iMage: hindustantimes.com

ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක් සිදු නොවෙතොත්, දරුමල්ලන්ගේ අවශ්‍යතා පිරිමසාලීමට නොහැකි වනු ඇත. ගෘහ මූලිකයා තමන්ගේ ආදායම වැඩි දියුණු කරගත් විට පවුලේ දියුණුවක් ඇති වෙයි. පවුලක් සම්බන්ධයෙන් කතාව එසේ වුණත්, රටක් සම්බන්ධයෙන් තත්වය ඊට වෙනස් ය. සංකීර්ණ ය.

රටක් යනු එරටේ සිටින පවුල් සංඛ්‍යාවේ එකතුවයි. දැන් අර පවුල පිළිබඳ සාදෘෂ්‍යය ගැන සලකන්න: ඒ ගෘහ මූලිකයා ආදායම වැඩි කරගෙන ඇත්තේ, තවත් පවුලකට අයත් දෙයක් හෝ රටට අයත් දෙයක් සොරකම් කරගෙන නම්, ඔහුගේ පවුලේ ‘සංවර්ධනය’ සම්බන්ධයෙන් වැදගත් වූ සාධකයම තවත් පවුලක හෝ සමස්ත රටේම අසංවර්ධනයට හේතුවක් වන්නේය. මේ නිසා අර පවුල ධනවත් වන තරමටම තවත් පවුලක් හෝ පවුල් රාශියක් (එනම් රටක්) දුප්පත් වෙයි.

දැන් මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ කෙසේද? අර සොරකම නතර කිරීමෙන් යැයි කෙනෙකු කියනු ඇත. එය අපහසු වැඩක්ද නොවේ. උදාහරණයක් වශයෙන්, අර ගෘහ මූලිකයා තමන්ගේ පවුලේ ආදායම වැඩි කරගෙන ඇත්තේ වෙනත් වත්තක කෙහෙල් කැනක් හොරෙන් කපාගෙන නම්, එසේත් නැතහොත්, වැඩ කරන කාර්යාලයේ ලියන කඩදාසි පැකට්ටුවක් සොරකම් කර විකුණා ගැනීමෙන් නම්, ඔහුව පොලීසියට අල්ලා දීමෙන් හෝ කාර්යාල ප්‍රධානියා විසින් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් හෝ එය නතර කළ හැකිය.

දැන් මෙසේ හිතන්න: ඉහත කී ගෘහ මූලිකයා පමණක් නොව, අඩුවැඩි වශයෙන් මුළු රටේම මිනිසුන් තම තමන්ගේ හැකියාව පරිදි, යම් ආකාරයක සොරකමක හෝ දූෂණයක නිරත වෙයි නම්, ඒ සියල්ලන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ ඒ සියල්ලන් පොලීසියට අල්ලා දීම හෝ කළ නොහැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව, අර කී සොරකම නමැති ක්‍රියාවෙන් ධනවත් වූ පවුල් සියල්ල එක සමාන නොවන නිසා ය. උදාහරණයක් වශයෙන්, අල්ලපු වත්තෙන් කෙසෙල්කැනක් සොරකම් කර ‘ධනවත්’ වූ පුද්ගලයාට වඩා, රටේ හැටියට ගුවන් තොටුපොළවල් හතරක් දැනටත් තිබියදීත් කොහේදෝ අස්සක තවත් ගුවන් තොටුපොළක් අවශ්‍ය බවට නිර්දේශ කිරීමෙන් ධනවත් වූ පුද්ගලයාත්, ඒ කොන්ත‍්‍රාත්තුව බිම් මට්ටමෙන් දියත් කිරීමට භාරගත් පුද්ගලයාත්, කෙසෙල් සොරාට වඩා සම්භාව්‍ය සහ බලවන්ත සොරෙකු වන නිසා ය. දැන්, අර කෙසෙල් සොරාව පැය 24 ක් ඇතුළත පොලීසිය විසින් අල්ලාගෙන ගොස් උසාවියකට ඉදිරිපත් කර දඬුවම් කිරීමේ ක්‍රියාවලිය තරමට, සම්භාව්‍ය සොරාගේ සොරකම සම්බන්ධයෙන් නීතිය ‘කාර්යක්ෂම’ වන්නේ නැත. හේතුව, නීතිය මෙහෙයවනු ලබන්නේ, සම්භාව්‍ය සොරා විසින් වන බැවිනි.

හරි, දැන් කෙනෙකු මෙසේ ඇසිය හැකිය. එසේ නම්, නීතිය මෙහෙයවීම කෙසෙල් සොරාට භාර දුන්නොත්, ප්‍රශ්නය විසඳේද යන්නයි. මේ ලිපියේ ‘සංස්කෘතිය’ යන සංකල්පය වැදගත් වන්නේ මෙහිදී ය. නීතිය මෙහෙයවීම පුද්ගලයෙකු හෝ පුද්ගල පංතියක් විසින් නොව, ආයතන පද්ධතියක් විසින් ක්‍රියාත්මක කළ යුතු වීම අවිවාදිතයි. එසේම, ඒ ආයතන පද්ධතිය බලසම්පන්න සහ අපක්ෂපාතී විය යුතු වීමත් අවිවාදිතයි. එහෙත් එකී කාරණා දෙකම මුළුමණින් රඳාපවතින්නේ, සමස්ත ක්‍රියාවලියේ හිස මුදුනේ තිබෙන ‘නීතියේ ආධිපත්‍යය’ ස්ථාපිත වීමෙන් ය. අර කියන ‘සංස්කෘතිය’ යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ එයයි. එනම්, නීතියේ ආධිපත්‍යය රජයන දේශපාලන සංස්කෘතියකි.

මිරිස් කුඩු කල්ලිය නැවතත් පාර්ලිමේන්තුව
අරක්ගැනීම

‘ක්‍රමයේ වෙනසක්’ යනුවෙන් අරගලය තුළ ඉල්ලා සිටියේ එකී වෙනසයි. අරගලකරුවන්ගේ ප්‍රකාශිත අභිලාෂය ඒ විදිහට වචනයෙන් ඉදිරිපත්ව නොතිබුණා විය හැකිය. එහෙත්, ‘ගෝඨාභය ගෙදර යනු’ නමැති ආසන්න සහ හදිසි සටන් පාඨය පසුපස තිබිණි යැයි සාධාරණව සිතිය හැක්කේ, දීර්ඝ කාලයක් තිස්සේ ඒකරාශී වී තිබුණු කුණුගොඩක් නාසයට දැනෙන තරමට ගඳගැසීමට පටන්ගත්තේ ඔහුගේ ක්‍රියාකලාපය තුළින් නිසා, ඉන් වහනය වූ ගඳ පමණක් නොව, ඒ පසුපස ගොඩගැසී තිබූ අර කුණුගොඩමත් ඉවත් කිරීම ය.

එකී ක්‍රමය වෙනස් කිරීමට හැකියාවක් හෝ උවමනාවක් රනිල් වික්‍රමසිංහට ඇති බවක් මේ දක්වා ඔහු පෙන්වා නැත. ඒ වෙනුවට, එකී ක්‍රමය ආරක්ෂා කරගැනීම මත තමාගේ බලය රැඳී ඇති බව ඔහු තේරුම්ගනිමින් සිටී. මේ කරුණු යළි කල්පනාවට ආවේ, පසුගිදා පාර්ලිමේන්තුවේ දිගහැරුණු කලබලකාරී තත්වය දැකීමේදී ය.
රාජපක්ෂ සහෝදර ත්‍රිත්වය ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු, රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබීම ආශ්‍රයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් සිටියේය. එහිදී, ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඔහුට බාධා කළා පමණක් නොව, ඔහුට පහරදීමටත් වට වුණි. පසුව ඔහු අසමින් සිටි ප්‍රශ්න පත්‍රයත් ඔවුන් විසින් උදුරා ගැනුණි. එහි ගම්‍යාර්ථය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරයේ තීන්දුවට තමන් සලකන ආකාරය මේ යැයි මෙකී පිරිස අපට පෙන්වා සිටි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කතා කිරීමට මහජන නියෝජිතයෙකුට ඉඩ නොදීමේ මොවුන්ගේ ඒ නිහීන චර්යාව තව අඩියක් ඉදිරියට ගියොත්, ඒ තීන්දුව දුන් විනිසුරුවරුන් මේ පිරිස විසින් ශාරීරිකව වටකරනු ලබන දිනයත් වැඩි ඈතක නොවිය හැකිය. තමන් කැමති තීන්දු නොදුන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසීමේ ඉතිහාසයකුත් අපට ඇති බව මේ වෙලාවේ මතකයට නැෙඟයි. රනිල් වික්‍රමසිංහ බලය රැකගෙන ඉන්නේ සහ නැවත බලයට ඒමට අපේක්ෂා කරන්නේ මෙවැනි පිරිසකගේ ආශීර්වාදයෙනි.

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ තීන්දුව ගැන පසුව උත්තර බඳින බවත්, මොවුන්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ කියා ඇත. අධිකරණ තීන්දුවක් පිළිනොගැනීමට කෙනෙකුට අයිතිය තිබේ. ඒ අනුව, එකී තීන්දුව වෙනත් උසස් අධිකරණයක අභියෝග කිරීමේ අයිතියද කෙනෙකුට තිබේ. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අධිකරණමය තලයක අභියෝග කිරීමට, ඉස්සර මෙන්, ඊට ඉහළ ප්‍රිවි කවුන්සිලයක් දැන් අපට නැති නිසා, තමන් ඒ තීන්දුව ගැන එකඟ නොවන බව පමණක් කීමෙන් සෑහීමට පත්වීමට කෙනෙකුට සිද්ධ වෙයි. එහෙත්, ඒ තීන්දුව ගැන තමන් පසුව උත්තර බඳින බව මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ, කුමක් හිතේ තියාගෙනද? අප දන්නා පරිදි, තමන්ගේ නිදහසට කරුණු සියල්ල ඔහුට වඩා විදග්ධ ආකාරයෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවට පැමිණ ඇත්තේ, රාජපක්ෂලාගේ නිදහස වෙනුවෙන් ඔවුන්ගේ උගත් නීතිඥවරුන් විසින් මේ වන විටමත් ඉදිරිපත් කර ඇති, සියලු තර්ක විතර්ක සැලකිල්ලට ගැනීමෙන් පසුව බව ඔහු නොදන්නවා නොවේ. ‘කටඋත්තර බඳින්නට’ තවත් කිසිවක් ඔහුට ඉතිරිව තිබිය නොහැක.

අධිකරණ විනිශ්චය පිළිනොගැනීම
රාජපක්ෂ ආරයයි

නැත, රාජපක්ෂලාගේ ක්‍රමය වන්නේම, තමන්ට එරෙහි කිසි නියෝගයක් භාර නොගැනීමයි. ඉහත කී නඩුවෙන් වැරදිකරුවෙකු කළ පී. බී. ජයසුන්දර නමැති රාජ්‍ය නිලධාරියා, ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයක් මගින් වාරණයට ලක්කළ පුද්ගලයෙකි. ඒ අනුව, රජයේ කිසි තනතුරක් දැරීම ඔහුට තහනම් කර තිබුණි. එහෙත්, රාජපක්ෂලා තමන්ගේ වංගු ක්‍රියාත්මක කර, වෙනත් අගවිනිසුරුවරයෙකු හරහා මොහුගේ වාරණය ඉවත් කරගත්හ. ඒ සාක්ෂියත් මදි නම්, හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකගේ සිද්ධිය සිහියට නඟාගන්න. අධිකරණය ගැන රාජපක්ෂලා කවදත් දක්වා ඇති නීතියේ ආධිපත්‍යය පිළිබඳ ආකල්පය එයින් කෙනෙකුට වැටහෙනු ඇත. එය, අපේ මාතෘකාවට අදාළ ‘සංස්කෘතියට’ අයත් තවත් සාධකයකි.

රාජපක්ෂලාට එරෙහි වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ආර්ථික සහ පාලනමය කටයුතු විෂය කරගත් එකකි. හුදු නීතියක් හෝ ව්‍යවස්ථාවක් පිළිබඳ කාරණයකට වඩා, ආර්ථික කාරණයක් නෛතිකත්වයක් මත තබා විමර්ශණයට සහ විනිශ්චයට ලක්කිරීම ඉතා සංකීර්ණ ය. දුෂ්කර ය. එහිදී, නීතියේ සහ මූලික අයිතියේ සාරය පිළිබඳ ප්‍රගාමී එළැඹුමක් අවශ්‍ය කෙරේ. ‘ප්‍රගාමී’ යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ, නීතියේ වචනාර්ථයට සීමා නොවී, නීතියේ සාරය දෙසට ගමන් කිරීමට අධිකරණයක් දක්වන සූදානම සහ හැකියාවයි. තවත් විදිහකින් කිවහොත්, නීතියේ ආධිපත්‍යයේ මෙහා සීමාවේ සිට නොව (කෙසෙල් හොරා සිරගත කිරීමේ සීමාවේ සිට නොව) එහි එහා සීමාවේ සිට (සම්භාව්‍ය සොරා වැරදිකරු කිරීමේ සීමාවේ සිට) නීතියේ ආධිපත්‍යය අර්ථගැන්වීමයි.

අනාගතය හැඩගැස්වීමට නම්…

එහෙත් මේ සුසමාදර්ශය, එනම් රාජපක්ෂලා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ආදර්ශමත් විනිශ්චය, සියලූ තන්හි සෑම කල්හි අපේක්ෂා කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව, සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලනීකරණය වී ඇති නිසා විතරක්ම නොවේ. මෙවැනි විනිශ්චයන් ප්‍රායෝගික තලයක ඵලදායී කරවන සංස්කෘතියක් නැති කම නිසා ය. එසේ හෙයින් මේ තීන්දුව අපරානුමත කිරීම සඳහා යම් ක්‍රියාකාරීත්වයන් අවශ්‍ය කෙරේ. ඉන් එකක් වන්නේ, තමන් නියෝජනය කිරීම සඳහා යළිත් කිසි දවසක ඔවුන් පත්කරගැනීමෙන් ජනතාව වැළකී සිටීමයි. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මුළු රටක් ඇදවැට්ටූ නායකයන් ඒ වෙනුවෙන් ගෙවන වන්දිය කුමක්ද යන්න ඊළඟට මතු කළ යුතු ප්‍රශ්නයයි. ඔවුන් විසින් රටට සිදු කරන ලද අලාභය ඔවුන්ගෙන් පියවාගැනීමට බලධාරීන් විසින් පියවර නොගන්නා තාක් කල්, ශ්‍රේෂ්ඨාධිකරණය සංකල්පීය තලයක ප්‍රකාශයට පත්කළ ඉහත කී සුසමාදර්ශී විනිශ්චය, මහපොළොවේ ස්ථාපිත නොවනු ඇත. ඒ සා අපරාධයක් සිදුකොට, කිසි දඬුවමක් නොවිඳ නිරුපද්‍රිතව සිටිය හැකි වීම, අප වෙනස් කළ යුතුව ඇති සංස්කෘතියයි. නීතියේ ආධිපත්‍යය විරාජමාන වන සංස්කෘතියක් වන්නේ එසේ වෙනස් කර ගොඩනඟාගන්නා සංස්කෘතියකි. එවැනි වෙනසකින් තොරව, ආර්ථික සංවර්ධනයක් අත්කරගත හැකි යැයි කීම අමු ප්‍රෝඩාවකි.

‘ගෝල්ඩන් කී’ සහ ඊ. ඒ. පී. එදිරිසිංහ වැනි මූල්‍ය සමාගම් සිය තැන්පත්කරුවන්ගේ භාරය අවභාවිත කොට බංකොළොත් වූ අවස්ථාවේ ඔවුන්ගේ දේපළ විකුණා අර තැන්පත්කරුවන්ගේ මුදල්වලින් යම් ප්‍රමාණයක් ගෙවන ලදි. රටක මහජන භාරයක් පාලකයන් විසින් උල්ලංඝණය කළ අවස්ථාවකදී රටක් කටයුතු කළ යුතු ආකාරයත් ඊට වෙනස් නැත. ඊට අමතරව, මොවුන් පාලක පංතියට අයත් වන නිසා, ඔවුන්ගේ සිවිල් අයිතීන් පවා යම් කාලයකට ඉවත් කිරීම, රටේ අනාගතයට වැඩදායක වනු ඇත. මෙවැනි බිම් මට්ටමේ යුක්තියකින් සියලු පුරවැසියන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කර දෙන තෙක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය, අපේ ඉතිහාසයේ ‘පාද සටහනක්’ පමණක් වීමට හොඳටම ඉඩ තිබේ.


ගාමිණී වියන්ගොඩ
| Gamini Viyangoda