Colombo, end of the War, Featured Articles, Features, Jaffna

“මේ ‛ග්‍රීස් යක්කු’ නෙමෙයි, මේ දේශපාලන යක්කු” – මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

“එක එක කාලවලට එක එක යක්කු එනවා. වෙලාවකට මේ යකා ‛ග්‍රීස් යකා’ වෙනවා, ගෑස් යකා වෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙ පුරාමත් ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මෙවැනි බියක් කියුබාව සහ මෙක්සිකෝව සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ඇති කළා. මේ තත්ත්වය පවතින දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන්න කරන වැඩක්. ‛ග්‍රීස්’ කියන්නෙ ලිස්සන සුළු කියන එකනෙ. මේ දේශපාලන ක්‍රමයත් ලිස්සන සුළු එකක්. මට අනුව මේ ලිස්සන සුළු ලක්ෂණය තමයි ‛ග්‍රීස්’ කියන විශේෂණයෙන් සංකේවත් කරන්නෙ.”

“‛යකා’ කියන සංකල්පය සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළෙ තියෙන එකක් ඇරෙන්න දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර තියෙන එකක නෙමෙයි. ‛යකා’ කියන මේ දකුණේ සංකල්පය තුළින් ඒ ප්‍රදේශවලට යන්නෙ දේශපාලන යකෙක්.“‛ග්‍රීස් යක්කු’ ඉන්නෙ සමාජයේ නෙමෙයි. ‛ග්‍රීස්’ යක්කු ඉන්නෙ පාර්ලිමේන්තුවෙ. පාර්ලිමේන්තුවෙ ඉන්න ‛ග්‍රීස් යක්කුන්ගෙ’ අවතාර තමයි මේ ප්‍රදේශවලට ඇවිල්ලා තියෙන්නෙ. ‛ග්‍රීස්’ කියන වචනය නැතුව යක්කු එන සන්දර්භයක් අපේ රටේ තියෙනව. ඒකෙ ප්‍රථිපල විදිහට දැනට 698 ක් අතුරුදහන් වෙලා ඉන්නවා. මේ නිසා ‛ග්‍රීස් යක්කුන්ගෙ’ ප්‍රභවයත් ආණ්ඩුවේ අනුදැනුමෙන් සිදුවන දෙයක් ලෙසයි පෙනෙන්නෙ.

‛ග්‍රීස් යකාගේ’ ආගමනය ලංකාවේ පවතින දේශපාලන ක්‍රමයට බලපාන්නේ කොහොමද?

“ලංකාව සම්බන්ධයෙන් ගත්තාම මේ පාලක රෙිජිමය අනාගතය තුළ කරන්න පුළුවන් දේවල් පිළිබඳව වර්තමානය සූදානම් කරනවා. ඒක උපායශීලී දේශපාලනයේ ස්වභාවය. අනාගතය සකස්කිරීමට වර්තමානය අධ්‍යනය කරනවා වෙනුවට, තමන්ගෙ අනාගතය සකස්කර ගැනීමට වර්තමානය අවුල් කරන එක තමයි මේ සිදු කරමින් සිටින්නෙ. හදිසි නීතිය ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලොකු අර්බුදයකට යනවා. විශේෂයෙන්ම දකුණු ඉන්දියානු දේශපාලනය තුළින් ලංකාවේ මධ්‍යම ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය වැරදියි කියලා විරෝධයක් එනවා. ඊළඟට යුධ අපරාධ ගැන විරෝධයක් එනවා. මෙන්න මේ පසුබිම ඇතුළෙ තමයි අපි මේ ‛ග්‍රීස් යකා’ ගැන හිතන්න ඕනෙ. අනෙක් කාරණය තමයි ලංකාවේ පාලකයො ලිබියාව, සිරියාව, යේමනය තුළ සිදුවන දේවල් පිළිබඳ බය වෙලා ඉන්නෙ. විශේෂයෙන්ම ලිබියාවෙ ප්‍රශ්නෙ මේ අය අධ්‍යයනය කරන්නෙ අපිටත් මේ වගේ වෙයිද? ගඩාෆිගේ පුත්තු අත්අඩංගුවට ගන්න කොට අපේ ළමයින්ටත් මේකද වෙන්නෙ? කියලා කල්පනා කරනවා. සිරියාවෙ, යේමනය, ලිබියාවෙ මේ දිනවල සිදුවන දේවල් වලට ලංකාවෙ පාලකයො නීති පනවලා සූදානම් වෙනව.”

වැඩිවශයෙන් මේ සිද්ධිය තුළ තියෙන්නෙ අසත්‍ය ප්‍රචාරයන් කියලා ආණ්ඩුව කියනවා

“මේක කටකතාවක් වෙන්න බැහැ. කටකතාවක් නම් මිනිස්සු කාටවත් ගහන්නෙ නැහැ. ‛ග්‍රීස් යක්කු’ කියලා හිතාගෙන අහිංසක අය ගුටි කාලා තියෙනවා. අනික තමයි මේ ‛ග්‍රීස් යක්කු’ ඉන්නෙ උතුරු නැගෙනහිර, මහනුවර වගේ තෝරාගත් ප්‍රදේශවල විතරයි. එතකොට මේ ‛ග්‍රීස් යක්කු’ ගැහැණු අයගෙ ඇඟවල් වලට පනින්නෙ සිතියමකට අනුවද? ‛ග්‍රීස් යක්කු’ විදිහට අහුවුණු අය ගත්තොත් බොහෝ අය හමුදාවෙ හිටපු මිනිස්සු. හමුදාව හොඳටම පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ කාටද? මේ සිදුවීම තුළ දකින්න පුළුවන් තවත් ප්‍රවණතාවයක් තමයි පොලීසියේ කාර්යය ජනතාව විසින් සිදුකිරීම,

“මගෙ නිවසට ‛ග්‍රීස් යකෙක්’ ආවොත් මම පොලීසිය එක්ක ගනුදෙනු කරන්නෙ නැහැනෙ. මම මගේ අසල්වැසි අය සමග තමයි ඒ වගේ ප්‍රශ්නයකට මුලින්ම මැදිහත් වෙන්නෙ. අනික් කාරණය තමයි, ‛ග්‍රීස් යක්කු’ තවදුරටත් ක්‍රියාත්මක වෙන්නෙ, පොලීසිය මෙම ප්‍රශ්නය ඉදිරියේ නිශ්ශබ්දව ඉන්න තත්ත්වය තුළනෙ. මේ විදිහට පොලීසිය නිශ්ශබ්දව ඉන්න එක ඇතුළෙ පොලීසියත් මේ ‛ග්‍රීස් යක්කු’න්ගෙ ප්‍රභවය පිළිබඳව දන්නවදෝ කියලා තමයි හිතන්න වෙන්නෙ. ඉතින් මේ විදිහට පොලීසිය නිහඬව ඉන්න කොට පොලීසිය විසින් කළ යුතු කර්තව්‍යය ගමේ මිනිස්සුන්ට කරන්න වෙනවා. මේ දේශපාලන ක්‍රමය ඇතුළෙ ‛ග්‍රීස් යකා’ ආවත් නාවත් ඔය දේ සිද්ද වෙනවා. දැන් ‛ග්‍රීස් යකා’ ඇවිත් ඕනෙ නම් මාසයක් ඇති. ඉතින් මේ ‛ග්‍රීස් යක්කු’ එන්න ඉස්සෙල්ලා වෙනත් යක්කු හිටියෙ නැද්ද? එවැනි තත්ත්වයන් තුළ පොලීසියට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙ නැහැනෙ. සියල්ලම එකම පුද්ගලයෙක්ගෙ ආධිපත්‍යට ආවට පස්සෙ ප්‍රජාත්න්ත්‍රවාදී සමාජය ඇතුළෙ තිබෙන සියළුම ආයතන අඩපණ වෙනවා. එක මිනිහෙක්ගෙ පාලනය යටතට සහ එයාගෙ සහෝදරයො පාලනය කරන කොට මුළු දේශපාලන පද්ධතියම අවුල් වෙනවා. මේ යක්කු ග්‍රීස් නෙමෙයි, මේ යක්කු දේශපාලන යක්කු කියලා කියන්නෙ ඒ හින්දයි.”

හමුදා කඳවුරු වලට බලපෑම් කරන්න ඇවිත් කරදර දා ගන්න එපා කියලා ආරක්ෂක ලේකම්වරයා ජනතාවට අනතුරු අඟවන එක ගැන ඔබේ අදහස මොකක්ද?

“මේ වැඩේ කරන්නෙ ආමි කෑම්ප් වලින් වැනි අදහසක් අවිඥානිකව එම ප්‍රකාශයේ ගැබ්වෙලා තියවෙනව කියලා මට හිතෙනවා. ප්‍රභාකරන් මැරුවට පස්සෙ ප්‍රශ්නෙ ඉවර වුණානෙ. පාලකයන්ට ඕනෑවෙලා තියෙන්නෙ තව අනෙකෙක් හදා ගන්න. ඒ අනෙකා තමයි ‛ග්‍රීස් යකා’. ‛ග්‍රීස් යකා’ හරහා තවත් ප්‍රභාකරන් කෙනෙක් හදා ගන්නවා. අනෙකෙක් නැති වුණාම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් එනවනෙ. ඉතින් මේ අයට පැවැත්ම සඳහා අනෙකෙක් ඕනැ කරනවා. ප්‍රභාකරන් නැති එක හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ප්‍රභාකරන් හිටියා නම් මේ අයට හරි වාසියි. තමන් කරපු ලොකුම වැරැද්ද තමයි ප්‍රභාකරන් ඝාතනය කරපු එක කියලා මේ අය හිතනවා ඇති.”

මෙවැනි තත්ත්වයන් තුළ ලංකාවේ අනාගතය කුමන දිශාවකට ගමන් කරයිද?

මේක වෙනමම ක්‍රීඩාවක්. නමුත් මේ දේශපාලන ක්‍රීඩා වලට ආයුෂ නැහැ. ජනතාව මේව එච්චර කල් දරන්නෙ නැහැ. ජනතාවට දරන්න පුළුවන් කාලයක් තියෙනවා. ලිබියාව, යේමනය, සිරියාව වගේ ඉතාමත්ම ප්‍රතිගාමී රටවල පවා විප්ලවයන් ඇති වෙනවා. ලංකාවේ ජනතාව දේශපාලනමය වශයෙන්ම ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපේ ජනතාව ඉතාමත් ඉක්මණින්ම මොකක්ද කරන්න ඕනෙ කියලා තීරණය කරයි. අනික මේ වගේ ජාතිකවාදී සිංහල බෞද්ධ ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නෙ මේ වගේ ‛ග්‍රීස් යක්කු’ සහ හමුදා යක්කු දාලා කරන වැඩ වලින් පමණයි. ලිබියාවෙ ගඩාෆිට වුණෙත් ඒක. අවුරුදු 40 ගාණක් ගඩාෆිත් කළේ මේ අය කරන ටිකමයි. නමුත් අද ගඩාෆිට වෙලා තියෙන්නෙ මොකක්ද? මිනිස්සු ඉවසන්නෙ නැහැ. මිනිස්සු ඉවසන මට්ටමක් තියෙනවා. මිනිස්සු ඉවසන මට්ටම ප්‍රභාකරන් නැමැති දෙමළ අනෙකා නැතිවුණාට පස්සෙ ඉවරවෙලා තියෙන්නෙ. ප්‍රභාකරන් වෙනුවට වෙනත් අනෙකෙක් හදන්න බැහැ. ඔය ‛ග්‍රීස් යකා’ කියන්නෙ ප්‍රභාකරන් වගේම මිනිස්සුන්ව බය කරන්න ගේන එකක්. නමුත් මේ විදිහට ‛ග්‍රීස් යක්කු’ හැමදාම ගේන්න බැහැ.

සාකච්ඡාවක් ඇසුරිනි

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය