Colombo, Featured Articles, Features

”භාෂණයේ නිදහස නැතිව එක ම අයිතියකටවත් පැවතිය නොහැකියි” ක්‍රිස්ටෝපර් වොරන්


මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය.

පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා කලහකාරී සහ උත්කර්ෂවත් ගමනක් අරඹා ඇත. ඒ ගමනේ වඩාත් දුෂ්කර කොටස තවමත් අප ඉදිරියේ බවට විවාදයක් නැත. අනිවාර්යයෙන්ම මේ රටවල් අනුකරණය කිරීමට වෙනත් රටවල් ද යොමුවනු අනිවාර්ය වේ. ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරන් හා ආධාර කරුවන්ගේ පූර්ණ සහයෝගය මේ ප්‍රයත්නයන්ට අවශ්‍ය වන බව ද නිසැකය.

අප යන මග බාධක සහ බලාපොරොත්තු බිඳවැටීම් අප හමුවට එනවා නොඅනුමානය. එහෙත් අවසාන ප්‍රතිඵලය වනාහී වඩාත් විවෘත, වඩාත් සාමාන්‍ය සමාජයක් වන බවට නම් විවාදයක් නොමැත.

උතුරු අප්‍රිකාවේ මේ සිදුවීම් උත්කර්ෂවත් යැයි සැලකෙන්නේ ඒ ඒ රට තුල ඇතිවන බලපෑම නිසා පමණක් නොවේ. ඒවා මුළු ලොවට එළිය විහිදුවයි.

එක අතකට මේ තත්වය වැදගත් ලෙස මතුවන්නේ අප්‍රිකාවේත් මැද පෙරදිගත් ඊජිප්තුව ඉටුකරන කේන්‍ද්‍රීය භූමිකාව නිසාය. එම කලාපයේ හැම රටක් තුලම පැන නගින ප්‍රශ්නය වන්නේ ඊජිප්තුවට මෙසේ විය හැකි නම් අපටත් විය හැකි නොවේද යන්නයි. එහෙත් එය ඒ දේශ සීමාවන්ට සහ කලාපීය සීමාවන්ට ඔබ්බෙන් ද වැදගත් සිද්ධියක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කරා වන ලෝක ගමන යලි පනගැන්වීම ඒ හරහා සනිටුහන් වන නිසයි.

පසුගිය දශකය තුල මේ ගමන සාධක දෙකක් නිසා පය පැටලී වේගය බාල විය. පළමුව, වැරදියට නම් තැබූ ත්‍රාසයට එරෙහි ගෝලීය යුද්ධය (Global War Against Terror) මුවාවෙන් ආරක්ෂාව නාමයෙන් මානව හිමිකම් සීමා කිරීම සිදුවිය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නාමයෙන් ඒකාධිකාරී රාජ්‍යයන් සමඟ කේවල් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය යොමුවිය. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ න්‍යායක් හුවා දක්වමින්, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සන්නද්ධ බලය යොදා ගැනීම සාධාරධෑකරණය විය.

මීට ශත වර්ෂ දෙකකට පෙර සුප්‍රකට පුවත්පත් කලාවේදී බෙන්ජමින් ෆ්‍රූන්ක්ලින් අපට මෙසේ අනතුරු ඇඟවීමක් කළේය. තාවකාලික ආරක්ෂාව බිඳක් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය නිදහස පූජා කරන අයට නිදහස හෝ ආරක්ෂාව උරුම විය යුතු නැත. ඒ නොතකා ය, මෙසේ අප ලොවේ සීමාවන් පැනවෙන්නේ. සම්ප්‍රදායිකව ප්‍රජාතන්ත්‍රීය වූ රටවල් තුල මෙසේ අත්‍යාවශ්‍ය නිදහස පූජාසනය මත තබන විට, ආපස්සට ඇදුනේ ඒ රටවල මානව හිමිකම් පමණක් නොවේ. ලොව පුරා ඒකාධිකාරී රජයන්ට ඒ මගින් යැවුනු පණිවුඩය නම් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට තවදුරටත් මානව හිමිකම් කේන්ද්‍රී සාධකයක් නොවන බවයි. ඒ සමඟම කොමියුනිස්ට් පක්ෂයේ දැඩි ඒකාධිකාරී පාලනය යටතේ චීනයේ දැකගත හැකි වූ ආර්ථික වර්ධනය දෙස බලමින්, ලොව පුරා ඒකාධිකාරී ප්‍රවණතා ප්‍රදර්ශනය කරන නායකයෝ ආර්ථික වර්ධනය වඩාත් සීඝ්‍රයෙන් දැකගත හැකිවන්නේ දැඩි පාලකයෙකු යටතේ බවත්, ඒ අරමුණ පතා දූෂණය නොසලකා හැරිය යුතු බවත් ප්‍රචලිත කිරීමෙහි යෙදුනාහ. එහෙත් මෙය කෙතරම් සාවද්‍ය දැයි අප අපේ කලාපයෙන් ම ඉගෙන ගත්තෙමු. සියලුම ඒකාධිකාරී රජයන් අවසානයේ දී ආර්ථික වර්ධනයේ සීමාවට එළඹේ. ඒ අවස්ථාවේ දී ඒ සීමාව අතික්‍රමණය කළ හැකි වන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකට පමණි. අප 1988 දී කොරියාවේ සහ තායිවානයේ මෙය දුටුවා සේ ම 1998 දී ඉන්දුනීසියාවේ ද එසේ ම සිදු විය.
ඒ හැම අවස්ථාවකදී ම ඒකාධිකාරවාදයේ අර්බුදය විසඳිය හැකි වූයේ ප්‍රජාතන්ත්‍රකරණය හරහා පමණි.

ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ජන නැගිටීම් මේ අසත්‍යයන් දෙකට ම නැවතීමේ ලකුණක් තබයි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගනිමින් ම පමණක් බවත්, දූෂණය පිටු දකින සවිමත් හා ජීව ගුණයෙන් යුතු ආර්ථිකයක් ගොඩ නැගිය හැක්කේ මානව හිමිකම් වලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල පමණක් බවත් සිතීමට ඒ හරහා අපට කවුළුවක් විවෘත වෙයි. ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ආදර්ශයන් උත්කර්ෂවත් කරවන තවත් සාධකයක් ද තිබේ. ඒවායේ ගාමක බලවේගයන් වූයේ ලොවපුරා ප්‍රජාතන්ත්‍රවාදය පතා වෙහෙසෙන කණ්ඩායම් ම ය. එනම්, මානම හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන, ස්වාධීන වෘත්තීය සමිති සහ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ය. ඔවුන් මෙහෙය වූයේ සම්ප්‍රදායික දේශපාලනික හෝ විරුද්ධ පාර්ශික බලවේග නොවූ, ජනතාවගේ අසහනයන් පිළිබිඹු කළ පුළුල් ජාලයක් ය. මට නම් පුවත් පත් කලාවේදීන්ගේ ආද්ර්ශය වඩාත් ම උත්කර්ෂවත් ය. ලසන්තට ද එසේ ම වන්නට තිබුණා යැයි මට සිතේ.

අප අවංක විය යුතුයි. ඒකාධිකාරී රාජ්‍යයන්ගෙන් වාසි ලබන පුවත්පත්කලාවේදි හු සිටිති. මාධ්‍ය බහුතරයක් රජය විසින් පවත්වා ගෙන යන ඊජිප්තුව වැනි රටවල මෙය වැඩි වශයෙන් දැක ගත හැකිය. ඒ සමග සමාජ තත්ත්වය සහ මහජන පිලිගැනීම ඔවුන්ට හිමි වෙයි. දේශපාලන ක්ෂේත්‍රයේ බලවතුන් සමග ලඟින් ඇසුරු කිරීමට සහ ජනාධිපති සමග සාදවලට සහභාගී වීම ට ඔවුන්ට ඉඩකඩ සැලසේ. සාමාන්‍යයෙන් හොඳ වැටුපක් ද ඔවුහූ ලබති. අපේ සගයින් වැඩි දෙනා මේ පහසුවේ උගුලට හසුවෙති. එහෙත්, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව අපට පෙන්වා දෙන පරිදි, විශේෂයෙන් ම තරුණ පරම්පරාවේ වෘත්තීය පුවත්පත් කලාවේදියෝ, උතුරු අප්‍රිකානු ජන නැගිටීම්වල කේන්ද්‍රීය භූමිකාවක් උරුම කරගැනීමට යුහුසුළු වූහ.

රජය සතු මාධ්‍ය තුල සිට වුවත්, මාධ්‍යවේදීන් නිදහස් මාධ්‍යයක් සඳහා, රජයේ සහ පාලක පැලැන්තිය පාර්ශවයෙන් නොව, ජනතාවගේ පාර්ශවයෙන් සිදුවීම් වාර්තා කිරීමේ අයිතිය සඳහා, සටන් කල අයුරු සහ ඒ අයිතීන් දිනාගත් අයුරු අපට දැක ගත හැකිය. සිය මාධ්‍යවේදී වෘත්තියේ ප්‍රතිපත්ති පාවා දෙනවාට වඩා රැකියා දමා යාම යහපතක් බව සිතූ අය ද මේ අතර වෙති.

දැන් ඔවුන්ගේ අරගල සාර්ථකත්වයට පත්වනු අපට පෙනේ. ස්වාධීන සහ පෞද්ගලික මාධ්‍යයන් ශක්තිමත් කිරීම සහ ස්වාධීන මහජන සේවා ප්‍රකාශන හා විකාශන ප්‍රතිපත්ති මත පදනම් වී රාජ්‍ය සතු මාධ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීයකරණයට බඳුන් වනු සහ කැබලි කරනු අපට අනාගතයේ දී දැකගත හැකි වනු ඇත.

වෙනත් කිසිම ප්‍රතිසංස්කරණයකට වඩා ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමන සහතික කරනු ඇත්තේ මේ පරිවර්තන මාලාවයි. මාධ්‍යවේදී ප්‍රජාවගේ සංවිධානගත වී නිදහස පතා අරගල කිරීමේ කැපවීම මේ සටන් හැම එකකගේ ම හෘද ස්පන්ධන යයි. උතුරු අප්‍රිකාවෙන් ලංකාවෙන් මෙන් ම ලෝකයේ වෙනත් රටවල ද අපට ඉගෙන ගත හැකි පාඩම් තිබෙන බව පැහැදිලිය.

මා පෙර කී පරිදි, ලොව පුරා ම පසුගිය දශකය තුල ප්‍රජාතන්ත්‍රවාදය එක තැන පල්වෙමින් පසුවිය. ලංකාවේත් එය එසේ වූවා නම් කෙතරම් භාග්‍යයක් ද? එහෙත් අප ආපස්සට ගියා පමණයි. 2005 දී සිවරාම් ඝාතනය, මීට වසර දෙකකට පෙර ලසන්ත ඝාතනය කිරීම, තිස්ස, ජෙසිහරන් සහ වැලර්මදී ට එරෙහිව නඩු පැවරීම, පොද්දල, සනත්, සුනන්ද වැනි මිතුරන් රට හැර යන තත්ත්වයට පත්වීම, පසුගිය වසරේ ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන් වීම ආදී සිදුවීම් ඒ පරිහානියේ බියකරු සිහිවටන වේ.

මේ එක් එක් සිදුවීම එම පරිහානියේ එක් එක් අවධිය සනිටුහන් කරයි. සිවරාම් ඝාතනය සහ තිස්සට, ජෙසිහරන්ට හා වැලර්මදීට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී නඩු පැවරීම යනු ලංකා රජයේත් දෙමල විමුක්ති කොටි සංවිධානයෙත් පොදු අරමුණු සංඥා කල සිදුවීම්ය. එනම්, දෙමළ ප්‍රජාව තුල ස්වාධීන හෝ ප්‍රශ්න නැගීමේ අවකාශයන් තුරන් කරලීමේ පොදු අරමුණයි.

පෝද්දල ජයන්තට සහ වෙනත් අයට පහරදීම සහ අපගේ මිතුරන් විශාල ප්‍රමාණයකට එතෙර පලා යාමට බල කිරීම සංඥා කලේ මාධ්‍ය ක්ෂේත්‍රය තුල ස්වාධීන වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍යවේදීන් අතර ගොඩ නැගෙමින් පැවතුනු ස්වාධීන ජාලයන් විනාශ කර දැමීමට දැරූ ප්‍රයත්තනයයි. ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ අප දුටු පරිදි, එවැනි ජාලයන් ගොඩනැගීම දිනෙන් දින ඒකාධිකාරී බලය තහවුරු කර ගැනීමට වෙර දරන පාලක පැලැන්තියකට බරපතල අභියෝගයක් එල්ල කරයි.

ලසන්ත ඝාතනය කිරීමත්, ප්‍රගීත් අතුරුදන් වීමත් සංඥා කලේ පවතින තත්ත්වයන් අභියෝගයට සහ ප්‍රශ්නකිරීමට හසු කල මාධ්‍ය භාවිතයන් තුරන් කර දැමීමට දැරූ උත්සාහයයි. මේ සිදුවීම් දෙක මගින් එවූ පණිවුඩය ඇසීමට සහ තේරුම්ගැනීමට අසමත් මාධ්‍යවේදියෙකු මෙරට සිටී දැයි මට සැකයි. ලසන්ත මරණ මංචකයෙන් එහා සිට අප වෙත එවූ ප්‍රබල පණිවුඩය වූ අවසන් කතුවැකිය — And then they came for me – පෙන්වා දෙන්නේ නිදහස් හා ස්වාධීන මාධ්‍ය භාවිතයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයන් වනාහී පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම් වලට එරෙහිව දියත් කෙරුනු සංවිධානාත්මක ව්‍යාපාරයක කොටසක් ම වූ බව ඔහු වටහා ගෙන සිටි බවයි. මේ වසරේ උතුරු අප්‍රිකාවේ අපේ සගයින් බොහෝ දෙනා විසින් අපට පෙන්වා දී තිබෙන පරිදි, නිදහස් හා ස්වාධීන මාධ්‍ය භාවිතයකට පැවතිය හැක්කේ මානව හිමිකම්වලට ගරු කිරීම මත පදනම් වූ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල පමණයි. ඔහුට පහර දෙන විට ඔහු තේරුම් ගත්තේ මෙය ඔහුට ම පමණක් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවයි. ඔහු කී පරිදි ඔහු මේ ගමන ගියේ තනිවම නොවේ. මාධ්‍යයේ වෙනත් ක්ෂේත්‍රවල වැඩ කළ සහෝදර මාධ්‍යවේදීන් හා සමග පා තැබූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දැන් මිය ගොස් : නැත්නම් සිරගතව සිටී: එසේත් නැත්නම් දුර බැහැර රටවලට පිටුවහල්ව සිටී.

ඔහුගේ ඝාතනය ඝාතන රැසක තවත් එක් ඝාතනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහු අප ප්‍රජාව තුල ඉසිලූ තනතුර නිසා ම එය වඩාත් ගැඹුරු කම්පනයකට හේතුවිය. ඔහු මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විය. මෙරට ප්‍රධානතම ස්වාධීන පුවත්පතක අතිශයින් ස්වාධීන කතුවරයෙකු විය. දූෂනය සහ වෙනත් කටයුතු පිළිබඳව විවේචනාත්මක හෙලිදරව්වන් ප්‍රකාශයට පත් කල කෙනෙකුවිය. ඔහුගේ තනතුරට ඔහුට ආරක්ෂාව සැපයිය නොහැකි වූවා නම්, එම වෘත්තියෙහි යෙදෙන වෙනත් අය කෙසේ නැගී සිටින්න ද? ඒත් මාධ්‍යවේදීහූ නැගී සිටිති. අපේ උතුරු අප්‍රිකානු සගයින්ගේ ක්‍රියාවන් අපට මතක් කරදුන්නේ නිදහස් හා ස්වාධීන මාධ්‍ය භාවිතයක් පැවතිය හැකි වන්නේ මානව හිමිකම් මත ගොඩනැගුනු නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල පමණක් බවයි.

අපි මාළු වගෙයි. අප වටා භාෂණයේ නිදහස නම් වූ මුහුද නොමැති වුවහොත් අපට ජීවත් විය නොහැකියි. නිදහස් ශ්‍රී ලංකාව, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තරමට ම වයසයි. ඒ නිසා ම, මුල පටන් ම නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සමඟ මානව හිමිකම් වලට ගරු කිරීමේ අභියෝගය වෙලී පැටලී පවතී. ඒ ඉතිහාසය මානව හිමිකම් උල්ලංඝණයන්ගෙන් පිරී පවතී. මුල් කාලයේ උඩරට දෙමල ජනතාවගේ පුරවැසි අයිතිය ප්‍රත්ක්ෂේප කිරීමේ පටන් ලසන්ත ඝාතනය සහ ප්‍රගීත් අතුරුදන්වීම කරා ඒ ඉතිහාසය විකාශනය වෙයි. 1983 දී දෙමල – විරෝධී ජනඝාතනය වැනි අතිශයින් කුරිරු සිදුවීම් ඇතුලුව, LTTE සංවිධානය ලොවට පිරිනැමූ සියදිවි නසා ගන්නා මිනිස් බෝම්බ සම්ප්‍රදාය ද මේ ඉතිහාසයේ කොටස් වේ.

මේ මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට සාපේක්ෂව පැවතුනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකි. කෙතරම් පලුදු සහිත වූවත්, කෙතරම් සුළු ප්‍රමාණයකින් වූවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පැවතුනි. නිදහස් අධිකරණයක ශේෂයන් පැවතුනු අතර, සිවිල් සමාජයේ ව්‍යාප්තියක් සිදුවිය.

ලංකාවේ ඉතිහාසයත් සමග මානව හිමිකම් මේ තරම් බැඳී පවතින්නේ, ලංකාව මානව හිමිකම් ගරු කිරීමේ හෝ උල්ලංඝණය කිරීමේ හොඳ ම, හෝ නරක ම, සමාජය වූ නිසා නොවේ. මේ බැඳීමට පදනම් වන්නේ රටට නිදහස උදා වූ මොහොතේ පටන් මානව හිමිකම් වනාහී කේන්ද්‍රීය අරගල භූමිය බවට පත්වීමයි. ලංකාවේ ඉතිහාසයක් ලිවිය හැක්කේ ත් තේරුම් ගත හැක්කේ මානව හිමිකම් උදෙසා කල අරගලයක් ලෙස ට පමණක් බව මා කලක සිට විශ්වාස කරනවා.

ලසන්ත ඝාතනයට පසු භාෂණයේ නිදහස් අරගලයේ කේන්ද්‍රය බවට පත්ව ඇත්තේ, භාෂණයේ නිදහසට ඇති අයිතිය තහවුරු නොකොට අපට මානව හිමිකම් මත පදනම් වූ සමාජයක් ගොඩ නැගිමට නොහැකි නිසාය. එසේ ම, මානව හිමිකම් මත පදනම් වන සමාජයක් ගොඩ නගන්නේ නැතිව අපට භාෂණයේ නිදහස සුරැකීමට ද අපහසුයි.

භාෂණයේ නිදහස ඍජුවම වෙනත් අයිතීන් සමුදායක් හා බැඳේ. ඒ අයිතීන් අතර නිදහසේ ආගම ඇදහීමේ අයිතිය, සාමකාමී ව එක් රැස් වීමේ අයිතිය, නිදහස් ප්‍රකාශනයේ අයිතිය සහ මාධ්‍යයේ නිදහස ද වේ. භාෂණයේ නිදහස නැතිව මේ එක ම අයිතියකටවත් පැවතිය නොහැකියි. භාෂණයේ නිදහස කාන්තාවන්ගේ, සුළුතර ජනකොටස්වල සහ වරප්‍රසාද අහිමි ජන කොටස්වල අයිතීන් ගේ අනිවාර්ය කොටසකි. ඔවුන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශකිරීමට අවකාශයක් නැති තැන ඔවුන් බලසතු කිරීම පිලිබඳව කතා කල නොහැකි ය. වරප්‍රසාද අහිමි ජනකොටස්වල අරගලයන්ට භාෂණයේ නිදහස අදාල නොවන බව තර්ක කරන අය සමග මා එකඟ නොවන්නේ මේ නිසා යි. කතා කිරීමේ බලය ඔවුන්ට අහිමි
නම් තම අදහස් ප්‍රකාශ කිරීමට පවා එම අරගලයන්ට අහිමි වසු ඇත.

මේ සියල්ල සාධාරණ නඩු විමසුමකට ඇති අයිතිය හා බැඳේ. සාධාණ නඩු විමසුමකට ප්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ විවෘතව එම නඩු විමසීමට ලක් වීමට ඇති අයිතියයි. අන් සියලුම අයිතීන් මෙයට යට වේ. ආරක්ෂාවට ඇති අයිතිය, අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම වැලැක්වීමේ අයිතිය, පුරවැසි අයිතිය, වධදීමට ගොදුරු නොවීමට ඇති අයිතිය ආදී අයිතීන් ද, ස්වාධීන අධිකරණයක් ද හරහා මෙම අයිතීන් බලාත්මක කල හැකියි. ඒ හරහා උල්ලංඝණය වීම් හෙලිදරව් කල හැකියි. හෙලිදරව් කිරීම හරහා ඒවා සදහට ම තුරන් කල හැකියි.

භාෂණයේ නිදහස වනාහි අන් හැම අයිතියක් ම නිදහසේ භුක්ති විඳීමට ඉඩ සලසන්නකි. මාධ්‍ය නිදහස වනාහි භාෂණයේ නිදහස යන පුළුල් ආවරණයේ කොටසක් පමණි. ලසන්ත සහ ප්‍රගීත් වැනි මාධ්‍යවේදීන් අභීතව ලංකාව තුල අප වෘත්තීය ක්‍රියාවට නැංවීම හරහා, ලංකාව තුල පවතින මානව හිමිකම් සුරැකීමේ අරගලය වාර්තා කිරීම සහ ලොවට දන්වා සිටීම සිදුවිය.

ඔවුනුත් වෙනත් මාධ්‍යවේදීනුත් ප්‍රහාරයට ඉලක්කව සිටින්නේ මේ නිසා ය.

වෙන සියලුම අයට මෙන් මාධ්‍යවේදියෙකුට ද පැහැර ගෙන යාමෙන්, නීතිවිරෝධී ලෙස රඳවා තැබීමෙන්, වධදීමෙන් සහ ඝාතනයෙන් තොරව ජීවත්වීමට අයිතිය තිබිය යුතුයි. එහෙත් දැන් වාර්තා කිරීම, විග්‍රහ කිරීම, ප්‍රශ්න කිරීම ඇත්තෙන් ම තමන්ගේ වෘත්තියේ යෙදීම – හේතු කොට ගෙන ලංකාවේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණය වීම් මාලාවට තමා ද එකතු මට්ට්මට මාධ්‍යවේදීන් පත් ව ඇත. එසේ ලසන්ත ඝාතනය කරනු ලැබුවේය. ප්‍රගීත් අතුරුදන් කරනු ලැබුවේ ය.

මේ වාතාවරණය තුල තත්ත්වය හොඳ අතට පරිවර්තනය වේ යැයි සිතා ගත නොහැකි තරම් ය.

එහෙත් ඊජිප්තුව සහ ටියුනීසියාව අපට පෙන්වන්නේ එක තැන සිට පල්වීමේ කාලය අවසන් වි ඇති බවයි. තවත් එක් වරක් ඒකාධිකාරී පාලනය ජනතාවට පිටුපා ඇත. මානව හිමිකම් උල්ලංඝණයවීම් වසන් කිරීම සඳහා මැතිවරණ උපයෝගී කොට ගන්නා සුමුදු වර්ගයේ ඒකාධිකාරිත්වයේත් ස්වභාවය මෙය ම යි. වෙනසක් සිදුකිරීමේ වගකීම මාධ්‍යවේදීන් වන අපගේ කාර්යභාරයයි. එහෙත් එය අපට පමණක් සීමා වූවක් ද, නොවේ. අප විසින් නැවත වරක් ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ සගයින් අපට කියා දුන් පාඩම් ඉගෙන ගත යුතුවේ.

පළමුව, අපට අපගේ වෘත්තීය සමග කේවල් කළ නොහැකියි. අධිකාරීවාදී රජයකට සේවය කරන මාධ්‍ය කලාව, මාධ්‍ය කලාවක් නොවේ. එව හුදෙක්ම පිටුවක වචන රැසක් හෝ ගුවන් තරංගවල හඬක් හෝ පමණි. හැමදාම මෙන් අදත් මාධ්‍ය කලාව වනාහී සත්‍යයට ගරු කරන්නක්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරන්නක් විය යුතුයි.

දෙවනුව අප එකමුතුව සිටිය යුතුයි. ලංකාවේ සංවිධිත මාධ්‍ය ප්‍රජාව තුල පවත්නා සහයෝගීතාවය පිළිබිඹු කරන මේ මාධ්‍ය සංවිධාන හයේ එකමුතුව මුළු දිවයිනටම ආදර්ශයක් සපයයි. ලංකාව තුල මේ තරම් විනාශයන් සිදු කරන විවිධාකාර බෙදීම් අතික්‍රමණය කළ හැකි එකම ප්‍රජාව ලෙසට මාධ්‍ය ප්‍රජාව මතුවෙමින් සිටී.

මේ සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය පසුගිය අවුරුදු කීපය තුල දැඩි අභියෝගයන්ට ලක් වූ බව මම දනිමි. මාධ්‍යවේදීන් කටයුතු කරන අතිශයින් පීඩාකාරී තත්ත්වයන් සැලකිල්ලට ගත් කල මෙවැනි ගැටුම් මතු වන එක පිළිබඳව අප පුදුමයට පත්විය යුතු නැත. සමහර මිතුරන් හා සගයින්ට අප ඔවුන් අතහැර දැමුවා යයි සිතුනු අවස්ථා ද පැන නැගුනු බව අප දනී.

එහෙත් පොදුවේ ගත්කල මේ සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහාය දිගින් දිගටම අප අතර පවතී. මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ පීඩක වාතාවරණය දරා ගැනීමට ඔවුන්ට ඉඩකඩ ලැබෙන්නේ මේ නිසා ය. එසේ ම , සැබැවින්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයක් ගොඩ නැගීම සඳහා වූ අරගලයට නව පනක් ලබා දීමට ද, එය ඉදිරිපත් වෙයි.

පළමුව මතුවෙමින් එන නව තොරතුරු හුවමාරු කරගැනීමේ තාක්ෂණයන් නිසා කලකට පෙර අප භුක්ති විඳි අපේ ප්‍රජාවන් වෙත තොරතුරු රැගෙන යාමේ තනි මාවත වීමේ ඒකාධිකාරය, දැන් බිඳෙමින් පවතී. දැන් ජනතාව තොරතුරු දැන ගැනීමේ එක ම මාවත පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය නොවේ. Twitter,facebook ,Web අඩවි වැනි සමාජ මාධ්‍ය මෙන් ම බ්ලොග් කරන්නන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ පුවත්පත් වෙබ් අඩවි සියල්ලම මේ සංකලනයේ කොටස් කරුවෝ වෙති. එහෙත් මින් එකක්වත් ස්වාධීන මාධ්‍ය කලාවට ආදේශකයක් නොවේ. සමාජ බලධාරීන්ට ඔවුන් එල්ල කරන තර්ජනය මෑතක ලංකා ඊ-නිව්ස් වෙබ් අඩවිය පවත්වා ගෙන ගිය නිවසට ගිනි තැබීමෙන් සනාථ වේ.

මොවුහූ සමස්ත තොරතුරු සම්භාරයට තවත් තොරතුරු එකතු කරනවා පමණක් නොවේ .මේ නව තාක්ෂණයන් , මේ දක්වා එකින් එක ලාංකීය රජයන් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට ප්‍රබල පහරක් එල්ල කිරීමේ ශක්‍යතාවය සතුය.

රාජ්‍ය විසින් පාලනය කරන මාධ්‍ය ආයතන වලට දේශපාලන ගැත්තන් පත් කිරීමෙන්, ස්වාධීන මාධ්‍යයේ දැන්වීම් පල කිරීම අත් හරින ලෙසට දැන්වීම් ලබා දෙන අයට බල කිරීමෙන් සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමෙන්, අඩන්තේට්ටම් කිරීමෙන් සහ ඔවුන් ඝාතනය කිරීමෙන් තොරතුරු දැන ගැනීමේ මාවත් තවදුරටත් ඇහිරිය නොහැකිය.

ඒ සමගම අප මතක තබා ගත යුතුයි ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ජන නැගිටීම් වලට ප්‍රබල පදනමක් වැටුනේ ඒකාධිපති පාලනයේ ආර්ථික ප්‍රතිඵලවල දුබලතා හේතුවෙන් බව. මේ තමා ඊනියා ‛චීන මාදිලිය‛ ට එරෙහිව එල්ල වන ප්‍රබල ප්‍රහාරය.

කයිරෝ නුවර තහ්රීර් චතුරශ්‍රයේ ජනතාව දන්නේත් සියලුම ආර්ථික විශේෂඥයින් දන්නා කාරණාව ම ය. ඒ නම් මුදු වේවා දරදඬු වේවා ඒකාධිකාරී පාලනය දූෂණය සඟවා තබන බවයි. සාමාන්‍ය මිනිසුන්ට මානුෂීය ජීවන මට්ටමක් සහ සැබෑ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට තිබෙන ප්‍රධාන බාධකය දූෂණය බවයි. වැඩිවන බඩු මිල, විරැකියාව, දූෂණය මේ අභියෝගයන් ට මුහුණ දිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණයි. මේ සෑම කරුණක්ම නොතකා, මානව හිමිකම් සහ භාෂණයේ නිදහස ගත් කල, ලංකා රජය අවසන් යුද්ධයකට මුහුණ දෙන ජෙනරාල් වරයෙකු වැනි ය. 1980 යොදාගත් උපාය උපක්‍රම භාවිතා කරමින් ඒවා මෙවර එතරම්ම සාර්ථක නැත්තේ මන්දැයි ඔවුහූ කල්පනා කරමින් සිටිති.

මෙය වටහා ගැනීමට උත්සාහ කරන අතර, රජයත් ඔවුන්ගේ හමුදා සහ උප හමුදා සගයිනුත් වියරුවෙන් ම තමා විවේචනය කරන අයට පහර දුනි. ඔවුන්ට අප ජීවත් වන ලෝකය වටහා ගැනීමට බැරි වරදට මාධ්‍යවේදීහූ ගොදුරු බවට පත් වූහ. කෙටිකාලීන ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ජය ගත්තේය. එහෙත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ විශ්වාසය තබන මාධ්‍යවේදීන් අප හමුවේ තිබෙන අභියෝගය නම් උතුරු අප්‍රිකාවෙන් ආලෝකමත් වූ ඓතිහාසික සන්ධිස්ථානය දෑතින් ම රඳවා ගන්නේ කෙසේ ද යන්නයි.

ආරක්ෂාවට තිබෙන අයිතිය මෙන් ම භාෂණයේ නිදහස ද ඇතුළු මානව හිමිකම් වලින් අනූන වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල ජීවත් වීමට සියලුම ලාංකිකයන් සතු මූලික අයිතිය අප විසින් යලි තහවුරු කළ යුතුව ඇත.

ලංකාව වගේ ම මගේ රටත් දූපතක්. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් හරහා ලොව පුරා ජනතාව යන ගමන යලි ආරම්භ වෙත් ම කිසිදු රටකට දූපතක් ලෙස පැවතිය නොහැකි යුගයක් උදාවනු ඇත.

ක්‍රිස්ටෝපර් වොරන් (පුවත්පත්කලාවේදීන්ගේ ජාත්‍යන්තර සංගමයේ හිටපු සභාපති, මාධ්‍ය සහ කලා එකතුවේ ෆෙඩරල් ලේකම්)

ලසන්ත වික්‍රමතුංග සමරු දේශන ය – පෙබරවාරි 15, 2011 කොළඹ දී,

photos by Dushi Yanthini Kanagasabapathipillai, (www.groundviews.org)