Colombo, end of the War, Featured Articles, Features

ජනාධිපතිගේ ඉස්කෝලේ හිටපු අය


දිනක් මාගේ මිතුරෙකුට නන්නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණ. තමා ජනාධිපති ආරක්ෂක අංශයේ කෙනෙකු බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මිතුරා සහ ඔහුගේ පෙම්වතිය අතර ඇති සබඳතාවය නවත්වන ලෙසත් ඕනැවට වඩා දඟලා වැඩේ දුර දිග නොයවන ලෙසත් එම හදිසි කෙටි දුරකථන ඇමතුමෙන් ප්‍රකාශ විය. අපේ මිතුරාට සිහිය විකල් වූ අතර කුමක් කරන්නේ දැයි කල්පනා කරන්නට විය. ඔහු වඩාත්ම බිය වූ කාරණය වූයේ ජනාධිපති ආරක්ෂක අංශයේ අයෙක් වැඩේට මැදිහත් වීම ගැනය. පෙම්වතියගේ සහෝදරයා ඔවුන්ගේ ප්‍රේමසම්බන්ධතාවයට විරුද්ධ බවත් එය නැවැත්වීම සඳහා මෙම දුරකථන ඇමතුම දී ඇති බවත් පසුව ආරංචි විය.

ජනාධිපතිව විකුණා වැඩේ කර ගැනීම

ණය මුදලක් ඉල්ලා ගැනීම, නිවසක් කුලියට ගැනීම, උත්සව ශාලාවක් වෙන් කර ගැනීම ආදී කටයුතු වල සිට ගැහැණු ළමයෙක් යහළු කරගැනීම දක්වා වූ ඕනෑම කටයුත්තක් සඳහා බොහෝ පිරිස් ජනාධිපති සමග තමාට ඇති සම්බන්ධතාවය පවසයි. මීට අමතරව ජනාධිපති සමග කාපු බීපු අය, ජනාධිපතිගේ ඉස්කෝලේ හිටපු අය, පොඩි කාලේ ජනාධිපතිට පන්තියෙදි කණට ගහපු අය, ඉස්සර ජනාධිපති තේ බීපු කඩේට පාන් දාපු බේකරිය ඊට පස්සෙ කුලියට ගත්ත අය ආදී මෙකි නොකී පිරිස් ඕනෑතරම් මළ ගෙවල් වල, මඟුල් ගෙවල් වල, දානෙ ගෙවල් කතා බහේදී සුලභව හමුවෙති. ඉක්මණින් වැඩක් කර ගැනීමට, අවධානය දිනා ගැනීමට, ගෙදරට හොරු එන නැවැත්වීමට ආදී විවිධ අරමුණ තකා බොහෝ පිරිස් මේ ක්‍රමය අත්හදා බලති. ඉතින් අද වන විට ජාතික හැඳුනුම්පතටත් වඩා මේ ජනාධිපති හැඳුනුම්පත වටින අතර කාර්ය සඵලතාවයෙන් ද ඉහළය. කටුනායක පොලිස් ප්‍රහාරයෙන් මිය ගිය රොෂේන් චානකගේ පියා ජනාධිපති හමු වූ අවස්ථාවේ ජනාධිපති හා තමා අතර තිබූ අතීත සම්බන්ධතාවය මතක්කර දීම මෙම තත්ත්වයට ඇති ශෝචනීය උදාහරණයකි.

සුපිරිත්වය සමාජීය දේපළක් වූ කළ

ලාංකීය ජනසමාජයේ මෙම භාවිතාවන් තුළින් අප හට මතක් කර දෙන්නේ ජනාධිපති සතු සුපිරි බලය සමස්ත ලාංකීය දේහයම ආවරණය කර ඇති බවයි. සිනමා තරුවක්, ගායකයෙක් සතු තරුමය ගුණය සමාජයක් විසින් කාන්දු කරගන්නේ යම් සේද ඒ ආකාරයටම ජනතාව අද ජනාධිපති සතු සුපිරිත්වය තමාට කාන්දු කර ගනිමින් සිටිති. අද වන විට ජනාධිපති සතු සුපිරි බලය සමාජයේ දේපලක් බවට පත් වී ඇත. ජන සමාජය විසින් තමා මුහුණ දෙන එදිනෙදා ගැටළු වලදී ජනාධිපති සමග ඇති සම්බන්ධතාවය පෙරමුණට දමන්නේ ඒ නිසාවෙනි. ගැටළුව වන්නේ බැලූ බැල්මට මෙම තත්ත්වය හුදෙක් ජනතාව විසින් ගොඩ නගා ගත්තක් ලෙස පෙනුනද ඇත්තටම බලයේ කේන්ද්‍රය විසින් ජනයාට ගොඩනගා ගන්නට බල කෙරුණ තත්ත්වයක් වීමයි. ඉතින් අද සමස්ත ලාංකීය සමාජයම පාලකයා හා තමා අතර ඇති පාලක-පාලිත සම්බන්ධතාවයෙන් එහා ගිය සම්බන්ධතාවයක් සොයමින් වෙහෙසෙයි. මන්ද එය අමතර දේපළක් වන බැවිණි. එමෙන්ම ඒ හරහා අමතර වාසි රැසක් ලැබෙන හෙයිනි. තත්ත්වයක් ලැබෙන බැවිණි.

සුපිරිත්වය පවුලේ දේපොළක් වූ විට

මෙම සුපිරි බලය පවුලේ දේපළක් වූ විට එය සමාජීය දේපළක් වනවාටත් වඩා තත්ත්වය බරපතලය. අද අප එම අත්දැකීම ඇති පදමට විඳිමින් සිටින්නෙමු. ආරක්ෂක අමාත්‍යාංශයේ සිට විවිධ අමාත්‍යාංශ රාශියක් ද ,බොහෝ රාජ්‍ය ආයතන වල ඉහළ නිළතල රාශියක්ද අයත් වන්නේ එක පවුලක පිරිසකටය. එදා ජනතාව ඡන්දය දී ඇත්තේ එක් පුද්ගලයෙක්ට නොව සමස්ත පරම්පරාවකට බව අද පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන දෙස බැලීමෙදී පෙනේ. අද එක් පුද්ගලයෙක්ගේ සුපිරි බලයක් සමස්ත පරම්පරාවක් තුළ පැතිර ඇත. සුපිරි බලය තමන්ගේ පරම්පරාවේ වීමේ වාසිය අත්විඳිමින් එක් පරම්පරාවක් යහමින් කල් ගෙවති. මෙම තත්වය ලංකාවට අරුමයක් නොවේ. අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන පමණක් නොව ස්වභාවික සම්පත්, ව්‍යාපාරික ආයතන ආදී මෙකී නොකී සියළුම තැන්වල අයිතිය සුපිරි බලය හිමි පවුලේ සාමාජිකයන්ට හිමි වීමේ සම්ප්‍රදායක් දශක කිහිපයක සිට ලංකාව තුළ ක්‍රියාත්මක විය. අද පවා එම සම්ප්‍රදාය නොකඩවා සිදුකරන අතර මේ වන විට එය තවදුරටත් ප්‍රසාරණය වී ඇති තත්වයක් දැකිය හැකිය.

අද උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලහි ලහියේ ‛රක්නා ආරක්ෂක ලංකා’ නැමැති පෞද්ගලික ආරක්ෂක සේවය විශ්ව විද්‍යාල පද්ධතියට යෙදවීමට කටයුතු කරමින් සිටියි. විශ්ව විද්‍යාල වල පෙර සිටි ආරක්ෂක අංශයන් වල වයසක අය සිටීම, කාර්යක්ෂම නොවීම ආදී කාරණා නිසා මෙම ආරක්ෂක සේවය ගෙන්වන බව අධ්‍යාපන ලේකම් වරයා විසින් කියයි(ලේකම්වරයා ලවා කියවයි). නමුත් අනිත් පැත්තෙන් විශ්ව විද්‍යාල පවසන්නේ මෙතෙක් කාලයක් ආරක්ෂක අංශයන්ගෙන් කිසිදු ගැටළුවක් ඇති නොවූ බවයි. පැමිණීමට නියමිත රක්නා ලංකා ඉහළ මිලක් අය කරන බවත් එමගින් අධික වියදමක් විශ්ව විද්‍යාල වලට දරන්නට සිදු වන බවත් විශ්ව විද්‍යාල පවසති. මෙවන් තත්ත්වයකදී රක්නා ලංකා ආරක්ෂක අංශය විශ්ව විද්‍යාල පද්ධතියට නියම කරන්නේත් සුපිරි බලය හා රක්නා ලංකා ආයතනය එකම පවුලකට අයත් බැවිනි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහීනී සේවය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය – හම්බන්තොට වැනි බොහෝ ආණ්ඩුවේ ප්‍රධාන ආයතන රාශියකටද රක්නා ලංකා මේ වන විට ආවේශ වී ඇත. ඉදිරියේදී සෑම ආයතනයකම ආරක්ෂක අංශයන් සඳහා රක්නා ලංකා භාවිතා කළ යුතු බව පවසමින් නීතියක් සම්මත වුවහොත් එයට පුදුම විය යුතු නැත. මේ අප ගතකරන්නේ එක් පවුලක සුඛවිහරණය සඳහා අති විශේෂ ගැසට් නිවේදන පවා නිකුත් වන යුගයකය. සුපිරි බලය පවුලේ දේපලක් වූ විට මීටත් වඩා දේවල් ඉදිරියට සිදුවිය හැකිය. පවුලේ කට්ටියගෙන් ආදර්ශයක් ගන්නා මහජනතාව ද තමන්ගේ වැඩේ කරවා ගැනීමට හොඳම මග සුපිරි බලය සමග ඈඳීම බව සිතති. පවුලේ කට්ටියට සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම හම්බ වෙන කොට අඩුම තරමේ තමන්ට කඩයක් හරි අඩු ගානට කුලියට ගැනීමට සුපිරි බලය උපකාරී වනු ඇතැයි ජනතාව සිතති. අවසානයේ මුළු රටම තම විනෝදය එක් පුද්ගලයෙක් මතට ගාල් කරමින් සිටිති. පවුලේ අයට වැඩි විනෝදයක් ලැබෙන අතර මහජනතාවට සුළු විනෝදයක් ඉතිරි වෙති. නමුත් තමාට අමතර දේපලක් වූ සුපිරි බලය, එක්තරා මොහොතක පවුලේ සුඛවිහරණය සඳහා තමාගේද කෙස් වැටියෙන් අල්ලා බිම ගැසීමට නියමිත බව මිය ගියත් මහජනතාවට නොවැටහෙනු ඇත.