Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යාපනය: ග්‍රීස් යකා මහසෝනා වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

මහසෝනා පහර දෙන්නේ මැදියම් රැයේ දී හූවක් කියාගෙන ය. එවිට ඇඟලි සළකුණු බෙල්ලේ ඉතිරිවන්නේ නිල් පාටිනි. වින්දිතයා සිහිසුන්ව ඇද වැටෙයි. යකැඳූරකු සොයා ගෙනැවිත් වහාම පිළියම් නොකළහොත් අසනීපකරුගේ ජීවිතය ගැන විශ්වාසයක් තැබිය නොහැකි ය. මහසෝනාට බිලි දී එළනා දමන තොවිලයේ දී පරළවන යකැඳුරා යටි ගිරියෙන් ලතෝනි දෙමින් කෑ ගසන්නේ දෙපා බිල්ල අරගෙන ලේ බී යන දේසයකට පලයාන් පලයාන් කියමිනි. තොවිලය බලන්නට එන යන අප කුකුළාගේ බෙල්ල කඩා ලේ බොන හැටි බලා සිටින්නේ හුස්ම නතර කොට දෙඇස් නළලට ගෙන ය. එවිට අත්තක් බිදෙන හඬ ඇසුනොත් ඉන් අදහස් වෙන්නේ මහසෝනා පළා ගිය බව යි. ඉන් අනතුරුව එක කඩු පහරින් කෙසෙල් ගස් දෙබෑවනු බලා සිටීමත් හූ පිට හූ තියමින් දිවයන යකැදුරා පසු පසින් දිව යාමත් මහසෝන් තොවිලයේ ආශික් අවස්ථා ය.

රට හෙල්ලුම් කැවූ ග්‍රීස් යකා අයත්වන්නේ කුමන යක් ග්‍රෝත්‍රයකට ද කියා තවම දැන ගන්නට නැත. විපක්ෂ දේශපාලනඥයින් කියන්නේ ග්‍රීස් යකා රාජපක්ෂ පවුලේ ආනුභාවයෙන් මෙරටට කැදවන ලද බවයි. ආණ්ඩුව කියන්නේ දෙමළ ඩයස්පොරාව නැත්නම් ජවිපෙ නැත්නම් ජාතිද්‍රෝහීන් විසින් තැන තැන මතුරා කැදවන ලද බූ බම්බකු බව යි. එනමුත් රටපුරා ගමින් ගම මහා ජනයා විසින් කුදලා බාර දෙන ලද එකදූ ග්‍රීස් යකකු හෝ අධිකරණයට ඉදිරිපත් කළ බවක් දැන ගන්නට නැත. උන් අතුරුදහන් විය. කවරකු විසින් කැදවන ලද්දේ වුවත් මේ ග්‍රීස් යකුන්ට ආරක්ෂ හමුදා ශරීරාරක්ෂයින් ලබා දී තිබුණේ ය යන විශ්වාසය රට පුරාම පැතිර තිබේ. ශරීරාරක්ෂයින් ලැබෙන්නේ ආරක්ෂ අමාත්‍යාංශය විශේෂ අනුමැතිය ලදොත් පමණි.

ඒ කෙසේ වෙතත් තොවිලයක දී වුව යකුන් කැදවීම මහා භයානක කාර්යකි. මන්ද යත් උන් ආපසු යවා ගැනීමට බැරි වුවහොත් කුමන වින්නැහියක් වනු ඇත්දැයි සිතා ගැනීමටවත් බැරි නිසා ය. එවැනි කාර්‍යයකට අත තැබිය හැක්කේ යුද සෙනවියකු වැනි බලසම්පන්න යකැඳුරෙකුට පමණි.

ග්‍රීස් යකා ද කවරකු හෝ විසින් කැදවන ලද්දේ නම් ආපසු යැවීම ඉතා දුෂ්කර වන තරමට දැන් ජනප්‍රවාද ගත වී තිබේ. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් ජීවත්වන පෙදෙස්හි සැරි සැරීමට අභිරුචියක් පෙන්වූ මේ ග්‍රීස් යකුන් අතරින් පස් දෙනෙකු පසුගිය 22දා රැයෙහි යාපනයේ නවන්තුරෙයි පෙදෙසෙහි දෘශෂමාන විය. ඒ ඉන් තිදෙනෙකු දේවස්ථානයක දී ද දෙදෙනෙකු ගසක අතු පතර ලැග සිටිය දී ය. සිය දර්ශනයෙන් ගම් වැසියන් කැළඹිල්ලට පත්වනු දුටු යකුන් පිරිස එක එල්ලේ දිව ගොස් නවන්තුරෙයි හමුදා කදවුර තුළට අතුරුදහන් විය. ගම් වැසියෝ මහත් සංත්‍රාසයට ද කේන්තියට ද පත්ව හමුදා කඳවූර දෙසට රංචු ගැසුණි. එවිට අර ග්‍රීස් යකුන් පස් දෙනා හමුදා වාහනයක නැගී හමුදා නිල ඇදුමින් සැරසි පලා යනු ජනයා දුටුවෝ ය. ඔවුන්ගේ භීතිය කෝපය බවට පෙරළුණි. එක් ග්‍රීස් යකකු වාහනයෙන් පිටට කිණිස්සක් උලුක්කු කර දත් විළිස්සා ජනයාට ඔලොක්කුවක් ද දැමී ය. අයෙක් එම වාහනයට ගල් මුල් දමා ගැසූහ. එවිට නවන්තුරෙයි හමුදා ලොක්කන්ට අන් කිසිදු ග්‍රීස් යක් නැටුමක දී නොවූ පරිදි යකා නැග්ගෝය. කොතැනකවත් නොවූ පරිදි මහ රෑ මහසෝන් පාලිය ඇරඹුණේ එවිට ය.

ග්‍රීස් යකුන් පාදූර්භූතවීම විසින් සාමකාමී මහා ජනයා කුපිත කරන ලද එකම සහ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නැගෙනහිර පළාත් කිහිපයකදීම ග්‍රීස් යකුන් ආරක්ෂා කරන්නේ යැයි චෝදනා ලද රජයේ ආරක්ෂ අංශ සමඟ තරමක ප්‍රචණ්ඩ ගැටුම් කරා මහා ජනයා තල්ලු වී ගියේ ය. මහ මඟ ටයර් ගිනි දෙවියාට පුද කරන ලද්දේ සිවිල් කෝලාහළයක ස්වරුපය ලබා දෙමිනි. එවැනි එක් අවස්ථාවක දී රජයේ ඇමැතිවරු ගොන්නක්ම නැගෙනහිර පළාතට පියාඹා බියට සහ කෝපයට පත් ජනයාගේ හිස් පොරෙන්දු නැමැති මත් පැනින් නැහැවූහ. කිසිවකු අත් අඩංගුවට ගැනුනේ නැත. නැගෙනහිර ත්‍රිකුණාමලයේ මූතූර්හිදී බියට සහ කෝපයට පත් ජනයා ග්‍රීස් යකුන්ට ආරක්ෂාව දුන් බවට චෝදනා කරමින් හමුදා කදවුරක් වට කර උද්ඝොෂනයක් ද කළහ. පුත්තලමෙහි දී අහිංසක පොලිස් නිලධරයකු මරා දමන ලද්දේ ද ග්‍රීස් යක්ෂයා විසින් ජනිත කළ බියෙන් ආරූඩ ව සිහි විකල් කර ගත් පිරිස් විසිනි.

ජනයා උන් දඬුකඳේ ගසනු වස් ග්‍රීස් යකුන් පසුපස දිව ගිය නවන්තුරෙයි හි සිටියේ දෙමළ ජනයා ය. හමුදා වාහනයකට ගල් ගැසුවේ ඒ දෙමළ ජනයා ය. ඒ විරෝධය එල්ල වූයේ යාපනයේ දෙමළ ජනයා 1994 සිට පාලනය කරන සිංහල යුද හමුදාවට ය. සාමකාමී යාපනයේ දෙමළ ජනයා ජීවත්විය යුත්තේ යටහත් පහත්ව බැවින් ග්‍රීස් යකුන් රැක ගනිමින් රුධිර පිපාසිත මහසෝන් යකුන් මතුවිය.

පසුගිය 23 දා මැදියම් රැය පසුවී පැයක් ගතවත්ම නවන්තුරෙයි ගම වෙඩි හඩින් අවදි කරවන ලදී. ගෙයින් ගෙට යමින් යුද හමුදා පිරිස් එහි වැසි පිරිමින් අත් අඩංඟුවට ගත්හ. දුන්හ. බිය ගන්වනු පිණිස බිත්ති පසාරු කරමින් වෙඩි තැබූහ. දොර ජනේල බිද දැමූහ. මාපියන් සහ අඹු දරුවන් ඉදිරියේ ම අත් අඩංඟුවට ගත් පිරිස් වෙත මහසෝන් පහරවල් එල්ල කළහ. මැෂින් තුවක්කු බඳින් ලේ හැලෙන සේ පහර පහර දෙමින්ම ඔවුන් මහ මඟට ඇදගෙන ගියහ. මහ රැයේ රුධරය ගලා ගියේ අඹු දරුවන්ගේ කදුළු සහ සුසුම් සමඟ ය. වරක් ව්‍යාපාරිකයකුගේ පුතකු වූ වයස 16ක පාසැල් සිසුවකුට පහර දෙමින් මහ මඟට ඇඳ ගෙන ගියහ. තවක් තැනෙක ගමෙහි වූ මළ ගෙදරක නිදිවරමින් සිටි ජන පිරිසක් ද මෙහෙයුමේ ඉලක්ක බවට පත් ව ගුටි පූජාවකට ලක් විය. එනයින්ම දරුවකු වඩාගෙන සිටි පියකුගෙන් දරුවා උදුරා විසිකළ යුද හමුදා පිරිස් ඔහුට පහර දෙමින් මහමඟට ඇඳ ගෙන ගියහ. වැසියකුගේ ජිප් රථයකට ද වෙඩි පහර තුනක් එල්ල විය. ගමෙහි සෑම නිවසකම අද ඇසෙන්නේ එවැනි බිය ජනක අත්දැකීම් ය. 23 දා රාත්‍රි මිලිටරි මෙහෙයුම අවසන් වුයේ පතුරම් පහරින් සිදුරු වූ බිත්ති සහ ලෙයින් පෙඟුණු ඇදුම් සාක්ෂි වශයෙන් තබා යටත් කර ගත් පිරිමින් අත් අඩංඟුවට ගැනීමෙන් පසු ය.

අත් අඩංඟුවට ගත් පිරිස 150ක් තරම් වූ බව කියනු ලැබේ. ඔව්හු 23දා අලුයම හතරට යාපන පොලීසියට බාර දෙන ලදී. ඒ වනවිට ඔවුන්ගෙන් පිරිසකට දරුණු වධ හිංසා පමුණුවා තිබුණි. උදෑසන 10.00ට පමණ පොලීසිය ඔවුන් යාපන මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගිය නමුත් අධිකරණයට ඉදිරිපත් කළේ දහවල් 1.00ට ය. පහර දී අත පය කඩා දමා ලේ ගලමින් සිටි විසි දෙනෙකුට ද ඒ අතර විය. අඩුම වශයෙන් පැය 08ක් පුරා ඔවුනට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා දී තිබුණේ නැත. බිඳ දමන ලද අස්ථි යළි සකස් කරනු පිණිස ඒ සියල්ලන්ට ම ශල්‍යකර්ම කිරීමට සිදු විය. දරුණු ලෙස තුවාල නොලද නමුත් පහරදිම් නිසා ප්‍රතිකාර අවශ්‍යව සිටි තවත් සියක් තරම් දෙනෙකුට රාත්‍රී 7.30 වන තුරු ම රෝහලකට යෑමට ඉඩ ලබා දුන්නේ නැත. ආරක්ෂ හමුදා නවන්තුරෙයි ජනයාගේ තුවාලවලට වත් කළේ කහ දියර නොව ලුනු ය.

ගමකට කඩා වැදී හමුදා පිරිස් විසින් කරන ලද මෙම අපරාධය පිළබදව වාර්තා කළේ දෙමළ ජනමාධ්‍ය සහ අන්තර් ජාලය මත පදනම් වූ විදෙස් ගත ශ්‍රී ලාංකික ජනමාධ්‍ය පමණි. ජාතික යැයි කියා ගන්නා ජනමාධ්‍ය මෙම අපරාධය සහමුළින්ම වාගේ සිංහල ජනයාගෙන් වසන් කළෝ ය. රජයේ ඇමැතිවරු කිසිවකු නවන්තුරෙයි ජනයා හමුවීමට ගියේ නැත. රෝහලට ගිය ආණ්ඩු පක්ෂයේ කිසිවකු ද නොවී ය. මෙම ප්‍රහාරය පිළිබදව පරීක්ෂණයක් කරන බවට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළේ ද නැත.

ඉන් අදහස් වන්නේ දෙමළ ජනයා කවර හෝ විරෝධයක් පළ කළ හොත් උනගේ අතපය කඩා දැමීමට ආරක්ෂ හමුදාවන්ට අවසර සහ බලය ඇති බව ද? තරුණයින් දෙනෛකු මරා දැමිම නිසා එගම සිංහල ජනයා ලුනාව පොලීසිය වට කර එයට එල්ල කල ප්‍රහාරය මතකද? පොලීසියේ දී කරනු ලබන පහරදීම් නිසා මිය යන පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වෙන සිංහලයින්ගේ ප්‍රචණ්ඩ විරෝධතා ඔබට මතක් කළ ගත හැකි ද? ඒ කවර හෝ අවස්ථාවක දී මහ රැයේ ගම්මානයකට කඩා වැදී ගමෙහිම පිරිමිනට තිර්ශ්චීන ප්‍රහාරයක් එල්ල කළ හොත් අහෝ අපේ ජාතික පුවත්පත් කතුවැකි පිට කතුවැකි නොලියනු ඇත්ද? ඇමැත්තන් රංචු පිටින් රෝහල් කරා දුව ගොස් තැඹිලි වතුර නොපවනු ඇත්ද? ජනාධිපතිතුමා විශේෂ පරික්ෂනයක් නියෝග නොකරනු ඇත්ද?

නවන්තුරෙයිහි දී ඒ කිසිවක් සිදු වූයේ නැත. එකම වෙනස නවන්තුරෙයිහි ජීවත්වන්නේ දෙමළුන් විමය. විමුක්තිය ලබා දුන් බව කියන දෙවසරකට පසු ද දෙමළ ජනයාට සැළකෙන්නේ මහසෝන් පිළිවෙත් අනුව නම් එමගින් ශ්‍රී ලංකාණ්ඩුව දෙමළ ජනයාට සහ ලෝකයට දෙන පණිවිඩය පැහැදිලි ය: ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සමාන ගරුත්වයක් හෝ අයිතිවාසිකම් හෝ නැත. තතු එසේ නම් යකුන් පළවා හැරීම හැර දෙමළ ජනයාට ඉතිරිවන වෙනත් විකල්පයක් ඇත් ද?

ඡායාරෑපමය සාක්ෂි සදහා පිවිසෙන්න

සුනන්ද දේශප්‍රිය