Colombo, Featured Articles, Features

සිසිර සේනාරත්න, ජාතික රූපවාහිණිය සහ ජීවත්වන මිනිසුන් ඝාතනය කිරීම


ජාතික රූපවාහිනියට අනුව ප්‍රවීන ගායන ශිල්පියෙකු වූ සිසිර සේනාරත්න පසුගිය දිනෙක මිය ගියේය. ජාතික රූපවාහිනිය විසින් මෙම පුවත ඉදිරිපත් කළේ සිසිර සේනාරත්නගේ කලා ජීවිතය අලලා වාර්තා වැඩසටහනක් ද ඉදිරිපත් කරමිනි. මෙය ලංකාවේ ජනමාධ්‍ය භාවිතාවේ කාර්යක්ෂමතාවය මැනවින් ප්‍රකට කළේය. එබඳු මාධ්‍ය භාවිතාවකට මුලින්ම අප කෘතගුණ සැලකිය යුතුය. සමාවන්න, සිසිර සේනාරත්න මහතා මිය ගොස් නොමැති බව ඉන් පසුව දැනගන්නට ලැබිණ. එය කවුරුන් හෝ විසින් සිදු කළ එස්.එම්.එස් ත්‍රස්තවාදයක් බව අනාවරණය විය. එය ද මුලින්ම ජනතාවට දැනගන්නට සැලැස්සුවේ ජාතික රූපවාහිනිය විසිනි. එබඳු මාධ්‍ය භාවිතාවකට නැවතත් අප ජාතියේ නාලිකාවට කෘතගුණ සැලකිය යුතුය.

අතුරුදහන් වූ අය ජීවත් වීම

ජීවත් වන මිනිසුන් මැරීමත් මිය ගිය අය ජීවත් කිරීමත් තමන්ට අවශ්‍ය ආකාරයට ලාංකීය දේශපාලනය තුළ අද වන විට බහුලව සිදුවෙයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී අද වන විට අවුරුදු දෙකක් ගත වී තිබුණද ඒ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැත. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන නියෝජිතයෙක් වන නීතිඥ මොහාන් පීරිස් විසින් ජාත්‍යන්තරයට පවසන්නේ ප්‍රගීත් වෙනත් රටක ජීවත් වන බවයි. එනම් ලංකාව තුළ අතුරුදහන් වූ අයෙක්ට ජාත්‍යන්තරයේදී පණ දීමට ආණ්ඩුව ක්‍රියා කරයි. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලංකාවේ බහුතරයකට එතරම් වැදගත් කමක් නැති නිසා මෙබඳු හතර බීරි කතා සම්බන්ධයෙන් කවුරුවත් කලබල වන්නේ නැත. කෙටියෙන්ම කියනවානම් ප්‍රගීත් හිටියත්,නැතත්, ලිව්වත්,නොලිව්වත් ලංකාවේ බහුතරයකට එය අදාල නැත. එබැවින් ඔහු පිළිබඳව ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාවට ඒවා හුදු පුවත් පමණි. එබැවින් ආණ්ඩුව තමන්ට ඕනෑ ඕනෑ ආකරයට මේ රටේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් විවිධ කට කතා පතුරවමින් තමන්ගේ බලය රැක ගැනීමේ උත්සාහයේ දිගින් දිගටම යෙදෙමින් සිටියි. ආණ්ඩුවේ මෙම භාවිතාව, සිසිර මිය ගිය බව මුලින්ම පවසා පසුව එම වැරැද්ද අමතක කර, එම වැරදි පුවත මුලින්ම නිවැරදි කළේ තමන් බවට පාරම්බාමින් ලකුණු දාගන්නා වූ ජාතික රූපවාහිනියේ කාර්යභාරයට සමානය. වැරැද්ද පිළිගැනීමවත් එම වැරැද්ද නැවත නොවීමට වගවීමටවත් ආණ්ඩුවට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මොකක් හෝ මුසාවක් කියා තමන්ගේ ජාමය බේරා ගැනීමයි.

ප්‍රබන්ධය සත්‍යය බවට පත්වීම

සිසිර සේනාරත්න සම්බන්යෙන් සිද්ධියේදී ජාතික රූපවාහිනිය විසින් තමන්ගේ සත්‍ය වැරැද්ද මගහැරීමට දෙවනුව ප්‍රබන්ධයක් ගොතයි. මෙම ප්‍රබන්ධය මගින් පළමු වැරැද්ද පිළිබඳව යම් කිසි සැකයක් වැපිරීමට රූපවාහිනිය සමත් වෙයි. එහි ප්‍රතිපලය වන්නේ ක්‍රම ක්‍රමයෙන් අවසානයේදී ප්‍රබන්ධය පොදු මතය බවට පත් වී වැරැද්ද අමතක වී යාමයි. අවසානයේ පොදු මතය වන්නේ සිසිර පිළිබඳව වැරදි මතයක් පැතිරුණත් එය ජාතික රූපවාහිනියේ මැදිහත්වීමෙන් අනාවරණය කළ බවයි. ප්‍රගීත්ගේ සිදු වීම තුළ තිබෙන්නේ ද මෙවැනි සූත්‍රයකි. ප්‍රගීත් අතුරුදහන් වීම සත්‍යයයි. ඔහු වෙනත් රටක ජීවත් වනවා යන්න ප්‍රබන්ධයයි. මෙය ප්ර්‍‍රබන්ධයක් වුවද ප්‍රබන්ධය ඉදිරිපත් කරන අවස්ථාවේ සිට ප්‍රගීත් සම්බන්ධයෙන් පැවති සත්‍යය අර්ධ සත්‍යයක් බවට පත්වෙයි. ටික කාලයකින් සත්‍යය, ප්‍රබන්ධය බවටත් ප්‍රබන්ධය සත්‍යය, බවටත් පරිවර්තනය වෙයි. ඉදිරියේදී ප්‍රගීත්ගේ පවුලේ අය ප්‍රගීත්ගේ අතුරුදහන් වීම පිළිබඳ උද්ඝෝෂණ කරන විට ‛ප්‍රගීත් නැතිවෙලා නැහැ, මිනිහා වෙන රටක ඉන්නවලු, ඔය බොරු කියන්නෙ, ආණ්ඩුව එකක් තරහට.’ යනුවෙන් සාමාන්‍ය ජනතාව සිතන විට පුදුම විය යුතු නැත. පසුගිය සමයේ ආණ්ඩුව අතින් සිදුවුණ බොහෝ වැරදි නිවැරදි කර ගත්තේ මෙම සූත්‍රය භාවිතා කරමිනි. සරත් ෆොන්සේකා තවමත් බන්ධනාගාර ගත වී සිටින්නේ ප්‍රබන්ධයක් සත්‍ය වීම නිසාය. අද වන විට පොදු මතය තුළ සරත් ෆොන්සේකා වැරදිකරුවෙක් වී ඇත. ආණ්ඩුව අත සෝදාගෙන ඇත. භාරත ලක්ෂ්මන්ගේ මරණයට දුමින්ද සිල්වා වගකිව යුතු බව සත්‍ය වුවද අද වන විට ඊට එරෙහිව ගොඩ නැගී ඇති ප්‍රබන්ධය වනුයේ මුලින්ම වෙඩි තිබ්බේ භාරතගේ පිරිස බවයි. තව නොබෝ දිනකින් මිය ගිය භාරත වැරදි කරුවා බවටත් දුමින්ද නිවැරදි කරුවා බවටත් පොදු ජනයා විශ්වාස කරනු ඇත.

සත්‍යට උඩින් කොන්ක්‍රීට් දැමීම

ජීවත් වන අය මිය ගිය බව ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ප්‍රකාශ කරයි, අතුරුදහන් වූවන් ජීවත් වන බවට ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රකාශ කරයි. ඒ අතරම ජීවත් වූවන් ජීවත් නොවූවන් බවට පත් කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අවුරුදු තුනක් ගෙවී ඇත. ඔහු ජීවත් විය යුත්තෙක් වුවත් ඔහු ජීවත් නොවිය යුතු බව තීරණය කල නිසාවෙන් අකමැත්තෙන් හෝ ලසන්තට මෙලොව හැර යන්නට සිදුවිය. ඔහු පමණක් නොව බොහෝ පිරිස් මේ අකාරයට ජීවත් නොවිය යුත්තන් ලෙස තීරණය කළ නිසාවෙන් මෙලොව හැර ගියහ. මොවුන්ව ඝාතනය කළේ ඇයි? එය කළේ කවුද? යන්න පිළිබඳව තවමත් නිශ්චිත පිළිතුරක් නැත. එමෙන්ම ලසන්ත කියා පුද්ගලයෙක් ජීවත්ව සිටියාද යන්න පිළිබඳව සැකයක් ඇති වන තරමට අද ලසන්තව අමතක කර ඇත. ජීවත් වූ ලසන්ත ජීවත් නොවූ බව සිතන ආකාරයට පොදුජන මතය ගොඩ නැගීමට ආණ්ඩුව අද සමත් වී ඇත. ඇතැම් සිදුවීම් කාලයක් යන විට අමතක වන විට ඒවා කාලයේ වැලි තලාවට යට වන සිදුවීම් ලෙස හදුන්වමු. නමුත් ලසන්තගේ ඝාතනය, ප්‍රගීත් අතුරුදහන් වීම, සිවරාම් ඝාතනය ඒ අකාරයට කාලයේ වැලි තලාවන්ට යට කළ හැකි සිදුවීම් නොවේ. නමුත් කාලයේ වැලිතලාවට යට කළ නොහැකි මෙම සිදුවීම් අද සංවර්ධනයේ කොන්ක්‍රීට් වලට යට කරමින් සිටියි. වරෙක සත්‍යය ප්‍රබන්ධය මගිනුත් ඉන් අනතුරුව සංවර්ධනයේ කොන්ක්‍රීට් මගිනුත් යට කරමින් සිටිනා දේශපාලන සංස්කෘතියක අවසානයේ පොදු ජන මතය වන්නේ සංවර්ධනය,සංවර්ධනය,සංවර්ධනය පමණි. පොදු ජනයා දකින්නේත් සංවර්ධනය, සංවර්ධනය, සංවර්ධනය පමණකි. පොදු ජනයාට මතක සිටින්නේත් සංවර්ධනය,සංවර්ධනය, සංවර්ධනය පමණකි. චීන මහා ප්‍රාකාරය හඳට ගිය විට පවා පෙනෙන බවට මතයක් ඇත. නමුත් චීන මහා ප්‍රාකාරය ගොඩ නැගීම වෙනුවෙන් තාප්පයට පස් වූවන්ගේ ජීවිත ප්‍රාකාරය අසලට ගිය විට පවා නොපෙනේ. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ආදර්ශය එයයි. මෙවන් පසුබිමක් තුළ ජීවත් වන සිසිර සේනාරත්න මියා ගියා යැයි පැවසීම එතරම් ලොකු වැරැද්දක් නොවේ.

සටහන

පසුගිය වසරේ Dec 29 ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතා මියගිය බවට දහවල් 10.55 ජාතික රූපවාහිනි පැයේ පුවත් මගින් වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර තිබිණී. පහත දැක්වෙන්නේ එම ප්‍රවෘතියට අදාළ වීඩියෝවයි. කෙසේ නමුත් මෙම වැරදි පුවතත් සමග ඇති වූ ආන්දෝලාත්මක තත්ත්වයේදී එය රෑපවාහිණිය විසින් නිවැරදි කළ මුත් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්තිවල ඇති සත්‍යය සහ නිවැරදී බව පිළිබද ගැටලුව යුදමය කාලයෙන් පසුව නැවත වරක් ලෝකය හමුවේ දිග හැරැණු ඛේදනීය අවස්ථාවකි.

[youtube]http://www.youtube.com/watch?v=hElwLsMtYt0&feature=player_embedded#![/youtube]