සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස

පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක ගැනීම උදෙසා කවුන්සිල සැසිවාරයන් අතර තුර මෙරට මානව හිමිකම් ප්‍රශ්න ගැන කතා බහ කිරීම පිණිස ය. මානව හිමිකම් කවුන්සිලයේ රුස්වීම අතර තුර අප රටෙහි මානව හිමිකම් රැක ගැනීම පිණිස කටයුතු කිරීම සමහරකු විසින් දැන් සළකණු ලබන්නේ රට පාවාදීමක් ලෙස ය. පසුගිය දිනයන්හි පළ වූ සමහර පුවත්පත් වාර්තා කියා සිටියේ රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව කරුණු කීමට පිරිසක් ජීනීවා නුවරට ගොස් සිටින බව ය.

1980 ගණන් අග සහ 1990 ගණන් මුල දී මානව හිමිකම් කොමිසමේ රුස්වීම් වලට සහභාගි වී එකළ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටි මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර යන දෙදෙනා ම දැන් රට කරවන ආණ්ඩුවේ ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන අතර වාසුදේව ජනාධිපති උපදේශකවරයෙකි. එමෙන්ම එකළ මානව හිමිකම් කොමිසමට සහභාගි වු ශ්‍රී ලංකික පිරිස් වෙත සහයෝගය දුන් ජීනීවා හි ජීවත් වූ තමාරා පුල්ලෙනායගම් අද කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යි. අද ජීනීවා නුවර ශ්‍රී ලංකා තානාපති ධුරය දරන්නේ 1980 ගණන් මැද භාගයේ දී මානව හිමිකම් සංවිධානයන්ට නායකත්වයෙන් දායක වූ දයාන් ජයතිලක මහතා ය.

අප එදා මෙන් අදත් අපේ මානව හිමිකම් වෙනුවෙන් මෙරටදීත් එතෙරදීත් කතා කරමු. එකළ ද අපි ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් සිංහළ තරුණ පිරිස් වෙනුවෙන් ද දෙමළ සටන්කාමි ව්‍යාපාර සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ පිරිස් වෙනුවෙන් ද පෙනී සිටියෙමු. අදත් අප සිංහළ දෙමළ බේදයක් නැතිව මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කතා කරමු. මන්ද යත් මානව හිමිකම් ව්‍යාපාරයන්හි ප්‍රධානත්වය දැරූ පිරිස් රටෙහි නායතක්වයට පත් වූ නමුත් රටෙහි මානව හිමිකම් තහවුරුවී නැති නිසා ය.

එකළ මානව හිමිකම් රැක ගැනීම උදෙසා වාසුදේව යනාදීන් සමඟ එක්ව කටයුතු කළ ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් එදා ඒ සියළු දෙනා විරුද්ධ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරක් ම පොලිස් අත්අඩංගුවේ ය. එළෙසම එම කටයුතු වලට සහාය දුන් ප්‍රධාන පෙළේ සමහරෙක් ක්‍රියාකාරිනියන් සහ ක්‍රියාකාරීන් රටින් පිට ය.

ජිනීවා හි මානව හිමිකම් කවුන්සලයේ අප කළ කතා රහසක් නොවේ. ඒ කතා එහි වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට බලා ගත හැකි ය. මා එහි ප්‍රකාශ කළ දේ කෙටියෙන් මෙසේ දක්වන්නේ විවිධ බලවේග විසින් ඒවාට විවිධ අර්ථ කථන ලබා දෙන නිසාය.

”ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවධානය යොමුව ඇත්තේ උතුරුකරයෙහි මහත් අවදානමකට මුහුණ දී සිටින සිවිල් ජනයා සම්බන්ධයෙන් පමණක් නොවේ. පසුගිය වසර ගණනාව පුරාම විශම සැළකීම සහ අපරාධයන්ට දඩුවම් නොකර සිටීමේ පිළිවෙත රට පුරාම මුල්බැස ගෙන තිබේ. පරීක්ෂණ නොපවත්වන ලද ඝාතනයන් සහ අතුරුදහන්වීම් වේගයෙන් ඉහළ ගොස් ඇත. 2006 සිට ඝාතනයට ලක් වු ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ගණන 18කි. 2009 ජනවාරියේ දී ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග අලුත් ම ගොදුර ය. මානව හිමිකම් නඩු කතා කරන නීතිවේදින්ට එල්ල වූ ප්‍රහාර නීතයේ පාලනයේ බිද වැටීම සංකේතවත් කරයි.

අපි ආණ්ඩුවට මෙසේ කියා සිටිමු.

වහාම ව්‍යවස්ථවේ 17වන සංශෝධනය ක්‍රියාත්මක කොට ස්වාධීන කොමිෂන් සභා පත් කරනු.
ජනමාධ්‍යවේදීන් ද ඇතුළු මානව හිමිකම් ආරක්ෂකයින් වෙත කරනු ලබන සියළු හිරුහැර, පහර දීම්, පැහැර ගැනීම් නතර කර එවැනි ඝාතන සහ මරණ තර්ජන පිළිබඳව පරිපූර්ණවූත්, පාරදෘශ්‍යවූත් ඉක්මන් පරීක්ෂන සිදු කරනු.

අපි මානව හිමිකම් කවුන්සිලයෙන් මෙසේ ඉල්ලා සිටියෙමු:

නිත්‍ය ලෙස සාකච්ජා කිරීම පිණිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කාරණය කවුන්සිලයේ න්‍යය පත්‍රයට ඇතුළත් කරන්න. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම පිණිස මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසි වාරයක් පවත්වන්න”

අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවනේතම් පිල්ලේ මහත්මිය ද ඇයගේ උපදේශකවරයින් ද හමු වී අපේ ඉල්ලීම් ඉදිරිපත් කළෙමු. කුරිරු වධ හිංසා පැමිණවීම් සහ නීතියට පිටින් කැරෙන අත් අඩංගුවට ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය සමඟ එක්ව සාකච්ඡා සභාවක් පැවැත්වීමු. විවිධ රටවල නියෝජිතවරුන් සහ නියෝජිතවරියන් සමඟ අපේ රට මුහණ දී සිටින මානව හිමිකම් අභියෝග පිළිබඳව කතා කළෙමු. එමෙන්ම ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක, මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය රාජීව් විජේසිංහ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ ද සුහදව කතා බහ කළෙමු.

එමෙන්ම ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්, අන්තර් ජාතික ජූරි සභිකයින්ගේ කමිටුව, හියමුන් රයිට්ස් වොච් යනාදි අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සමඟ ද සහයෝගයෙන් කටුයුතු කළෙමු. අපේ පිළිගැනීම එදා ද අද ද එකකි. එනම් සියළු ජනයාට නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් භුක්ති විඳිය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව පැවැතිය යුතු ය යන්න යි.
1989 – 1990 යුගයේ සිර ගත කෙරුණු ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජික සාමාජිකාවන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන විට ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ජාත්‍යාන්තර රතු කුරුස කමිටුව ප්‍රගතිශිලී වන අතර අද දෙමළ ජනයා ගැන කතා කරන විට ඒවා ප්‍රතිගාමීය යන අවස්ථාවාදී තර්කය අප පිළි ගන්නේ නැත. එමෙන්ම මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර එහි යන කළ ජීනීවා මානව හිමිකම් කොමිසම වටින්නේ ය. අද එතුමන් රට කරවන නිසා එය නොවටින්නේ ය යන තර්කය අප පිළිගන්නේ ද නැත.

යුද්ධය අවසන් කිරීම තව කල් යන බව කියන්නේ අප නොවේ. යුද්ධ නායකයා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ය. එතුමාට අනුව මේ එලඹෙන්නේ යුද්ධයේ ප්‍රථම අදියරේ අවසානය යි. දෙවන අදියර ගරිල්ලා යුද්ධය අවසන් කිරිම යි. තෙවැනි අදියර උතුරු නැගෙනහිර ස්ථාවර කිරීම යි. ඒ සඳහා කොතෙක් කල් යනු ඇත්දැයි දන්නේ කව්ද? යුද්ධ කරන විට මානව හිමිකම් සැළකිය නොහැකිය යැයිද 17 වන සංශෝධනය යටතේ ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම යුද්ධ ය දිනීමට බාධාවක් යැයිද කියන යුද්ධයේ නව ක්ෂමාලාපකයින්ගේ තර්ක අප පිළි ගන්නේ නැත.

1990 දී මහින්ද රාජපක්ෂ ද කියා සිටි පරිදි මානව හිමිකම් ගැන කතා කිරීමට ඕනෑම තූත්තුකුඩියකට යෑමට මෙරට පුරවැසියන්ට ඇති අයිතිය අනුලංඝනීය එකකි. එමෙන්ම ඊට විරුද්ධ විමට ඇති අයිතිය ද අපි පිළිගනිමු. අප පිළි නොගන්නේ එකම දෙයකි. එනම් විරුද්ධ මත දරන නිසා අප මරා දැමීමටත් සහ ඉන්පසු එම මරන සාධාරණ කිරීමට කතාන්තර ගෙතීමටත් අයිතියක් ඇතැයි සිතීමට ය.