සිංහල, Colombo, Corruption, Democracy, Education, Governance, Human Rights, Media

“මේ ආණ්ඩුව එක පැත්තකින් බැංකු කඩන තව පැත්තකින් මාල කඩන ආණ්ඩුවක්”- ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

“රැකියා විරහිතව පීඩාවට පත්ව, ලංකාවේ මේ වන විට 40,000 කට අධික උපාධිධාරී පිරිසක් ඉන්නවා. මේ රැකියා විරහිත උපාධිධාරි ලේඛනයට වාර්ෂිකව පිරිස් තව තවත් එකතු වෙනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු 42,000 ක පමණ ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම පුරප්පාඩු තිබෙද්දිත් ආණ්ඩුව විසින් උපාධිධාරීන් බඳවා ගන්නෙ නැතුව ඒ පුරප්පාඩු පවත්වාගෙන යනවා. 2009 වර්ෂයේ අප සංගමය කරපු අරගලයේ ප්‍රතිපලයක් විදිහට සෞන්දර්ය උපාධිධාරීන් 3174 ට පත්වීම් ලබා දෙනවා, ජනසභා ලේකම් තනතුරු 14,000 ක් ලබා දෙනවා, දේශීය වෛද්‍ය පත්වීම් 900 ක් ලබා දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා. ජනාධිපතිවරණයෙදි ආණ්ඩුවට උදව් කරන අයට පමණක් පත්වීම් දෙනවා කියලා උපාධිධාරීන් සියල්ල මැතිවරණ කටයුතු වලට යොදා ගත්තා. මැතිවරණයට උපාධිධාරීන්ව කඩේ යවන්න යොදා ගත්තා. නමුත් අවසානයේදී ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ.”

ආණ්ඩුවේ සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා අසාධාරණයට ලක්ව සිටින උපාධිධාරීන්ගේ ගැටළු හෙළිදරව් කරමින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (12) කොළඹදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී එම සංගමයේ කැඳවුම්කරු දිනිඳු සමන් හෙන්නායක මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.මෙම සංගමය විසින්, ජනසභා ලේකම් තනතුර පිළිබඳ ආණ්ඩුවේ නිහඬ ප්‍රතිපත්තිය,2007 උපාධිධාරීන් සඳහා පැවැත්වූ ගුරු විභාගයේ අක්‍රමිතා, පත්වීම් සම්බන්ධයෙන් පවතින දේශපාලන මැදිහත්වීම් සහ සෞන්දර්ය ගුරු පත්වීම් වලදී බාහිර උපාධිධරයන්ට සිදුවූ අසාධාරණයන් ඇතුළත් කොට අද දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර තමන්ගේ ගැටළු වලට තවදුරටත් ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ඉදිරියේදී ජාතික මට්ටමේ අඛන්ඩ උද්ඝෝෂණයක් දියත් කිරීමට තීරණය කර ඇති බව පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දිනිඳු සමන් තවදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“පසුගිය සතිය වෙද්දි සෞන්දර්ය උපාධිධාරීන් 3000 කට ආසන්න ප්‍රමාණයකට රැකියා ලබා දීලා තියෙනවා. එම රැකියා ලබා දීම දැඩි දේශපාලන අතපෙවීම් මත සිදු වූ රැකියා ලබා දීමක්. කිසිම වැඩපිළිවෙලක් නැතිව දේශපාලන අතපෙවීම් මත කරපු රැකියා ලබා දීමට අපි විරුද්ධයි. සියළු දෙනාටම රැකියා ලබා දෙන්න ඕනෙ. නමුත් මෙහිදි දේශපාලන මැදිහත්වීම් නැතිව විනිවිදභාවයනේ යුතු වැඩ පිළිවෙළක් ආණ්ඩුව හදන්න ඕනෙ.සෞන්දර්ය විභාගය පවත්වද්දි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ 2005 වර්ෂයට පස්සෙ ඉවත් වෙච්ච ශිෂ්‍ය කණ්ඩායමට මේ විභාගයට පෙනීහිටින්න පුළුවන් කියලා ආණ්ඩුවේ කියලා තිබ්බා. ඔවුන් විභාගය ලිව්වා. නමුත් මේ ශිෂ්‍ය කණ්ඩායමේ 700 දෙනා තාම පත්වීම් නැතුව ඉන්නවා. අද ඔවුන්ට තමන්ගෙ උපාධිය අදාල දිනයට වලංගු නැහැ කියලා කියනවා. මේ විදිහට බොරු ප්‍රචාර වලින් මාධ්‍ය වල සංදර්ශන කරලා උපාධිධාරීන්ගෙ ඇත්ත ප්‍රශ්නය යට ගහන්න උත්සාහ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.”

“ආණ්ඩුව උපාධිධාරියාගේ ප්‍රශ්නය පාවිච්චි කරලා 2005 වර්ෂයේ ඉඳන් උපාධිධාරියාට රස්සාවල් දෙනවා වෙනුවට උපාධිධාරියාගෙන් සල්ලි ගැනීමේ සහ තමන්ගේ දේශපාලන වැඩපිළිවලට සහභාගි කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. සෞන්දර්ය විභාගයට පෙනී ඉන්න කියලා රුපියල් 400 බැගින් ලක්ෂ 15 කට ආසන්න මුදලක් උපාධිධාරීන්ගෙන් අයකරගෙන තිබෙනවා.2007 පළාත් පාසැල් වල විභාගය පවත්වන්න රුපියල් 250 බැගින් 30, 000 ට ආසන්න උපාධිධාරීන්ගෙන් මුදල් අය කරගෙන තිබෙනවා. මෑතකදි ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුපත්වීම් දෙන්න චක්‍ර ලේඛයක් නිකුත් වුණා. මෙහිදි උපාධිධාරීන් 42,000 ට ආසන්න ප්‍රමාණයකින් රුපියල් 400 ගානෙ විභාගය සඳහා අයකරලා තියෙනවා. මේ ආකාරයට කෝටි තුනහමාරකට ආසන්න මුදලක් මෑතක තියපු විභාග වලින් ආණ්ඩුව ගසාකාලා තියෙනවා. උපාධිධාරියාට රස්සා නැති එක භාවිතාකරමිනුත් ආණ්ඩුව සල්ලි හම්බ කරනවා.එක පැත්තකින් මේ ආණ්ඩුව බරපතල වංචා දූෂණ කරමින් මුදල් ගසා කනවා. ඒ වගේම අනික් පැත්තෙන් සුළු සුළු ප්‍රමාණයන්ගෙන් මුදල් ගසා කන්න පුළුවන් තැන් වලිනුත් මුදල් ගසා කනවා. මේ ආණ්ඩුව එක පැත්තකින් බැංකු කඩන ආණ්ඩුවක්. අනික් පැත්තෙන් මාල කඩන ආණ්ඩුවක්.”

“මීට මාස දෙකකට පෙර කෙහෙළිය රඹුක්වැල්ල අමත්‍යවරයා කිව්වා ලංකාවේ උපාධිධාරීන් 15,000 ක් මේ අගෝස්තු 01 වෙනිදට පෙර සංවර්ධන නිළධාරී තනතුරට බඳවා ගන්නවා කියලා. අද අගෝස්තු 12 වෙනිදා. අපි අහනවා ආණ්ඩුවෙන් කෝ ඒ සංවර්ධන නිළධාරී තනතුර කියලා. ජනසභා ලේකම් තනතුරට බඳවා ගන්නවා කියලා 2010 ජූලි 18 වෙනිදා සිළුමිණ පත්තරේ දාලා තිබුණා. ‛මුදල් සූදානම්, සැලසුම් සූදානම්, ජනසභා ලේකම් ධූරයට බඳවා ගැනීම සැප්තැම්බරයේ’ කියලා පත්තරේ තිබුණා. 2010 සැප්තැම්බර් මාසයේ සියල්ල සූදානම් කරලා තිබ්බ ජනසභා ලේකම් තනතුර ගැන අද කතා කරන්නෙවත් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිම අමාත්‍යාංශයක් වගකීම ගන්නේ නැහැ. ජනසභා ලේකම් තනතුරට ව්‍යාපෘති හදන්න කියලා බලපෑම් කරලා, මේ ව්‍යාපෘති හදන්න රුපියල් 2500ක් 3000ක් උපාධිධාරීන්ගෙන් වියදම් වෙලා තියෙනවා. මේ විදියට බලපෑම් කරලා ව්‍යාපෘති හදවලා උපාධිධාරීන්ව රවට්ටලා තියෙනවා.”

වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බාහිර උපාධිධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කරන අසාධාරණ ක්‍රියාකලාපය පිළිබඳව තම අත්දැකීම් යටියන්තොට නිදහස් උපාධිධාරී සංගමයේ භාණ්ඩාගාරික උදයංගනී කුමාරි මෙලෙස හෙළිදරව් කළාය.

“මම කැලණිය විශ්ව විද්‍යාලය 2007 බාහිර උපාධිය සමත්වෙලා දැන් අවුරුදු 04ක් පුරා රැකියාවක් නැතුව ගෙදර ඉන්නවා. බාහිර උපාධියට කිසම විදිහක ගුරු පත්වීමක්, රස්සාවක් දෙන්න බැහැ, අපිට ගුරු පත්වීමක් සුදුසු නැහැ, එහෙම දුන්නොත් පාරෙ යන අයටත් ගුරුපත්වීම් දෙන්න වෙයි කියලා අධ්‍යාපන ඇමතිතුමා අපිට කිව්වා. බාහිර උපාධිධාරයාට තියෙන තත්වය මොකක්ද? කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා මහාචාර්යතුමා ඇමතිතුමාට ලියුමක් යවලා තියෙනවා බාහිර උපාධිධාරියො ඉගැන්වීමට සහ ඇගයීම් කටයුතු වලට සුදුසුයි කියලා. ඇමතිවරයා බාහිර හා අභ්‍යන්තර උපාධිධාරියො කියලා ලොකු බෙදීමක් කරලා බාහිර උපාධිධාරියන්ව පාරට ඇදලා දාන්න හදනවා. ඇමතිතුමා හම්බවෙන්න ගියාම ළමයින්ව එලවලා දානවා. සත්තුන්ට වගේ සලකන්නෙ. සෞන්දර්ය ගුරු පත්වීම් චක්‍රලේඛයේ තියෙන ආකාරයට විභාගයක් පවත්වලා විභාගයෙන් වැඩි ලකුණු තියෙන අයට පත්වීම් දෙනවා කියලා ආණ්ඩුව කිව්වා. නමුත් විභාගෙත් සමත් වෙලා දෙවෙනි සම්මුඛ පරීක්ෂණයට ගියාම කියනවා බාහිර උපාධි අයට පත්වීම් දෙන්න බැහැ කියලා.”