iMage: northeastern.edu

සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට පිරිහෙන අයුරු බලාගෙන සිටීමට සිදුවීමේ ඉරණම, එවැනි අවස්ථාවක හතර පැත්තෙන් අපව වට කරනු ලැබේ.

ඩයනා ගමගේ ගැන නඩු තීන්දුව ගිය සතියේ මේ කොලමේ සාකච්ඡාවට ගැනුණේ එවැනි මනෝ භාවයකිනි. ඊට දින කිහිපයකට පසු, මෙරට ප්‍රමුඛ පෙළේ එක් ජනාධිපති නීතිඥවරයෙකු සමග කළ සාකච්ඡාවකදී මේ ලියුම්කරු උදක්ම අවධාරණය කළ කතාවක් තිබුණි. එනම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු සහ පෙරේදා (13) එහි විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු ‘රාජපක්ෂලාගේ නඩුව’, පදනමක් නැති චෝදනා රාශියක් වශයෙන් හෝ අධිකරණයක අධිකාරී විනිශ්චය පථයට හසු නොවන දියාරු විෂයයක් වශයෙන් හෝ සලකා අහක දැමෙන බව ය. එපමණක් නොව, වගඋත්තරකරුවන්ගේ, එනම් රාජපක්ෂලාගේ නඩු ගාස්තු ගෙවීමට පවා පැමිණිලිකරුවන්ට සිදුවිය හැකි බව ය.

ඊට සතියකට කලින් ඩයනා ගමගේ නඩු තීන්දුව ගැන බරපතල ප්‍රශ්නකාරී ආකල්පයක් තිබියදීත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන් ලැබීමට නියමිතව තිබුණු ‘රාජපක්ෂලාගේ නඩුවේ’ විනිශ්චය ගැන එසේ අශුභවාදීව සිතුණේ, අධිකරණය යනු තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි රක්ෂාස්ථානයක් වශයෙන් සැලකිය නොහැකිය යන හැඟීමක් පෙරදැරිව නොවේ. අපේ ආශාවන්ට සහ අභිලාෂයන්ට අනුරූප තීන්දු පමණක්ම අධිකරණයකින් ලැබිය යුතුය යන බොළඳ ආශාවකින් මඩනා ලදුව, එසේ ස්වකීය අභිලාෂ සාධනය සිදු නොවන කළ ඇති වන ළාමක කලකිරීමක් නිසාද නොවේ.

ඇත්තෙන්ම මේ නඩුවට ප්‍රස්තුත විෂයපථය, නෛතිකත්වයට වඩා මූලධාර්මික දේශපාලනික සහ ආර්ථික කාරණාවන්ට මූලිකත්වය දෙන පරිශ්‍රයක් භජනය කෙරෙන බැවිනි. නෛතිකත්වය පවා හැකිතාක් පටු සීමාවන් තුළ සිටිමින්ම අර්ථකථනය කිරීමේ යම් ඌරුවක් සහිත විනිශ්චය සම්ප්‍රදායයක් තුළ, එවැනි විෂයයකට අයත් සමාජ යුක්තිය/අයුක්තිය සමබරව ගෝචර වීම පිළිබඳ නිත්‍ය සහතිකයක් නැති බැවිනි. සීමාන්තික උදාහරණයක් වශයෙන් ගත්තොත්, පුරවැසියෙකුට තුන් වේල කෑමට ඇති අයිතියක් නැති කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයෙකු නීතියක් ඉදිරියේ වගවීමට බැඳගැනීම මොන තරම් දුෂ්කර විය හැකිද යන්න ගත හැකිය. යම් පුද්ගලයෙකුට තුන් වේල කෑමට නැති වීමේ සංසිද්ධිය, ඉතා සංකීර්ණ සහ විවිධ ආකාරයේ විචල්‍යයන් විසින් මෙහෙයවනු ලබන තත්වයක් වීම ඊට හේතුවයි.

දේශපාලන වේදිකාවක් මත ඒ වගකීම ඉතා පහසුවෙන් පාලකයෙකු වෙත පැටවිය හැකි වෙතත්, අධිකරණයක් ඉදිරියේ පාලකයෙකු හෝ පාලක පිරිසක් නිශ්චිතව එකී වගවීමට නෛතිකව බැඳගැනීම එතරම් පහසු නැති බවක් බැලූ බැල්මට පෙනෙන්ට තිබේ. මේ නඩුව, මේ විනිශ්චය ලැබෙන තෙක්, මගේ සන්තානයේ වැඩ කෙළේ එලෙසයි.

එහෙත්, අභව්‍යයකැයි මා සිතූ දෙය යථාර්ථයක් විය. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ගරු විනිසුරුවරු හතර දෙනෙක්, පෙත්සම්කරුවන්ගේ පැමිණිල්ල සමග එකඟ වූහ. පෙත්සම්කරුවන් වුණේ, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍ර ජයරත්න, සරසවි ඇදුරන් වන ආචාර්ය මහිම් මෙන්ඩිස් සහ ආචාර්ය අතුලසිරි සමරකෝන් සහ සමගි ජනබලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය. පෙත්සම්කරුවන් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලනය විසින් රට ප්‍රපාතයට ඇද දැමීම තුළින් තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි. පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ එක් ගරු විනිසුරුතුමෙකු පමණක් ඒ මතය සමග එකඟ නොවුණි.

සිරිසේනගේ කුමන්ත්‍රණ නඩුවෙනුත් ඔබ්බට

මෛත්‍රීපාල සිරිසේන, මේ රාජපක්ෂලා සමග එකතු වී එදා පැවති ‘යහපාලන ආණ්ඩුව’ ව්‍යවස්ථා විරෝධීව ගෙදර යැවූ අවස්ථාවේ, රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ ඓතිහාසික වටිනාකම සමග මේ තීන්දුව සන්සන්දනය කිරීම අසීරුයි. එදා යම් භයානක ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවලියක් ආපසු හැරවුණි. එසේ නොවුණි නම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් ඉතුරු නොවෙනු ඇත. ඊට වෙනස්ව, මේ නඩු තීන්දුවෙන්, මෙතෙක් සිදුව ඇති ක්‍රියාවලිය ආපසු හැරවීමක් සිදු නොකෙරෙයි. එහෙත්, බලය පාවිච්චි කිරීමේදී, විධායකය හෝ පරිපාලනමය බලය හිතුවක්කාරීව සහ/හෝ අපරීක්ෂාකාරීව අභ්‍යාස කිරීමෙන් සමාජයකට සිදු කෙරෙන හානියට, එකී රාජ්‍ය බලධාරීන් වගවීමට බැඳී සිටින බව මේ නඩුවෙන් ඉතා පැහැදිලිව පෙන්වා තිබීම, අර තීන්දුව තරමටම ඓතිහාසික වැදගත්කමක් මෙයට ලබා දෙයි.

වෙනත් අර්ථයකින් ගත් කල මේ තීන්දුව, එදා තීන්දුවටත් වඩා අර්ථසම්පන්න බවට කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද යත්, මේ නඩුව තුළ, නෛතිකත්වයට හෝ ව්‍යවස්ථානුකූලත්වයට අමතරව, ඒ නෛතිකත්වය සහ ව්‍යවස්ථානුකූලත්වය සමග නිසඟයෙන් ගැටගැසුණු ඉතා පෘථුල සමාජ-ආර්ථික විෂයපථයක්ද අධිකරණය සිය සාවධාන සැලකිල්ලට ගෙන තිබෙන බැවිනි. එහිදී, සමාජ-ආර්ථික යුක්තිය වෙනුවෙන් කෙරෙන ප්‍රගාමී මැදිහත් වීමකට අධිකරණයක් මැළි නොවිය යුතු බව මේ විනිශ්චය තුළින් පෙන්වා දී තිබීම ඉමහත් වැදගත්කමක් දරයි. පිටු 265 ක් පුරා දිවෙන මේ විනිශ්චය, නීතිය පමණක් නොව, ආර්ථිකය පිළිබඳවත් කරන ලද විදග්ධ විවරණයකැයි කිව හැක්කේ එබැවිනි. මේ සමස්ත විනිශ්චය සිංහල පාඨකයන්ට කියැවීමට අවස්ථාව සැලසිය යුතුය. ඒ වන තෙක්, දැනට අපට කළ හැක්කේ, විනිශ්චයේ ඇතැම් තැන් කිහිපයක් පමණක් අපේ පාඨකයා වෙත ලබාදීම පමණි.

නඩු තීන්දුවේ 33 වැනි පිටුවේ එක් සඳහනක අනුවාදය මෙසේ ය:

‘‘වගඋත්තරකරුවන්ගේ එක් ප්‍රධාන තර්කයක් වුණේ, පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන කරුණු, රාජ්‍ය ආදායම්-වියදම්, ආර්ථික සහ දේශපාලනික ස්වභාවයක් ගන්නා නිසා සහ ඒවා ‘ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ’ වන නිසා, මේ අධිකරණයට එවැනි පැමිණිලි භාරගැනීමට, ඇසීමට සහ විනිශ්චය කිරීමට බලයක් නැති බව ය.’’

ලංකාවේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් රටවලද නඩු තීන්දු, මේ තර්කයට පක්ෂව සහ විපක්ෂව උද්ධෘතකොට දක්වමින් ඒ ගැන දීර්ඝ විශ්ලේෂණයක් කරන ගරු අධිකරණය, සිය විනිශ්චයේ 42 වැනි පිටුවේ සිය අදහස මෙසේ ඉදිරිපත් කරයි:

‘‘නීතියේ ආධිපත්‍යය යනු, හුදෙක් අයිතීන් සහ සමානාත්මතාව පිළිබඳ කාරණයක් පමණක්ම නොවේ. නීතියේ ආධිපත්‍යය යන්නට, රටක සහ එරටේ වෙසෙන සකල ජනතාවගේ තිරසාර ආර්ථික සංවර්ධනයට අදාළ ක්‍රියාවලියත්, එහි කාර්යක්ෂමතාවත් ඇතුළත් වෙයි. එසේ හෙයින්, (වගඋත්තරකරුවන් ගත්) තීන්දු තීරණ අදාළ වන්නේ ආර්ථික ප්‍රතිපත්තියකට යැයි කී පමණින්, වගඋත්තරකරුවන් වගකීමෙන් නිදහස් වන්නේ නැත.’’

මේ කාරණයට ගරු අධිකරණය පිවිසෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැනෙන ඉතා වැදගත් එක් මූලධර්මයක් ආශ්‍රය කරගනිමිනි. එය හැඳින්වෙන්නේ, ‘‘විශ්වාසය මත පදනම් වන, මහජන භාරය’’ වශයෙනි. රාජ්‍ය පාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ට යම් බලයක් පැවරෙන්නේ, ‘විශ්වාසය මත පදනම් වන මහජන භාරයක්’ වශයෙනි. එනම් පාලකයන්ට පැවරෙන බලය නීත්‍යානුකුල වන්නේ, මහජන විශ්වාසය මත පාලකයන්ට පැවරුණු එකී භාරය, රටේ සහ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා ඔවුන් විසින් අභ්‍යාස කරන තාක් පමණක් මිස, එකී මහජනතාවට හානියක් කිරීම සඳහා පාවිච්චි කිරීමට නොවන බවයි. මේ සඳහා ගරු අධිකරණය උද්ධෘතකොට දක්වන කලින් නඩු තීන්දුවක් මේ විනිශ්චයේ 48 වැනි පිටුවේ මෙසේ දැක්වෙයි:

‘‘…තවද, ‘මහජන භාරය’ නමැති මූලධර්මය, මේ අධිකරණය විසින් දීර්ඝ කාලයක් තිස්සේ පිළිගෙන සිය පාවිච්චියට ගෙන තිබේ. එනම්, රාජ්‍ය බලධාරීන් වෙත පැවරෙන බලතල පරම වන්නේවත්, නිර්බාධිත වන්නේවත් නැති අතර, ඒ භාරය බලධාරීන් දැරිය යුත්තේ, ජනතාව සඳහා වන බව ය. ඒ බලය අභ්‍යාස කළ යුත්තේ, බලය පවරා ඇති පරමාර්ථ සාධනය වන පරිදි ය. එසේම, ඔවුන් ඒ බලය අභ්‍යාස කරන ආකාරය, අදාළ පරමාර්ථවලට අනුරූපව, අධිකරණමය විමර්ශණයට බඳුන් කළ හැකි බව ය.’’

මේ පිළිබඳව තවත් දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීමෙන් අනතුරුව ගරු අධිකරණය සිය විනිශ්චයේ 77 වැනි පිටුවේ මෙසේ කියා ඇත:

‘‘අපේ අදහසේ හැටියට, 2 වැනි වගඋත්තරකරු (මහින්ද රාජපක්ෂ), 2 (අ) වගඋත්තරකරු (බැසිල් රාජපක්ෂ), 32 (අ) වගඋත්තරකරු (ගෝඨාභය රාජපක්ෂ) සහ 38 වැනි වගඋත්තරකරු (පී. බී. ජයසුන්දර) යන අයවළුන් (එදා රට වැටෙමින් පැවති බංකොළොත් භාවය වළක්වාගැනීම සඳහා) එක දිගට පියවරක් නොගෙන සිටීම සහ ප්‍රතිකර්මික පියවර ගැනීමක් ගැන අසංවේදී ආකාරයෙන් නොතකා හැරීම වනාහී, මුරණ්ඩු සහ අතාර්කික චර්යාවක් වන අතර, මහජනතාව ඔවුන් කෙරෙහි තැබූ මහජන විශ්වාසය ඒ මගින් ඔවුන් විසින් උල්ලංඝනය කර ඇත.’’

මේ පැමිණිලිකරුවන් අධිකරණය වෙත ගියේ සමස්ත රටවැසියන් වෙනුවෙන් බව අධිකරණය පිළිගත්තේය. එසේ යාමට තරම් බරපතල හේතු කාරණා ඔවුන්ට තිබුණි. ඒ ගැන විස්තර කරන අධිකරණය සිය විනිශ්චයේ 116 වැනි පිටුවේ මෙසේ කියයි:

‘‘රටේ ආර්ථිකය පිරිහුණේ එක් රැයකින් නොවන අතර අප ඉදිරියේ ඇති කරුණුවලට අදාළ යම් කාලයක් තුළ එය සිදු වූ බව කවුරුත් දනිති. මේ අධිකරණය වෙත ඉදිරිපත්ව ඇති කරුණු අනුව, දළ රාජ්‍ය සංචිත සහ මහබැංකු සංචිත හිඳී ගොස් ඉතිහාසයේ පෙර නොවූ විරූ පහළ අඩියකට වැටී තිබුණු බව පැහැදිලියි. එහි රුදුරු ප්‍රතිවිපාක රටේ සියලූ වැසියන්ට එක සේ විඳින්නට සිදු වුණි. පෙට්‍රල්, ගෑස් සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නැති වීම සමග විදුලිය කපාහරින දීර්ඝ පැය ගණන් තුළ ජනතාවගේ දිවිපැවැත්ම එක තැන නතර වුණි. රටවැසියන්ට විඳගැනීමට සිදු වූ ඒ මහා විඳවිල්ල, නිසැකවම, අසීමාන්තික විය.’’

එසේ කියන ගරු අධිකරණය ඊට ෙඡ්දයකට පසුව මෙසේ කියයි:

‘‘තමන්ගේ බලතල ප්‍රකාරව ගත් තීන්දු ‘‘ප්‍රතිපත්ති තීරණ’’ යැයි කියමින් වගකීමෙන් අතහෝදාගැනීමට ඔවුන්ට නොහැක.’’

ඔවුන්ගේ නිගමනය කැටි කරමින් අවසානයේ ගරු අධිකරණය කියන්නේ මෙයයි:

‘‘… එබැවින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් තමන් කෙරෙහි ගෞරවයෙන් තබන ලද විශ්වාසය ආරක්ෂා වන ආකාරයෙන් ක්‍රියා කිරීමට වගඋත්තරකරුවන් සෑම වෙලාවකම බැඳී සිටී. මීට ඉහතින් හඳුනාගන්නා ලද (වගඋත්තරකරුවන්ගේ) ක්‍රියාකාරකම්, නොකර හැරීම්, තීරණ සහ චර්යාව, පැහැදිලිවම, ආර්ථික අර්බුදයට දායක වී ඇති අතර, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, නිවාඞ් කබ්රාල්, ඩබ්.ඞී. ලක්ෂ්මන්, එස්. ආර්. ආටිගල, සමන්ත කුමාරසිංහ, ගෝඨාභය රාජපක්ෂ සහ පී. බී. ජයසුන්දර යන වගඋත්තරකරුවන් වෙත පවරන ලද මහජන භාරය/විශ්වාසය කඩකොට ඇත. ඒ අනුව, ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් කියැවෙන නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිය උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරමු.’’

පැමිණිලිකරුවන් කිසිවෙකු වන්දියක් ඉල්ලා නැත. ඒ නිසා, ඔවුන්ගේ නඩු ගාස්තු පමණක් ගෙවිය යුතු බවට අධිකරණය තීන්දු කෙළේය.

මේ රට විනාශ කෙළේ රාජපක්ෂ පවුල ඇතුළු ඔවුන්ගේ නිලධර තන්ත්‍රය විසින් ය යන්න තවදුරටත් දේශපාලනික කතාවක් පමණක් නොවේ. එය, රටේ ඉහළම අධිකරණය විසින්ද තීන්දු කර ඇති තතු යටතේ, තවදුරටත් මේ මහා විනාශයෙන් පලායාමේ කිසි ඉඩක් රාජපක්ෂලාට ඉතිරිව නැත. අධිකරණය විසින් දෙන ලද මේ තීන්දුව ඉදිරි මැතිවරණයකදී අපරානුමත කිරීම රටේ සියලූ පුරවැසියන්ගේ යුතුකමයි. වගකීමයි.
අවසාන වශයෙන්, මෙතරම් සංකීර්ණ පැමිණිල්ලක් සමාජ සුභසිද්ධිය සඳහාම අධිකරණය වෙත යොමු කිරීම ගැන ඉහත කී පැමිණිලිකරුවන් සියල්ලන්ටත්, එ් පැමිණිල්ල ගරු අධිකරණය ඉදිරියේ විදග්ධ ආකාරයෙන් සනාථ කිරීමට සමත් වූ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු නීතිඥ මඬුල්ලටත් පුරවැසියන් වශයෙන් අප කවුරුත් ණයගැති විය යුතුය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda