ඕස්ට්‍රේලියාව විසින් ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වන සමාජ මාධ්‍ය තහනම මඟින්, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය මෙන්ම අපගේ අග්‍රාමාත්‍යවරිය ද මෙවැනිම නීතියක් ක්‍රියාත්මක කිරීමට තම උනන්දුව ප්‍රකාශ කිරීමට පෙර දැඩි ලෙස සලකා බැලිය යුතු සංඛ්‍යාලේඛනයක් ඉදරිපත් කර ඇත.
කෙසේ වෙතත් ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද, සමකාලීන සමාලෝචනයට ලක් වූ (peer-reviewed) BMJ අධ්‍යයනයක් මඟින්, මෙම නීතිය බලාත්මක වීමට පෙර සහ ඉන් මාස තුනකට පසු නව යොවුන් වියේ පසුවන්නන් 408 දෙනෙකු නිරීක්ෂණය කරන ලදී. එහිදී වයස අවුරුදු 16ට අඩු අයගෙන් 85%කට වඩා වැඩි පිරිසක් තවමත් මෙම තහනමට යටත් සමාජ මාධ්‍ය වේදිකාවන් පරිහරණය කරන බවත්, ඉන් බහුතරයක් ඔවුන්ගේම ගිණුම් හරහා එසේ කරන බවත් හෙළි විය. එමෙන්ම ඔවුන්ගෙන් තුනෙන් දෙකක්ම සමාජ මාධ්‍ය වේදිකාවන්හි වයස තහවුරු කිරීමේ ක්‍රියාවලිය සපුරා තිබුණේ උපන්දිනය ප්‍රකාශ කිරීම තරම් සරල ක්‍රමවේදයකිනි. අපට වඩා බෙහෙවින් වැඩි සම්පත් ඇති රාජ්‍යයකට පවා මෙවැනි නීතියක් බලාත්මක කිරීමට නොහැකි නම්, ශ්‍රී ලංකාව එය බලාත්මක කරනු ඇතැයි කියන ඕනෑම ප්‍රකාශයක් බැරෑරුම් එකක් නොවේ.
මෙම අධ්‍යයනය සතුව තිබුණේ සීමිත සාම්පලයක් වන අතර එයින් ග්‍රහණය කරගත්තේ මුල්කාලීන බලපෑම් පමණි. මේ පිළිබඳව අදහස් දක්වන්නන් පවසන්නේ මෙම නීතිය මඟින් පරම්පරාවක සම්මතයන් වෙනස් කරන්නේද යන්න දැන ගැනීමට ඕස්ට්‍රේලියානු රජය ඇතුළු රජයන්ට දශකයක් හෝ ඊට වැඩි කාලයක් ගතවිය හැකි බවයි. මෙය එසේ විය හැකි වුවද, පරම්පරාගත උපකල්පනයක් මඟින් අද දවසේ පනවා ඇති සීමා කිරීම් සාර්ථක දැයි පෙන්විය නොහැකි අතර, එමඟින් දරුවන්ට අහිමි වන්නේ කුමක්ද, ඔවුන් වෙනත් කුමන අවකාශයන් වෙත සංක්‍රමණය වන්නේද, නැතහොත් රජය බලා සිටින අතරතුර කුමන ආකාරයේ නිරීක්ෂණ යටිතල පහසුකම් (surveillance infrastructure) ගොඩනඟන්නේද යන්නට පිළිතුරු දිය නොහැක.
මේ සඳහා ගත හැකි වටිනා ආදර්ශයක් යුරෝපා සංගමයෙන් (EU) අපට සොයා ගත හැකිය. තමන් විසින් පත් කරන ලද වෛද්‍යවරුන්, විද්වතුන්, තරුණ නියෝජිතයන් සහ දෙමාපියන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක වාර්තාවක් පිළිගනිමින්, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් (Ursula von der Leyen) සමාජ මාධ්‍ය සඳහා “අදියර සහ ක්‍රමානුකූල ප්‍රවේශයක්” ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. එනම් වයස අවුරුදු 3 සිට 12 දක්වා දරුවන් සඳහා අධීක්ෂණය කරන ලද භාවිතයක් සහ වයස අවුරුදු 18 දක්වා වන නව යොවුන් දරුවන් සඳහා අර්ථවත් ආරක්ෂක අංගයන් සහිත වේදිකාවල “වර්ධනය වන ස්වාධීන භාවිතයක්” ලබා දීමයි. මෙම විශේෂඥ මණ්ඩලය සෘජුවම blanket ban නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රංශයෙන් සහ ග්‍රීසියෙන් සමස්ත කලාපය පුරාම ඕස්ට්‍රේලියානු මාදිලියේ තහනමක් පැනවීමට බලපෑම් එල්ල වුවද, වොන් ඩර් ලේයන් එවැනි තහනමකට සහය දීම ප්‍රතික්ෂේප කළාය. අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම අනුපිළිවෙල අධ්‍යයනය කළ යුතුය. පළමුව සාක්ෂි, තහනම් කිරීමට වඩා වේදිකාවන් මත වගකීම් පැවරීම, සහ මෙම වසරේ ගිම්හානයෙන් පසු නීති සම්පාදනය කිරීම, ඕස්ට්‍රේලියාව දැනටමත් නීති සම්පාදනය කර ඇති අතර ප්‍රංශය සහ ඩෙන්මාර්කය ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටී, සහ යුරෝපා සංගමය කෙටුම්පත් කරමින් සිටී. ශ්‍රී ලංකාව ආනයනය කිරීමට උනන්දු වන බව පෙනෙන්නේ වෙනත් සෑම රටකම ඊට පෙර සිදු වූ විශේෂඥ මණ්ඩල, සාක්ෂි සමාලෝචන සහ පොදු මහජන සාකච්ඡාවලින් තොර වූ තහනම පමණකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙරට වයස අවුරුදු 16න් පහළ අය සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමේදී මම බීබීසී සිංහල සේවයට සරල ප්‍රශ්නයක් යොමු කළෙමි. එනම්, මෙය හරියටම ක්‍රියාත්මක වන්නේ කෙසේද? බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කතාබහ තුළින් මෙම කොටස මඟ හැරී ඇත. මෙයට ඇති අපහසු පිළිතුර නම් පවතින්නේ එකම එක යාන්ත්‍රණයක් පමණක් බවයි.
වයස අවුරුදු 16න් පහළ අය වේදිකාවකින් බැහැර කර තැබීමට නම්, ඔබ එහි සිටින සෑම පුද්ගලයෙකුගේම වයස දැනගත යුතුය – දරුවන්ගේ පමණක් නොව, අප සැමගේම වයස දැනගත යුතුය. ඒ සඳහා මුළු පරිශීලක පදනමටම තමන් කවුදැයි ඔප්පු කිරීමට බල කරන “වයස් ද්වාර” (age-gating) ක්‍රමවේදයක් අවශ්‍ය වන අතර, සාමාන්‍යයෙන් ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් අදාළ වේදිකාවට හෝ යම් අතරමැදියෙකුට ලබා දීමට සිදු වේ. තරුණයින් පමණක් පරීක්ෂා කරන මෙහි වෙනත් කිසිදු ක්‍රමවේදයක් නොමැත. සුළු පිරිසක් බැහැර කිරීමේ මිල වන්නේ බහුතරයකගේ අනන්‍යතාවය තහවුරු කිරීමයි.
ප්‍රධානතම ගැටලුව පැනනඟින්නේ එතැනිනි.
හදිසි බලතල, නිරීක්ෂණ (surveillance) සහ වරණාත්මක බලපෑම් කිරීම් මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කර ඇති රටක, නීත්‍යානුකූල අනන්‍යතාවය අන්තර්ජාලයෙහි පෙනී සිටීම සමඟ බැඳ තබන යාන්ත්‍රණයක් යනු උදාසීන තාක්ෂණික විසඳුමක් නොව, බලගතු මෙවලමකි. රජයට ගිණුමකට සැබෑ නමක් සම්බන්ධ කිරීමට හැකි වූ පසු, රජයට අවශ්‍ය නම්, තමන්ට නිශ්ශබ්ද කිරීමට අවශ්‍ය පුද්ගලයින්ව ඉතා පහසුවෙන් සීමා කළ හැකිය. පශ්චාත් යුද සමයෙන් පසුත් පවතින මිලිටරීකරණය සහ දශක ගණනාවක් තිස්සේ පවතින දැඩි නිරීක්ෂණ සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකාව තුළ මෙවැනි වයස් තහවුරු කිරීමේ පද්ධතියක්, අදහස් ප්‍රකාශ කිරීම පාලනය කිරීමට, විරුද්ධ මතධාරීන් ලේඛනගත කිරීමට හෝ ඇතැම් ප්‍රජාවන් සීමා කිරීමට යොදාගන්නා අනන්‍යතා ස්ථරයක් බවට පත්වීම වැළැක්විය හැක්කේ කුමකටද? වෙනත් රටවල රජයන් ද මෙම චෝදනාවට සහ අභියෝගයට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ නැත. අතිශය මර්දනකාරී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) සහ එය කඩිනමින් සම්මත කරගත් ආකාරය මෙන්ම, “දරුවන්ගේ ආරක්ෂාව” යන්න ද ඕවෙලියානු පාලන (Orwellian control) ව්‍යුහයක් සඳහා දේශපාලනික වශයෙන් ආකර්ශනීය ලේබලයක් විය හැකිය.
මෙම තහනම සාධාරණීකරණය කිරීම සඳහා බොහෝ ප්‍රකාශකයින් දුම්වැටි උදාහරණයට ගත්තද, එම උපමාව මඟින් කරුණු පැහැදිලි කිරීමට වඩා සිදුවන්නේ කරුණු වසන් වීමකි. දුම්වැටි මඟින් ග්‍රාමීය නව යොවුන් දරුවෙකුට ඉගෙනුම් ප්‍රජාවක් ලබා දෙන්නේ නැත, ලිංගික සුළුතර (queer) දරුවෙකු නිවසේදී නොලැබෙන සහයෝගයක් වෙත සම්බන්ධ කරන්නේ නැත, ආබාධිත තරුණයෙකුට තම ශාරීරික හුදෙකලාව ජය ගැනීමට උපකාර කරන්නේ නැත, නැතහොත් ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසට එළඹෙන සහ දැනටමත් දේශපාලනිකව හඬක් නඟන හෝ ක්‍රියාකාරී වන අයෙකු වෙත දේශපාලන තොරතුරු රැගෙන යන්නේ නැත. සමාජ මාධ්‍ය මඟින් හානියක් සිදු වන මුත්, එය තරුණ පරපුර ජීවත් වන සහ අද වන විට 16 හැවිරිදි තරුණයින් හැදී වැඩුණු සමාජීය හා සිවිල් යටිතල පහසුකම්වල කොටසක් ද වේ. එය එකම එක් විෂ ද්‍රව්‍යයක් ලෙස සැලකීමෙන් බිහිවන්නේ ඊට අනුරූප අසම්පූර්ණ ප්‍රතිපත්තියකි.
මෙහි ඇති හානිය සැබෑ එකක් වන අතර, එය 2012 වසරේ සිට මා සමාජ මාධ්‍ය පිළිබඳව කළ අධ්‍යයනයන්ට සම්බන්ධ වී සිටිමි. කෘත්‍රිම බුද්ධිය (AI) සමඟින් එය ක්‍රමයෙන් වඩාත් නරක අතට හැරී ඇත. ශාස්ත්‍රීය පර්යේෂණ මඟින් වෙනත් අහිතකර බලපෑම් අතර, ස්වයං-හානි කරගැනීමේ අන්තර්ගතයන්ට නිරාවරණය වීම, පැහැදිලි ලිංගික අන්තර්ගතයන්, ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම්, නින්දට බාධා වීම, දැඩි ලෙස ඇබ්බැහි වීම (compulsive use) සහ හැසිරීම් රටා ලේඛනගත කිරීම විස්තර කෙරේ. තවත් පර්යේෂණ මඟින් හානිකර නිරාවරණයන් පුද්ගලීකරණය කළ පෝෂක (personalised feeds), ස්වයංක්‍රීය ධාවනය (autoplay), අපරිමිත අනුචලනය (infinite scroll) සහ නිර්දේශ පද්ධති (recommender systems) වෙත සම්බන්ධ කරයි. යුරෝපා සංගමය පියවර ගෙන ඇත්තේ දරුවන්ට එරෙහිව නොව, මෙම සැලසුම්කරණයන්ට (design) එරෙහිවය. එහි විශේෂඥ මණ්ඩලයේ වාර්තාව ලැබීමට දින කිහිපයකට පෙර, යුරෝපීය කොමිසම මෙටා (Meta) සමාගමට අනතුරු ඇඟවූයේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ඇති “ඇබ්බැහි කරවනසුලු” ව්‍යුහය, එනම් අපරිමිත අනුචලනය, ස්වයංක්‍රීයව ධාවනය වන වීඩියෝ සහ මොළය “ස්වයංක්‍රීය ධාවන මාදිලියකට” පත් කරන නිර්දේශයන්, බාල වයස්කාර පරිශීලකයින් අතර දැඩි භාවිතය දිරිමත් කරන බැවින්, ඒවා වෙනස් කළ යුතු බව හෝ ගෝලීය වාර්ෂික පිරිවැටුමෙන් 6%ක් දක්වා දඩ මුදලකට යටත් විය යුතු බවයි. අපේක්ෂා කළ පරිදිම, මෙටා සමාගම මෙයට එකඟ නොවේ.
මානසික සෞඛ්‍ය අධ්‍යයන මඟින් අධික භාවිතය සහ කාංසාව හෝ විශාදය අතර සහසම්බන්ධතා වාර්තා කර ඇති නමුත්, ඒ සඳහා බලපාන තනි හේතුවක් නිශ්චිතව දක්වා නොමැත. “සමාජ මාධ්‍ය” යන්න ඇල්ගොරිතම පෝෂක, පුද්ගලික පණිවිඩ හුවමාරුව, සජීවී විකාශනය සහ මානසික සෞඛ්‍ය සහය දක්වා විහිදේ. එහි හානි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරයි. මේ සියල්ල එකම ගැටලුවකට ගොනු කර, එකම වයස් සීමාවක් ඊට පිළියම ලෙස යෝජනා කරන නීතියකට එහි අත්‍යවශ්‍යතාවය හෝ සමානුපාතිකභාවය (proportionality) පෙන්විය නොහැක.
සමාජ මාධ්‍ය පාලනය කිරීමට උනන්දු වන කිසිදු ප්‍රතිපත්ති සම්පාදකයෙකු කතා නොකරන “ළමා අයිතිවාසිකම්” නමින් හැඳින්වෙන දෙයක් ද මෙහි ඇත. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 12 වැනි වගන්තිය ප්‍රකාරව තමන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් දරුවන්ට සවන් දීමට රාජ්‍යයන් බැඳී සිටින අතර, 25 වැනි පොදු අදහස් දැක්වීම (General Comment No. 25) මඟින් එම බැඳීම ඩිජිටල් පරිසරය දක්වා ද දීර්ඝ කරයි. වැඩිහිටියන් සහ ළමයින් බොහෝ විට අවදානම්, ප්‍රතිලාභ සහ පිළියම් වටහා ගන්නේ එකිනෙකට වෙනස් ආකාරයටය. තරුණ පිරිස් ආරක්ෂාවට සහය දක්වන නමුත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම අන්තර්ජාල ජීවිතය රජය විසින් පාලනය කිරීමට වඩා ඇල්ගොරිතම මත පාලනයක් තිබීමට, වඩා හොඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයන්ට සහ පාසල් සහයෝගයට මනාපය දක්වති. තරුණ පරපුර සමඟ සාකච්ඡා කිරීම නීති සම්පාදනය හැඩගැස්වීමට හේතු විය යුතු අතර, එය අදූරදර්ශී නීතියක් කඩිනමින් සම්මත කිරීමෙන් පසු සිදු කරන හුදු රංගනයක් පමණක් නොවිය යුතුය.
ශ්‍රී ලංකාවට මීට වඩා හොඳ විකල්ප තිබේ, එහිදී යුරෝපා සංගමය විසින් “තම සේවාවන් මඟින් කිසිදු හානියක් සිදු නොවන බව වේදිකාවන් විසින් ඔප්පු කළ යුතුය” යන මූලධර්මය අවධාරණය කරයි. පාර්ලිමේන්තුවට හෝ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයකට, ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතනවලට සහ ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ පර්යේෂකයන්ට එක්ව කටයුතු කරමින්, දරුවන්ට ගැළපෙන පෙරනිමි සැකසුම් (child-appropriate defaults), පුද්ගලික ගිණුම්, නොදන්නා වැඩිහිටියන්ගෙන් පැමිණෙන සම්බන්ධතා සීමා කිරීම්, කඩිනම් පැමිණිලි සහ පිළියම් සැපයීම්, හැසිරීම් රටා මත පදනම් වූ වෙළඳ දැන්වීම් සීමා කිරීම් සහ නිර්දේශ පද්ධතිවල ස්වාධීන විගණනයන් අවශ්‍ය බවට නියම කළ හැකිය. අනෙකුත් බොහෝ ස්වාධීන නියාමකයින් හා එක්වෙමින්, ස්වයංක්‍රීය ධාවනය, අපරිමිත අනුචලනය සහ ස්වයං-හානි හෝ ලිංගික ද්‍රව්‍ය නැවත නැවත නිර්දේශ කිරීම සීමා කරන ලෙස ශ්‍රී ලංකාවට ද වේදිකාවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. මෙම පියවරයන් හානිය සිදු වන යාන්ත්‍රණය ඉලක්ක කරයි. යම් නිශ්චිත අවදානමක් හේතුවෙන් වයස තහවුරු කිරීම සාධාරණීකරණය කරන්නේ නම්, එහිදී අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම පැවරීම වෙනුවට පුද්ගලිකත්වය සුරකින වයස් සීමාවක සාක්ෂි (privacy-preserving proof of an age range) අපට ඉල්ලා සිටිය හැක. එනම් දත්ත අවම කිරීම, නැවත භාවිතය තහනම් කිරීම, දත්ත මකා දැමීම අනිවාර්ය කිරීම සහ සබැඳි ගිණුම් රාජ්‍ය අනන්‍යතාවයට සම්බන්ධ කරන කිසිදු මධ්‍යම දත්ත ගබඩාවක් පැවතීම තහනම් කිරීමයි.
ඩිජිටල් හෝ සබැඳි හානි පිළිබඳව පමණක් සරල ලෙස අවධානය යොමු කිරීමේදී, පාසල්, පවුල් සහ පොදු සේවාවන් විසින් පැහැර හරිනු ලබන අවශ්‍යතාවයන් නියාමනයෙන් පමණක් සපුරාලිය නොහැකි බව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් කිසිසේත් වටහා ගන්නා බවක් පෙනෙන්නට නැත. එනම් පුද්ගලිකත්වය, ඇල්ගොරිතම, කෘත්‍රිම අන්තර්ගතයන් (synthetic media), කැමැත්ත (consent) සහ හිරිහැර කිරීම් පිළිබඳ අධ්‍යාපනය – දෙමාපියන්, ගුරුවරුන් සහ උපදේශකයන් සඳහා සහයෝගය- මානසික සෞඛ්‍ය සේවා, හොඳ පොදු පුස්තකාල, ක්‍රීඩා සහ ආරක්ෂිත පොදු අවකාශයන් සඳහා ආයෝජනය කිරීමයි. පොදුවේ ගත් කල, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16න් පහළ සහ තරුණ පරපුර මුහුණ දෙමින් සිටින්නේ පෙර පරම්පරාවන් මුහුණ නොදුන් ගැටලුවලටය. එනම් 2022 ආර්ථික බිඳවැටීමේ පසු කම්පනයන්, කෘත්‍රිම බුද්ධියේ සීඝ්‍ර වර්ධනය, දේශගුණික විපර්යාස මෙන්ම කිසිදු ඇප් (app) එකකට පමණක් සම්පූර්ණයෙන් දොස් පැවරිය නොහැකිය. මානසික සෞඛ්‍ය ගැටලු සහ ආතතියක් ලෙස බාහිරට පෙනෙන සමාජ-ආර්ථික, දේශපාලන සහ පැවැත්ම පිළිබඳ බහුවිධ අර්බුදයන් ය. අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම මඟින් හුදෙකලාව, විශ්වාසදායක විකල්ප නොමැතිකම හෝ වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද තත්ත්වයන්ට එරෙහිව පරම්පරාවක ස්වයං-ප්‍රතිකාර (self-medicating) කරගැනීමක් පෙන්නුම් කරනවා විය හැකිය. සමාජ මාධ්‍ය තහනමක් මඟින් කරන්නේ එහි මූලික හේතු සහ බලපාන සාධක එලෙසම තිබියදී, රෝග ලක්ෂණය වෙනත් තැනකට ගෙන යාම පමණි.
මෙම අරමුණ උදෙසා, ප්‍රතිපත්ති සම්පාදනය මෙහෙයවිය යුත්තේ පදනම් සහගත සාක්ෂි (grounded evidence) මත බව මම බීබීසී සිංහල සේවයට අවධාරණය කළෙමි. නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් පැහැදිලි හිස්තැනක් පවතී. මා දන්නා තරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුස්තාෆා මහතා හෝ අග්‍රාමාත්‍යවරිය විසින් මෙවැනි තහනමකින් ඔවුන් පවසන ගැටලුව විසඳෙන බව තහවුරු කෙරෙන කිසිදු දේශීය සාක්ෂි පදනමක් ඉදිරිපත් කර නොමැත. බාලවයස්කාරයන් මෙම වේදිකාවලින් ඉවත් කිරීමෙන් ඔවුන්ට සිදුවන හානිය වළක්වා ගත හැකි බවට කිසිදු ස්ථිර එකඟතාවක් නොමැත. මෙම විවාදය තවමත් පවතින අතර, බුද්ධිමත් මිනිසුන් ඒ පිළිබඳව එකඟ නොවෙති. මෙවැනි නීතියකින් ඉල්ලා සිටින දේ කිරීමට මෙම වේදිකාවන් සතුව පවා විශ්වාසදායක ක්‍රමවේදයක් නොමැත. නීති සම්පාදනය කළ රටවල් එසේ කළේ විධිමත් අධ්‍යයනයකින් පසුවය. ශ්‍රී ලංකාව එවැනි කිසිවක් සිදු කර නොමැත. පර්යේෂණ මඟින් ගැටලුව පවතින්නේ සිතන ආකාරයටම දැයි තහවුරු කිරීමට පෙර, පෞද්ගලික විශ්වාසයන් මත පදනම්ව නීති සම්පාදනය කිරීම යනු අනුපිළිවෙල සම්පූර්ණයෙන්ම පිටුපසට හැරවීමකි. ගැටලුවේ නියම ස්වභාවය හඳුනා ගැනීමට මුලින්ම අධ්‍යයනය කරන්න. ඉන්පසුව, අවශ්‍ය නම් පමණක් නීති සම්පාදනය කරන්න.
රජයට තවමත් පොදු තහනමක් අවශ්‍ය නම්, එම නීතිය සපුරාලිය යුතු සාක්ෂි සීමාවන් ප්‍රකාශයට පත් කළ යුතුය. ළමා අයිතිවාසිකම් සහ දත්ත ආරක්ෂණ බලපෑම් ඇගයීම් (impact assessments) සිදු කළ යුතුය. අවසාන වීමේ වගන්තියක් (sunset clause) සහිත විනිවිද පෙනෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතුය. එසේම කොළඹින් ඔබ්බට ගොස් පළාත්, භාෂා, ආදායම් සහ පවුල් පසුබිම් ආවරණය වන පරිදි ජාතික මට්ටමේ අධ්‍යයනයකට ප්‍රතිපාදන සැපයිය යුතුය.
ව්‍යවස්ථාදායකයන්ට මෙය කළ නොහැකි නම්, ඔවුන් සතුව ළමා ආරක්ෂණ රාමුවක් නොමැති නම්, ඔවුන් සතුව ඇත්තේ තහනමක්, මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි දේ පාලනය කිරීම සඳහා වන අනන්‍යතා පද්ධතියක් සහ සාක්ෂි රහිතව දේශපාලන බලය විශ්වාස කරන ලෙස කෙරෙන සුපුරුදු ආරාධනාවකි. මෙය ආරක්ෂාව නාමයෙන් කරන කූට උපක්‍රමයකි, ප්‍රසංගයක් බඳු වූ තහනමකි. එසේම නිර්මාණය වෙමින් පවතින සර්ව-නිරීක්ෂණාගාරයකි (panopticon).
*මෙම ලිපිය ආචාර්ය සංජන හත්තොටුව මහතා විසින් රචිත ‘Social media bans: Protecting children or building a panopticon‘ නමැති ලිපියේ සිංහල අනුවර්තනයකි. අනුවර්තනයේ කිසියම් අපැහැදිලි තාවයක් හෝ දෝෂයක් ඇත්නම්, වඩාත් නිවැරදි අවබෝධය සඳහා කරුණාවෙන් මුල් ඉංග්‍රීසි ලිපිය පරිශීලනය කරන්න.”