සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජාතික රූපවාහිනියේ අශිෂ්ඨ මාධ්‍ය භාවිතය සහ සංස්කෘතික ඇමතිනියගේ (අ)සංස්කෘතිය…

2010 ඔක්තෝම්බර් 17 වැනි දින ජාතික රූපවාහිනිය විසින් රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් මෙරට ජනයාගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සන්සිදුවීම උදෙසා එක්තරා ප්‍රවෘත්තියක් මහත් උජාරුවෙන් විකාශය කරන ලදී. එම ප්‍රවෘත්තිය දැක්වෙන වීඩියෝ පිටපතක් අපි මුලින්ම මෙසේ උපුටා දක්වමු. ……..
[youtube]http://www.youtube.com/watch?v=3iaTy74qKrs[/youtube]

මෙරට පරමාධිපත්‍ය හිමි ජනතාවට අයත් රජයේ ප්‍රභලතම මාධ්‍ය ආයතනය වන ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරන ලද මෙම පුවත පුරවැසියන් වන අපට ප්‍රයෝජනවත් වන්නේ කුමන අයුරින්ද? යන්න අප රජයේ මාධ්‍ය ආයතනයෙන් පෙරලා ප්‍රශ්න කළ යුතු වන්නෙමු. මෙය වැදගත් තොරතුරක්ද? ජීවන වියදමින්, උද්ධමනයෙන් හා වෙනත් ප්‍රශ්නයන්ගෙන් මිරිකෙන ජනතාවගේ ගැටළු නිරාකරණය කළ හැකි යමක් අන්තර්ගත වූ ප්‍රවෘත්යක්ද? එසේත් නැතිනම් මෙය පුරවැසි ඔලුගෙඩි පෝෂණය කළ හැකි බුද්ධිමය ප්‍රවෘත්තියක්ද? පාසල් සිසු සිසුවියන්ගේ සාමාන්‍ය දැනීම වර්ධනයට අවැසි වූවක්ද? නැත. කොහෙත්ම නැත. ප්‍රවෘත්තියක අන්තර්ගත විය යුතු කිසිදු ගුනාංගයක් මෙහි අඩංගු නැත.

සැබවින්ම ජාතික රූපවාහිනිය තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මගින් විකාශය කළ මෙය ප්‍රවෘත්තියක් නොවන බව මාගේ හැඟීමයි. මෙය මඩ ගැසීමකි. කේලමකි. කල දුටු කළ වල ඉහා ගැනීමකි. අශික්කිත මාධ්‍ය භාවිතයකි. ජඩ මාධ්‍ය භාවිතයකි. 15 වන සුමති සම්මාන රාත්‍රිය පිළිබඳ තොරතුරු දැක බලාගනිමින් සිටි ප්‍රේක්‍ෂකයාට කරන ලද බලවත් අසාධාරණයකි. මෙවැනි මඩ ගැසීම් සමාජගත කිරීම තුළින් ජාතික රූපවාහිනිය බලාපොරොත්තු වූයේ කුමක්ද? දේශපාලන වාසියක් ලබා ගැනීමද? නැතහෝත් දොස්තර ජයලත් ජයවර්ධන මහතා ඇමති පවිත්‍රාගේ හිරි ඔතප් බිඳීමට ප්‍රසිද්ධියේ උත්සහ කළ බව පෙන්වාදීමද? නැතිනම් ඇමති පවිත්‍රා රජයේ ඇමති මණ්ඩලයේ සිටින පවිත්‍ර කාන්තාවක් බව ඔප්පු කිරීමද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කාන්තාවන් ප්‍රසිද්ධියේ ඉඹින්නට යන වනචරයෙකු බවට හංවඩු ගැසීමටද?

ජාතික මාධ්‍ය ආයතනයක මාධ්‍ය භූමිකාව මෙය ද? මෙවර සුමති සම්මාන උළෙලෙන් සම්මාන පිට සම්මාන දිනා ගත් බව සන්නිවේදනය කරමින් සිටින අතරතුර මෙවැනි කිසිදු වැදගම්මකට නැති මඩ ගැසීමක් වාර්තා කිරීම තුළින් ඒ ලබාගන්නා ලද සම්මානයන්ටද නින්දාවක් සිදු නොවන්නේද? යන්න පිළිබඳව මෙය ප්‍රවෘතියක් ලෙස නිර්දේශ කළ අය නැවත සිතා බැලිය යුතුය. හොඳම රූපවාහිනී ළමා වැඩසටහන, හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන, හොඳම ප්‍රවෘත්ති නිවේදක ප්‍රථම ස්ථානය වැනි සම්මාන දිනා ගනිමින් මෙවර ජාතික රූපවාහිනිය කළ දස්කම් විස්කම්වලට අමතරව මෙවැනි මඩ සමාජගත කිරීම හරහා ලබාගන්නා ප්‍රවීනතාවය තුළින් ලබන වසරේ හොඳම මඩ සන්නිවේදනයට හිමි සුමති සම්මානයද ලබාගැනිමට ද ඉඩ කඩ ඇති බව පෙනේ.

රුපියල් දහස් ගනන් වියදම් කර රූපවාහිනියක් මිලදීගෙන, මාසිකව සිය ගනනක් විදුලි බිල ගෙවාගෙන, පැය ගනන් කාලය නාස්ති කර අප රූපවාහිනිය නරඹන්නේ සහ ප්‍රවෘත්තිවලට සවන් දෙන්නේ මෙවැනි කේළාම් ඇසීමට නොවේ. අප දන්නා පරිදි ජනමාධ්‍ය විසින් ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. නිරවද්‍ය වාර්තාකරණය, ගවේෂණාත්මක වාර්තාකරණය, මාධ්‍යවේදින්ගේ සමාජ වගකීම්සහගතභාවය, කරුණු දැන ගැනීමේ පොදුජන අයිතිය ආරක්‍ෂා කිරීම හා පොදුජන සුභසිද්ධිය යනාදිය එයින් සමහරකි. ජාතික රූපවාහිනිය පක්‍ෂග්‍රාහි තොරතුරු වාර්තාකරමින් මේ සිදු කරන්නේ බලවත් අසාධාරණයකි. විපක්‍ෂයේ දේශපාලඥයින්ට මඩ ගැසීම සඳහා පමණක් රජයේ මාධ්‍ය ඍජුවම යොදා ගැනීමෙන් විපක්‍ෂයට සිදුවන්නේ මහත් අගතියකි. විපක්‍ෂයේ යහපත් ක්‍රියාවක් හෝ රජයේ කිසිදු අඩුපාඩුවක් මෙම ජාතික ආයතනය මගින් පෙන්වා නොදේ. අප පත්කර ගත් රජයේ අඩුපාඩු දැනගැනීමට අපට අයිතියක් තිබේ. එය හිතා මතා බැහැර හරිමින් රූපවාහිනිය මේ සිදු කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමක් නම් එය ඔවුන්වම මුලාකර ගැනීමකි. ජාතික රූපවාහිනියේ මේ වැඩපිළිවල ජනතාව දනී. මෙම මඩ නිසා ජාතික රූපවාහිනීය පරාජය විය. උදාහරණයක් මාගේ නිවසින්ම සැපයිය හැකිය. ආණ්ඩුවාදී මාගේ දෙමාපියන් විසින් මෙම ‛මඩ’ ප්‍රවෘත්තිය විකාශය කිරීම නිසා දොස්තර ජයලත් ජයවර්ධන මහතාට සිදුවන අපහසුතාවය පිළිබඳව දුක්වූවා පමණක් නොව ඇමති පවිත්‍රාගේ මෝඩ තකතීරු ක්‍රියාකලාපය හා ජාතික රූපවාහිනියට මෙය පුවතක් විම පිළිබඳවත් දෙස් දෙවුල් තබන ලදී.

ඉදිරිපත් කර ඇති වීඩියෝ පටයේ සඳහන් වන පරිදි සුමති සම්මාන උළෙලේදී කාගේත් හාස්‍යයට ලක් වූ කරුණක් ලෙස මෙය හඳුන්වා දෙයි. ජයලත් ජයවර්ධන මහතාට වේදිකාව අමතක වී ඇබැද්ධියක් සිදු වීමට ගිය බවත් එයින් ආරාධිත අමුත්තන් අපහසුතාවට පත් වූ බවත් මෙම ‛මඩෙන්’ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී. මෙය ජයවර්ධන මහතා වේදිකාවට පැමිණෙමින් හෘදයාංගවම ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ව ආචාර සමාචාර විදික්‍රමයකින් වැළඳ ගැනීමට උත්සහා කිරීමක් බව පක්‍ෂ විපක්‍ෂ කණ්නාඩි ඉවතලා බැලිය හැකි ඔනෑම පුද්ගලයෙකුට මෙම වීඩියෝ පටය පිරීක්සීමෙදී පෙනී යයි. ආචාර මහාචාර්ය පදවි දැරූවෙකුට හෝ වෙනයම් සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ මේ ආකාරයෙන් වැළඳගෙන ආචාර කිරීමට මෙරටේ ඉඩක් නැද්ද? ආරේ ගති නෑරේ යනුවෙන් පැමිණ සිටි බොහෝ දෙනා ජාතික රූපවාහිනියට ප්‍රකාශ කර සිටි බව ද මෙම ‛මඩෙන්’ අවධාරණය කර සිටින ලදී. මෙවැනි ආචාර ක්‍රමයන් සාමාන්‍ය ජනයා වන අප නම් හොඳාකාරවම දනී. නමුත් ඇමති පවිත්‍රා නම් මෙවැනි ආචාර ක්‍රමයක්වත් නොදන්නා කාන්තාවක් බව මේ සිදුවීමෙන් ප්‍රත්‍යකෂ විය. නමුත් මෙසේ වැළඳ ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ තම ඇමති මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකු හෝ පැමිණියේ නම් මෙම පවිත්‍ර කාන්තාව ජයවර්ධන මහතාට කළ ප්‍රතික්‍ෂේප කිරීමම සිදු කරන්නේද?….යන්න පිළිබඳව අපි සංස්කෘතික ඇමතිවරියගෙන් විමසා සිටින්නෙමු. ආරේ ගති ප්‍රදර්ශනය කළෝ කවුරුන්ද යන්න අවබෝධ කර ගැනිමට අපිට නම් අපහසු කරුණක් නොවන්නෙමු.

මෙම සිද්ධිය පදනම් කරගෙන මා ඉල්ලා සිටින්නේ මෙපමණය…..

මෙවැනි අශිලාචාර යුගයකට අපේ රට රැගෙන නොයා යුතුය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සුමති සම්මාන උළෙලෙට සහභාගී වූ කලාකාමී සංවේදී උගත් බුද්ධිමත් කළාකරුවන් සේම දේශපාලඤ්ඥයින් ද ප්‍රකාශයක් කළ යුතුය.

‛විශ්ව’