Colombo, Featured Articles, Features

බිහිසුණු ජනවාරිය – 2006 – 2012 සටහන්

2006:

ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.

ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම.

ජනවාරි 05: යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි.

2007:

ජනවාරි 09: එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකතයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරැණු ලෙස බැණ වැදීම,

ජනවාරි 18: ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය.

ජනවාරි 24: ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම, (2007).

2008:

ජනවාරි 01: පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය.

ජනවාරි 03: යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.

ජනවාරි 05: හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත.

ජනවාරි 06: යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය.

ජනවාරි 07: අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය.

ජනවාරි 07: ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය.

ජනවාරි 25: ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය.

ජනවාරි 25: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, (2008). මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

ජනවාරි 28: තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ.

ජනවාරි 29: ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

2009:

ජනවාරි 02: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය.

ජනවාරි 06: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී. මෙම ප්‍රහාරයේදී එම රෑපවාහිනී සහ ගුවන් විදුලි ජාලයේ මෙහෙයුම් මූලස්ථානය විනාශ විය.

ජනවාරි 08: සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම.

ජනවාරි 22: ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි අප කිසිවකු දන්නේ නැත.

ජනවාරි 24: රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය.

2010:

ජනවාරි 01: සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම

ජනවාරි 13: සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම

ජනවාරි 24: ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය.

ජනවාරි 28: ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගැනීම. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී.

ජනවාරි 28: නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම

ජනවාරි 28: රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට සීල් තැබීම.

2011

ජනවාරි 31: ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් අද (31) අලුයම 1.30 ට පමණ ගිනි තබා එහි සියලු දේපල විනාශ කිරීම. – මාළබේ, දහම් මාවතේ පවත්වාගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ජනවාරි 31 අලුයම 1.30ට පමණ කිසියම් පිරිසක් විසින් එම කාර්්‍යාලයට ගිනි තබා එහි තිබු විද්‍යුත් උපකරණ සහ සියලු ලිපිලේඛන සහ පොත් පත් විනාශ කර ඇත.

2012

ජනවාරි 07: යාපනයේ නිදහස් ජනමාධ්‍ය වේදියෙකු අහේතුකව පොලිස් පරීක්ෂනයකට කැදවීම සහ තමා ගැන ලියන බ්ලොග් කරැවන් ගැන සොයා බලන ලෙස දිසාපතිනිය පොලීසියෙන් ඉල්ලා සිටීම.

ජනවාරි 09: ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද දැන් එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට දරැණු හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 11: යුරෝපා කොමිසමෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ GSP+ සහනය අහෝසිකරන සේ පෙත්සම් යැවී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට රාජ්‍ය මාධ්‍ය විසින් චෝදනා කිරීම සහ තර්ජනාත්මක පුවත් පළ කිරීම.

ජනවාරි 12: එක්සත් ජාජධානීයේ සිට ක්‍රියාත්මක වන ලංකා නිව්ස් වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වීම.

ජනවාරි 17: බලහත්කාර අතුරැදහන් කිරීම් විරෝධී, සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම සදහා යාපනය බලා යමිනි සිටි ජනමාධ්‍ය වේදීන් ඇතුලු දහසක පමණ පිරිසක් යුද හමුදාව විසින් නතර කර ඔවුන්ගේ ගමන වැලැක්වීමට උත්සහ කිරීම.

ජනවාරි 16

මව්බිම පුවත්පතේ කතරගම වාර්තාකරැට, කතරගම ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රියන්ත ඒකනායක විසින් පහරදීම.

ශ්‍රී ලංකාණ්ඩුව විසින් යුද්දයට සමගාමීව දියත් කළ ජනමාධ්‍ය නිදහසට විරැද්ධව දියත් කළ සහ කරමින් සිටින යුද්දය අවසන් කරන ලෙස අන්තර්ජාතික මානව හිමිකම් සහ ජනමාධ්‍ය සංවිධාන විසින් නැවත නැවතත් කරන ලද ආයාචනයන්ට මෙතෙක් සාධනීය ප්‍රතිචාර ලැබී නැත.

එසේම ඉහත දැක්වූ එකදු සිදුවීමක හෝ වැරදිකරැවන් සොයා දඩුවම් පමුණුවා නැත. ඒ ශ්‍රී ලංකා රාජ්‍යෙය් මුල් බැස ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය විසින් ජනමාධ්‍ය නිදහසට තර්ජනය කරන්නවුන් ආරක්ෂා කරනවා පමණක් නොව පෝෂණය ද කිරීම නිසාවෙනි. එහි විපාකය වී ඇත්තේ ලංකාවේ ජනමාධ්‍ය විසින් අතිශය හානිදායක ස්වයංවාරණයක් පවත්වා ගෙන යාමය. එමනිසා නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම වන දැනුවත් පුරවැසියා ගොඩනැගීමට ජනමාධ්‍ය හි දායකත්වය ඇත්තේ ඉතාමත් පහළ ය.

Blackjanuarysrilanka