Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දෙමළ ජනමාධ්‍යට අවවාදයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ රටෙහි ප්‍රති සංධාන ක්‍රියාවලියට බාධා නොපමුණවනු ලෙස ඔහු කියා සිටි බවයි. එමෙන්ම වාර්ගික අසමගිය ඇති කිරීමට උත්සාහ කරන දේශපාලනඥයින්ට සහාය නොදෙන ලෙසත් රට අස්ථාවර කිරීමට ප්‍රයත්න නොදරන ලෙසත් ඔහු දෙමළ ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටි බව එම වාර්තාවේ සදහන් විය.

ඔහුගේ එම කතාවේ දී සිංහල ජනමාධ්‍යයෙන් එවැනි ඉල්ලීමක් කළේ ද යන්න සඳහන්ව තිබුණේ නැත. එපමණක් නොව ඔහුගේ ආණ්ඩුවේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ජනමාධ්‍ය කෙරෙන් සමබර සහ අගතිගාමී නොවන වාර්තාකරණයක් පවත්වා ගන්නා ලෙස ඉල්ලා සිටි බවක් හෝ එම වාර්තාවේ සඳහන් නොවීය.

පසුගිය කාලය පුරා දෙමළ සිවිල් නායකයින් සම්බන්ධයෙන් යම් යම් සිංහල සහ ඉංගිසි ජනමාධ්‍ය වෛර සහගත අමූලික බොරු වාර්තා පළ කරන ලදී. පසුගිය දිනෙක පළ කරන ලද එවැනි වාර්තාවකින් කියැවුනේ දඹුල්ල කන්ඩලම හෝටලයක දී එල්ටීටීඊයට සම්බන්ධ යැයි කියන දේවගැතිවරයකු ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් එල්ටීටීඊ ගීතද සමඟ අත් අඩංගුවට ගන්නා ලද බවයි. එම වාර්තාවට අනුව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සදහන් කර තිබුණේ මෙම පිරිස උතුරු නැගෙනහිර ප්‍රතිසංධාන ක්‍රියාදාමයට එරෙහිව ව්‍යාජ තොරතුරු සපයන කන්ඩායමක් බව යි. එමෙන්ම එම පිරිස අත තිබූ සංයුක්ත තැටි සහ පරිගණක තොරතුරු අඩංඟු පෙන් ඩ්‍රයිව් ද ත්‍රස්ත විමර්ශණ කාර්‍යාංශයට බාර දී ඇති බව යි.

එසේ නමුත් පසුව අධිකරණය හමූයේ හෙළිදරව් වූයේ මෙම පිරිස සහනසේවා සංවිධානයක අගැයීමක් පිණිස පැමිණ සිටි පිරිසක් බවයි. එනමුත් එම පුවත යටකී ජනමාධ්‍ය විසින් පළ කළේ නැත. මෙවැනි උදාහරණ ඇති තරම් තිබේ. ඊළඟ අවස්ථාවේ දී දෙමළ ජනමාධ්‍යට දෙන අවවාද සිංහල සහ ඉංග්‍රිසි ජනමාධ්‍යටත් දීමට අමාත්‍ය අලහප්පෙරුමට ඥානය පහළ වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

රාජ්‍ය මාධ්‍යයේ ලැජ්ජා නැති වාර්තාකරණයන් ගැන අප කියා සිටිය යුතු නැත්තේ බොම්බ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රීලනිප නායකයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිවරයාට අනුව ලේක්හවුස් පුවත්පත් බැලිය යුත්තේ හරකෙකු මිලට ගැනීමට අවශ්‍ය නම් පමණක් නිසා ය. බොහෝ කොටම අමාත්‍ය අලහප්පෙරුමත් දරුනු ඇත්තේ එවැනි අදහසක් විය යුතු ය. ආණ්ඩුව විවේචනය කිරීම ද්‍රෝහීකමක් සේ සළකා මෙම රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කොපමණ දෙනෙකෙු හෙළා දැක ඇත්ද? ඊට පිළිතුරක් පසු ගිය දිනෙක දී තිබුනේ ජනාධිපති කොමිසමක කොමසාරිස්වරයෙකි.

යුද්ධය සහ ද්‍රෝහියෝ

බීබීසී ගුවන් විදුලි සේවයේ සිංහල සේවාව වන සංදේශයට කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ලස් හැවිලන්ඩ් සැපයූ වාර්තාවක මෙසේ සදහන් විය:

ජනාධිපති යුද කොමිසමෙහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු කියන්නේ විදේශීය විවේචකයිනට “අක්‍රෝෂ පරිභව” කරන්නේ නැතිව යුද්ධයේ අවසාන අදියරට සම්බන්ධ වගවීමේ කරුණු කාරනා පිළිබඳව මෙරට සැළකිලිමක් බව පෙන්වා සිටිය යුතුය.

මෙසේ පවසා ඇත්තේ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසමේ සමාජිකයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා තානාපතිවරයකුව සිටි එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා ය. ඒ කොළඹ පැවැති දේශණයක දී ය.

ඔහු තවදුරටත් මෙසේ කියා තිබුණි. “ගැටුමෙහි ගොදුරු බවට පත්වූවන්ට ඔවුන් එල්ටීටීඊ ත්‍රස්තවාදයේ හෝ යුද මෙහෙයුම්හි හෝ ගොදුරු වේවා ගැටුමට සම්බන්ධ මෙන්ම එහි මූල හේතුවට සම්බන්ධ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාරාත්මක බව පෙන්වීම ඉතාම වැදගත් ය.”

මෙමගින් ශ්‍රී ලංකාවට “විසංවාදය ද්‍රෝහීකමක් හෝ පවාදීමක් ලෙස නොව සරු අත්දැකීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදය උද්දීපනය කරන අභියෝගයක් ලෙස” සළකන සමාජයක් බවට පත් විය හැකි බව ද ඔහු කී බව එම වාර්තාව සදහන් කරයි. ( වාර්තාකරු වාර්ලස් හෙවිලන්ඩ් සදහන් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සමාජිකයින් නිරන්තරයෙන්ම විසංවාදී අදහස් දරන්නන් “ද්‍රෝහීන්” ලෙස නම් කරන බව යි.)

රටක සෛවරීත්වය යන්නෙන් නීතියේ පාලනය පවත්වා ගැනීම ද අදහස් වන බවත් එසේ නොවන්නේ නම් “ යම් යම් අපරාධවලට දඩුවම් නොලැබෙනු ඇති බවත් යම් යම් අපරාධකරුවන් දුර්විපාක නොලබා සිටිනු ඇති බවත් යම් යම් පරීක්ෂණ නොපැවැත්වෙනු ඇති බවත් පලිහක්කාර මහතා කියා තිබේ.

මේ වනාහී අප වැනි අය කළක් තිස්සේ කියා සිටි කරුණු ය. මෙම කරුණු ම කියා සිටීම නිසා අප බොහෝ දෙනෙකු වලපල්ලට යැවිය යුතු ද්‍රෝහීන් ලෙස නම් කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ සමහර නායකයින් විසිනි. ඒ කෙසේ වෙතත් යුද්ධයේ අවසාන අදියරෙහි දී කවර පාර්ශවයකින් වේවා කරන ලද මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සොයා බැලිය යුතු බවත් නීතියේ පාලනය අනුව ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවත් කියා සිටීම සාධාරණ සහ යුක්ති සහගත ඉල්ලීමක් බව මෙම කතාව මගින් ද සනාථ වෙයි.

එමෙන්ම මෙම ප්‍රශ්ණ ශ්‍රී ලංකාවට පමණක් මුහුණ දෙන ඒවා නොවන බව පසුගිය දිනෙක ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මුහුණ පෑ අර්බූදයෙන් පැහැදිලි විය.

බුෂ්ටත් බය හිතුන දවස

ඇමෙරිකාව තවමත් ලෝකයේ යුද ශක්තියෙන් සහ ආර්ථික බලයෙන් පළමුවැන්නා ය. තවමත් ලෝක පොලිස්කාර භූමිකාව රඟ දක්වන්නේ ද ඇමෙරිකාව ය. ඒ සියළු බලපුලුවන්කාරකම් තිබිය දී හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට පසුගිය දවසක සිරගත වීමට සිදුවෙතැයි බය සිතී ස්විස්ටර්ලන්තයට නෑවිත් ඇරීමට සිදුවිය.

බලයේ සිටි කාලයේ දී ජෝර්ජ් බුෂ් හැසුරුණේ දාමරික පොලිස් ලොක්කකු ලෙසය.

පෙබරවාරි 12 දින ජීනීවා නුවර යුදෙව් පුන්‍යායතනයක අරමුදල් රැස්කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමීනීමට නියමිතව සිටි ජෝර්ජ් බුෂ් අවසාන මොහොතේ සිය ගමන අවලංගු කළේ ය. ප්‍රධාන අන්තර් ජාතික මාධ්‍ය ආයතන වාර්තා කළ පරිදි ඔහු සිය ගමන අවලංගු කළේ ස්විස්ටර්ලන්තයේ දී වධහිංසා පැමිණ වීමේ චෝදනා මත ඔහු අත් අඩංඟුවට ගනු ඇතැයි හෝ විරෝධතා ඇති වෙතැයි හෝ ඇතිවූ බිය නිසා ය.

පසුගිය නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද සිය චරිතාපදානයේ දී බුෂ් තමා අල්කයිඩා සැකකරුවන්ට දියේ ගිල්වීම හා සමාන හැගීමක් ඇති කරන අ්එැර ඉද්රාසබට නම් වධය පැමිණවීම අනුමත කළ බව පිළිගෙන තිබුණි. මෙම හිංසාව වධහිංසා පැමැණවීමට එරෙහි එකසත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදකි. කුප්‍රකට ගුවන්තනාමෝ කඳවුරේ දී මෙළෙස වධහිංසාවන්ට ලක්ව පසුව නිදොස් කොට නිදහස් කරන ලද දෙදෙනෙකු ද බුෂ්ට විරුද්ධ චෝදනා ඉදිරිපත් කළ අය අතර වෙති. ත්‍රස්තවාදියෙකැයි අල්ලා සිරකර තැබූ, ඉන් එක් අයෙක් වන සමි අල් හජි අල් ජසීරා නාලිකාවේ ජනමාධ්‍යවේදියෙකි.

ජර්මනිය මුලස්ථානය කොට ගත් මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කේන්ද්‍රය, මානව හිමිකම් සඳහා අන්තර් ජාතික මධ්‍යස්ථානය සහ එක්සත් ජනපදයෙහි ව්‍යවස්ථා අයිතීන් සඳහා වන කේන්ද්‍රය යන සංවිධාන තුන විසින් ජෝර්ජ් බුෂ්ට එරෙහිව ඇති චෝදනා අඩංගු පිටු 2,500ක වාර්තාවක් සකස් කරන ලදී. මෙම අපරාධ චෝදනාවට ලොව පුරා මානව හිමිකම් සංවිධාන 60ක් මෙන්ම වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු විශේෂ නියෝජිතයා ද අත්සන් තබා තිබුණි.

ක්ෂමා ජාත්‍යන්තරය ස්විස්ටර්ලන්තයේ නිතීපති දෙපාර්තමේන්තුව වෙත වධංහිසා පැමිණවීම සම්බන්ධයෙන් ජෝර්ජ් බුෂ්ට එරෙහිව දීර්ඝ විස්තරාත්මක චෝදනා පත්‍රයක් එවූයේ ය.

ඔහුගේ පාලන කාලයේ දී සිදුකරන ලද දරුණූ මානව හිමිකම් කෙළෙසීම් වෙනුවෙන් විදේශගත වන ඕනෑම අවස්ථාවක දී හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ට එරෙහිව චොදනා ගොනු කරන බවට අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව ඔහුගේ ජීනීවා ගමන අවලංගු කිරීමෙන් පසු ප්‍රකාශ කළහ.

ලෝකයේ කොතරම් බලවත් රටක වුවත් නායකයකුට එරෙහිව මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා නැගීමට සමත්වීම අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රජාව ලද මාහැගි ජයග්‍රහණයකි.

සුනන්ද දේශප්‍රිය