සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉවසුවා හොඳටම ඇති’ – පුරවැසි අයිතිය සංවිධානය

“නිල ඇඳුම් ඇන්දාම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා. මනාප ක්‍රමය නැති කලාට පස්සෙ ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් සත්‍යය තමයි ලංකාවේ සමස්ත රාජ්‍යම ප්‍රචණ්ඩයි. අද රාජ්‍ය මෙහෙයවන ආයතන පද්ධතිය වෙනුවට පුද්ගල පද්ධතියක් ආදේශ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ පුද්ගල පද්ධතියක් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය වෙනුවට ආදේශ වෙලා තියෙනවා. ඉතින් ආරක්ෂකයන්ට නිළ ඇඳුම් ඇන්දවීමට අමතරව, මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා ගැනීමේ අයිතිය සීමා කිරීමට අමතරව, මනාප ක්‍රමය නැති කිරීමට අමතරව, රාජ්‍ය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්නේ නැතිව අර කියූ සියළු දේවල් ගඟට දැමූ ඉනි බවට පත්වෙනවා.”

දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ සියලු කඩතුරා, භාරත ලක්ෂමන්ගේ ඝාතනය විසින් නිරුවත් කළ බවත්, එබැවින් මෙලෙස ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පුළුල් ජනසහයෝගීතාවයක අවශ්‍යතාවය ඉතා ඉක්මණින් අවශ්‍ය බවත් අවධාරණය කරමින් ‛පුරවැසි අයිතිය සංවිධානය’ විසින් අද(27) බොරැල්ල ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එම සංවිධානය වෙනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා විසින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කරන ලදී. ‛දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉවසුවා හොඳටම ඇති’ යන නමින් නම් කර තිබූ මෙම මාධ්‍ය සාකාච්ඡාව, සිදුවන දේශපාලන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් පැහැදිලි මතවාදයක් රටේ ජනතාව තුළ ඇති කළ යුතු බවට අවධාරණය කෙරිණි. මෙහිදී තවුදරටත් අදහස් දැක් වූ ගාමිණී වියන්ගොඩ මහතා,

“අද ජනතාවගේ මතයක් නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. අපි ඇත්තටම බලාපොරොත්තුවෙන්නෙ ජනතාව තුළ මතයක් ගොඩ නගා ගන්න අවශ්‍ය කරන පසුබිම් වූ විස්තර, ජනතාවට පැහැදිලි කරලා දෙන්න. ජනතාව ඇත්තටම පූර්ණ දැනුවත් භාවයකින් නෙමෙයි ඉන්නෙ. ජනතාව එක එක විදිහට මේක තේරුම් ගන්නවා. මනාප ක්‍රමය නැති කළොත් හරි කියලා ජනතාව හිතනවා. මං කියන්නේ ඒව මිථ්‍යාවල් කියලා. ඉතින් ඒක නිසා ජනතාවට මේ කතන්දරේ අනික් පැත්ත කියලා දෙන්න ඕනෙ. මූලික ගැටළුවක් තියෙනවා. ඒ සඳහා පිළිතුරු සෙවිය යුතුයි කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ඒක තමයි රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම. සර්ව බලධාරී දෙවිකෙනෙකුට සමාන විධායක ජනාධිපති ක්‍රමයක් තිබීම මේ ප්‍රශ්නයේ මුලික හේතුවයි. එය නැති කරන්නෙ නැතිව අර කිසිම දෙයකට විසඳුමක් එන්නෙ නැහැ. නමුත් එය සිදුකරන තෙක්, 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, දේශපාලඥයන්ගේ රැකවලුන් සීමා කිරීම, ඔවුන්ට දැරිය හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කිරීම සහ මනාප ක්‍රමය අහෝසි කිරීම වගේ දේවල් පිළිබඳවද සලකා බැලිය යුතුයි.”
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ජයතිලක කම්මැල්ලවීර මහතා මෙසේ අදහස් දැක්වීය.

අපි කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ අය නෙමෙයි. අද අපි අත්දකින විශාල බියකරු තත්වය වර්ධනය වීමට සියළුම දේශපාලන පක්ෂ වල අඩු වැඩි වශයෙන් වගකීමක් තියෙනවා. ඒ වගේම අපි දකින දෙයක් තමයි මේ රටේ දැනුවත් පිරිස්, බුද්ධිමත් පිරිස් නිහඬව සිටීමේ ප්‍රතිඵලයක් විදිහට අද මේ සමාජයේ පරිහාණිය වර්ධනය වෙලා තියෙනවා. ඒ දැනුවත් පිරිස්, අපේ සමාජය මේ තත්වයෙන් බේරා ගැනීම වෙනුවෙන් කිසියම් මැදිහත්වීමක් කිරීමට, කැඳවා ගැනීමට තමයි අපි අපේක්ෂා කරනවා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ලංකාදීප පුවත් පතට කියලා තිබුණා, දේශපාලනයට මහත්වරු ගෙන ඒමට ජනතාව දැනගත යුතුයි කියලා. නමුත් අපේක්ෂකයො ඉදිරිපත් කරන්නෙ ජනතාව නෙමෙයිනෙ. එතුමලනෙ. මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට අත්සන් කරන්නෙ. එතුමා තමයි ඔය කියන මහත්වරු නොවන අයට සාමාජිකත්වය දීමට අත්සන් කරන්නෙ. එතුමා අපට කියනවා ජනතාව බලා ගන්න ඕනෙ කියලා. ජනතාව වගකියන්න ඕනෙ කියලා. ඇත්තටම මහත්වරු ගේන්න පුළුවන් ඒ අයට. තමන්ගෙ පින්තූරය අඩි හැට, අසූව ගහන අයට විශේෂ වරප්‍රසාද දෙමින් තමයි නායකත්වය හැසිරෙන්නෙ. මේවා ඇත්තටම ආදර්ශමත් නායකත්වයක් නැතිවීමේ ප්‍රශ්නයක්. මේක ආණ්ඩු වෙනස් කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. කොයි ආණ්ඩුව ආවත් ජනතාව මැදිහත් වෙන්නෙ නැත්නම් වැඩක් නැහැ.”

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනතාව මැදිහත්වීමේ ප්‍රායෝගිකත්වය පිළිබඳව මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට ගාමිණි වියන්ගොඩ මහතා තම අදහස පළ කළේ මෙසේය.
“හෙට මේක වෙනස් වෙන්නෙ නැහැ කියලා නිගමනයකට එන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ රටේ ජනාධිපතිවරයාගේ කටවුට් එකක් මහ දවල් කටුනායක හන්දියෙදි ඉරන්නට තරුණයෙක් යයි කියලා කිසි දවසක හිතුවෙ නැහැ.තුනෙන් දෙකේ ඡන්ද බලයක් පාර්ලිමේන්තුවෙ තියෙන ආණ්ඩුවක් ගෙනාපු පණතක් ආපස්සට හරවල යවන්න මේ රටේ කම්කරු පන්තියට පුළුවන් වෙයි කියලා කිසි දවසක හිතුවෙ නැහැ . ලිබියාවේ, පාලනය වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා, පසුගිය අවුරුදු 42 ඇතුළත මිනිස්සු හිතුවෙ නැහැ. මාස 6 ක ක්‍රියාවලියක් ඔස්සෙ අන්තිමට ඒ රාජ්‍ය නායකයට කාණුවල සැඟවෙන් වුණා. අන්තිමට මැරුම් කෑවා. ඊට ඉස්සර ටියුනීසියාවෙ, ඊජිප්තුවේ මේ දේ සිද්ධ වුණා. ප්‍රශ්නෙ තියෙන්න අපි ඒ තත්වයට යා යුතුද? ඒ වගේ දීර්ඝ කාලයකට ගියාට පස්සෙ ඇතිවන ප්‍රථිපලය අපි දැන් දැකලා තියෙනවා. අද වෙන කොට යේමනයේ කාන්තාවෝ දස දහස් ගාණක් අගනුවර ඇවිල්ලා තමන්ගේ ඔළුව වහල තියෙන ඇඳුම පාරේ දාලා ගිනි තියනවා. ඒ ඒකාධිපතියට විරුද්ධව. දැන් මේ ප්‍රචණ්ඩත්වයට එනකන් අප සිටිය යුතුද? මේ අන්තයට යන්නෙ නැතිව ඊට මෙහා ප්‍රජාතන්ත්‍රීයව මේක විසඳගන්න යම් කිසි පුළුවන් කමක් තියෙනවද? අන්න එය සඳහා ජනතා සහභාගීත්වය අවශ්‍යයි.

මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, කුසල් පෙරේරා යන මහත්වරුන්ද මෙම අවස්ථාවේදී ‛පුරවැසි අයිතිය සංවිධානය’ වෙනුවෙන් සිය අදහස් පළ කළේය.