සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ආණ්ඩුවට ලිබියානු, සිරියානු නරක හීන පේන එකක් නැහැ.


මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම් ඔය කියන්න යන්නෙ ඒ මාර්ගය පළල් කරන එකේ මොකක්හරි අඩුපාඩුවක් ගැන වෙන්න ඇති කියලා හිතුවොත් ඒත් වැරදියි. මම මේ කියන්න යන්නෙ පොඩි නිව්ස් එකක්. කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර හදන්න ගෙනාපු පස් වල මැණික් තිබුනලු. හුඟක් අයට මැණික් හම්බුනාලු. ඒ පළාතේ ඉන්න හුඟක් දෙනෙක් මැණික් හොයන්න ඒ් පාරට ආවලු. මේ මැණික් පළහිලව්ව හින්දා පාරෙ වැඩත් නවත්තලා කියලයි ආරංචි වුණේ. සමහර අය පාරට දාන්න ගෙනාපු පස් ලොරි පිටින් ඇද්දලු. පාරට පස් ගෙනාපු කොන්ත්‍රාත්කාරයොත් තමන් ගෙනාපු පස් ලොරි හිමින් සීරුවෙ ආපහු ගෙනිහිල්ල කියල ආරංචියි. ආයිත් කොහෙන් පස් ගෙනාවත් තමන්ගෙ ගෙදරට පස් සාම්පල් ලොරියක් හලලා යන්න කියලා කොන්ත්‍රාත්හිමියො ලොරිවලට විශේෂ නියෝගයක් දීලලු.

මේ කාලෙ අපේ රටේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුර මේ නිව්ස් එක ඇතුළෙ තියෙනවා කියලා හිතුණා. දැන් බොහොම කාලයක ඉඳලා අධිරාජ්‍යවාදී, කුමණ්ත්‍රණකාරී,පරපුටු, ලෝක වෙළඳ පොල, ලංකාවේ තියෙන සංවර්ධනය දරාගන්න බැරිව එක එක ඉරිසියා වැඩ කරනවා. මේ කුමණ්ත්‍රණකාරීන්ට ඕනෙ ලංකාවෙ ජනතාවගෙ ජීවන තත්ත්වය අවුල් කරලා ලිබියාව වගේ ලංකාවත් අල්ලගන්න. ඒකට මේ සැරේ ගහපු ගේම් එක තමයි ඉරානයට සම්බාධක පනවපු එක. ලංකාවට කෙලින්ම බලපෑම් කරන්න බැරි හින්දා (ලෝකෙ හොඳම හමුදාව ඉන්න රටට කවුරුත් අත තියන්න බයයිනෙ) ඉරානයට මේ සම්බාධකය පනවලා ඒක හරහා ලංකාවේ තෙල් මිල ඉහළ යැව්වා කියලා තමයි කියන්නෙ. ඒ වගේ සූක්ෂම කුමණ්ත්‍රණයකින් ලංකාව වට්ටන්න දෙන්න බැහැනෙ. ඒ හින්දා මේ විදිහට පාරවල් හදන තැන් වල පස් අස්සට මැණික් ගල් දැමීම ව්‍යාපෘතියක් විදිහට කළා නම්, තෙල් මිල ඉහළ යන එක වගේ දේවල් ජනතාවට දැනෙන්නෙ නැහැ. මොකද ජනතාව උද්ධමනයට එරෙහිව කැරලි ගහනවා වෙනුවට මැණික් ගල් හොයන්න අළුතෙන් පාරවල් හදන තැන්වල රංචු ගැහෙන හින්දා. රට තුළ සිදුවන සීඝ්‍රගාමී සංවර්ධනයේ ප්‍රතිපලයක් විදිහට වේගයෙන් පාරවල් හැදෙන මේ කාලේ වැඩේ තවත් ලේසි වෙයි. මේ විදිහට මැණික් ගල් පස් අස්සෙ හංගන්නෙ නැතුව වෙනත් ආකාරයකට සහනාධාරයක් දෙන්න පුළුවන්නෙ කියලා කාට හරි ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒක ඇත්ත තමයි. නමුත් අපි මෙතනදි ලංකාවේ ජනතාවගේ මානසික මට්ටම ගැන හිතන්න වෙනවා. ලංකාවේ බහුතරයක් ඉන්නෙ අභිමානවත් මිනිස්සු. ඒ අය කවදාවත් සහනාධාර වගේ ඒවා කෙලින්ම දුන්නට ගන්න කැමති නැහැ. හොරෙන් වගේ අභිමානයට හානියක් නොවෙන විදිහට දෙන ඕනෙ දෙයක් ගන්න තමයි කැමති. ඉතින් මැණික් ගල් පස් අස්සෙ හංගලා තියෙන එකෙන් ඒ අයගේ අභිමානයට හානියක් වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙත් නැහැ. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළොත් අධිරාජ්‍යවාදී ආර්ථික කුමණ්ත්‍රණ වලට හොඳම පිළිතුර දීලා තියෙන්නෙ ලංකාවෙන් කියලා ලෝක ආර්ථික විශ්ලේෂකයො ( ලෝක ආර්ථික විශ්ලේෂකයන් යනු චීන ආර්ථික විශ්ලේෂකයන්ය) කියන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඒක දේශීය මැණික් ගල් ආශ්‍රයෙන් සකසපු එකක් වීම නිසා හැමෝම අගය කරන්න ඉඩ තියෙනවා.

අධිරාජ්‍යවාදී තෙල් මිල ඉහළ යාම නිසා හලාවත, මීගමුවෙ පැත්තෙ ධිවරයො වෙඩි කාගනෙ ඉස්සරහට එන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපිට සහනාධාර එපා, අපිට තෙල් මිල අඩුකරන්න කියලා ධීවරයො කියනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මාළුන්ට මැණික් ගිල්ලුවොත් මේ විරෝධයන් සමනය වෙයි කියලා හිතෙනවා. ධිවරයන්ගෙන් විරෝධයන් එනකොට කරන්න තියෙන්නෙ කඳුළු ගෑස් තව තව ගෙන්වන එක නෙමෙයි. රත්නපුරෙන් මැණික් ගෙන්වලා තියාගන්න එක. මදිපාඩුවක් උනොත් ළඟදි ආණ්ඩුව අයිති කරගත්ත කතරගම මැණික් ඉල්ලමත් තියෙනවනෙ. වැඩිපුරම කියන දේ අහන්න නැත්තෙ ධීවරයො හින්දා,මාළුන්ට මැණික් ගිල්ලුවොත් ඉතා ඉක්මණින් ජනතා විරෝධයන් ශූන්‍ය අගයකට ගේන්න හැකි වෙයි කියලා කියන්න පුළුවන්. ජනතා විරෝධයන්ට එරෙහිව උසාවි නියෝග ගෙන එනවාට වඩා, විරෝධතා වලට ප්‍රතිවිරෝධතා සංවිධානය කරනවාට වඩා, කඳුළු ගෑස්, උණ්ඩ භාවිතා කරනවාට වඩා මේ ක්‍රමය සාර්ථක වෙයි කියලා හිතෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවට ලිබියානු, සිරියානු, ඊජිප්තියානු නරක හීන පේන එකක් නැහැ.