සිංහල, Democracy, Human Rights, Life quips, Nuwara Eliya

Come Tomorrow

p1.jpg

“දැනට මාසෙකට විතර ඉස්සෙල්ලා අපි ඉන්න වත්තේ සංකර් කියලා කෙනෙක්ගේ අම්මා මැරුණා. ඒ මැරිච්ච දවසේ ඒ ගොල්ලන්ට ටෙලිග්‍රුම් එකක් එවල තිබුණා. ‛‛Mother is dead, Come tomorrow ’’ කියල. දවසක් දාලා නැහැ. ටෙලිග්‍රුම් එක අපි ඉන්න වත්තට හම්බ වුනේ සුමානයකට පස්සේ. ඊට පස්සෙ නෑදෑයෝ ඔක්කොම, අපේ දෙමළ සංස්කෘතියට අනුව මල් මාල අරගෙන අඬ අඬා මළගෙදර යනකොට ඒ ගොල්ලෝ දානය දීලත් ඉවරයි. ටෙලිග්‍රූම් එක ලැබිල තියෙන්නේ දවස් පහකට පසුවයි.

ඊට පස්සේ තමයි නෑදෑයෝ ඔක්කොම ලෑස්ති කරගෙන මළගෙදර ගිහින් තියෙන්නේ. වතුවලට කවදාවත් ලියුම් වේලාවට එන්නේ නැහැ. වතුවල මිනිසුන් ඒ වත්තේ වහලුන් විදිහටයි තවමත් සැලකෙන්නේ. ඒක නිසයි ඔවුන්ගේ ලැයිම් කාමර වලට වලට ලිපිනයක් නැත්තෙ. වත්තේ කාර්යාලයට තමයි ඔවුන්ට අයිති ලිපි ලැබෙන්නේ.
හැටන් වල දරවල වත්තෙ සුභ්‍රමනියම් කියලා කෙනෙක් ඉන්නවා කියල අපි හිතමු, එතකොට ලිපියක් හෝ ටෙලිග්‍රූම් එකක් එන්නේ ‛‛සුභ්‍රමනියම්, දරවල වත්ත, හැටන් කියලයි. මෙ කොයි විදිහට ලිපියක් ආවත් ඒක ලැබෙන්නේ වත්තේ office එකටයි. වත්තේ කාර්යාලයෙන් කිසි දවසක වෙලාවට නම් ලියුම් බෙදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට වෙලාවක් තිබ්බොත් එහෙම ඒ වෙලාවට දෙනවා නැත්නම් ඉතිං සොරි තමයි. යම් විදිහකට ලියුමක් කාර්යාලයට ලැබුනෙ සිකුරාදාවක නම් ඒ ලිපිය බොහෝ වෙලාවට ලැබෙන්නේ සඳුදා තමයි. සඳුදා දුන්නත් වත්තේ සුභ්‍රමනියම්ලා දහ දෙනෙක් ඉන්නවා නම් ඒ දහදෙනාටම ගිහින් තමයි ලිපිය ලැබෙන්නේ. ඒ හම්බවෙන්නෙත් ලිපිය කාර්යාලයෙන් කඩල බැලුවට පස්සෙයි. වතුවලට විධිමත් තැපැල් ක්‍රමයක් නැහැ. නොම්බරයක් නෑ. ඇත්තටම අපිට එඩ්රස් එකක් නෑ. අපි හරිම අසරණයි.”
මේ වේදනාත්මක සිදුවීම අද දවසේත් අපට කොඳුරා කියනු ලබන්නේ වතුවල ජනයා වසර ගණනාවක සිට මුහුණ දෙමින් සිටින වෙනස්කම් ගැන නොවේ ද? රටේ ආර්ථිකය වර්ධනය කරන්නට තේ රබර් ගස් යට සිය ආත්මයන් හැමදාම වලදාන මේ මිනිසුන්ගේ ජීවිතයේ සුභවාදී සිහින අද දවසේවත් යතාර්ථයක් නොවන්නේ එය සිහිනයක්ම බව ඔවුන්ට පසක් කරමින් නොවේද?

ආණ්ඩුව වතුවල තරුණ තරණියන්ට ගුරු පත්වීම් ලබා දීම සදහා පසුගිය දා සම්මුඛ සාකච්ඡා පැවැත් වුනා. නමුත් ලිපිනයන් නොමැති කම නිසා එම පත්වීම් වෙනුවට ඔවුන්ට ලැබුනේ සුපුරුදු වෙනස් කොට සැලකීමම පමණකි.වතු ජනයා පවසන ආකාරයට මේ සිදුවීමත් හැමදාම වගේ ඔවුන්ව දේශපාලනිකව රැවටීමක්.
‛‛පසුගියදා අපේ වතුවල ළමයින්ට ගුරු පත්වීම් දෙන්න සම්මුඛ සාකච්ඡා පැවැත් වූවා. නමුත් එයට එන්න කියල ලියුම ලැබුනේ එම දිනේ පහුවෙලා සුමානයකටත් පස්සේ්. එතකොට සියල්ල නිමවෙල ඒ සඳහා වෙනත් ළමයි අරගෙනත් ඉවරයි. දෙයියො තමයි දන්නෙ අපේ ළමයින්ට යන කල

ලියුම් ගොඩක් එකට එනකොට ඒක වත්තේ මැනේජර් මහත්තයා තමයි ඉස්සරවෙලාම බලන්නේ කාට කාටද ලියුම් තියෙන්නේ කියලා. බැරි වෙලාවත් මැනේජර් මහත්තයාට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් දාලා තිබුනොත් කම්කරු උසාවියෙ සිල් එක ගහපු ඒ ලියුම එන්නෙත් ඒ ගොඩේ. එතකොට මොකද වෙන්නේ නඩුව ඉවර වුනාට පස්සේ තමයි අපට ලියුම ලැබෙන්නේ. ඒ වගේ ගොඩක් සිද්දි වෙලා තියෙනවා.
මේ සියලු දෙයින් නැවත නැවතත් ආණ්ඩුවට පසක් කරණුයේ සිංහල ජනයාට ලැබෙන වරප්‍රසාද සහ අයිතීන් උතුරේ කෙසේ වෙතත් දකුණේ දමිළ ජනයාටවත් නොලැබෙන බවයි. ආණ්ඩුවට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් උතුරේ ජනයාට ප්‍රථම තමන් අවට සිටින දකුණේ දමිළ ජනයාගේ ප්‍රශ්ණය වත් සාධාරණව විසඳිය යුතුයි. වතුකරයේ දමිළ ජනයා පවසන පරිදිම ලිපිනයන් තිබීමේ මූලික අයිතිය තහවුරු කළ යුතුමය.

සම්පත්/රසික