සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

වන්දිබට්ට කිංබානට්

රජු යන වචනයට සමීප, ඒ වචනයේ සෙවණැල්ල මෙන් පවතින තවත් වචනයක් ඇත. ඒ බිසව යන්න නොව වන්දිබට්ටයා යන්නයි. ඈත අතිතයේ පටන් එක එක ආකාරයේ රජවරු ලංකාව පාලනය කළහ. ඒ රජවරුන්ට එක එක ආකාරයේ වන්දිබට්ටයෝ ද සිටියහ.

දැන් යළිත් ලංකාව පාලනය කරන්නේ රජෙක්ය. රජාට අමතරව රජ පරම්පාරාවක් ද සිටිති. ඒ රජාටත් රජාගේ රජ පරම්පාරාවටත් වන්දිබට්ටකම් කරන වන්දිබට්ටයෝ ද සිටිති. දුසිං ගණනින් නොව ගෝනි ගණනින්ම සිටිති.

ඉන් ඇතමුන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ය. තවත් සමහරුන් කලාකාරයින්ය. වැඩිපුරම සිටින්නේ මාධ්‍යවේදියෝය. නමුත් මේ සකල විද වන්නදිබට්ටයින් පරදවමින් මේ දිනවල හොඳින්ම වන්දිබට්ටකම් කරන්නේ ජාතික පත්තරවල සිටින තුට්ටු දෙකේ තීරු ලිපි රචකයින්ය.

මේ රචනාවේ අරමුණ එවන් එක් තුට්ටු දෙකේ තීරු ලිපි රචකයකුගේ වන්දිබට්ට කෙරුවව ගැන පසු සටහනක් ලිවීමයි.

තීරු ලිපිය පළවන්නේ ඉරිදා දිවයිනෙහිය. එහි නම කිංබානට්ය. රචකයා ඇටි හැලෙන්න වන්දිබට්ටකම් කරන්නේ කිංබානට් හරහාය. “කිංබානට්” යන නම දිග වැඩිය. එහෙයින් මෙතැන් සිට ඒ නම ලියවෙන්නේ “කිංබා” යනුවෙන්ය.

පසුගිය පෙබරවාරි 12වන ඉරිදා කිංබා ඔහුගේ හෑල්ලේ ලියා තිබුණේ අතුරුදහන් වූවන් සිහිපත් කිරීම සඳහා ඉදිකළ අහිංසකයින්ගේ ආරාමය, නගර අලංකාර මුවාවෙන් කඩා ඉවත් කිරීමේ සිදුවීමයි.

ජගත් වීරසිංහයින් විසින් නිර්මාණය කළ අහිංසකයින්ගේ ආරාමය 1999 දෙසැම්බර් 10වනදා යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී විවෘත විණි.

එහි මැද වූ කුළුණු මත, හිසෙහි හැඩය මැටියෙන් මූර්තිමත් කර තිබුණි. සියලු වේදනාවන් රූපණය කරමින් මිට මොළවා අත් හල මැටි පොළව මත වැටී තිබුණි. සිවුපස බිත්තවල අලවා තිබු මැටි පුවරුවල තිබුණේ අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන් සහ ඒ සමයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් වෙහෙසුණු කලාකරුවන් හා මාධ්‍යවේදීන් ලියු වේදනාත්මක වැකිය. වර්තමානය වනවිට මහරජාගේ ගුණ ගයන සුනිල් මාධව ප්‍රේමතිලක, බුද්ධදාස විතානාරච්චි වැන්නවුන් ලියූ සටහන් ද ඒ අතර විය.

ඇඹිලිපිටයේ සිදුවු සිසුන් අතුරුදහන් කිරීමේ ඛේදවාචකය මුල්කරගෙන අහිංසකයින්ගේ ආරාමය නිර්මාණය කළ ද, සැබවින්ම ඉන් මූර්තිමත් වුයේ එදා මෙදා තුර අතුරුදහන් කිරීම් නිසා ලාංකේය සමාජය තුළ ඇති වූ කම්පනයයි.

එවන් කම්පනයක් මූර්තිමත් කළ අහිංසකයින්ගේ ආරාමය කඩා බිඳ ඉවත් කර දැමීම සිත්පිත් ඇති මිනිසුන්ට නම් ගෙන දුන්නේ වේදනාවකි. නමුත් කිංබාට නම් එය ගෙනදී තිබුණේ ආතල් එකකි.

අලංකාර ලෙස ඉදිකර ඇතැයි කියන දියවන්නා ඔය දෙපස පාරේ ඇති වසුරු පිඬකට ඔහු අහිංසකයින්ගේ ආරාමය උපමා කරන්නේ එහෙයිනි.

කිංබාගේම වචනවලින් ඒ මෙසේය.

කිංබානට්තුමා පොඩි වෝක් එකක් දාන්නත් එක්ක දියවන්නාව පැත්තේ ගියා.

දියවන්නාව දැන් ලස්සනට හදලා… ඉස්සර වගේ නෙවෙයි…

පාර දෙපැත්ත හරි පිළිවෙලයි………

ටික දුරක් ඇවිදන් යනකොට ලස්සනට අයිසින් කරපු කේක් ගෙඩියක් උඩ තිබ්බ වසුරු පිඬක් වගේ කැත පස් ගොඩක් කිංබානට්තුමා දැක්කා.

“මේ කිසිම හැඩයක් නැති පස් කන්ද මොකක්ද…?”

කිංබානට්තුමා දියවන්නාවේ හිටපු කිඹුලෙක්ගෙන් ඇහුවා.

“ඕකා අර මංගි මහත්තයා හදපු අංගවිකලාරාමයනේ…”

කිඹුල් මල්ලී උත්තර දුන්නා.

ඇත්තය. මහ රජුගේ වසුරු පිඬවල් දේශප්‍රේමි දවටනයෙන් ඔතා ලංකාවේ මහජනතාවට කවන මෙවන් මෝඩ කිංබලාට නම් අහිංසකයින්ගේ් ආරාමය පෙනෙනු ඇත්තේ වසුරු පිඬක් ලෙසය. අයිසින් වැඩවලට කැමති එවන් මෝඩ කිංබලා දකින්නේ සංවර්ධනයේ නාමයෙන් ගොඩ ගසන ලද ලස්සන පස් කඳු පමණි.

කිංබා තමන් ගේ හෑල්ල තුළ ගොංපාට් ආරාමය, අටමගල, හැලපාරාමය, හුචක්කුව, බඩකඩිත්තුව, ඌරු බේට්ට ආදී වචනවලින් අහිංසකයින්ගේ ආරාමය හඳුන්වන්නේ එහි අර්ථය තේරුම්ගැනීමට තරම් ප්‍රමාණවත් බුද්ධියක් නැතිවීම නිසා විය යුතුය.

ඉතිං එවන් මෝඩ කිංබෙකුට ජගත් වීරසිංහව ගොබ්බ ලෙක්චර කෙනෙක් හැටියට පෙනීම ගැන පුදුම විය යුතු නැත.

“ඉතිං මේ හුචක්කුව ගලවලා දාන්න කාටවත්ම ඕනකමක් තිබුණේ නැද්ද…?”

කිංබානට්තුමා ආපහු ඇහුවා.

“මොකද නැත්තේ… ගෝඨා මහත්තයාට ලොකු ඕනැකමක් තිබුණා මේ ඌරු බෙට්ට මෙතනින් අහක් කරලා දාලා දියවන්නාව පිළිවෙළක් කරන්න…”

ලිපිය අරාම්භයේ සිටම කිංබාව හැඳින්වීම සඳහා වන්දිබට්ටයා යන වදන මා යොදාගත්තේ හේතුවක් ඇතුවය. ඔහුගේ හෑල්ල තුළ ඇති ඉහත වචන පේලී කිහිපයෙන් මා කියු දේ ඔබට මනාව පසක් වනු ඇත.

අහිංසකාරාමය සාදා නිම කළ පසු ගෙවුණු කාලය පුරා අතුරුදහන් වුවන් සිහිකරමින් එහි පැවති වැඩසටහන් අපමණය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 300ක් පිරුණු දිනයේ ඔහුව සොයාදෙන ලෙස බලකරමින්, මාධ්‍යවේදීන් කලාකරුවන් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිහඬ විරෝධතාවයක යෙදුනේ ද අහිංසකයින්ගේ ආරාමය ඉදිරිපිටයි.

විරෝධතාවට පෙර ඔවුහු ශ්‍රමදානයක් මගින් අහිංසකයින්ගේ ආරාමය සම්පූර්ණයෙන්ම පවිත්‍ර කළහ. ඉනික්බිතව සියගණනකගේ සහභාගීත්වයෙන් කෙරුණු නිහඬ විරෝධතාව අතරතුර, පොලිස් සේනාවක් පැමිණ, සහභාගීවී සිටි සියල්ලන්ව ප්‍රසිද්ධියේම වීඩියෝගත කළහ.

ඒ කිසිවක් ගැන කිංබා දන්නේ නැත. අඩුම තරමින් අහිංසකයින්ගේ ආරාමය පවිත්‍ර කිරීමේ වගකීම පැවරී තිබුණේ කඩුවෙල ප්‍රාදේශීය සභාවට කියාවත් ඔහු දන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න තුට්ටුවකටවත් මායිම් නොකර දේශප්‍රේමයේ හා ආශ්චර්යයේ නාමයෙන් රජය ගෙන යන ඒකාධිපති වැඩපිළිවෙල ගැන ජනතාව ගොනාට අන්දවන්නේ මෙවන් වන්දිභට්ට කිංබලා ය.

එසේ ගොනාට ඇඳගත් ජනතාව බාහිර ලෝකය ගැන මෙලෝ හසරක් නොදන්නා නිසාවෙන් රජය ගෙන එන සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී සහසික ක්‍රියාකාරකම් හිස නමා අනුමත කරයි.

ස්වකැමැත්තෙන්ම මෝඩයින් වූ එවන් ජනතාව හැම ඉරිදාම දිවයින ගෙන මහත් ආශාවෙන් කිංබානට් හෑල්ල කියවයි. ඒ හෑල්ලට පෙම් බඳී.

අවසාන වශයෙන් එවන් මෝඩ ජනතාව ගැන ද කීමට ඇත්තේද එක් වැකියක් පමණි.

ඒ “මෝඩයින්ට කිංබලා රත්තරං” යනුවෙනි.

ලහිරැ[Lahiru]