“ලාංකේය ගීත කෝකිලාවිය”, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ. ඇය ශ්‍රී ලාංකේය ගායන සංස්කෘතියට දායාද කළ අසීමිත නිර්මාණ සමුදාය අපගේ සංස්කෘතික උරුමයක් ලෙස පවතිනු ඇත. පරම්පරා ගණනාවක් පුරා හදවත් දිනා ගත් ඇයගේ මධුර ස්වරය සහ ගායන හැකියාව ලාංකීය සංගීතයේ මිණුම් ලකුණක් සලකුණු කලේය.

අපි විනෝද වෙමින් බොහෝ අවස්ථාවල දී ඇගේ බොහොමයක් ගීත ගායනා කළෙමු. සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා, මල් බර හිමිදිරියේ, සහ ලෝ අඩ නින්දේ වැනි ඇයගේ අමරණීය ගීත තවමත් අපගේ මතකයේ නැවුම් ව රැඳී පවතී. විශේෂයෙන්ම ඇගේ ජීවන සහකරු නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොල මහතා සමග ඇය ගායනා කළ යුග ගීත, අදටත් ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ගී සමුදාය‍යන් අතර නොකඩවා ප්‍රමුඛ ස්ථානයක් ගනිමින් ඇත.

අප අවසන් වරට එම ගීත ගායනා කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 1965-69 කාලයේ සිටි අප කණ්ඩායමේ 55 වන සංවත්සරය, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවස්ථාවේ දී ය. ඇගේ ගීත රසාස්වාදනය ගැන සඳහන් කිරීමට අමතරව ඇගේ ජීවිතයේ ඇතැම් සිදුවීම් මගේ සමාජ ජීවිතයට බලපෑ අවස්ථා කිහිපයක් ගැන ලිවීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

එවැනි එක් අවස්ථාවක් වූයේ, වල්පොල පවුල දේශපාලන හිරිහැර නිසා පීඩා විඳි 1981-82 කාල පරිච්ඡේදයයි. දේශපාලන බලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් සිය නිවසින් පිට මං කිරීමේ තර්ජනයට ලක් වී සිටි ඔවුහු ජනතා විමුක්ති පෙරමුණේ සහාය පැතූහ. ලතා වල්පොල මහත්මිය ඇගේ පුතණුවෙක් කොළඹ ආමර් වීදියේ වීරසිංහ ලී මඩුවේ පවත්වා ගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට එවා තිබුණේ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව අපට දැනුම් දෙන්නට ය. ඔවුන් විඳින හිරිහැර පිළිබඳව මා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළ නමුත් එය කිසිදු සාර්ථකත්වයක් අත් කර ගත්තේ නැත. කලා ක්ෂේත්‍රයේ නියැලී සිටි වෘත්තිකයන් පිළිබඳව එවකට ජනාධිපතිවරයා සහ ඇතැම් දේශපාලන බලවතුන් කල්පනා කල ආකාරය පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.

1990 ගණන්වල ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පවත්වන ලද ඇගේ ගායන ප්‍රසංගයක දී චිත්‍රාටත්, මටත් ලතා වල්පොල මහත්මිය පුද්ගලිකව මුණ ගැසීමට අවස්ථාව ලැබුණි. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා සංගමය (Australia Sri Lankan Association Inc., ACT – ASLA) තවත් සංවිධාන සමග සහයෝගයෙන් සංවිධානය කරන ලද එම ප්‍රසංගය ඉතා සාර්ථක විය. අපගේ ඉතා සුහද හමුවීම්, අපගේ අතීතය මෙනෙහි කිරීමට අවස්ථාවක් ද ලබා දුන්නේය.

ලංකාව නිදහස ලබා අඩ සියවසක් ගත වීම සැමරීම සඳහා 1998 දී කැන්බරා නුවර සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා දිනය’ විශේෂයෙන් සඳහන් කළ යුතු ඓතිහාසික සිදු වීමකි. පෙබරවාරි 4 දිනය කැන්බරා නුවර වාර්ෂිකව පවත්වනු ලැබූ ඔස්ට්‍රේලියානු ජාතික බහු-සංස්කෘතික උත්සවය (Australian National Multicultural Festival) සමඟ සමපාත වීම එම උත්සවයේ වැදගත්කම තවත් ඔප් නැංවීය. මා සභාපතිත්වය දැරූ ASLA සංගමයේ නායකත්වය යටතේ, අනෙකුත් ලාංකීය සංවිධානවල සහාය ඇතිව, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ව සිටි නැසී ගිය එල්මො පෙරේරා මහතාගේ සහ මහ කොමසාරිස් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ එම උත්සවය මහ ඉහළින් පවත්වන්නට නියමිත ව තිබිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික කලා හා අත්කම්, ශ්‍රී ලාංකික උරුමය සහ ඡායාරූපකරණය පිළිබඳ ප්‍රදර්ශන මාලාවක් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රදර්ශනයක් ද, ශ්‍රී ලාංකික වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනයක් ද, ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් නිරූපණයක් ද, ශ්‍රී ලාංකික ආහාර, තේ සහ සංචාරක කුටි කිහිපයක් ද ඇතුළත් විය. එක් දින වැඩසටහන උත්කර්ෂවත් ලෙස අවසන් කිරීම සඳහා, ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ලුවෙලින් ශාලාවේ (Llewellyn Hall) දී නර්තන හා ගීත ප්‍රසංගයක් පවත්වන්නට ද සූදානම් වෙමින් පැවතුණි. නර්තන වැඩසටහන කැන්බරා ශ්‍රී ලංකා නර්තන පාසල (Canberra School of Sri Lankan Dance) සහ එහි ප්‍රධානත්වය දැරූ නැසී ගිය විජිතා ලොකුසූරිය මහත්මිය විසින් සංවිධානය කරන ලදි. ගායනා වැඩසටහන ‘සංගීත් මංජරී’ පාසල (School of Eastern and Western Music of Canberra) සහ එහි ප්‍රධානත්වය දැරූ සංගීතා විශාරද රංජිත් මදුරප්පෙරුම විසින් සංවිධානය කරන ලදි.

මෙම නර්තන හා ගායනා වැඩසටහනේ අවසාන අංගය වශයෙන් යෝජනා කර තිබුනේ ලතා වල්පොල ගීත කෝකිලාව ගායනා කල, ජාතික අභිමානයෙන් පිරි, “පෙරදිග මුතු ඇටයයි මේ – ලෝකේ සිරි බර සිරි ලංකා” නමැති ගීතය සමූහ ගායනයක් ලෙස ඉදිරිපත් කිරීමට යි. අවසාන ගායනය සඳහා ‘සංගීත් මංජරී’ සංගීත පාසල හා සම්බන්ධ ලාංකික මෙන්ම ඉන්දියානු, පකිස්තානු, බංග්ලාදේශ, ෆීජී සහ ඔස්ට්‍රේලියානු සිසු සිසුවියන් සහභාගි කර ගැනීමට ද යෝජනා කර තිබිණි. මෙය දකුණු ආසියාතික සහ ඔස්ට්‍රේලියානු සංස්කෘතීන් ගේ සුසංයෝගයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ බහු වාර්ගික එකමුතුකම ඉස්මතු කළේය.

කෙසේ වෙතත් මෙම යෝජනා දෙකට ම එරෙහිව විවිධ ආකාරයේ ප්‍රබල ව්‍යාපාරයක් දියත් කර තිබුණි. එල්ල කරන ලද ප්‍රධාන ප්‍රචාරයක් වූයේ “පෙරදිග මුතු ඇටයයි මේ” නමැති ගීතය ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගීතයක් බවත්, එය ගායනා කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ය. අනෙක් ප්‍රචාරය වූයේ එම ගීතය ගායනා කළ යුත්තේ හුදෙක් සිංහල සිසු සිසුවියන් විසින් පමණක් ම බවත්, අන් ජාතිකයන්ට එය ගායනා කරන්නට ඉඩ නොදිය යුතු බවත් ය. එම ප්‍රචාර දෙකම අභූත කරුණු මත පදනම් වී තිබුනත් ඒවා ඔස්ට්‍රේලියාව පුරා සමාජගත කරන ලද්දේ ඇතැම් සිංහල ස්වෝත්තම වාදීන් විසින් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම අභූත චෝදනාවලට පාදක වන්නට ඇත්තේ එම ස්වෝත්තම වාදීන් තුළ පැවතුණු ක්‍රිස්තියානි විරෝධී හැඟීම් විය හැකි බවට උපකල්පනය කළ හැකිය. ලතා වල්පොල මහත්මිය උපත ලද්දේ රීටා ජෙනීවීව් ප්‍රනාන්දු ලෙසයි. ඇය හැදී වැඩුණේ කතෝලික පවුලක යි. අධ්‍යාපනය ලද්දේ කතෝලික කන්‍යාරාමයක යි. ඇගේ ගායන ජීවිතය ආරම්භ වූයේ පල්ලියේ ගායන කණ්ඩායම්වලිනු යි. ඇයගේ ආගමික විශ්වාසයන් සහ ඇය හැදී වැඩුණු පසුබිම ඇයගේ මුල් සංගීත මාවත කෙරෙහි බලපෑම් කරන්නට ද ඇත. කෙසේ වෙතත්, ඇයගේ ගායන හැකියාවන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම ගායිකාව ලෙස සැලකි ලතා මංගේෂ්කාර් ගේ ගායන හැකියාවන්ට බෙහෙවින් සමාන යැයි සලකනු ලැබිණ. ලතා මංගේෂ්කාර් ගේ ගායන ශෛලිය ඉන්දියානු පසුබිම් ගායනයේ මිණුම් ලකුණක් ලෙස සටහන් ව තිබුනද, ඇතමුන්ගේ ආගමික පක්ෂග්‍රාහිත්වය ලතා වල්පොල මහත්මියට බාධාවක් බවට පත් ව ඇති බවක් පෙනෙන්නට තිබිණි.

50 වන නිදහස් දින වැඩසටහන පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා සංවිධාන කමිටුව අවසාන වරට රැස් වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ගේ නිවාසයේ ය. කමිටුවේ සභාපතිවරයා ලෙස, විවාදයට ලක් වූ යෝජනා සහ ඒවාට එරෙහිව ප්‍රචාරය කෙරුණු චෝදනා එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළෙමි. කැන්බරා නුවර සිංහල සංස්කෘතික සංගමයේ නියෝජිතයෝ එම චෝදනාවලට සහාය දක්වමින් කතා කළහ. මහ කොමසාරිස්වරයා මගේ අදහස් විමසූ විට, මම ඒ චෝදනා දෙකම ප්‍රතික්ෂේප කරමින් ඒවා නිෂේධ කිරීම සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත් කළෙමි.

පළමුව “පෙරදිග මුතු ඇටයයි මේ” ගීතය ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගීයක් නොවන බව මම සනාථ කළෙමි. එම ගීතය ලාංකික අභිමානය හා ජාතික හැඟීම් ඉස්මතු කරන ඉතා ජනප්‍රිය ගීතයක් බව ද, එම ගීතයේ ගේය පද රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් විසින් බව ද, එම ගීතය ගායනා කරන ඇත්තේ 1956 දී පමණ, එනම්, ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමට බොහෝ කලකට ඉහත දී බව ද පැහැදිලි කළෙමි. ඒ අනුව එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද එකක් බව තහවුරු විය.

දෙවනුව, ජාතික අභිමානයෙන් පිරුණු එවැනි ගීතයක් ගායනා කිරීම සිංහලයන්ට පමණක් සීමා කරනවාට වඩා, දකුණු ආසියාවේ හෝ ඉන්දියානු උප මහද්වීපයේ හෝ ලෝකයේ අන් ඕනෑම රටක පුරවැසියන් එකට එකතු වී “පෙරදිග මුතු ඇටයයි මේ” යනුවෙන් ගායනා කිරීම ගැන අප ආඩම්බර විය යුතු බව අවධාරණය කළෙමි. මෙය ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික විවිධත්වය සහ ජාත්‍යන්තර මිත්‍රත්වය ප්‍රකාශ කරන අතිශය වැදගත් අවස්ථාවක් බව ද පැහැදිලි කළෙමි. ස්වෝත්තම වාදීන් නොවූ සියළු දෙනා මා ඉදිරිපත් කළ අදහස් එක හෙළා අනුමත කළහ. ස්වෝත්තම වාදීහු නිරුත්තරව සිටියහ. අවසානයේ ඒ සියලු කරුණු සැලකිල්ලට ගත් මහ කොමසාරිස්වරයා, යෝජනා කර තිබුණු අන්දමට එම වැඩසටහන සංවිධානය කල යුතු බවට එකඟ විය.

එම තීරණයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා දිනය, 50 වන නිදහස් සමරු දින වැඩසටහන ඔස්ට්‍රේලියානු අගනුවර ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරිය වූ කේට් කානෙල් ගේ ප්‍රධානත්වයෙන් 1998 පෙබරවාරි 4 වන දින ඉතා සාර්ථක ලෙස පවත්වා නිම කිරීමයි. “පෙරදිග මුතු ඇටයයි මේ – ලෝකේ සිරි බර සිරි ලංකා” ගීතය විවිධ ජාතීන්ට අයත් සිසු සිසුවියන් එක්ව ගායනා කිරීම එම උත්සවයේ විශේෂත්වයක් වූයේය. මෙය ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය ප්‍රකාශ කිරීමේ අපූරු අවස්ථාවක් ද වූයේය.

මෙම සිදුවීම් සාකච්ඡා කිරීමේ දී අපට මතයට නැඟෙන්නේ, ලතා වල්පොල මහත්මිය ශේෂ කර යන්නේ ලාංකේය සංස්කෘතික නිර්මාණශීලීත්වය නමැති විශ්වයේ පිරවිය නොහැකි රික්තයක් බව යි. රීටා ජෙනීවීව් ප්‍රනාන්දු ලෙස උපත ලද ඇය, පල්ලියේ ගායන කණ්ඩායම්වලින් ආරම්භ කළ සංගීත ගමන ලාංකීය සංගීත ඉතිහාසයේ අමරණීය පරිච්ඡේදයක් බවට පත් කළාය. ලාංකීය සංගීතයට ඇය ලබා දුන් දායකත්වය ජාතික සංහිඳියාව, සංස්කෘතික විවිධත්වය සහ මානව සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ද විය. ලාංකීය ගායන කලාවට ඇය කළ දායකත්වය අප්‍රමාණ වූ අතර, ඇගේ මධුර ස්වරය පරම්පරා ගණනාවක හදවත් තුල නොනැසී පවතිනවා ඇත. ඇගේ මධුර ස්වරය අපේ හදවත් තුල සදාකාලිකව දෝංකාර දෙනු ඇති අතර, ඇයගේ සංගීත උරුමය ලාංකීය සංස්කෘතියේ උච්ච ස්ථානයක් නියෝජනය කරනවා ඇත.

ශ්‍රී ලාංකේය ගායන කලාවට ඇයගේ අප්‍රමාණ දායකත්වය වෙනුවෙන් ලතා වල්පොල මහත්මියට අපි උපහාර දක්වන්නෙමු. ඇයගේ පවුලේ සැමට, මිතුරන්ට සහ අප්‍රමාණ අනුගාමිකයින්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.


ලයනල් බෝපගේ
| Lionel Bopage