Colombo, end of the War, Featured Articles, Features

විසිතුන් වසරකට පසු පළාත් සභා ක්‍රමය ගැන නැවත කියැවීමක්


[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන ගැඹුරු සිතා බැලීමක් අවශ්‍යව තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.]

ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය සංස්ථාපනය කැරෙන්නේ 1987 ජුලි 29 වැනිදා අත්සන් තැබුණු ඉන්දු-ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියටයි. (මුලින්ම පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ 1988 නොවැම්බර් 19 වැනිදාය) බලය බෙදාහදා ගැනීමේ යාන්ත්‍රණයක් එමඟින් යෝජනා කැරිණ. සත්‍ය වශයෙන්ම මෙය ලංකාණ්ඩුවේ අවශ්‍යතාවක් මත සිදු කැරුණක් නොව ඉන්දියාවේ හුදු වුවමනාව මත ඉන්දියාව විසින්ම බලහත්කාරයෙන් අප රට මත පටවන ලද්දක් වූයේය. ක්‍රමිකව වර්ධනය වෙමින් පැවතුණු එල්ටීටීඊ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පෙන්වූ නොහැකියාවත්, ඒ සඳහා පැහැදිලි සැළැස්මක් හෝ ප්‍රතිපත්තියක් නොමැති වීමත් මේ ආකාරයේ ඉන්දියානු මැදිහත් වීමක් සඳහා හේතු පාදක විය. එවකට විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ අතර එතෙකින් නොනැවතී ඔවුහු රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන්නට වූහ. විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ද ඇතැම් මැති-ඇමැතිවරු එදා පළාත්සභා ක්‍රමය සමඟ එකඟ නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මේ අනුව 1988 දී මෙරට පළාත් සභා පිහිටුවන්නේ සමස්තයක් වශයෙන් මුළු රටම ඊට එරෙහිව නැඟී සිටින පරිසරයක් තුළ වන බවට සරල නිගමනයකට එළඹිය හැකිය.

පළාත්සභා සංස්ථාපනය කිරීමෙන් බලාපොරොත්තු වූයේ උතුරු-නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමයි. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා පළාත් බල ව්‍යුහයක් නිර්මාණය කිරීම ද මෙමඟින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ තවත් අරමුණක් විය. එහෙත් මේ අරමුණු කරා ගමන් කිරීමට පළාත් සභාව සාර්ථක මාවතක් වූයේ නැත. ආරම්භක අවස්ථාවේ දී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කොට එක් පළාත් සභාවක් පිහිටු වුවද ඉතාමත් කෙටි කලෙකින් එකී පළාත් සභාව විසුරුවා හරින ලදී. එමඟින් සිදු වූයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙල එකී ප්‍රදේශවලම ක්‍රියාත්මක නොවන පරිසරයක් නිර්මාණය වීමයි. 2006 වසරේ දී ලබා දුන් අධිකරණ තීන්දුවක් මඟින් උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීමෙන් පසුව නැගෙනහිර පළාත සඳහා මැතිවරණයක් පවත්වා පළාත් සභාවක් පිහිටුවා ඇති නමුත් උතුරු පළාත සඳහා අදටත් පළාත් සභාවක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත. ගිවිසුම් ප්‍රකාරව පළාත් සභාවලට ලබාදිය යුතුව තිබුණු බලතල ද අදටත් පළාත් සභා වෙත සම්පූර්ණයෙන් ලබා දී නැත. ඉඩම්, මූල්‍ය හා පොලිස් බලතල මේ අතුරින් ප්‍රධාන වේ. මේ සියලු බලතල පරිහරණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවයි. මේ නිසා පළාත් සභාව බෙලහීන, අකර්මන්‍ය ආයතන විශේෂයක් ලෙස ආරම්භයේ සිටම ක්‍රියාත්මක වන්නට පටන් ගැනිණ. අදත් මෙම තත්ත්වයේ සැලකිව යුතු වෙනසක් හෝ යහපත් වර්ධනයක් සිදු වී නැත.

පළාත් සභා සම්බන්ධයෙන් එල්ල වන බරපතලම විවේචනය වන්නේ පළාත් සභා ක්‍රමය සංස්ථාපනය කිරීමේ මූලිකම අරමුණ වූ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳ අරමුණ සඵල කර ගැනීමට නොහැකි වීමයි. නිකරුණේ මුදල් කාභාෂිණියා කරන, ආර්ථිකය මත අනවශ්‍ය බරක් පටවන ලද යාන්ත්‍රණයක් ලෙස ද පළාත් සභා ක්‍රමය විවේචනයට ලක්වේ. විධිමත්ව සකස් කරන ලද පළාත් පාලන ආයතන පද්ධතියක් (ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා) තිබිය දී මධ්‍යම ආණ්ඩුව යටතේම ක්‍රියාත්මක වන තවත් දේශපාලන යාන්ත්‍රණයක ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ගැන ද මෙහි දී ප්‍රශ්න කැරෙයි.

පළාත් සභා සම්බන්ධයෙන් මේ ආකාරයේ විවේචන එල්ල වීම කෙරෙහි බලපා ඇති හේතු සාධක බොහොමයක් වේ. හුදෙක් මේවා පළාත් සභා ක්‍රියාකාරීත්වය හා බැඳුණු වර්තමාන ගැටලු වේ. ඒවායින් කීපයක් පහත දැක්වේ.

– පළාත් පරිපාලනය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සතු බලතල පළාත් අමාත්‍ය මණ්ඩලය අධෛර්යමත් කිරීමට හේතු වීම
– පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු බලතල මධ්‍යම ආණ්ඩුව විසින් රඳවා තබා ගැනීම
– මුළුමනින්ම පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ක්‍ෂේත්‍ර පරිපාලන යාන්ත්‍රණයක් නොමැති වීම හේතු කොට ගෙන නීත්‍යානුකූලව තමන් වෙත පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී
පළාත් සභා පසුබෑම්වලට ලක්වීම
– ජාතික ප්‍රතිපත්ති සම්පාදන කටයුතුවලට මුවාවී පළාත් සභාවලට අයත් විෂයයන් මධ්‍යය විසින් පවරා ගැනීම
– කලින් කල බලයට පත් වූ ආණ්ඩු හා දේශපාලන පක්ෂ සිය දේශපාලන බල අරමුණු ඉටුකර ගැනීමේ උපකරණයක් ලෙස පළාත් සභා භාවිතයට ගැනීම
– ප්‍රාදේශීය සම්පත් කළමනාකරණය සඳහා වූ මධ්‍යම රජයේ මෙවලමක් බවට පළාත් සභාව පත්කර ගැනීම
– පළාත් සභාවලට පවරන ලද විෂයයන් පිළිබඳව තිබෙන අපැහැදිලිභාවය සහ සුදුසු කෙටුම්පත්කරුවන් නොමැති වීම නිසා පළාත් සභාවල නීති සම්පාදනය සීමා සහිත වීම
– බලය පැවරීමේ ආකෘතිය තුළ මධ්‍යයට ආධිපත්‍ය සහගත තත්ත්වයක් හිමිකර දීම සහ පළාත් සභා කෙරෙහි ඇති කරන දේශපාලන තෙරපීම
– මධ්‍යය සහ පළාත් පාලන බලය එකම දේශපාලන පක්ෂය විසින් හැසිරවීමේ වර්තමාන තත්ත්වය හේතු කොටගෙන තමන් සතු බලය යොදා පළාත්වල අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි – කටයුතු කරනවා වෙනුවට පළාත් අධිකාරීහු පුරුද්දක් වශයෙන් මධ්‍යයේ මඟපෙන්වීම දෙස බලා හිඳීම
– පළාත් සභාවන්ට සපයාදිය යුතු රාජ්‍ය පරිපාලන සංවිධානය නිසි පරිදි සැලසුම් කිරීමට දේශපාලන හා පරිපාලන නායකයන් අසමත් වීම

පළාත් සභා ක්‍රියාකාරීත්වය හා බැඳී තිබෙන දුර්වලතාවල තරම මැන බැලීමට ඉහත කාරණා හොඳටම ප්‍රමාණවත් වනු ඇත. එහෙත් එවැනි දුර්වලතා පැවතිය ද එයම හේතුවක් කර ගෙන පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් අද නැත. ඒ සඳහා බලපා ඇති එක් සාධකයක් වන්නේ වර්තමානය වන විට පළාත් සභා ක්‍රමය රටේ සමස්ත දේශපාලන දේහයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබීමයි. ඊට අමතරව තවත් හේතු ගණනාවක් ඒ සඳහා බලපායි. මේවා පළාත් සභා ක්‍රමය තුළ වර්තමානයේ දැකිය හැකි සුබවාදී තත්ත්වයන් ලෙස ද සැලකිය හැකි වේ.

බලය බෙදීමේ සංකල්පයට විරුද්ධ පාර්ශ්ව ද ඇතුළත්ව සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අද පළාත් සභා මැතිවරණවලට සහභාගී වෙති; පළාත් සභා නියෝජනය කරති. මෙය පළාත් සභා සම්බන්ධයෙන් දක්නට ලැබෙන යහපත් ලක්ෂණයකි. ජනවාර්ගික ගැටලුවට විසඳුමක් වශයෙන් පමණක් නොව ප්‍රාදේශීය සංවර්ධනයෙහිලා සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා යොදා ගත හැකි යාන්ත්‍රණයක් ලෙස ද පළාත් සභා ක්‍රමය සාකච්ඡාවට බඳුන් වේ. පළාත් සභා වටා පළාත් මට්ටමේ දේශපාලන නායකත්වයක් වර්ධනය වී ඒවා මෙරට දේශපාලන දේහයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබීම මේ සම්බන්ධයෙන් දැකිය හැකි තවත් සුබවාදී ප්‍රවණතාවකි. මේවාට අමතරව නිශ්චිත ලෙස කෘත්‍යයන් බෙදා වෙන් කිරීමක් සහිත, කාර්ය මණ්ඩල පිළිවෙලක් විධිමත් ලෙස පවත්වාගෙන යන පළාත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කොට තිබීම, පළාත් රාජ්‍ය පරිපාලකයන් ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය පරිණතභාවය අත්කර ගෙන සිටීම සහ බලය, කාලය, අවකාශය සහ සම්පත් නිසි ලෙස ලබා දෙන්නේ නම් මහජන සේවා සපයා දීමත් ප්‍රාදේශීය ආණ්ඩුකරණය දියුණු කිරීමත් සිදු කරමින් ප්‍රාදේශීය සංවර්ධනය ක්‍රියාවට නැගීම තමන්ට කළ හැකි බව පළාත් සභා පරිපාලකයන් ඔප්පු කර තිබීම අද වන විට පළාත් සභා සම්බන්ධයෙන් දක්නට ලැබෙන යහපත් තත්ත්වයන් ලෙස සැලකිය හැකි වේ.

මේ අනුව දැන් කළ යුතුව තිබෙන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම හෝ එය සුදු අලියකු ලෙස සලකා ප්‍රතික්‍ෂේප කිරීම හෝ නොවේ. ඒ හා බැඳී තිබෙන ගැටලු විසඳා ගනිමින් බලය බෙදා හදා ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස එය ශක්තිමත් කිරීමයි. පළාත් සභා ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ඉහත දක්වාලූ ගැටලු විසඳා ගත හොත් වෙසෙසින්ම මෙය දේශපාලන විසඳුමක් සඳහා ප්‍රවේශයක් නැතහොත් පදනමක් කර ගත හැකිය. එවැනි වැඩපිළිවෙලකට අප ගමන් කරන්නේ නම් එහි දී අවශ්‍යයෙන්ම ගත යුතු පියවරයන් කීපයක් වේ. ඒවායින් වැදගත් යැයි කල්පනා කරන කාරණා කීපයක් පහත දක්වමු.

පළාත් ලැයිස්තුවේ හෝ සමගාමී ලැයිස්තුවේ ඇති විෂය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා ගත යුතු එක් පියවරක් වේ. මෙම කාර්යය පළාත් සභා ද සම්බන්ධ වන සහභාගී ක්‍රියාවක් විය යුතුය. පළාත්වලට පැවරුණු විෂයයන් සම්බන්ධව විධායක බලය තමන් විසින් භාවිතා නොකරන බවට මධ්‍යම අධිකාරිය ප්‍රතිපත්තිමය වශයෙන් සම්මුතියක් ඇති කර ගැනීම පළාත් සභාවල ස්වාධීනත්වය සුරක්ෂිත වීම කෙරෙහි ඉතා වැදගත් වේ. මෙහි දී පළාත් සභා පනතේ අඩංගු ඇතැම් විධිවිධාන ද සංශෝධනය කළ යුතු වේ. පළාත් සභා යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතන පොදු අධීක්ෂණයකට භාජනය කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම ඇතුළු ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල වැඩි කිරීම, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, අස් කිරීම, මාරු කිරීම හා විනයානුකුල පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසමට පැවරීම සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට අදාළ සියලුම කාරණා පිළිබඳ ප්‍රතිපත්ති පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කිරීමට හැකි වන ආකාරයට මෙම සංශෝධන සිදු විය යුතුය. මේවාට අමතරව පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා ගත යුතු තවත් පියවර කීපයක් වේ.

– මධ්‍යයට හා පළාත්වලට වෙන් කොට ඇති වගකීම් අර්ථ ව්‍යාකූල භාවයට ඉඩ නොතබා පැහැදිලි කරගැනීම
– සෑම පළාත් සභාවකටම අවශ්‍ය මානව හා භෞතික සම්පත් සහිත ප්‍රඥප්ති කෙටුම්පත් ඒකක පිහිටු වීම
– පළාත් හා සමගාමී ලැයිස්තුවල ඇති විෂයයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා සහභාගී වීමට පළාත් සභාවලට අවස්ථාව සැපයීම
– බහුතල පද්ධතිය තුළ මධ්‍යය, පළාත් හා ප්‍රාදේශීය යන එකිනෙක මට්ටම්වල සේවා සැපයීමේ වගකීම පැහැදිලිව දැක්වීම
– ප්‍රමාණවත් මුදල් බලතල හිමිකර දීම
– 13 සංශෝධනයේ දක්වා ඇති පරිදි ජාතික ඉඩම් කොමිසම ස්ථාපිත කිරීම
– ප්‍රාදේශීය මට්ටමේ ක්‍ෂේත්‍ර පරිපාලනය පළාත් සභා යටතට පැවරීම
– සමගාමී ලැයිස්තුව තුළ හඳුනා ගන්නා විෂයයන්ට අයත් කෘත්‍යයන්, බලය හා සම්පත් සම්බන්ධයෙන් මධ්‍යම හා පළාත් ආණ්ඩු විසින් බල හවුල්කාරීත්වයකින් ක්‍රියා කිරීම නියම කිරීම
කෙරෙහි විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළු කිරීම

පළාත් සභා සම්බන්ධව වර්තමානයේ පැනනැඟී ඇති දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ඉහත දැක්වූ ආකාරයේ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී වැඩසැළැස්මක් සකස් කළ හොත් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ දේශපාලන විසඳුමක් සොයා යන ගමනේ අත්තිවාරම මේ තුළින් දැමිය හැකි බව අපගේ විශ්වාසයයි.

සංජීව මුණසිංහ

[සැ.යු. මෙම ලිපිය සකස් කොට තිබෙන්නේ ව්‍යවස්ථා අධ්‍යයන ආයතනයේ අනුග්‍රහයෙන්, රන්ජිත් අමරසිංහ, අශෝක ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න සහ ඒ.එම්. නවරත්න බණ්ඩාර යන අය විසින් සම්පාදනය කර ලද ර්‍ණදෙවිසි වසරක බලය බෙදීම – ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇගයීමක් (2010) නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් කරුණු ඇසුරිණි.]