end of the War, Featured Articles, Features, Jaffna

‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘට මැර ප්‍රහාරයක් – මේ උතුරැ වසන්තයේ මාධ්‍ය නිදහසද?

යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන අතරතුර ප්‍රහාරයට ලක් වූ නාහසුන්දරම් කුගනාදන් මහතා යාපනය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

කුගනාදන් මහතාට මෙම පහරදීම සිදු කර ඇත්තේ නාවල්ආර් හංදිය අසලදී බවත් මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයෙක් මග හරස් කරමින් ඔහුට පොලුවලින් පහදී ඇති බවට යාපනයේ මාධ්‍යවේදියෙකුගෙන් අප කල විමසීමකදී පැවසීය. කෙසේ නමුත් කුගනාදන් මහතාට පහර දුන් ස්ථානය ආසන්නයේම ආරක්ෂක අංශ මුරපොළක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට පසුගිය කාලය පුරාම විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. නාහසුන්දරම් කුගනාදන් මහතාට පහරදීමට පෙර පසුගිය මැයි 28 වනදා උදයන් පුවත් පතේ මාධ්‍යවේදී එස්. කවිතරන් මහතාට ප්‍රහාරයක් එල්ල විය. 2006 මැයි 2වනදා එනම් ලෝක නිදහස් මාධ්‍ය දිනයට පෙර දිනයේදී යාපනයේ උදයන් පුවත් පත් කාර්යාලට ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදී දෙදෙනෙකු ඝාතනය කරමින් පස් දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් එම කාර්යාලයට බරපතල ලෙස හානි සිදු කලේය. 2006 ජනවාරි 26 වනදා උදයන් පුවත්පතේ ත්‍රිකුණාමලයේ වාර්තාකරු එස්.එස් සුහිර්තර්ජන් මහතා ඝාතනය කලේය. ඔහුත් ඝාතනය ලක් වූයේ නන්නාදුනන ආයුධ සන්නද්ධ මැර පිරිසක් විසින් බව බලධාරීන් කීවේය. එසේම මේ වන විට උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් විශාල ගණනක් ඝාතනයට ලක් කර ඇත. නමුත් මෙම සියලු ප්‍රහාරයන් සිදු කළ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් නීතිය ඉදිරියට පැමිණ වීමට බලධාරීන්ට මෙතෙක් නොහැකි වී තිබේ.

එසේම විශාල හමුදා සොල්දාදුවන් පිරිසක් මේ වන විටත් රඳවා ඇති යාපනයේ මෙවන් ප්‍රහාරයන් සිදු කර ප්‍රහාරකයන් පළා යන්නේ කෙසේ ද? මෙවන් ආයුධ සන්නද්ධ මැරයින් ගමන් ගන්නා විට තවමත් මහපාරේ ඇති මුර කපොලුවල සොල්දාදුවන්ට මොවුන් නොපෙනෙන්නේ කෙසේද?

මෙම සටහන ලියන මොහොතේ ලියුම්කරුට මතක් වූයේ විකල්ප වෙබ් අඩවියේ පලවූ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සිදු කල ප්‍රකාශයක්.

”නිවසක පැවැත්වන උත්සවයක් පවා හමුදාවට වාර්තා කළ යුතු ය. එපමණක්ම නොවේ. වන්නියේ ජීවත්වන අයෙක් එහි තිබෙන ඔහුගේ ඥාති නිවසකට ගොස් රාත්‍රියක් ගතකළේ නම් පසුවදා හමුදාව එම නිවසට පැමිණ එය විභාග කරයි. මෙමගින් මා කියන්නේ දේශපාලන තලයෙහි සීමා සහිත ප්‍රජාතන්තවාදයක් පවතින අතර ජනතාවගේ පෞද්ගලික ජීවන රටාව තුලට පවා හමුදාව ඇතුල් වී තිබෙන බවයි..

තවද රජයේ නිලධාරියකුට වුවත් වන්නියේ දී හමුදාවේ අවසරයකින් තොරව කිසිවක් කළ නොහැකිය. රාජයේ නිලධාරින් සමඟ අප පෞද්ගලික කථාකරන අවස්ථාවන්හිදී ඔවුන් එම තත්ත්වය අපට පවසා තිබේ. එබැවින් මෙහි දී අපට දක්නට ලැබෙන්නේ හමුදාමය පාලනයක් ඇතුලත් පරිපාලනයකි. මෙය හමුදාමය පාලනයක් කරායන ගමනක් බව වන්නියේ ජීවත්වන සියලු දෙනාටම හැඟෙන කරුණකි.

දැනට සාමාන්‍යයෙන් වන්නියේ සාමන්‍ය ජනයා තිදෙනෙකුට එක් හමුදා සෙබෙළෙක් සිටී. යුද්ධය අවසන්වී වසර දෙකක් නිමාවී ඇති නමුත් යාපනයේද මෙලෙස විශාල හමුදාවක් රඳවා තිබේ. තැනින් තැන හමුදා කඳවුරු ඉදිවෙමින් තිබීම දකින අපට සිතෙන්නේ හමුදාමය ප්‍රදේශයක් බවට උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙනස් වෙමින් තිබෙන බවයි.”

සම්පත් සමරකෝන්