Colombo, end of the War, Featured Articles, Features

‛‛අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.’’ – ගාමිණි වියන්ගොඩ

පසුගිය මැයි 03වනදාට යෙදී තිබුනු ‛‛ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස උදෙසා වන දිනය’’ නිමිත්තෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ප්‍රවීන ලේඛක ගාමිණි වියන්ගොඩ විසින් පැවැත්වූ දේශණයකදී දැක්වූ අදහස් මෙසේ පළකරමු.

1960 ගණන්වල ලංකාවේ දියුණු දේශපාලන සංස්කෘතියක් තිබුණා, දියුණු මාධ්‍ය සංස්කෘතියක් තිබුණා, එම කාලවල ලංකාවේ දේශපාලනඥයින් ඉතා අවංක පුද්ගලයන්ය, ඔවුන් රට වෙනුවෙන් වැඩ කළාය, දේශපාලනයට පැමිණීමට ඔවුන් තමන්ගේ ධනය වැය කළාය ආදී වශයෙන් අතීතය පිළිබඳ එක්තරා ආකාරයක අතීතාශාවකින් අපි කතා කරනවා. දත්තමය වශයෙන් බලන විට ඒ කාලයේ මීට වඩා උසස් දේශපාලන සංස්කෘතියක් තිබුණා කියන එක කාටත් ඉතාමත් අවිවාදයෙන් පිළිගන්නට පුළුවන් කාරණයක්. මගේ විශ්වාසය අනුව ඒ කියන අතීත කාලය හා වර්තමාන කාලයේ මිනිසුන්ගේ කිසි වෙනසක් නැහැ. 1970 හා 1980 දශකවල ලංකාවේ ඇතිවෙච්ච මූලික වෙනස්කම් මේ තත්ත්වයට පාදක වුණා කියලා කියන්න පුළුවන්.

මේ රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක්, ත්‍රස්තවාදය නමින් හඳුනාගත්ත ප්‍රශ්නයක් අවසාන වශයෙන් නිමාවට පත් කරලා ලංකාවට සාමය උදාකරගත්තා කියලා අපි ගිය අවුරුද්දෙ සැමරුවා. ත්‍රස්තවාදී ප්‍රශ්නය කියලා අපි හඳුනාගත්ත ප්‍රපංචය, 1970 දශකයේ තමයි උඩු දුවන්නට පටන් ගන්නෙ. රටක ජනතාවගේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒ රටේ දේශපාලන චින්තාවේ පළවෙනි අංකය බවට පත්වෙන කොට, මෙලෙස පළවෙනි ස්ථානය ලබා ගත්ත මේ ප්‍රශ්නය ජාතියේ ජීවිතය හා මරණය අතර ප්‍රශ්නයක් බවට පත්වෙනකොට ඒකට හසු නොවී සිටීම ඉතාමත්ම අසීරුයි.

1940 සිට 1960 කාල වකවානුව දක්වා ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදි ස්ථාවරයක සිටි බව අපි දන්නවා. යම් යම් අවස්ථාවල සුළු සුළු පීලි පැනීම් සිද්ධ වුණත් පොදුවේ ගත්විට මේ වාමාංශික ව්‍යාපාරය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, සුළු ජාතීන්ගේ භාෂා අයිතිය ආරක්ෂාවීම වෙනුවෙන් එක දිගට පෙනී සිටියා. ඒ කාලයේ සිටි කම්කරු පන්තිය සහ පීඩිත පන්තිය මේ සුළුජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, කඳුකරයේ දෙමළ කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක සිටියා. එදා සමස්ත සමාජයම එහෙමයි. ඒ නිසාම ලංකාවේ දේශපාලඥයින්ට මේ ප්‍රශ්න පිළිබඳව පෙනී සිටීමට විශාල පන්නරයක් සමාජයෙන්ම ලැබුණා.

නමුත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ආයුධ අතට ගත් සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වීමත් සමග, ඉන්පසු මේ සන්නද්ධ ව්‍යාපාරය විසින් ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන මට්ටමට දියුණු වුණාට පස්සෙ ඉස්සර ජනතාවගේ තිබුණු මනෝභාවය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න ගත්තා. ‘මව්බිම’ එක පැත්තක අනික් පැත්තෙන් ‘ත්‍රස්තවාදය’. මේ විදිහට සමාජය බෙදෙන කොට 50,60 දශකවල පැවති ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ නායකයින්ට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමට තිබුණු හයිය නැතුව යනවා. ඊට පස්සෙ ඒ ස්ථානවලට පැමිණි ඉතුරු අය අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදය හා දේශප්‍රේමීත්වය කියන විභේදනය තුළ කල්ලි ගැහෙනවා. මෙවැනි පරිසරයක් සමාජයේ බිහිවුණාට පස්සෙ රාජ්‍ය මර්ධනය ඉතාමත්ම පහසු වෙනවා. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ, දුප්පත් නිර්ධනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නේ ඉතාමත් සුළු පිරිසක් විතරයි. අති බහුතරය කතා කරන්නේ දේශප්‍රේමය පිළිබඳව.

මේ තත්ත්වයකට සමාජයක් පත්වුණාට පස්සේ ඒ පිළිබඳව දේශපාලඥයො වරින් වර ප්‍රකාශ කරන මතිමතාන්තර වලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒවා ආයතනගත වෙනවා. ඒ මතිමතාන්තර ආයතනගත වුණාට පස්සේ එම ආයතන පෙර තිබුණ ආයතන ව්‍යුහයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ නව අවශ්‍යතාවය සඳහා, මේ දේශප්‍රේමී අවශ්‍යතාවය සඳහා ආයතන හැඩගැහෙන්න ගන්නවා. ලංකාවේ මාධ්‍යට වුණේ මෙන්න මේ ටික. රටේ පාලක පන්තිය පසුගිය අවුරුදු හයක විතර කාලය තුළ හදලා දීපු සැලැස්මක් තියෙනවා. යුද්ධයේ තිබුණු තීව්ර ස්වභාවයත් එක්ක පසු ගිය කාලය තුළ මේ සැලැස්ම සීඝ්‍රයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒ සැලැස්ම මත තමයි ලංකාවේ පත්තර, රූපවාහීනි, රේඩියෝ තමන්ගේ අළුත් හැව හදාගන්නෙ.

ලංකාවේ මාධ්‍ය ඇතුළු අනික් සෑම දෙයක්ම අභ්‍යවකාශයේ වෙනම සැරුසරන ආයතන නෙමෙයි. ඒවා කටයුතු කරන්නේ මේ තියෙන සමාජ පරිසරය ඇතුලෙ. ඒක නිසා මේකෙන් ගැලවිලා ඉන්න පුළුවන් කමක් නැහැ. සමහර ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන් කැමැත්තෙන් නෙමෙයි ඉන්නෙ. ඒ වගේම තවත් මාධ්‍යවේදීන් ඉන්නවා පාලකයෝ කියනවට වඩා වැඩියෙනුත් ඉස්සරහට ගිහිල්ලා මේ වැඩ කරනවා. ඒ කියන්නෙ කැමැත්තට වඩා කැමැත්තක් මේ වැඩ සම්බන්ධයෙන් තියෙනවා.

අපේ රටේ පාලකයන්ට ඔවුන්ගේ දෘෂ්ටිවාදයක් යටතේ මේ විදිහට ජනතාව එක පෙළකට පෙළ ගස්වන්න පුළුවන් වුණේ කොහොමද? ඒක රටක පාලකයන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතීන් පිළිබඳ ප්‍රශ්නය අවුරුදු 30,40 ක් තිස්සේ ලැබිය යුතු සැලකිල්ල හා අවධානය නොලැබීම නැත්නම් ඒක කුරුවල් වෙන විට ඒක තුළින් ඇතිවුණු අවකාශය තුළින් තමයි අපේ රටේ පාලකයන්ට මුළු රටේම ජනතාව එක පෙලකට පෙලගස්වන්න ශක්තිය ලැබුණෙ.

මැයි 19 වෙනිදා ප්‍රභාකරන් ඝාතනය කළාට පස්සෙ මැයි 20 වෙනිදා ඉඳලා අපිට නිදහසේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන්, අද වෙනකොට මේ රටේ නිදහසේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉස්සර වැඩට ගිහිල්ලා හවස එයි කියලා විශ්වාසයක් තිබුණෙ නැහැ. දැන් ඒ විශ්වාසය තියෙනවා කියලා ජනප්‍රිය කතාවක් තියෙනවා. ඉතා සරල සහ ජනප්‍රිය මතිමාතාන්ත්‍ර රාශියක් තියෙනවා. නමුත් ඒ මතිමතාන්ත්‍ර අස්සෙ නෙමෙයිද යුද්ධයෙන් පසුව පාලකයන්ට අවශ්‍ය වන්නේ බලය තමන්ගේ අතේ සංකේන්ද්‍රය කර ගැනීමට. ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොලැබීම කියලා කියන්නේ බලය පිළිබඳ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රීයව විසඳා ගැනීමට පාලකයන්ගේ ඇති අසමත්කම සහ නොසූදානම. අඩුම වශයෙන් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන 13 වන ව්‍යවස්ථා සංශෝධනයවත් ක්‍රියාත්මක කරන්නට ලංකාවේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැහැ.

ගාමිණි වියන්ගොඩ