Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ, වඩා පෝෂණීය සමගි සන්ධාන ක්‍රියාවලියක් සඳහා..

අපනයනය, සංචාරක ව්‍යාපාරය, ස්වයංපෝෂිතත්වය සහ පශ්චාත් යුද යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි යොමු වුණු රාජ්‍ය මූල්‍ය වැඩ සටහන් පදනම් කර ගත් දීප්තිමත් දකුණු ආසියානු ආර්ථිකයක් කරා ගමන් කිරීමට යුද්ධය නැතිකම අපට අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සහ ආර්ථික සම්පත් ද ඒවා සමඟ එකට ඈඳුණු එහි මූලෝපායාත්මක භූගෝලීය පිහිටීම ද මීට මඟ පාදයි. කෙසේ වුව ද, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් එක් කොටසකට පමණක් තනිව මෙය මුදුන් පමුණුවා ගත නොහැකි ය. ශ්‍රී ලංකාවේ සැබෑ විභවය මතු කර ගැනීමට නම් ප්‍රජාවන් අතර සහයෝගිතාව සහ සම්බන්ධීකරණය ඇති විය යුතු ය. මේ නිසා, ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ශ්‍රී ලාංකිකයන්ට බෙදා හදා ගත හැකි වාතාවරණයක් ඇති කිරීම උදෙසා අප වැඩ කටයුතුවල යෙදී සිටින විට මහජනයාගේ දේශපාලනික සහ සාමාජීය දුක් ගැනවිලි කෙරෙහි සංවේදී වීම අත්‍යවශ්‍ය ය.

මේ දැන් අප අපගෙන් ම අසා ගත යුතු සැබෑ ප්‍රශ්නය නම්, මාතෘ භූමිය තුළ සිටින සියලු ප්‍රජාවන් ඇතුළු කර ගත හැකි, ඔවුන්ට සමානාත්මතාවෙන් සහ ගෞරවයෙන් යුතුව සලකන සංස්කෘතියක් නිර්මාණය කිරීමෙන්, යුද්ධය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට අපට වැඩි අවස්ථාවන් නිර්මාණය කර ගත හැකි ද යන්න යි. දේශීයව වර්ධනය වුණු වඩා පුළුල්, වඩා ශක්තිමත් සහ වඩා දීර්ඝ සමගි සන්ධාන ක්‍රියාවලියක් යනු මේ දිසාවට ගන්නා යහපත් ‛පළමු පියවරක්’ වනු ඇත.

ශ්‍රී ලාංකික පශ්චාත් යුද සමගි සන්ධාන ක්‍රියාවලියක දී ‛සාර්ව භෞමික’ න්‍යායික පදනම් දෙකක් සැලකිල්ලට ගත යුතු ය. පළමු වැන්න නම්, පසු ගිය 30 වසරක යුද්ධයෙන් සහ 60 වසරක ගැටුමෙන් අප ලද පාඩම් ඉගෙනීම පදනම් කළ යුත්තේ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිවිරුද්ධව ඉතිහාසය පුනරීක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික විසංවාදය අවම කිරීම යන නිවුන් සමගි සන්ධාන මූලධර්ම දෙක මත ය යන්න යි. සමගි සන්ධාන ක්‍රියාවලියක් අතරතුර දී අතීතයෙන් පාඩම් ඉගෙනීමේ පදනමක් ලෙස මෙම මූලධර්ම දෙක ඔසොවා තැබීමට සහ ප්‍රයෝජනයට ගැනීමට සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් ක්‍රියා කිරීම අප රටේ ස්ථාවරත්වය සහ අප දරුවන්ගේ අනාගතය උදෙසා යහපත් පෙරනිමිත්තක් වනු ඇත. දෙවැන්න නම්, පශ්චාත් යුද සමගි සන්ධාන ක්‍රියාවලියක් අතරතුර දී සාමාජීය ඒකාබද්ධතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වීමක් සිදු විය යුතු ය යන්න යි. මේ නිසා, සාමාජීය ඒකාබද්ධතාවේ ධනාත්මක සහ ඍණාත්මක ප්‍රවණතා සමගි සන්ධාන ක්‍රියාවලියක නිරවද්‍යතාව නිරීක්ෂණය කිරීමේ දර්ශක ලෙස යොදා ගත හැකි වේ. සත්‍යය සහ සමගි සන්ධානය පිළිබඳ ප්‍රායෝගික සහ ඇතුළු කර ගත් ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ දී මෙම සංකල්ප සැලකිල්ලට ගන්නේ නම් අපට ශ්‍රී ලංකාව තුළ වඩා ස්ථාවර සාමයක් ගොඩ නැගීමට පිළිවන් විය හැකි ය. මෙය කිසි සේත් ම සරල කාරණයක් නොවේ. ඒ සඳහා මෙම ලිපිය තුළ ඉදිරිපත් වන කරුණු පිළිබඳව වඩා විස්තරාත්මක විභාග කිරීමක යෙදෙන්නට සිදු වනු ඇත. කෙසේ වුව ද, අපට මෙම රට තුළ එකට සාමයෙන් ජීවත් විය හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අප ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව සියලු පුරවැසියන් සංවාදයක යෙදීම වැදගත් ය. මෙම ලිපිය ප්‍රයත්න දරන්නේ එම සංවාදය ආරම්භ කිරීමට ය. එනිසා, අපි මූලික මූලධර්ම දෙකෙන් පටන් ගනිමු.

සමගි සන්ධාන මූලධර්ම දෙක

අප පිරික්සා බලන්නේ අතීතයේ එක් පැත්තක් පමණක් නම් හෝ අප එක් පැත්තකින් පමණක් අතීතය පිරික්සා බලන්නේ නම් අනාගතය උදෙසා පාඩම් උගත හැකි තීරණාත්මක පැතිකඩවල් අපට මග හැරී යන්නට තිබෙන අවස්ථාව ඉහළ ය. ඉතිහාසය පුනරීක්ෂණය කිරීම යන දෙයෙහි ඇතුළත් වන්නේ කිසි යම් ඓතිහාසික සිදුවීමක් සිදු වුණු බව ප්‍රතික්ෂේප නො කොට එම සිදුවීම පිළිබඳව දැනට පවත්නා දැනුම ශෝධනය කර ගැනීම යි. මෙම ශෝධනය ඇති වන්නේ කිසි යම් ඓතිහාසික සිදුවීමක් පිළිබඳව පවත්නා සමස්ත දැනුම ‛වඩා යහපත් දෘෂ්ටියකින්’ පැහැදිලි කිරීම හරහා සියලු අනුභූතික සාක්ෂ්‍ය විභාග කිරීමෙනි. කිසි යම් ඓතිහාසික සිදුවීමක් සිදු වූයේ එය සිදු වුණු ආකාරයෙන් ම ද නැද්ද යන්න අවබෝධ කර ගැනීමට අපට උදව් වන අයුරින් සංකේන්ද්‍රණය වුණු අවිවාදිත දැනුම් සම්භාරයක් හඳුනා ගැනීමට අපට හැකි විය යුතු ය. පශ්චාත් යුද සමගි සන්ධාන තත්ත්වයක් තුළ දී මෙම ආකාරයේ යුක්ති සහගත භාවයක් අත්‍යවශ්‍ය වේ. ඓතිහාසික සිදුවීම් සහ ඒවා සිදු වුණු ආකාරය ප්‍රතික්ෂේප කිරීමෙන් ඓතිහාසික සාක්ෂ්‍යයේ මුළු මහත් පදනම ම ප්‍රතික්ෂේප වේ, එලෙස දිගු කාලයේ දී සාමාජීය ඒකාබද්ධතාව ගොඩ නැගීමට අනර්ථකර වේ. මේ නිසා, අතීතයේ දී සිදු වූ දේ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිවිරුද්ධව අප ඉතිහාසය පුනරීක්ෂණය කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම යනු මෙම දිසාවට ගත් පියවරක් නමුත් එය වඩා ශක්තිමත් කළ යුතු ය, දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක වීමට ඉඩ සලසා දිය යුතු ය.

සංස්කෘතික විසංවාදය යනු වෙනස් වන සංස්කෘතික වාතාවරණයක් මධ්‍යයේ මහජනයා අත්දකින විසම්මුතිය, අසමගිය, ව්‍යාකුලත්වය සහ ගැටුම නිසා හට ගන්නා අපහසු හැඟීමකි. සංස්කෘතික විසංවාදය වැඩි දියුණු වීම කෙරෙහි මූල හේතු තුනක් බලපායි; එමෙන් ම, විය යුතු පරිදි ම ඒවා ‛වෙනස් වෙමින්’ පවතියි.

පළමු වැන්න නම්, සාමාජීය, දේශපාලනික හෝ ආර්ථික වෙනස් වීම් පැහැදිලි කළ නොහැකි ඒවා ලෙස කිසි යම් ප්‍රජාවකට පෙනී යා හැකි ය යන්න යි.

දෙවැන්න නම්, මෙම වෙනස් වීම් අනපේක්ෂිත ඒවා ලෙස පෙනී යා හැකි ය යන්න යි.

තෙවැන්න නම්, මෙම වෙනස් වීම් අවබෝධ කර ගත නොහැකි ඒවා ලෙස පෙනී යා හැකි ය යන්න යි. මේ නිසා, ‛වෙනස’ පැහැදිලි කර ගැනීමට, අවබෝධ කර ගැනීමට සහ අනතුරුව අපේක්ෂා කිරීමට සෑම දෙනාට ම අවස්ථාවක් ලබා දිය යුතු ය. මේ නිසා, සමගි සන්ධානය සම්බන්ධ තීරණාත්මක ගැටලු පිළිබඳව තමන්ගේ ම දැක්මවල් ඉදිරිපත් කිරීමට සියලු ජනයාට අවස්ථාව සහ ප්‍රවේශය ලබා දී සංස්කෘතික විසංවාදය අවම කරන සමගි සන්ධාන ක්‍රියාවලියක් අත් කර ගැනීම අත්‍යවශ්‍ය ය.

එපමණක් නො ව, විවිධ දැක්මවල් අත්දැකීමේ අයිතිය ද එලෙස වඩා ඒකාබද්ධ සාමාජීය සැකැස්මක් ගොඩ නැගීමට ඉඩකඩක් ද එවන් අවස්ථාවකින් මහජනයාට ලැබෙනු ඇත. වත්මන් තත්ත්වය තුළ දී, මෙම අවකාශය නිර්මාණය කරන සහ සමගි සන්ධානයක් පදනම් කර ගත් ගැටලු පිළිබඳව සිය දැක්මවල් ඉදිරිපත් කිරීමට තමන්ගේ ම පුරවැසියන්ට පවතින අයිතිය නීත්‍යනුකූල භාවයට පත් කරන බලගතු යන්ත්‍රණයන් සකස් කිරීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලාංකික රාජ්‍යයට පමණකි. අඩුපාඩුවක් ලෙස පවතින්නේ අව්‍යාජ සමගි සන්ධානයක් කරා පෙරට යාමට අවශ්‍ය කරන අධිෂ්ඨානය යි; එමෙන් ම, ශ්‍රී ලාංකික රාජ්‍යය තුළ එවන් අධිෂ්ඨානයක් පෝෂණය කළ හැක්කේ ද මහජනයාට පමණකි.

අතීතයේ දී සිදු වුණු දෙය පිළිබඳව ‛සත්‍යය’ වඩා ප්‍රායෝගික ආකාරයකින් අවබෝධ කර ගැනීමට අපට උදව් වනු ඇත්තේ අතීතයෙන් පාඩම් ඉගෙනීම මත පදනම් වන සමගි සන්ධාන ක්‍රියාවලියක් බව මෙම මූලධර්ම දෙක එකට ගෙන සලකා බැලීමෙන් සහතික වනු ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ ප්‍රචණ්ඩ යක්ෂයන්ට මුහුණ දීම වේදනාකාරී ක්‍රියාවලියක් වනු ඇති නමුත් අපට තිරසර සාමයක් සැබවින් ම වුවමනා කරන්නේ නම් ඊට මුහුණ දීමට අපට සිදු වනු ඇත.

සාමාජීය ඒකාබද්ධතාව සමගි සන්ධාන ක්‍රියාවලියක දර්ශකයක් ලෙස

සංස්කෘතික විවිධත්වයක් පවතින තත්ත්වයක් තුළ, සාමාජීය ඒකාබද්ධතාව යනු සමාජය තුළ සිටින ජනයා අතර ධනාත්මක සාමාජීය අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කරන සමාජ ක්‍රියාවලීන් විස්තර කිරීම සඳහා යොදා ගන්නා යෙදුමක් වේ. විවිධ වර්ගයේ සාමාජීය සංසිද්ධීන් ඇතුළත් කර ගත් බහුආංශික මතයක් වන නිසා සාමාජීය ඒකාබද්ධතාව පිළිබඳ නිර්වචනය පුළුල් ය. නිර්වචනය පුළුල් වන නමුත් සාමාජීය ඒකාබද්ධතාව සම්බන්ධ මූලික මානව අවශ්‍යතා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගන්නා දර්ශක ඊට වඩා පැහැදිලි ය. මේ නිසා, විවිධ කණ්ඩායම් අතර පවතින සමාජ-දේශපාලන සම්බන්ධතා යහපත් ද අයහපත් ද යන්න මනින දර්ශක ලෙස සාමාජීය ඒකාබද්ධතාව සම්බන්ධ ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රවණතා ප්‍රයෝජනයට ගත හැකි ය. සාමාජීය ඒකාබද්ධතාවේ විවිධ පැතිකඩවල් පහකි:

ද්‍රව්‍යමය කොන්දේසි: මේවා සාමාජීය ඒකාබද්ධතාව සඳහා, විශේෂයෙන් ම රැකියාව, ආදායම, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ නිවාසකරණය සඳහා මූලික වේ. මහජනයා වැඩ නැතිව සිටින විට සහ දුෂ්කරතා, ණය, සාංකාව, පහළ මට්ටමේ ස්වයං-සම්මානනය, දුර්වල සෞඛ්‍යය, දුර්වල නිපුණතා සහ නුසුදුසු ජීවන කොන්දේසි ඉවසා සිටින විට, ප්‍රජාවන් අතර සහ ප්‍රජාවන් තුළ සම්බන්ධතා නරක අතට හැරේ. ජීවිතයේ මෙම මූලික අවශ්‍යතා යනු ශක්තිමත් සාමාජීය වියමනක පදනම් වේ. එමෙන් ම ඒවා සාමාජීය ප්‍රගතිය මනින දර්ශක ද වේ.

සමාජ පටිපාටිය: මෙය ප්‍රධාන වශයෙන් ම අදාළ වන්නේ සුරක්ෂිතතාවට සහ භීතියෙන් නිදහස් වීමට ය, නොහොත් “අකර්මණ්‍ය සමාජ සම්බන්ධතාවන්ට” ය. සාමය සහ සුරක්ෂිතතාව මෙන් ම අනෙක් පුද්ගලයන් ඉවසා දැරීම සහ ඔවුන්ට ගරු කිරීම ද ස්ථාවර සහ සුසංවාදී සමාජයක සැබෑ සලකුණු වේ.

පුද්ගලයන් සහ ප්‍රජාවන් අතර ධනාත්මක අන්තර් ක්‍රියා, හුවමාරු සහ ජාල:
මහජනයාට සහ සංවිධානවලට අන්‍යෝන්‍ය සහාය, තොරතුරු, අරමුදල් සහ විවිධ වර්ගවල ණය පිරිනමන නිසා මෙම මෙවලම් සමූහය ප්‍රධාන වශයෙන් ම අදාළ වන්නේ පුද්ගලයන් සහ ප්‍රජාවන් අතර හමු වීම්වල සහ සම්බන්ධතාවල ප්‍රමාණයට සහ ගුණයට ය.

සිවිල් සමාජයේ ප්‍රධාන ප්‍රවාහයේ ආයතනවලට මහජනයා ඇතුළු කර ගන්නා සහ ඔවුන් ඒවායේ කොටස්කරුවන් කර ගන්නා තරම: මීට ඇතුළත් වන්නේ විවිධ පසුබිම්වලට අයත් පුද්ගලයන් අතර තිබෙන පොදු අත්දැකීම්වල, අනන්‍යතාවල සහ වටිනාකම්වල ශක්තිය පදනම් කර ගත් රාජ්‍යයකට තමන් අයත් බවට මහජනයා තුළ පවතින හැඟීම යි.

සමාජ සමානතාව: මෙය අදාළ වන්නේ ආදායම, සෞඛ්‍යය හෝ ජිවිතයේ ගුණය, හෝ අනාගත ජීවන ඉඩ ප්‍රස්තා යනාදි අවස්ථාවන් හෝ ද්‍රව්‍යමය තත්ත්වයන් වෙත ප්‍රවේශ වීමේ දී පවතින සාධාරණත්වයේ හෝ අසමානතාවේ මට්ටමට ය. මෙම අරමුණ සඳහා ද්‍රව්‍යමය කොන්දේසි පිළිබඳ දර්ශක ප්‍රයෝජනයට ගත හැකි නමුත් මෙහි දී අවධාරණය යොමු වන්නේ විවිධ ප්‍රජා කණ්ඩායම් අතර ද්‍රව්‍යමය කොන්දේසි සම්බන්ධයෙන් පවතින කවර හෝ අසමානතාවන් කෙරෙහි ය.

මෙම පැතිකඩවල් පහට අමතරව මෙම සෑම පැතිකඩක් තුළ ම අතිරේක උපපැතිකඩවල් ගණනාවක් පවතී. ඒවා එක් එක් ප්‍රවණතාවේ ධනාත්මක හෝ ඍණාත්මක ක්‍රියාකාරිත්වයට සම්බන්ධ දර්ශක වේ. සමගි සන්ධාන ක්‍රියාවලියේ දී සාමාජීය ඒකාබද්ධතාව නිරීක්ෂණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම සඳහා වන මූලික රාමුවක් ලෙස මෙම පැතිකඩවල් පහ සහ ඒවායේ උපපැතිකඩවල් ප්‍රයෝජනයට ගත හැකි ය. මෙම ලිපිය දීර්ඝ විය හැකි බැවින් මට ඒවා මෙහි ඇතුළත් කළ නොහැකි නමුත් අවශ්‍ය නම් ඒවා තව දුරටත් සාකච්ඡා කළ හැකි ය, පර්යේෂණයට ලක් කළ හැකි ය. ‛සමස්තයක්’ ලෙස ගත් විට, ශ්‍රී ලාංකික සන්දර්භයට ගැළපෙන පරිදි පරිවර්තනය කොට සකස් කරගත් සාමාජීය ඒකාබද්ධතා ආකෘතියක් ලෙස සාමාජීය ඒකාබද්ධතාවේ මෙම පැතිකඩවල් යොදා ගත හැකි ය. අනතුරුව අපට මෙය ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන ක්‍රියාවලිය අතරතුර දී සාමාජීය ඒකාබද්ධතාව සැලසුම් කිරීමට සහ නිරීක්ෂණය කිරීමට යොදා ගත හැකි ය. කෙසේ වුව ද, මෙය සංවාදය හරහා පුළුල් කළ යුතු මූලික රාමුවක් පමණක් බව නිහතමානීව කිව යුතු ය.

දේශීයව වර්ධනය වුණු ශ්‍රී ලාංකික සමගි සන්ධාන ක්‍රියාවලියක්

ශ්‍රී ලංකාව උදෙසා සමගි සන්ධාන ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ දී ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිවිරුද්ධව ඉතිහාසය පුනරීක්ෂණය කිරීම සහ සංස්කෘතික විසංවාදය අවම කිරීම යන දෙක එකට බැඳුණු මූලධර්ම ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් එවැනි ක්‍රියාවලියක් තිරසර තත්ත්වයට පත් කිරීමට තිබෙන ඉඩකඩ වැඩි වනු ඇත; එමෙන් ම, දිගු කාලීන ගැටුම යළි වර්ධනය වීමට තිබෙන ඉඩකඩ අඩු වනු ඇත. සාමාජීය ඒකාබද්ධතාව දර්ශකයක් ලෙස ප්‍රයෝජනයට ගෙන සමගි සන්ධාන ක්‍රියාවලියේ යම් පැතිකඩක් නිරීක්ෂණය කිරීමෙන් එම ක්‍රියාවලියේ විවිධ පැතිකඩවල් තක්සේරු කිරීමට, ඒවායෙහි පවතින අඩුපාඩුකම් සැපිරීමට සහ ඒවා යළි දිශාගත කිරීමට අපට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වුව ද, දේශීයව වර්ධනය වුණු ශ්‍රී ලාංකික සමගි සන්ධාන ක්‍රියාවලියක් තුළ පවතින වඩාත් ම වැදගත් ගැටලුව වනු ඇත්තේ ශ්‍රී ලාංකික සමාජ-ආර්ථික වාතාවරණයෙහි ඒ ඒ තත්ත්වය තුළ ක්‍රියාත්මක සාධක, ක්‍රියාකාරකයන් සහ බලවේග සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට ක්‍රියාවලිය සමත් වනු ඇත් ද යන්න යි. එම නිසා, එවැනි ක්‍රියාවලියකට සම්බන්ධිතව ඒ ඒ තත්ත්වයට අදාළව වැදගත් වන අංශ පහක් පැවතිය යුතු ය: (1) සියලු අභ්‍යන්තර ක්‍රියාකාරකයෝ, (2) සමගි සන්ධානය උදෙසා වන අභ්‍යන්තර යන්ත්‍රණ, (3) අභ්‍යන්තර සමගි සන්ධාන ආකල්ප, (4) සමගි සන්ධාන ක්‍රියාවලියේ අභ්‍යන්තර ප්‍රතිඵල සහ (5) සියලු බාහිර ක්‍රියාකාරකයෝ. මෙම අංශවලින් එකක් වත් ‛ගලින් තැනුණු’ ඒවා නො වේ, ඒවා ‛දියරමය’ ය, බොහෝ මට්ටම්වල දී එකිනෙක හුවමාරු වේ. ඒවායින් නියෝජනය වන්නේ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අන්තර් ක්‍රියාවෙන් සහ සහභාගිත්වයෙන් සැලසුම් කළ යුතු වඩා පුළුල්, වඩා ශක්තිමත් සහ වඩා දිගු කාලීන ශ්‍රී ලාංකික සමගි සන්ධාන ක්‍රියාවලියක් සඳහා වන යෝජනා මාලාවක පළමු අදියර පමණකි. එය කෙබඳු ස්වරූපයක් ගනී ද යන්න නිරූපණය කරනු පිණිස අතිශය මූලික ආදර්ශ රූප සටහනක් ලබා දී ඇත.

කෙසේ වුව ද, ගැටලුවේ සැබෑ කාරණය පවතින්නේ අප මහජනයාගේ හදවත් තුළ සහ සිත් තුළ ය. අපගේ වැදගත් ‛අනෙකා’ වනු ඇතැයි විශ්වාස කෙරෙන ජනයා වෙත අප දෑත් දිගු කරන්නට අපට සැබවින් ම වුවමනා ද? වසර ගණනාවක් තිස්සේ පැවතුණු ලේ වැගිරීම සහ ප්‍රචණ්ඩත්වය සැබවින් ම අවසන් කරන්නට අපට හැකි වේ ද? අපට සහ අපට එරෙහිව ප්‍රචණ්ඩත්වය සිදු කළ ජනයාට සැබවින් ම සමාව දෙන්නට අපට පිළිවන් ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ අනාගතයෙහි ය. එහෙත් අප ගන්නා ක්‍රියා මාර්ගය රඳා පවතින්නේ ඔබ මත සහ වඩා ශ්‍රේෂ්ඨ සහ වඩා දීප්තිමත් අනාගතයක් කරා අපගේ නායකයන්, අපගේ රාජ්‍යය සහ අපගේ මාතෘ භූමිය පෙලඹවීමට ඔබට හැකි වන ආකාරය මත ය.

මගේ ආයාචනය නම් මෙම අවස්ථාව අපගෙන් ගිළිහී යාමට අප ඉඩ නො දිය යුතු ය යන්න යි. කිසි ම යුද්ධයක්, කිසි ම සාමයක්, කිසි ම යුද්ධයක් අවසන් වීමක් පරිපූර්ණ නො වේ. අපට පරිපූර්ණත්වය කරා ළඟා විය හැකි වන්නේ ප්‍රජාවන් අතර සාමය, ගෞරවය සහ සුසංවාදය හඹා යාමේ දී ඇති කර ගන්නා සිතිවිලිවල ගැබ් වන පාරිශුද්ධ භාවය තුළ පමණකි. මෙම ලිපියෙන් ඉදිරිපත් වන්නේ වසර ගණනාවක යුද්ධයෙන් පහර පිට පහර කෑ සහ කැළැල් වුණු තරුණ පරම්පරාවක් නියෝජනය කරන අතිමහත් ගැටලුවක ඉතා සුලු කොටසක් පමණකි. වාර්ගික මෝහාන්ධකාරයේ යදම්වලින් තව දුරටත් අප බැඳ තැබෙනු නැත. යම් දිනක, අප අතර පවතින වෙනස්කම්වලට ගරු කරමින් පමණක් නො ව වඩා බැරෑරුම් අන්‍යෝන්‍ය ගෞරවයකින් යුතුව ඒවා භුක්ති විඳිමින් අප එක්ව නැගී සිටිනු ඇත. අපගේ අනාගතය දැනට මත් ලියැවී ඇත. දැන් හෝ පසුව සැබෑ සමගි සන්ධාන ක්‍රියාවලිය ආරම්භ වීම නො වැළැක්විය හැකි ය, අපට ඉතිරිව ඇති එක ම මග එය පමණකි.

කනිෂ්ක රත්නප්‍රිය