සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Media

එජා වාර්තාවට එරෙහිව යාපනයේ වැසියන්ගෙන් බලෙන් අත්සන් ගනී.

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ (8) යාපනය නගරයේ සංවිධානය කර තිබූ අතර එහි දී දෙමළ ජනතාවගේ් පසු පස පන්නමින් ගොස් අත්සන් ලබාගෙන ඇති බව පසුගිය 09වනදා උදයන් පුවත්පත වාර්තා කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව විසින් ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති චෝදනා වලට එරෙහිව අත්සන් ව්‍යාපාර මේ දිනවල රට පුරා දක්නට ලැබේ. මෙම අත්සන් ව්‍යාපාරයේ එක් අදියරක් ලෙස උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ(8) සංවිධානය කර තිබූ අතර ඒ සඳහා පෞද්ගලික ප්‍රවාහන නියෝජ්‍ය ඇමති සී. බී රත්නායක ප්‍රධානව සිය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනයට පැමිණියහ. මෙම කණ්ඩායම කිලිනොච්චි, මුලතිව් ආදී ප්‍රදේශවල සිටින ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගෙන ඇති අතර අත්සන් තැබුවොත් සහනාධාර දෙන බවට ද පොරොන්දු විය. පසුව යාපනයට පැමිණි මෙම පිරිස සුණ්ඩුක්කුලි, කොළුම්බුත්තුරෙයි ප්‍රදේශවල මහා මාර්ගයේ ගමන් කළ ජනතාව නවත්වා ඔවුන්ගේ අත් රැගෙන බලහත්කාරයෙන් අත්සන් කරවා ගෙන ඇත. එම නිසා මෙම ජනතාව මොවුන් රැඳී සිටි මහා මාර්ග මගහැර විකල්ප මාර්ග භාවිතා කර ඇත.

ඉන්පසු මෙම පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව කෑගසමින් යාපනය බස් නැවතුම් පොළ දෙසට ගමන් කර ඇති අතර මේ සඳහා හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද මොවුන්ට හිමි විය. බස් රථයක් පැමිණෙන තෙක් නැවතුම්පොළෙහි රැඳී සිටි මගීන් පසු පස පන්නමින් ද අත්සන් ලබා ගැනීමට මෙම පිරිස කටයුතු කර ඇත. මොවුන්ගේ මෙම ක්‍රියාකලාපය යාපනය නගරය තුළ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට ද සිවිල් ජනතාව භීතියට පත්කිරීමට ද හේතු විය. මීට පෙර ද දකුණේ සිට පැමිණි සර්ව ආගමික කණ්ඩායමක් උතුරේ ජනතාවගෙන් එක්සත් ජාතීන්ගේ කමිටුව පිළිබඳව අදහස් විමසා ඇති අතර අත්සන් ගැනීම සඳහා ඇමතිවරයා ප්‍රධාන පිරිස යාපනයට පැමිණ ඇත්තේ ඉන් පසුවය.