Districts, end of the War, Featured Articles, Features

ලංකාණ්ඩු විරෝධී ඉන්දියානු රැල්ල

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඝෝෂකයකු වන අමාත්‍ය විමල් වීරවංශ ය. ඔහු කියා සිටියේ යුද්ධයේ අවම මිනිස් හානි සිදුවූ යුගය රාජපක්ෂ පාලනය ගෙන ගිය යුද්ධය බව ය. ඔහු මෙසේ ද කීය: ‛‛ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් වෝදනා ගැන පරීක්ෂා කරන්න ඕනෑ කියලා ඉන්දීය විදේශ ඇමැතිතුමා කියළ තියෙනවා. එහෙමනම් ඉන්දීය හමුදාව මෙරටට ඇවිල්ලා කරපු හැම ක්‍රියාකාරකමක් ගැන ම පරීක්ෂා කරන්න අපට සිදු වෙනවා.’’ එම කතාව පළ කල වීරවංශ මහතාගේ වෙබ් අඩවියෙහි ඉන්දියාව සහ ඉන්දියානු නායකයින් සම්බන්ධයෙන් පළවන අතිශය වෛර සහගත ප්‍රකාශ විසින් පෙන්නුම් කරන්නේ වීරවංශ අනුගාමිකයින් අතර පවත්නා ඉන්දීය විරෝධී ප්‍රචණ්ඩ දේශපාලන මානසිකත්වය යි.

මේ අතර යුද්ධයේ අවසන් කාල පරිච්ජෙදයෙහි ශ්‍රී ලංකාවේ යුද වැදුණු දෙපාර්ශවය ම විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කළ යුතු බවට ඉන්දියාවෙහි දේශපාලන සහ සිවිල් සමාජය විසින් ගොඩනගමින් තිබෙන ව්‍යාපාරය එන්න එන්න ම ඉහළ යමින් තිබෙන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ මිතුරන් ලෙස සැළකුණු බලවේග ද ඊට එක් කර ගනිමිනි.

ඊට මෑතකම උදාහරණය නම් රාජපක්ෂ පාලනයේ දීර්ඝ කාලීන හිතවතකු වූ හින්දු පුවත් පත සහ එහි කර්තෘ එන්.රාම් විසින් ගෙන ඇති ස්ථාවරය යි. ශ්‍රී ලංකාණ්ඩුව විසින් පිරිනමනු ලබන ශ්‍රි ලංකා රත්න නම් උසස්ම සම්මානය හින්දු කර්තෘ එන්.රාම් ට ජනාධිපති රාජපක්ෂ විසින් 2005 නොවැම්බර් මාසයේ දී පිරිනමන ලදී. 2010 දෙසැම්බර් මාසයේ දී ජනාධිපති රාජපක්ෂ සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමේ භාග්‍යය ලද උග්‍ර එල්ටීටීඊ විරෝධියකු වූ එන්. රාම් එම අවස්ථාව පාවිච්චි කරන ලද්දේ සිය රාජපක්ෂබාවය පෙන්නුම් කිරීම පිණිස ය.

එසේ නමුත් එන්.රාම් පසුගිය 16වනදා සිය පුවත් පතෙහි කතුවැකිය නම් කළේ ‛‛මල්ලී පාලනයෙන් පිට පනී’’ කියා ය. ඔහු එහි මෙසේ ලීවේ ය. මල්ලී යනුවෙන් එහිදී අදහස් කැරුනේ ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ ය.

එන්. රාම් යුද්ධාවසානයෙන් දෙවසරකට පසුත් නොවිසදී පවත්නා ප්‍රධාන කරුණු දෙකක් ඇති බව කියා සිටී. පළමුවැන්න සිංහල බහුතරය සහ දෙමළ සුලුතරය අතර දේශපාලනය ප්‍රති සංන්ධානය පිණිස ක්‍රියා නොකිරීම යි. දෙවැන්න යුද්ධයේ අවසන් අදියරයන්හි දී දැන දැනම සිවිල් වැසියන් ඝාතනය කරන ලද බවටත්, අත් අඩංගුවේ සිටි අයවළුන් අමු අමුවේ මරා දැමීමත් ලිංගික අතවර කර ඇති බවටත් නැගෙන චෝදනා ලංකාණ්ඩුව විසින් තනිකරම ප්‍රතික්ෂේප කරමින් සිටීම යි.

මෙම කරුණු හරියාකාර ලෙස ආමණ්ත්‍රනය කරනු වෙනුවට ජනාධිපතිගේ සහෝදරයා වන ගෝඨාභය ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන ‛හෙඩ්ලයින්ස් ටුඩේ’ සමඟ කළ සාකච්ජාවේ දී තත්ත්වය වඩාත් නරක අතට හැරවෙන ලෙස කතා කළ බව එන්.රාම් කියා සිටී. ඔහු සිය කතුවැකිය අවසන් කරන්නේ ගෝඨාභයට තරවටු කළ යුතුය කියා ය.

ඉන්දියානු හෙඩ්ලයින්ස් ටුඩේ රුපවාහිනිය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාවේ දී ආරක්ෂ ලේකම් රාජපක්ෂ විසින් සඳහන් කරන ලද කරුණූ තුනක් දැන් විවාදයට තුඩු දී තිබේ. ඒවා නම් දැන් ත්‍රස්තවාදය පරාජය කර ඇති බැවින් දේශපාලන විසඳුම් යෝජනා පලක් නැත, කවර හෝ විසඳුමක් ලබා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යවස්ථාව යටතේ පමණකි, සහ 13වන ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ කැමැත්තෙන් ඇති කරන ලද එකක් නොවන බව ය.

එල්ටීටීඊ විරෝධී යුද්ධයේ දී රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයකු ලෙස කටයුතු කළ එන්. රාම් ගේ මේ දෝෂාරෝපනය විසින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද මෙරට ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇතිවෙමින් පවත්නා ධ්‍රුවීකරණය යි. අද ශ්‍රී ලංකාණ්ඩුව සමඟ නොනවතින ගැටුමක යෙදී සිටින තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් පවා සිටියේ උග්‍ර එල්ටීටීඊ විරෝධී මතයක ය. අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඇය කිසි විටෙක එල්ටීටීඊයට සමාව දුන්නේ නැත. එල්ටීටීඊ විරෝධිව තිබූ තමිල්නාඩු ප්‍රාන්තයෙහි ශ්‍රී ලංකාණ්ඩුවට විරෝධීව මිස පක්ෂව අද කිසිදු හඬක් නැගෙන්නේ නැත. ඉන්දියාවේ ඊළඟ මහ මැතිවරණයෙන් කවරකු බලයට පත්වේදැයි අනාවැකි කිව නොහැකි නමුත් ඒ හරහා ජයලලිතාගේ දේශපාලන බලය ඉහළ යනු ඇති බවත් ඇය මධ්‍යම ආණ්ඩුවේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ස්ථිර ය.

ඉන්දියාවේ වාම බුද්ධිමතුන් විසින් ද සහාය දක්වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් දිගින් දිගටම කරනු ලබන ප්‍රකාශයන්ගෙන් ද පෙනී යන්නේ රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසයේ බිඳ වැටීමයි. එහි ප්‍රධාන ලේකම් ප්‍රකාශ් කරත් මෑතදී කියා සිටියේ රාජපක්ෂ පාලනය දෙමළ ජනතාව සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු ඉටු කිරිමට අසමත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ප්‍රාදේශීය ස්වයත්තතාවයක් ලබා දිය යුතු බවත් ය. ඉන්දියානු විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ද ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ පරීක්ෂා කළ යුතු බවට දිගින් දිගටම උද්ඝෝෂණය කරයි.

ආරක්ෂ ලේකම්වරයාගේ සම්මුඛ සාකච්ජාව විකාශනය කර දින කිහිපයකට පසු හෙඩ්ලයින්ස් ටුඩේ රූපවාහිනිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව තමන්ගේම වාර්තා චිත්‍රපටයක් විකාශණය කළා ය. එම රූපවාහිනී නාලිකාවේ ජනමාධ්‍යවේදිනියක් රහසිගතව වන්නි ප්‍රදේශයට ඇතුල් වී කරන ලද වීඩියෝ සම්මුඛ සාකච්ජා කිහිපයකින් එම වාර්තා චිත්‍රපටය සමන්විත වෙයි. ශ්‍රී ලංකාවේ වන්නි යේ ජීවත්වන යුද වින්දිතයෝ යුද සමයෙහි තමන්ට මුහුණ දීමට සිදුවූ බිය ජනක තත්ත්වයන්, එනම් සිවිල් වැසියන් මියයාම්, හඬ නොනැගෙන පොකුරු බෝම්බ, ලිංගික අතවර යනාදිය එහිලා විස්තර කරත්. ලංකාණ්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළේ එය එල්ටීටීඊ හිතවාදීන්ගේ ක්‍රියාවක් බවයි.

මීට අමතරව පසුගිය සති කිහිපය තුළ තවත් අන්තර් ජාතික ජනමාධ්‍ය ආයතන දෙකක් ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි දී සියළු පාර්ශවයන් විසින් කරන ලදැයි කියන මානව හිමිකම් කෙළෙසීම් පිළිබදව සිය උනන්දුව පෙන්වාලමින් යුද්ධ අපරාධ විවාදයට එක් වූහ. ඒවා නම් ස්විස්ටර්ලන්තයේ ජනප්‍රිය ම නාලිකාවක් වන එස් ෆප් වන් සහ නෙදර්ලන්ත ලෝක රේඩියෝව යි. මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කෙරෙන්නේ යුද්ධ සමයේ මානව හිමිකම් සම්බන්ධයෙන් රට තුළ ලංකාණ්ඩුව විසින් පෙන්නුම් කරන ජයග්‍රාහී මනෝභාවය නොසළකා අන්තර් ජාතික වශයෙන් වර්ධනය වන ප්‍රවණතාවය ඊට වෙනස් බව යි.

ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවෙහි ඇති වෙමින් පවත්නා දේශපාලන වර්ධනයන් මෙම අන්තර් ජාතික වටපිටාව තුළ වඩා වැදගත්කමක් ගනී. මන්ද යත් ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ජාතික බල තුලනයේ වෙනසක් ඇතිකළ හැකි රට ඉන්දියාව නිසා ය. ඉන්දියාව බටහිර බලවතකු නොවන අතර සංවර්ධනය වන රටවල් අතර බලපෑමක් සහිත රාජ්‍යයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඇත්ත බලපෑම ඇත්තේ චීනයට නොව ඉන්දියාවට යි. වත්මන් චීනයේ මූලිකම අභිප්‍රාය ආර්ථික ක්ෂේත්‍රයේ බලවතකුවීම ය. පොලියට මුදල් දෙනවා හැරෙන්නට චීනය කිසිම රටක් වෙනුවෙන් තීරණාත්මක දේශපාලන මැදිහත්වීමක් කර නැත. සිය ගජ මිතුරන් වු ලිබියාව, සූඩානය, සිරියාව යනාදී රටවල් චීනය විසින් අතහැර දමන ලද්දේ ඇඟටවත් නොදැනෙන පරිදි ය.

එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ තීරණාත්මක අන්තර් ජාතික භූමිකාව රග පෑමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ය. යථාර්තවාදී රාජ්‍ය පාලනය යනු යුද්ධ ජයග්‍රාහී මතවාදයේ ස්වයං සිරකරුවකු වීම නොව වර්ධනය වන දේශීය සහ අන්තර් ජාතික ප්‍රවණතාවයන් සැළකිල්ලට ගනිමින් සාධනීය ප්‍රතිචාර දැක්වීම යි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදිව වර්ධනය වන ස්වයං පාලන දේශපාලන ප්‍රවණතාවය තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කරන අයුරින් ම යුද්ධයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වර්ධනය වන අන්තර් ජාතික සහ විශේෂයෙන් ම ඉන්දියානු දේශපාලන ප්‍රවණතා තේරුම් ගැනීමේ හැකියාවක් රාජපක්ෂ පාලනය මේතාක් පෙන්වා නැත.

සුනන්ද දේශප්‍රිය