Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

‘එක් ලංකාවක් මිස ඒකීය ලංකාවක් අතීතයේදීවත් තිබුණේ නෑ’

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත් ලිපි, ප්‍රකාශණය – යුක්තිය පුවත් පත – මුද්‍රණය 1998.]

[02]

ජනවාර්ගික අර්බුදය පිළිබද දේශපාලන සංවාදය අද නව මගකට පිවිස ඇත. ඒ සිදු වී ඇත්තේ ඒ අර්බුදය විසදීම සදහා යෝජනාවලියක් රජය විසින් ප්‍රකාශයට පත් කිරීම නිසාය. යෝජනාවලියට පක්ෂවත් විපක්ෂවත් බොහෝ දෙනා ස්ථාවර ගෙන ඇත. ඒත් සුවිශේෂී කරුණක් වන්නේ මේ පක්ෂ හා විපක්ෂ බෙදීම දේශපාලන මායිම් හරහා යාමයි. පක්ෂය කුමක් වුවත් එහි යෝජනාවලිය පිළිගන්නා හෝ ප්‍රතික්ෂේප කරන කොටස් ඇත.

ඒ කෙසේ වෙතත් යෝජනාවලිය ප්‍රකාශයට පත් කිරීම නිසා සිංහල සහ දෙමළ ජනවර්ගයන් දෙකම තීරණාත්මක අභියෝගයකට මුහුණ පා සිටිති.

සිංහල ජන වර්ගය මුහුණ පා සිටින අභියෝගය දෙස පළමුව බලමු. අර්බුදයට මුල දෙමළ ජනතාවට ඔවුන්ට හිමි විය යුතු අයිතීන් අහිමි වීමයි. මා මෙතැන කතා කරන්නේ ඕනෑම තැනක පදිංචි වීමට, රැකියාවක් කිරීමට, ඉඩමක් මිලයට ගැනීමට ආදී අයිතීන් ගැනයි.

පුරවැසියෙකු වශයෙන් සෑම දෙමළ පුරවැසියෙකුටම මේ අයිතීන් ඇති බවත් දෙමළ පුරවැසියෙක් ඒ අයිතීන් භුක්ති විදින බවත් අපි දනිමු. එහෙත් දෙළෙ ජනතාවට සමූහයක් වශයෙන් හිමි විය යුතු අයිතීන් තිබේ. තමන් වසන ප්‍රදෙශය තුළ සිය භාෂාව, ආගම, සංස්කෘතිය පවත්වාගෙන යෑමට, ඒවා වර්ධනය කිරීමට ඉඩ සලසන ආකාරයේ ස්වං පාලනයක් ඇති කර ගැනීමට අයිතිය ප්‍රධානම එකයි. ඔවුන්ට එතෙක් නොලැබී ඇත්තේ ඒ අයිතියයි.

මේ අයිතිය ඔවුන්ට භුක්කි විදීමට සලසනවා කියන්නේ, ජන වාර්ගක අනුපාතය ගැන සිතන්නේ නැතිව, ඔවුන්ද සිංහල ජන වර්ගය හා සමාන තැනක තැබීමයි. එය භාෂාව හා සංස්කෘතිය ආදිය රැක ගැනීමට හා වර්ධනය කිරීමට සිංහලයන්ට ඇති අයිතිය දෙමළුන්ටද එසේම එක හා සමානව තිබිය යුතු බව පිළිගැනීමයි. මේ සදහා උචිත දේශපාලන අවකාශයක් සපයා දීමයි. මේ අවකාශය රජය විසින් දැන් ප්‍රකාශයට පත් කර ඇත. යෝජනාවලියෙන් ඔවුන්ට ලැබෙන්නට පටන් ගනී. සිංහල ජන වර්ගයා මේ දේශපාලන අවකාශය ද්‍රවිඩ ජනතාවට දීමට සූදානම්ද? එවැනි තත්ත්වයකට සිංහල ජන විඥානය වර්ධනය වී ඇත්ද? මේ ප්‍රශ්නයට උත්තර සැපයීමට, මේ තත්ත්වය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මේ යෝජනාවලිය ජනතාව පොළඹවයි. මේකයි සිංහල ජනතාව ඉදිරියේ ඇති අභියෝගය.

මේ අභියෝගය තව දුරටත් විග්‍රහ කිරීම සදහා යෝජනාවලියට විපක්ෂ අය යෝජනා කරන එක් තර්කයක් මම ගනිමි. ඒ ඒකීය රාජ්‍ය පිළිබද තර්කයයි.

“ඒකීය” යන වචනය දේශපාලන විද්‍යාවට අයත් වචනයකි. යම් රාජ්‍යයකට එකම පාර්ලිමේන්තුවක්, එකම විධායකයක් හා අධිකරණයක් ඇතිනම් ඒ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් ලෙස නිර්වචනය කළ හැකිය. එයයි ඒ වචනයේ තේරුම. එහෙත් මේ වචනය බලය පවරා දීමට විරුද්ධ අය පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සතියේ දිවයින පත්තරයේ පළ වූ ලිපිය අනුව නලින් ද සිල්වා මහතා මෙන්ම දිනේශ් ගුනවර්ධන මහතාද දුටු ගැමුණු යුගයේ පටන් ඒකීය රාජ්‍යයක් පැවති බව පවසති. ඉතිහාසය දෙස බලන විට මහාවංශ ඉතිහාසය අනුව පවා මේ ලංකා භූමි ප්‍රදේශය එක් සේසත් කළ ඒ කියන්නේ මුළු රට පුරා සිය අණසක පැතිර වූ රජුන් සිටියේ අතලොස්සකි. රට එක්සේසත් කළ රජුන් ගැන මහාවංශය විශේෂයෙන් සදහන් කරන්නේ එය සාමාන්‍යයක් නොවූ නිසයි. මෑත කාලයේදී පවා එකවරම කෝට්ටේ, සීතාවක, ගම්පොළ, මහනුවර ආදී ප්‍රදේශ වල පවා ස්වෛරී රජවරු සිටියහ. “ඒකීය” යන නිශ්චිත ව්‍යවහාර අර්ථයක් ඇති වචනයක් ඈත් ඉතිහාසයට ඇදීම නිරවද්‍යතාවය කෙසේ වුවත් ලංකාව එක රජයක් වීමේ තත්ත්වය ගත්තත් මොවුන් ඉදිරිපත් කරන තර්කය ඉතිහාසයෙන් සනාථ නොකොරේ.

ඒසේ වුවත් මේ තර්කය ඉදිරිපත් කරන්නේ එක් පදනමක සිට ගෙනයි. ලාංකීය සමාජය බහු වාර්ගික සමාජයක් ය යන සංකල්පය ප්‍රතික්ෂේප කරන මොවුහු ලාංකීය සමාජය සිංහල බෞද්ධ හැටියට නිර්වචනය කරති. ඒ නිර්වචනය අනුව සිංහල බෞද්ධ සමාජයේ දේශපානය නිරූපණය විය යුත්තේ ඒකීය රාජ්‍යයකි. ඒ කියන්නේ සිංහල බෞද්ධ අවශ්‍යතාවයන් සපුරාලන විලසින් ක්‍රියා කරන එක් රාජ්‍ය තන්ත්‍රයකි. එක් පාර්ලිමේන්තුවකි. එක් විධායකයකි. එක් අධිකරණයකි. මෙවැනි රාජ්‍යක් මගින් සිංහල බෞද්ධ රාජ්‍ය නිරූපනය වන අතරම ඒ සමාජයේ පැවැත්ම සදහා සහතික කර ඇත්තේද එවැනි “ඒකීය” රාජ්‍යයකට පමණයි. මේ ආකාරයෙන් ගත් කළ “සිංහල ‍බෞද්ධ” පමණක් වූ රටක හා සමාජයක් , රාජ්‍යයේ ස්වරූපයත් අතර ඇති සම්බන්ධය අප ඉදිරියේ පැහැදිළිව අනාවරණය වෙයි.

මෙයත් සිංහල ජන වර්ගයා ඉදිරියේ ඇති අභියෝගයේ කොටසක්. ලාංකීය සමාජය ගැන ඇති මේ සාවද්‍ය ඉතිහාස විරෝධී විද්‍යාව උඩ තව දුරටත් වැඩ කරනවාද එසේ නැතහොත් වට පිට බලා ඇස් ඉදිරියේ පෙනෙන බහුවාර්ගිකත්වය පිළිබද යථාර්ථය පිළිගෙන ඊට සරිලන අන්දමින් අපේ ‍දේශපාන ව්‍යුහය වෙනස් කරන්නට පටන් ගන්නවාද? දැනට ඇති යෝජනාවලියට පක්ෂ වීමෙන් මේ අවශ්‍ය ක්‍රියාදාමය අරඹනවාද?

මේ හා සමාන අභියෝගයක් දෙමල ජනතාව ඉදිරියේ ඇත. බලය පැවරීම යන සංකල්පය පිළිගැනීමටත් එය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා රජය පෙළඹවූයේ, ඒ සදහා රජයට බල කළේ, ද්‍රවිඩ කොටි සංවිධානය හා වෙනත් ද්‍රවිඩ කණ්ඩායම් ගෙන ගිය සන්නද්ධ අරගලය බව අප විසින් පිළිගත යුතුය. එහෙත් රජයේ යෝජනාවලිය ප්‍රකාශ වීමත් සමගම ද්‍රවිඩ ජනතාව අලුත් ප්‍රශ්නයකට මුහුණ දිය යුතුය. මේ ප්‍රශ්ණය මේ ආකාරයට සම්පිණ්ඩණය කළ හැකිය. ද්‍රවිඩ ජන වර්ගයාගේ දේශපාලන අභිලාශයන් සපුරා ගැනීම සදහා සන්නද්ධ බලය යෙදීම තව දුරටත් අවශ්‍යද? මේ අභිලාශයන් සන්නද්ධ නොවන සමකාමී මාර්ගයන්ගෙන් ළගා කර ගත නොහැකිද? මේ ප්‍රශ්ණය මීට පෙර නැගිය නොහැකි විය. එහෙත් දේශපාලන යෝජනාවලිය ඉදිරිපත් වීම නිසාම මේ ප්‍රශ්නය දැන් ඉදිරියට විත්, ඒ ප්‍රශ්ණය ඇසීමට සෑහෙන පදනමක් දැන් වැටී ඇත.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යන්න දෙමළ ජන වර්ගයා විසින්, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින්, විශේෂයෙන්ම ද්‍රවිඩ කොටි සංවිධානය විසින් සලකා බැලිය යුතුය. මගේ හැගීම නම් ද්‍රවිඩ ජන වර්ගයාගේ සාධාරණ දේශපාලන අභිලාශයන් යුද්ධයෙන් නොව සාමාකාමී සංවාදයෙන් සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව දැන් එළඹ ඇති බවය.

එහෙත් අවසාන වශයෙන් එක් කරුණක් අවධාරනය කළ යුතුය. සිංහල ජන වර්ගයා දක්වන ප්‍රතිචාරය යෝජනාවලියට පදනම් වූ බලට බෙදීමේ සංකල්පයට අනුකූල වූවත් එය ද්‍රවිඩ ප්‍රතිචාරය කෙරෙහි ඵලදායී ලෙස බලපායි. එමෙන්ම ද්‍රවිඩ ප්‍රතිචාරයද සිංහල මත කෙරෙහි බලපායි. මෙයින් හැගෙන්නේ ජන කොටස් දෙකම සාමාකාමී මාවතකට පිවිසීමට, ඔවුන්ගේ සාමානතාවය පිළිගන්නා ස්ථාවරයකට, ඒ ඒ සමානතාවය පිළිබිඹු කරන දේශපාන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් විය යුතු බවයි.

1995 ‍අගෝස්තු 20