. නමුත් එසේ විස්තර සහිතව ප්‍රකාශ නොකිරීම නිසාම, එම මාධ්‍ය සාකච්ඡාව අසා සිටි බොහෝ අයට විවිද දේවල් ‘සිතීම’ වළක්වා ගත නොහැකිය. එයින් එකක් වන්නේ, දුමින්ද ප්‍රකාශ කරන ආකාරයට සමාජවාදී ශිෂ්‍ය සංගමය ට සම්බන්ධ අය විසින් අන්තර් විශ්ව විද්‍යාලීයය ශිෂ්‍ය බල මණ්ඩලයට සමාජ මාධ්‍ය තුළ ප්‍රහාරයන් එල්ල කරන විට, එයට විරුද්ධව එල්ල කරන ලද හොදම තුරුම්පුවකි. සියලු විස්තර සහිතව සෘජුව ප්‍රකාශ නොකළේ ඇතැම් විට, පැරණි දේශපාලන මිතුරුකම් නිසා යැයි තවත් සිතිය හැකි දෙයකි. ජාතික ජන බලවේගයට මේ මොහොතේත් ඇති ජන ප්‍රසාදය පලුදු කිරීමට ගත් උත්සහයක් ලෙසත් ඇතැමෙක්ට සිතිය හැකිය. කාගේ හෝ කොන්තරාත්තුවක් ඉටු කිරීම යැයි ද සිතිය හැකි තවත් දෙයකි. එසේ නැත්නම් දේශපාලන ප්‍රචාරක වුවමනාවකට, ඒ තරම් සැලකිල්ලක් නොදක්වා කියූ කරුණක් ලෙස ද ඇතැම් විට කාට හෝ සිතිය හැකිය. මෙවැනි ඉතාමත් රොමෑන්ටික් තත්ත්වයේ සිට අතිශය ප්‍රහාරාත්මක/ විරුද්ධාභාෂ තලයේ කරුණු දක්වා මේ ප්‍රකාශය තුළින් කෙනෙක්ට සිතෙන්නට පුලුවන. එය නැවත වරක් සටහන් කළහොත් එසේ වන්නේ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ‘මහජනයාට’ විචාරාත්මක අවබෝධයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සියලු සාධක(දත්ත සහ තොරතුරු) සම්පූර්ණ නොවීමය. ‘එය අපේ දේශපාලන ක්‍රමය යි’ පෙසප ට පෙරළා පිළිතුරු දිය හැකිය. එය ලංකාවේ දේශපාලනයේ තවත් ක්‍රමයකි.

නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි දේශපාලන ව්‍යාපාරයක් සහ එහි ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන දුමින්ද නාගමුව වැනි අයෙක් එසේ අවාට ගියාට එවැනි බරපතල ප්‍රකාශයක් සිදු කරනවා යැයි හෝ සිදුකිරීමට සිතනවා යැයි කියා ලියුම්කරු සිතන්නේ නැත. නමුත් ලාංකීය දේශපාලන ඉතිහාසය පිළිබද කල්පනා කිරීමේදී එවැනි ආකාරයෙන් සිතීමද මංමුලා විය හැකි කරුණක් බව ද සටහන් කරමි.

අදාළ ‘චෝදනාව’ ‘හොද කෑමක්’ යැයි සිතා කටයුතු කළ අයට එන්තරවාසි යැවීම

එම අදාළ ‘චෝදනාව’ ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායකට එල්ල කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහලේකම්, සාගර කාරියවසම් ට සහ තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මංත්‍රීවරයාට, මීට දින දෙකකට පෙර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. සති දෙකක් ඇතුලත එම වන්දි මුදල නොගෙවා සිටියහොත් නඩු මගට පිවිසෙන බව අනුර කුමාර දිසානායක කියයි.

කවුද “මුගටියා”? කවුද “නයා?”

ඒ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී, අනුර කුමාර දිසානායක විසින් ඊයේ(23) කතාවක් සිදු කළේය. එම කතාවේදී ඔහු මෙම ‘මෝල්ටාව'(දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ ‘යුරෝපයේ දූපතක’ කියාය) සිදුවීම සහ ඊට පෙර ජනතා විමුක්ති පෙමුණට ‘දූෂණ’ චෝදනා එල්ල කළ පුද්ගලයන් සහ එම පුද්ගලයන්ට අත් වූ ඛෙදනීය ඉරණම ගැන පැයකට ආසන්න කතාවක් කළේය.

ඔහු එහීදී උපමාවන් ගෙන හැර දක්වමින් මෙසේ කීවේය. (සම්පූර්ණ කතාව මෙතැනින් බලන්න)

(උපුටා ගැනීම)

ඇත්තටම අර කතාවක් කියනවා, නයාත් එක්ක සටනට ගැරඩියා මුගටියාව කරේ තියන් එනවා කියලා. දැන් මේ දවස්වල ඒකයි වෙලා තියෙන්නෙ. කරේ තියන් ආපු අයට වෙච්ච දේ දැක්කා. ඔවුන් කිව්වා ප්‍රසිද්ධියේ අපි දැන් නඩුවක් දැම්මා. ඉස්සෙල්ලා කිව්වා යුරෝපයේ දූපතක කියලා. ඊලගට කිව්වා මෝල්ටාව. ඊලගට කිව්වා වර්ජින් අයිලන්ඩ්. අන්තිමට නතර වෙන්නේ ස්ලේව් අයිලන්ඩ්වල. දැන් මේක බැලූ බැල්මට අපිට හිතෙන්න පුලුවන්, නෑ මෙතන තක්කඩි කමක් තියෙන්නේ….

රාජපක්ෂගේ සෘජු කදවුරෙන් හෝ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සෘජු කදවුරෙන් හෝ ඒ චෝදනාව එල්ල කිරීමෙන් ඵලක් නෑ. නෑ… ඊට පස්සේ එනවා වෙන කදවුරු. නෑ.. ඇත්ත වෙන්න ඇති. ඒ ගොල්ලො හිටපු අයනේ. ඒගොල්ලො ටිකක් වැඩිපුර දන්නවා වගේ අයනේ. මේකයි වුවමනාව, මේ තක්කඩි වුවමනාවක් ඉටු කරේ.

දැන් අපි ඒ ගොල්ලන්ට කියනවා.

ඒක ප්‍රසිද්ධියේ කියපු පොදු ජන පෙරමුණේ ලේකම්වරයාටත්, තවත් මංත්‍රීවරයෙක්ටත් විරුද්ධව අපි එන්තරවාසි යවලා තියනවා. සති දෙකෙන් පස්සේ අනිවාර්යෙන් නඩු දානවා. නඩුව අධිකරණයේදී එනවා. එතකොට මේ චෝදනාව නගපු මුල් පාර්ශවයට පුලුවන් අරගොල්ලො වෙනුවෙන් ඇවිල්ලා සාක්ෂි කරුවෙක් ලෙස තමන්ගේ තොරතුරු අධිකරණයට දෙන්න.

හැබැයි නඩුට ටිකක් පරක්කු වෙනවා නේ.

ඒ නිසා, දැන් ප්‍රකාශයක් කරන්න ඕනා, තමන් සතුව තොරතුරු තිබෙනවා, මහලේකම්වරයාටත්, මංත්‍රීවරයාටත් ඉදිරිපත් කර තිබෙන නඩුව ඉදිරිපත්කලාට පසුව ඒකේ සාක්ෂිවලදී අපි මේ තොරතුරු සාක්ෂි කාරයෙක් ලෙස ඇවිල්ලා ඉදිරිපත් කරනවා කියලා කියන්න ඕන

මුගටියා… එයා නේ දැන් කරගහගෙන ආවෙ.

නෑ අපි එයාගේ සාක්ෂිකරු වෙන්නේ නෑ. එයාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්තං මොකද කරන්නේ, එයාගේ සාක්ෂිකරු වෙන්නේ නැත්තං ප්‍රසිද්ධියේ මහජනතාවට තමන් සතුව තියන එක ලියවිල්ලක් හරි ඉදිරිපත් කරන්න ඕන.

තුන, කුඩා හෝ හෘද සාක්ෂියක් තිබෙනවා නම්, අත්වැරුද්දක්, දුරදිග හිතන්නේ නැතිව කියපු කතාවක්. එහෙම තොරතුරු අපි ගාව නෑ. කණගාටුව ප්‍රකාශ කරනවා.

ඔය කරුණු තුනෙන් එකක්වත් කරන්නේ නැත්තං මේක මෑත කාලයේ කරන ලද ප්‍රබලතම දේශපාලන තක්කඩි කමක්….

(අනුර කුමාර දිසානායක- 23/08/2023 පදනම් ආයතනයේ රැස්වීමකදී, https://www.facebook.com/anurakumara/videos/1990955797933454/)

එසේ කීවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය.

මේ කතාවේදී ද අනුර කුමාර දිසානායක විසින් ‘මුගටියා’ හෝ ‘ගැරඩියා’ හෝ ‘නයා’ කවුදැයි සෘජුවම කියන්නේ නැත. දුමින්ද ගේ කතාවේ මෙන් අනුරගේ කතාව ද සම්පූර්ණයෙන් අසාගෙන සිටි අයෙක්ට මුගටියා, ගැරඩියා සහ නයා කවුදැයි ‘සිතා’ ගැනීමට හැකියාවක් ලැබෙයි. නමුත් මෙවැනි බරපතල දේශපාලන කරුණවලදී, විශේෂයෙන් මුදල් පිළිබද කරුණුවලදී, විනිවිදබාවය ඉහළින් පිළිගන්නවා නම්, වගවීම පිළිබද සංවේදී නම් දත්ත සහ තොරතුරු පැහැදිලිව සහ නිරවුල්ව මහජනයා වෙත ඉදිරිපත් කිරීම, ජනතාවට වගකිව යුතු දේශපාලන පක්ෂවල පුමුඛ වගකීමක් බව මේ කිසිවෙක් නොදන්නවා නොවේ. නමුත්, අනුර කුමාර විසින් අදාළ චෝදනාව/ අදහස මුලින්ම ඉදිරිපත් කළ අයගේ අනන්‍යතාවය සෘජුවම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට පරිස්සම් විය.එසේ වන්නේ ඇයි?

මෙහිදී තවත් දෙයක් අනුර කුමාරට මතක් කළ යුතුය. එනම් සතුන්, උපමා ලෙස යොදා ගනිමින් සිදුකරන ‘නොමග යැවීමත්’ ඔබම පවසන ‘දූෂණයෙන් තොර දේශපාලන පක්ෂයකට’ වටින්නේ දැයි කල්පනා කර බලන්න.


“දුමින්ද නාගමුව සහෝදරයා කළ ප්‍රකාශයක දේශපාලන අදහස විකෘති කරමින් ඇතැම් පාර්ශ්ව ‘වටේ යන’ බව පෙනේ.” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, චන්දන සිරිමල්වත්ත සිය ෆෙස්බුක් හී සටහනක් තබමින් කියයි.

අනුර කුමාර දිසානායක විසින් ඊයේ(23) පදනම් ආයතනයේ සිදුකළ ප්‍රකාශයෙන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, චන්දන සිරිමල්වත්ත සිය ෆේස්බුක් හී සටහනක් තබා පවසන්නේ,

(උපුටා ගැනීම)

”දුමින්ද නාගමුව සහෝදරයා කළ ප්‍රකාශයක දේශපාලන අදහස විකෘති කරමින් ඇතැම් පාර්ශ්ව ‘වටේ යන’ බව පෙනේ. වටේ යාම ඇත්ත ප්‍රශ්නය වසං කරන මගක් හොයන අනුරලාට වාසිදායකය. නමුත්, මේ තොරොම්බල්කාර දේශපාලනය විසිතුරු ජවණිකා මවයි. ඒ නිසා මේ ‘වටේ යන ප්‍රශ්නය’ (මෝල්ටාව) ගැනම පිලිතුරු දෙන්නට තකහනියක්ම ජාතික ජනබලවේගය හරහා පදනම් ආයතනයේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අනුර දිසානායක පැයක කතාවක් කළේ ඊයේ සවසය.

නිරීක්ෂණයක් ලෙස, දුමින්ද මතු කළ ප්‍රශ්නයට පිලිතුරු දෙනවා වෙනුවට අනුර කළේ ඒ පාදක කරමින් වෙනත් පාර්ශ්ව දෙඩවූ ‘මෝල්ටා’ කතාවකට පිලිතුරු දීමය. චෝදනාවෙන් පීඩාවට පත්ව, නිදහසට කරුණු කියද්දී අනුර සිය කතාවකදී සාමාන්‍යයෙන් පවත්වාගෙන ගිය සංයමය පවා අහිමි කරගත්තේය. ඔහු ඉබාගාතේ කතා කරමින් හතර අතේ ප්‍රහාර එල්ල කළේය. පාර්ලිමේන්තුවේ ඇතැම් අඳ බාල මන්ත්‍රින් මෙන් සතුන්ගේ නම් පවා පටබඳිමින් ඔහු කතා කළේ මෙතෙක් පෙන්වමින් සිටි ‘කථික විදග්ධභාවය’ පරයා දේශපාලන බොලඳභාවය ප්‍රදර්ශනය කරමිනි. හාස්‍යජනක කාරණය වන්නේ එයද නොවේ. ඔහු දුමින්ද මතු කළ ටිරාන්-අනුර සහවාසයේ දේශපාලන ප්‍රශ්නය ගැන වචනයක් පවා නොකීවා පමණක් නොව, ඒ වෙනුවෙන් කළ දීර්ඝ වාග් ප්‍රහාරය තුළ තමන්ට එල්ල වූ චෝදනාවට අදාළ අනෙක් පුද්ගලයා, එනම් රනිල් රාජපක්ෂ පාලනය දිවි හිමියෙන් රකින දුෂ්ට මර්දකයාගේ නමවත් සඳහන් නොකරන්නට ප්‍රවේශම් වීමය. කාලයකට පෙර පැවති ‘විනාඩියක් පමණයි’ විනෝදාත්මක ගුවන්විදුලි වැඩසටහනේ මෙන් ‘අනුරගේ කතාව පැයයි – තහනම් වචනය ටිරාන්’ය.

ඒ චෝදනාව නැවත සිහිපත් කරමු. ‘රනිල්-රාජපක්ෂ කල්ලිය වෙනුවෙන්, ටිරාන් සංවිධානය කරන දුෂ්ට මර්දනය ගැන අනුර කිසිවක් නොකරන්නේ, වචනයක් කතා නොකරන්නේ යුරෝපයේ දූපතකට සල්ලි දාන නිසාද?’ දුමින්ද මේ කියන්නේ ‘දූපතක් මිලදී ගත් බවද?’ ‘මෝල්ටාවේ ආයෝජන ගැනද?’ නැත්නම්, දේශපාලනයේදී ජනතාවගේ සතුරකු සමග ගෙන යන ‘වංක සහයෝගයක්’ ගැනද?

(සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න)

මෙහි සිරිමල්වත්ත විසින් සටහන් කර ඇති අදහස්(වචන) කිහිපයක් පමණක් නැවත සටහන් කරමි.

1) “දුමින්ද නාගමුව සහෝදරයා කළ ප්‍රකාශයක දේශපාලන අදහස විකෘති කරමින් ඇතැම් පාර්ශ්ව ‘වටේ යන’ බව පෙනේ.” ( මෙහිදී දුමින්ද නාගමුව විසින් අදාල ‘අදහස’ පිළිබද විස්තරාමක(දත්ත සහ තොරතුරු සමග) ප්‍රකාශයක් සිදුකලා නම් මේ තත්ත්වය ඇතැම්විට මතු නොවන්න තිබුණා නොවේද? අධිකරණයට යාමට පෙර මහජනයා ඉදිරියේ චෝදනාවට ලක්වන පක්ෂය/ ව්‍යාපාරය හෝ පුද්ගලයා නිරාවරණය වී දුර්මත, දුස්තොරතුරු නිශ්පාදනය වීම වැලැක්වීමට තිබුණා නේද? එවිට ‘වටේ’ නොගොස් ඉදිරිපස දොරෙන්ම ඇතුලුවන්න තිබුණා නේද?

2) “…..අනුර කළේ ඒ පාදක කරමින් වෙනත් පාර්ශ්ව දෙඩවූ ‘මෝල්ටා’ කතාවකට පිලිතුරු දීමය.” (”මෝල්ටාව’ මෙය එහි ප්‍රධාන ප්‍රස්තුතයක් නොවේද?, දුමින්ද විසින් ‘යුරෝපයේ දූපතක’ යැයි පැවසීමෙන් පසු එම පක්ෂයේ චන්දන විසින් එම දූපත ‘මෝල්ටාව’ යැයි කියයි )

කෙසේ නමුත්, අදාළ දේශපාලන සංසිද්ධිය පිළිබද විමර්ශණාත්මකව බලන අයෙක්ට අනුර කුමාර විසින් සිදුකළ කතාවත්, එම කතාවෙන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත විසින් තැබූ ෆෙස්බුක් සටහනත් එකවර කියවා ගැනීමෙන් කිසියම් දේශපාලන අදහසක් මතු කරවා ගැනීමට යතුරක් සපයා දෙයි.

නමුත් අනුර කුමාරගේ කතාවෙත්, චන්දන සිරිමල්වත්තගේ ෆේස්බුක් සටහනේත්, අදාළ චෝදනාවට හෝ දේශපාලන අදහසට සම්බන්ධ නිරවුල් අදහසක් ඇති කර ගැනීමට ඇති තත්ත්වයන් පෝෂණය කරනවා වෙනුවට සිදුකර ඇත්තේ එය තවත් වියවුල් කිරීමකි.

තත්ත්වය එසේ වුවත්, වෙනත් පාර්ශවයන් දෙකකට වන්දි ඉල්ලා එන්තරවාසි යැවීමෙන් සහ ජවිපෙ විසින් එයින් නෙළා ගැනීමට උත්සහ කරන ‘දෙය’ විසින් ඉහත කී නොපැහැදිලි තත්ත්වය යම් පමණකට හෝ පැහැදිලි කෙරෙනු ඇත. නමුත් එයට යම් කාලයක් ගතවන බව කවුරුත් දන්නා කරුණකි. එසේ හෙයින් දුමින්ද නාගමුව ඇතුලු පෙසප ට ආදළ චෝදනාව පිළිබද සියලු තොරතුරු සහ දත්ත මහජනයා හමුවේ තැබිය හැකි නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද ඉන් හොද අස්වැන්නක් නෙළා ගත හැකිය. එය මහජනයාගේ පැත්තෙන් යහපත් ප්‍රවණතාවයක් වීමට ඉඩ ඇත.

‘නයි සහ මුගටි ගැටුම’ හි ඇත්තේ සදාකාලික බවකි. අපේ ජන වහර කියන්නේ එහෙමලු!

‘වම’ සහ වමෙන් බිදුණු ‘වම ත්’ එසේද?

ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අවසානයේ මතක් වූ නම් දෙකකි.