Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛සංවේදී නායකයා හිටපු හමුදාපතිගෙන් පළිගනී’’ ‛‛හිටපු හමුදාපති නිදහස් කරනු.’’යැයි කියමින් දහස් ගණන් සෙනඟක් කොළඹ වීදි බහියි.

‛‛කෘර පළිගැනීම් වහා නවතනු. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බළකරමින් අද(11) කොළඹදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පැවැත් වීය. හයිඩ්පාක් පිටියේ සිට ගමන් ඇරඹු එම විරෝධතා පෙළපාලිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කර සිටින වැලිකඩ බන්ධනාගාරයෙ පිවිසුම් දොරටුව දක්වා ගමන් කර පසුව එම ස්ථානයේ දී රුස්වීමක් පැවැත් වීය. පැය දෙකකට ආසන්න කාලයක් හයිඩ්පාක් පිටියේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කළ එම විරෝධතා පෙළපාලිය ගමන් ගත් මාර්ගය සම්පූර්ණයෙන්ම ජනතාවගෙන් පිරී තිබූ අතර එම පැය දෙක පුරාම ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවතිනි.

වැලිකඩ බන්ධනාගාරයෙ පිවිසුම් දොරටුව ඉදිරිපිට පැවැත්වූ රැස්වීමට අනෝමා ෆොන්සේකා, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුලු සිරිතුංග ජයසූරිය, වික්‍රමබාහු කරුණාරත්න යන පක්ෂ නායකයින් මෙන්ම, අනුර කුමාර දිසානායක, විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති, දයාසිරි ජයසේකර ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම කලාකරුවන් ඇතුලු පිරිසක් සහභාගී වි සිටියේ ය.

‛‛පළිගැනීම සඳහා දුන් දඬුවම හෙළා දකිමු’’ ‛‛ඒකාධිපති වියරුව පරදවමු’’ ‛‛සංවේදී නායකයා හිටපු හමුදාපතිගෙන් පළිගනී’’ වැනි පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් එම විශාල පිරිස වැලිකඩ බන්ධනාගාරයෙ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ යෙදිනු අතර වැලිකඩ බන්ධනාගාරයෙ ආරක්ෂාව තර කර තිබෙනු දක්නට ලැබිනි.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‛ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනතා ව්‍යාපාරය’ විසිනි

සටහන සහ ඡායාරෑප
සම්පත් සමරකෝන්