Colombo, Featured Articles, Features

බල්ටි අජිත් සහ සංගක්කාර


සිදු වීම අංක 01

ගෝල්ෆෙස් පිටිය ජනතාවගෙන් පිරී ඇත. සියළු දෙනාගේම මුහුණේ ඇත්තේ උද්යෝගයකි. පන්දු යවන්නේ ශ්‍රී ලංකාවයි. පහර දෙන්නේ ඉන්දියාවයි. ලසිත් මාලිංග එවූ පන්දුවකට සචීන් තෙන්දුල්කාර් දැවී යයි. ප්‍රේක්ෂකයෝ කෑගසති. ජාතික කොඩිය ලෙලදෙයි. මුළු ගෝල්ෆේස් පිටියම උත්සවශ්‍රීයෙන් ඇළලෙයි. රතිඥ්ඥා පුපරයි.

සිදු වීම අංක 02

මෙම සිදුවීම සිදුවන්නේ ගෝල්ෆේස් පිටියේ නොවේ. එම පිටියේ සිට කිලෝමීටර් කිහිපයක් මෑතකට වන්නටය. එනම් බොරැල්ල හන්දියේ බාර් එක අසලය. නරඹන්නට ප්‍රේකෂකයෝ සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ඔවුනුත් රාත්‍රි 9ට බාර් එක වැසීමට පෙර ලහි ලහියේ තම අවශ්‍යතාවය ඉටුකරගැනීමට බාර් එක තුළ පොරකයි. මෙම නිමේෂයේ බල්ටි අජිත් හා ඔහුගේ සහයකයා විසින් ක්‍රිඩාව ආරම්භ කිරීමට සූදානම් වෙයි. තණ නිල්ලක් නොමැති තමා විසින්ම දූවිලි පිසදාගත් පේව්මන්ට් එක බල්ටි අජිත්ගේ ක්‍රීඩා පිටියයි. බාලපොරොත්තු දැල්වූ දෑස් මිලියන විස්සක් තියා දෑස් විස්සක් වත් ඔහු දෙස දල්වාගෙන නොමැත. අවසානයේ බල්ටි අජිත් කළු ගල කකුල් දෙකෙන් ඔසවයි. සමාවන්න ඔහුගේ ක්‍රීඩාව ක්‍රිකට් නොවේ. ඔහුගේ ක්‍රීඩාව, ඔළුවෙන් හිටගෙන කළු ගලක් කකුල් දෙකෙන් එසවීමයි.

ක්‍රිකට්

ක්‍රිකට්, මෙතෙක් කාලයක් ලාංකිකයන්ට ගැටළුවක්ව පැවති පොල් මිල පිළිබඳ වේදනාව අමතක කළේ ය. එළවළු මිල පිළිබඳ තිබූ තරහව යටපත් කළේය. ප්‍රෙට්රල්, ගෑස් මිල වැඩි කළ බව දැනගන්නට ඉඩ නොතිබ්බේ ය. මෙලෙස ලංකාවේ ජනයා පෙලූ සියළු වේදනාවන් අමතක කොට මානසික විශ්‍රාන්තියක් ගෙන දුන්නේ කවුරුන්ද? ඒ ක්‍රිකට්ය. මානව හිමිකම් කඩකිරීම්, යුද අපරාධ, ජනමාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනීම් දැන් ලංකාව තුළ සිදු නොවේ. ලංකාවට මෙවන් විමුක්තියක් ගෙනාවේ කවුරුන්ද? ඒ ක්‍රිකට්ය. ජනාධිපතිවරයා ක්‍රිකට් බලන්නට ලහි ලහියේ ගෙදර කට්ටියත් එක්ක යන්නේ ක්‍රිකට් වල ඇති මෙම ජනතාව ෆෝමලින්කරණය කිරීමේ ගුණය නිසාය.

බල්ටි

ජීවත් වීමට කිසිදු මාර්ගයක් නොමැති සමාජයක අඩු ගණනේ මිනිසුන්ගේ විශ්මය විකුණා ජීවිකාව උපයාගැනීමට කකුලක් නොන්ඩි ගසන අජිත්ට උපකාර වූයේ කළු ගල් එසවීමයි. මිනිසෙක් තම ජීවිතය අධික ලෙස අවධානමකට පාත්‍ර කරන ප්‍රමාණය අනුව මුදල් ගෙවන සමාජයක අප ජීවත් වන්නෙමු. බැරි වෙලාවත් කකුලේ කළු ගල ඔළුවට වැටුණොත් සිදුවන හානිය ක්‍රිකට් වලින් ඉන්දියාවට පරාද වෙනවාට වඩා වැඩිය. එබැවින් ක්‍රිකට් වලින් අමතක කරන බොහෝ ප්‍රශ්න බල්ටි අජිත් නැවතත් මතක් කර දෙයි. ලංකාවේ විරැකියාව, දුප්පත්කම, තරුණ අසහනය බල්ටි අජිත්ගේ ඔසවන කළු ගලේ කොටා ඇත.

ක්‍රිකට් වලින් ජනතාව සීඝ්‍ර ලෙස අදේශපාලනික තලයකට ගෙන යද්දී බල්ටි අජිත් නැවතත් ජනතාවට දේශපාලනය උගන්වයි. එබැවින් සංගක්කාරට වඩා බල්ටි අජිත් දේශපාලනිකය. වීරෝධාරය. ක්‍රම විරෝධීය. පොලීසියෙන් විසින් සංගක්කාරට ආරක්ෂාව දෙද්දී, බල්ටි අජිත්ව පේමන්ට එකෙන් එලවන්නේ එබැවිනි.

Pic by – Chamila Priyanka