Featured Articles, Features

‛චින්තනය’ ඵළ දරමින් සිංහරාජ අඩවිය දෙකඩ කරයි – නාමලුත් සහයට..

‛‛මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද හා ඒ ආශ්‍රිත ව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සිංහරාජ අඩවියට පැවරීමේ ක්‍රියාවලිය නතර කර එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබා දීමට ය. යටි අරමුණ සඟවා තබා පොතුපිටිය ප්‍රදේශයේ ජනතාව මුලා කර මේ මාර්ගය ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන තිබේ. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසනයේ ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා විසිනි. මහින්ද චින්තනය මල් ඵල දරමින් යැයි සඳහන් කරමින් සිංහරාජ අඩවිය දෙකඩ කිරීමට දේශපාලන තීන්දු ගැනීමට හා ඒ සඳහා ක්‍රියාත්මක වීම පිළිබඳ ව අප කණගාටු වෙමු.’’

අති සංවේදී පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ වන අඩවිය ‘මහින්ද චින්තනය මල්ඵල ගන්වමින්’ යැයි කියා ඒ මතින් මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පසුගිය කාලය පුරාම ලංකාවේ මේ වන විට ඉතිරිවී ඇති වනාන්තර පද්ධතීන් ආරක්ෂා කිරීම, සංරක්ෂනය කිරීම වෙනුවට බළධාරීන් තෝරා ගත්තේ ඒවා විනාශ කරමින් ඒ මත සංවර්ධනය යන ලේබලය ඇලවීමටය. සෝමාවතිය, නක්ල්ස් අති සංවේදී පරිසර පද්ධතින් එවායින් කිහිපයකි. කෙසේ නමුත් මේ ඊනියා සංවර්ධන පැලැස්තරය චින්තනයේ මල්ඵල ගැන්වීමකට කේසේ වෙතත් ඉදිරි පරම්පරා ගණනාවකට මෙන්ම සමස්ථ ලෝකයටම සංවේදී පරිසර පද්ධතියක් අහිමි කිරීමකි. කරුමය නම් සංවේදී නායකයෝ මේ සංවේදී බව හඳුනන්නේ නැතිකමය. දුටුගැමුණුලාගේ යැයි කියාගනු ලබන අවිඥාණකයින් මුදලට ඇති කෑදර කම නිසා මෙය හඳුනන්නේ නැති බවය.

සිංහරාජය වැනි අති සංවේදී පරිසර පද්ධතියක්, මුදලට ඇති ගිජුකම නිසා විනාශ කිරීමත්, ඒ තුලින් සිදුවන දැවැන්ත විනාශයත් විග්‍රහකෙරෙන පරිසර සංරක්ෂණ භාරයේ, සජීව චාමිකර විසින් අප වෙත ඒවා ඇති සමස්ථ විග්‍රහය මෙසේ පළ කරමු.

වනාන්තර කුට්ටිකරණය වීම ජෛව විවිධත්ව හායනයට ප්‍රධාන වශයෙන් බලපාන බව විද්‍යාත්මක ව හඳුනා ගෙන ඇතත් හය හතර නොතේරෙන අඳබාල ප්‍රතිපත්ති තීරකයින් සැමවිටම උත්සාහ දරන්නේ වනාන්තර කුට්ටිකරණය කරමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ය. සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පවරා ගැනීම සඳහා මූලික සැලසුම් සකස් කර අවසන් සිංහරාජය හා සම්බන්ධ සුවිශේෂී වනාන්තරයක් හරහා මාර්ගයක් ඉදි කර සිංහරාජ අඩවිය දෙකඩ කිරීමට පසුගිය ජුලි මස 27 වන දා පළමු පස් පිඩැල්ල කැපුණි.

ඒ ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා කිලෝමීටර හයක් පමණ වන මාර්ගයක් ඉදි කිරීමට ය.
ඉලුඹකන්ද වනාන්තරය ලෙස හඳුන්වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වනපෙත සිංහරාජය හා එකට ඈදී ඇති අඛණ්ඩ ව විහිදුණු වනාන්තර පද්ධතියකි. කුකුළේ ගඟ හා සම්බන්ධ දෙල්ගොඩ ගඟ (පොතුපිය ගඟ) සහ කොස්ගුලන ගඟේ ආරම්භය ද මේ වනාන්තරය යි. එපමණක් නො ව හඳපාන් ඇල්ල පිහිටා ඇත්තේ ද මේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශය තුළ ය. මුළු ලොවින් ම හඳපාන් ඇල්ල ප්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂ කිහිපයක් ම වෙති.

මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අණුවන ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණු වන්නේ ඉළුඹකන්ද හා ඒ ආශ්‍රිත ව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සිංහරාජ අඩවියට පැවරීමේ ක්‍රියාවලිය නතර කර එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබා දීමට ය. යටි අරමුණ සඟවා තබා පොතුපිටිය ප්‍රදේශයේ ජනතාව මුලා කර මේ මාර්ගය ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන තිබේ. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසනයේ ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා විසිනි. මහින්ද චින්තනය මල් ඵල දරමින් යැයි සඳහන් කරමින් සිංහරාජ අඩවිය දෙකඩ කිරීමට දේශපාලන තීන්දු ගැනීමට හා ඒ සඳහා ක්‍රියාත්මක වීම පිළිබඳ ව අප කණගාටු වෙමු.

සමස්ත සිංහරාජ අඩවියට ආරක්ෂාව සැපයීම සඳහා 2004 වසරේ දී සිංහරාජය වටා පිහිටි සියලු වනාන්තර බිම් සිංහරාජයට ඈදීමේ ඉතා හොඳ සැලසුමක් සකස් විය. ලංකාවේ බොහෝ හොඳ සැලසුම්වලට සිදු වන ආකාරයටම මේ සැලසුම ද ඉතා මන්දගාමී ලෙස ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ තත්ත්වය හේතුවෙන් මෙවන් අවස්ථාවාදී දේශපාලකයින් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගෙන මඩි තර කර ගැනීමට අප රටේ ස්වාභාවික සම්පත් සූක්ෂම ලෙස තමන් සතු කර ගනිති. ඒ සඳහා අහිංසක ජනතාව ඊනියා සංවර්ධනයේ නාමයෙන් මුලා කරති.

2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිංහරාජ ජාතික උරුම වන භූමියට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22 :1(ඊ)සහ 44(ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ දැනට වසර හතක කාලයක් තිස්සේ කාවුන් ගේ පරිහරණය සඳහා පමණක් ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වන බිම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රීක්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වන විට බදු දී තිබේ. මාතර දිස්ත්‍රීක්කයේ එන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැලේ වත්ත, ෆැබ් වත්ත, ඉළුඹකන්ද වත්ත, මෝර්නින් සයිඩ් වත්ත, කැන්ටර් වත්ත, ගේස් වත්ත, ගොන්හෙළ වත්ත, ඇබේරෝස් වත්ත, බැක්වෙයා වත්ත, කෝදුරාගල වත්ත, දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මේ වනාන්තර බිම් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මේ යෝජනාව ක්‍රියාත්මක නොවනතාක් කල් මේ නොයිඳුල් වනාන්තර බිම් මාර්ග ඉදිකිරීමට, තේ, එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා පමණක් නොව හෝටල් ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ.

මේ තත්ත්වය වළකාලමින් මේ වනාන්තර බිම් කඩිනමින් සිංහරාජයට ඈඳා ගැනීම සඳහා කටයුතු කිරීමට දැන්වත් පරිසර අමාත්‍යතුමා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු. මේ වන බිම් සිංහරාජයට ඈදා ගනිමින් සමස්ත සිංහරාජ අඩවිය රැකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක් නිසා නො ව එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම නිසා ය.

මේ පිළිබඳ ව ඉතා ඈත අතීතයේ අවබෝධ කර ගත් පාලකයින් එය රැකගැනීමට උත්සාහ දැරුව ද අද සිටින අඥාන දේශපාලකයින් මෙය වැනසීමට පිඹුරුපත් සකසති. ලිඛිත සාධකවලට අනුව සිංහරාජ අඩවියට ආරක්ෂාව සැලසීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ ය. Waste Lands Ordinance නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වන දින අංක 4046 දරණ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්ටයාර 2428.1 කින් යුත් වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කෙරින.

1926 මැයි 21 වන දින තවත් හෙක්ටයාර 3724.6 ක් ඊට එක් කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට – කළුකඳාව ආදී ප්‍රදේශවලින් සිංහරාජය තුළට මාර්ග සකස් කර තුනී ලෑලි සංස්ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කෙරින. 1978 අප්‍රේල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන අවස්ථාව වන විට තුනී ලෑලි සංස්ථාව සඳහා දැව හෙළීම් කටයුතු පරිසර ලෝලීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් මත සම්පූර්ණයෙන් ම නවතා දමා තිබුණි.

1988 අංක 4 දරණ ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරින. අද දින තෙක් මේ පනතට අනුව ප්‍රකාශයට පත් කළ එක ම වනාන්තරය මෙය යි. පසුව 1989 වසරේ දී යුනෙස්කෝව UNESCO‐ United Nations Educational, Scientific and Cultural Organization) විසින් ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරැම ලෙස සිංහරාජය ප්‍රකාශයට පත් කෙරිණ. සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමග මේ ආකාරයෙන් සිංහරාජය ආරක්ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳව පර්යේෂණ අති විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ. ඒ අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳව අප සතු දැනුම ඉතා විශාල ය. එම දැනුම උපයෝගී කරගෙන සිංහරාජ අඩවියේ රක්ෂිත වනාන්තර ප්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988 න් පසුව ගෙවී ගිය වසර 23 ක කාලය තුළ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එම නොහැකියා ව නිසා ම සිංහරාජ අඩවියට අයත් දැනට රක්ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් අවධානම් තත්ත්වයක පවතී. සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ
ප්‍රදේශයේ හොර ශාක ප්‍රජාව, නා-දුන් ප්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප්‍රජා ත්‍රිත්වයක් පවතී. මීට අමතරව සිංහරාජ අඩවියට අයත් නමුත් රක්ෂිත ප්‍රදේශයට ඇතුළත්ව නොමැති සිංහරාජ වත්ත හා එන්සල් වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන්(Shorea gardneri) හා යකහලු දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප්‍රජාවක් දැක ගත හැකි ය.

මේ අනාරක්ෂිත ශාක ප්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනාව විද්‍යාමාන කරන කැඩපතක් බඳුය. මේ අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කරති. එම වනාන්තර පවරා ගැනීමට සැළසුම් සකස් වන විට මේ සියල්ල වැනසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරින් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගන 25 අතුරින් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තාවන අතර මුළු ලොවින්ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙති. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ.

දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙති. පාත්‍රා කොකු (Cyathea crinita), ගිණි හොට (Cyathea spp), වල් මැඩ(Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුළු කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩාම මීවන ශාකය වන අපි ශාකීය Microgonium motley ශාකය ද සිංහරාජයේ දැක ගත හැකි වේ.

ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරින් 80 කට වැඩි ප්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia), මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), රටාමකුට (Flickingeria macraei),වෙසක් මල් (Dendrobium maccarthiae) අතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැක ගත හැකි ය.

ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ 10 අතුරින් 9 ක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල්(Calamus zeylanicus), තුඩරෑණ (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.

සිංහරාජයේ දියපහර වල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ 5 ක් කෙටල විශේෂ 3ක් වාර්තා වෙති. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙති. මීට අමතරව ලංකාවට ආවේණික දුර්ලභ කෙටල විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri දියපහරවල දැක ගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.

සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවෙනි තත්ත්වයක පවතී. මත්ස්‍යයින්, උභයජිවීන්, උරගයින්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 6 ට අයත් සත්ත්ව විශේෂ 448 ක් සිංහරාජයේ වාර්තා වන අතර ඉන් විශේෂ 137 ක් නැතහොත් 31% ක් ලංකාවට ආවේණික වෙති.

ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.17% ක් පමණ වන සිංහරාජය තුළ ඉහත සත්ත්ව කාණ්ඩ 6 ට අයත් ලංකාවේ ගෙඩබිම් ප්‍රදේශය තුළ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරින් 44% ක් වාර්තා වන අතර ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතුරින් 44% ක් සිංහරාජයෙන් වාර්තා වේ. මෙය ඉතාම සුවිශේෂත්වයකි. මේ තත්ත්වය අප නිවැරදිව අවබෝධ කර නොගන්නාතාක් සිංහරාජයට නියමිත ආරක්ෂාව ලබා දීමට අපොහොසත් වනු ඇත. 2007 ෂඹක්‍භ රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ 14 ක් ඇතුළු ව වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂ 101 කට සිංහරාජ අඩවිය වාසස්ථාන සපයා දී තිබේ. මෙ සිංහරාජයේ දැවැන්ත වූ වටිනාකමේ තවත් එක් සුවිශේෂත්වයක් පමණි.

ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක් තුළ දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නොව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරින් 11 ක් සිංහරාජ අඩවියට ආවේණික වෙති. උරගයින් අතුරින් විශේෂ 5 ක් මුළු ලොවින්ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරින් එක් විශේෂයක් (කුණු හික් මීයා – Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරින් විශේෂ (Ceylonthelphusa savitriae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ.

මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරින් විශේෂ 20 ක් මුළු ලොවින්ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප්‍රධාන සාක්ෂි අතුරින් එකකි.

සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් 11 අතුරින් විශේෂ 5 ක් 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙති. එනම් සිංහරාජ පඳුරු මැඩියා (Philautus simba),කම්මුලේ පැල්ලමැති පඳුරු මැඩියා(Philautus procax), දිවේ ගැටිති පඳුරු මැඩියා (Philautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඩියා (Philautus lunatus), එන්සල් වත්ත පඳුරු මැඩියා (Polypedates fastigo) ය.

මීට අමතරව ඉතිරි විශේෂ හය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට ලක් වූවන් වෙති. එනම් රන්වන් පඳුරු මැඩියා (Philautus auratus), තියුණු හොඹු පඳුරු මැඩියා (Philautus cuspis), භූෂණ පඳුරු මැඩියා(Philautus decoris), රන්වන් ඇස් ඇති පඳුරු මැඩියා(Philautus ocularis), පොපීගේ පඳුරු මැඩියා (Philautus poppiae), කැළෑ පඳුරු මැඩියා (Philautus silvaticus) ය.

සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ පහ අතුරින් පාංශුවාසී සර්ප විශේෂයක්වන දැරණියගලගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus) සිංහරාජයේ සුලභ බව ප්‍රවීන සත්ත්ව විද්‍යාඥයෙකු වූ පී.බී. කරුණාරත්න මහතා විසින් දක්වා තිබේ. සිංහරාජ අඩවියට ආවේණික සිව්පා උරගුන් හතර දෙනාම 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙති. එනම් අර්ඩලන්ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරුගේ අඟ කටුස්සා (Ceratophora karu) මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai) හා මෝර්නින්සයිඩ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus) ය.

මෙහි ඉතාම කණගාටුදායක තත්ත්වය වන්නේ සිංහරාජ අඩවියට ආවේණික සත්ත්ව විශේෂ 20 අතුරින් උරග, උභයජිවී හා කකුළුවන් යන සත්ත්ව කාණ්ඩ තුනට අයත් විශේෂ අතුරින් වැඩි ප්‍රමණයක් සිංහරාජ අඩවියේ අනාරක්ෂිත ප්‍රදේශ වන මෝර්නින් සයිඩ් ප්‍රදේශයට හා හඳපාන් ඇල්ල (රක්වාන කඳු වැටියට අයත්) ප්‍රදේශයට සීමා වී පැවතීමයි. මේ ප්‍රදේශ එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා සීග්‍රයෙන් එළි පෙහෙළි කරනු ලබන අතර මෙම වනාන්තර ඉඩම් වැවිලි සංස්ථාවට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වේ.

එම ආයතනය විසින් මේ ඉඩම් පෞද්ගලික අංශය සඳහා බදු දී තිබේ. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. එනසාල් වගාව සඳහා මේ ප්‍රදේශයේ යටි වගාව එළි පෙහෙළි කිරීම හා අර්තාපල් වගාව සඳහා සම්පූර්ණ කදුකර වනාන්තර ප්‍රදේශය ම එළි පෙහෙළි කරනු ලබන සෑම වාරයක් පාසාම සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ මුළු ලොවින්ම තුරන් වීමේ අවධානමට සීග්‍රයෙන් ආසන්න වේ. මේ තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට දැනට යෝජිත ඉලුබකන්ද – සූරියකන්ද මාර්ග ව්‍යාපෘතිය හේතුවනු නො අනුමානය.

බලධාරීන් මෙවැනි දෑ සඳහා පිළියම් යෙදීමට උත්සාහ නොගෙන සංචාරක ව්‍යාපාරය සිංහරාජයේ ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් පිඹුරුපත් සැකසීම පිළිබඳව අප කණගාටු වෙමු. එම තත්ත්වය වහාම නතර කර වනජීවීන්ගේ රැකවරණය සැලසීම සඳහා වැඩි අවධානයක් යොමු කරවන ලෙස ජාතියේ නාමයෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සිංහරාජ අඩවියේ භාරකරුවාවන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසුව අද වන තෙක් සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක් උපද්දවා මහා භාණ්ඩාගාරය තර කිරීමට පමණක් වෙහෙසෙති. ඒ හැර සිංහරාජ අඩවියේ වනජීවීන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි.

සිංහරාජ අඩවිය වටා සිදු වන නීති විරෝධී ක්‍රියා මැඩලීමට නීතිය ක්‍රියාත්මක කිරීම හා සංරක්ෂණ සැලසුම් සකස් කිරීම වෙනුවට නිලධාරීන්ට සිදු වී ඇත්තේ සංචාරකයින් සඳහා ටිකට්පත් නිකුත් කිරීම හා සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ය. මේ සඳහා වැඩි සේවක පිරිසක් හා කාලයක් යෙදවීමට සිදු වීම නිසාවෙන් සිංහරාජය වටා සිදු වන, වන අපරාධ ප්‍රමාණයට සාපේක්ෂව ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මේ නිසාම දැව ජාවාරම, තේ වගාව සඳහා වනාන්තර නිරන්තරයෙන් එළි පෙහෙළි කිරීම හා වන සත්ත්ව දඩයම යන ප්‍රධාන නීති විරොධී ක්‍රියා සිංහරාජය වටා නිරන්තරයෙන් සිදු වේ. මේවායෙහි අතුරු ප්‍රතිඵල ලෙස පොතුපිටිය, දෙනවක්කන්ද, රක්වාන, ඉළුඹකන්ඳ, කෝපිකෑල්ල ආදී ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්ත්වයට අද වන විට පත් ව තිබේ.

අප කුඩව දී දකින සුන්දරත්වය සිංහරාජය වටා පිහිටි අනෙක් බොහෝ ප්‍රදේශවල දී මේ නිසාම දැකගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඒ සඳහා කළ යුතු ව ඇත්තේ සිංහරාජය හා සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර කඩිනමින් සිංහරාජයට ඈදීම හා සිංහරාජය වටා පිහිටි අනෙක් සුවිශේෂී වනාන්තර සඳහා නිසි නීතිමය රැකවරණය ලබා දී සිංහරාජය හා සම්බන්ධ කිරීමට සැලසුම් සකස් කිරීම යි. මොරපිටිය ර්‍ රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය යන වනාන්තර හතක් සිංහරාජය හා සම්බන්ධව පවතී. ජෛව විවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්ෂිත සියල්ලම සිංහරාජයට සම්බන්ධ කර සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කළ යුතුය. එසේ නොවනතාක් කල් සිංහරාජයේ ජෛව ප්‍රජාවගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත. එවන් තත්ත්වයක් ඇති නොවන තෙක් පොතුපිටිය, ඉලුබකන්ද, බඹරබොටුව වැනි ප්‍රදේශ වල සිංහරාජයට මායිම්ව සිදු වන මහ පරිමාණ දැව ජාවාරම් නතර
කිරීමට හෝ දැනට උඩුදුවමින් පවතින සිංහරාජයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම පිළිබඳව සිතීමටත් අපහසු ය.

ඉහත සංරක්ෂණ ක්‍රියාමාර්ගවලට පිවිසීමෙන් අනතුරුව සිංහරාජ අඩවිය වටා සැතපුමක හෝ කිලෝමීටරයක පමණ ප්‍රේරක කලාපයක් පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශයට පත් කළ යුතුය. වියළි කලාපයේ ජාතික වනෝද්‍යාන වල මායිමේ සිට සැතපුමක ප්‍රදේශයක් ප්‍රේරක කලාපයක් (නැතහොත් සංවේදී කලාපයක්) ලෙස පවතින අතර එම ප්‍රදේශය තුළ සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇඟයීම් තක්සේරුකරණ ක්‍රියාලියට යටත්ව, පළමු ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් ඉතා අධික ජීවී විවිධත්වයක් සාන්ද්‍රගත වී අති, ලංකාවට ආවේණික දුර්ලභ ජීවීන් අති බහුතරයක් ජීවත් වන සිංහරාජ අඩවිය වටා ඇති ප්‍රේරක කලපය නැතහොත් සංවේදී කලාපය මීටර 100 ක් පමණ වේ. මේ තත්ත්වයන් පිටු දැකීමට නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා පරිසර අමාත්‍යංශය කඩිනමින් යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සටහන – සජීව චාමිකර

නව මාර්ග සැළැස්ම