සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

දෙරණ ප්‍රවෘත්ති සහ එහි (අ)දේශපාලනය

චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය.

“රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක් නැගුණේය.

එකක් නම් රටට එරෙහිව නැගෙන හඩ කුමක්ද යන්නයි. මම දන්නා පරිදි, මම උගත් පරිදි මේ දින වල රට තුළ ඇති ආවේගකාරී තත්ත්වය රටට එරෙහි වීමක් පිළිබදව නොව වත්මන් ආණ්ඩුවට කරන බලපෑමක් පිළිබදවය. මන්ද රාජ්‍ය සහ ආණ්ඩුව යනු එකිනෙකට වෙනස් ගති ලක්ෂණ ඇති ප්‍රපංච දෙකක් වන නිසාය. දෙවැනි ගැටළුව වන්නේ දේශපාලනය පිළිබද හොදින් දැන උගත් වරුණි අමුණුගමගේ රූපවාහිනී නාලිකාවෙන් මෙවැනි පදනමක් නොමැති ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ කෙසේද කියාය.

වරුණි අමුණුගමට මම ගරු කරන ප්‍රධාන හේතුවක් ඇත. එකක් නම්, කොළඹ විශ්ව විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට ශිෂ්‍ය සංගමයට ඡන්දයෙන් තේරී පත් වූ ශිෂ්‍යාව නිසාය. සමස්ථ විශ්ව විද්‍යාල ඉතිහාසයටම ශිෂ්‍යාවක් ශිෂ්‍ය සංගමයට තේරී පත් වී ඇත්තේ අවස්ථා දෙකකදි පමණි.

නැවතත් මගේ පළමු ගැටළුව දෙස බලමු.

ආණ්ඩුවක් යනු ජනතාවගේ ඡන්ද බලයෙන් කාලයෙන් කාලයට ජනතාව විසින් රාජ්‍යයේ කටයුතු මෙහෙයවීම සදහා තෝරා පත් කර ගන්නා ප්‍රපංචයකි. රාජ්‍ය සහ ආණ්ඩුව අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ආණ්ඩුව කලින් කලින් කලට වෙනස් වන අතර රාජ්‍ය වෙනස් නොවීමයි. දෙරණ, රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍යයට සමාන කරන්නේ මේ ආණ්ඩුව කිසි දිනෙක වෙනස් නොවන බව සිතමින්වත්ද? එසේ නැති නම් ආණ්ඩුව වෙනස් කරන්න උත්සහ දරන්නන්ට හිමි වන්නේ මරණය බව මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව තහවුරු කර අවසන් නිසාද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත් ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි වීමක්ද? මගේ තර්කයට අනුව නම් එය රාජ්‍යයට එරෙහි වීමක් නොවේ. එම යෝජනා වලින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසංන්ධාන කොමිසමේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස, ඒවා ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරි වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස සහ ජාතික ගැටළුවට ස්ථිර සාර විසදුමක් සදහා මානව හිමිකම් කවුන්සිලයේ සහය ලබා ගන්නා ලෙසත්ය. මෙය රාජ්‍යයට එරෙහි වීමක් ලෙස දකින්නේ කුමන පදනමක් යටතේ දැයි මට නොතේරේ.

මා විශ්වාස කරන දේශපාලන අදහස් වලට අනුව ඒකාධිපති මාර්ගයෙන් ඈත් වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමට ආණ්ඩුව බලපෑම් කිරීමෙන් සිදු වන්නේ රටට යහපතක්ය.
ජාතික නාලිකාවක් වන දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හෝ වරිය දේශපාලනය පිළිබද කිසිවක් ඉගෙන ගෙන නොමැති අයෙක්ද? එසේ නැතිනම් රටේ බොහෝ ජනමාධ්‍යවේදීන් මෙන් රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනයට බිය වී ස්වයං වාරණයක් වත් ඇති කර ගෙනද? දෙරණ ඔබ, ජනතා ආවේගයන් අවුස්සාලන ප්‍රකාශයන් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් ඔබට ඇති සමාජ වගකීම පැහැර හරිනවා නොවේද?

– මැණිකේ[Manike]