Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Poems

තාප්ප ලවා කතාකරවීම තහනම්….


කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං
ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං
බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං
කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං

කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට් වගේ
ලොකු ලොකු ඒවා හරියට ‛ආටි’ වගේ
කැරකෙන්නේ හිසවට ගිනි බෝල වගේ
කතාකරන තාප්ප ‛මිග්’ රොකට් වගේ

ඒ නිසා තහනම්ය
කතාකරවන්ඩ මේ රාජ්ජේ තාප්ප.

පොළු ගසා තරුණ හිස්
නැඟුණු දකුණෙයි, උතුරෙයි
රැකගත්ත සුකොමල රාජ්ජේ
මැටිපිඩක් වගේමයි
තාම හරි තෙතයි – මෙලෙකයි
වාතයක, කැස්සක සැරට වුව
වැගිරිලා දියවෙලා යා හැකියි.

එහෙව් එකේ
කතාකරන්ඩ ගත්තාම තාප්පත්
ගිනිබෝල අකුරෙන්
දෙදරන්නෙ නැද්ද පාදමේ ඉඳන්?

ඒ නිසා මෙතුවක් පටන්
තාප්ප ලවා කතාකරවීම තහනම්…..

සනත් බාලසූරිය