සිංහල, Colombo, Democracy, Media

පටිසෝතගාමී චාරිකාවක් අනුසෝතගාමීව සැමරීම

පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි.

රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි.

ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප මුහුණදුන් ප්‍රධාන අර්බුද කිසිවක් හමුවේ උඩුගං බලා පිහිනීමට තරම් ශක්තියක් හෝ කැමැත්තක් නොතිබූ ප්‍රධාන පාත්‍ර වර්ගයා වන්නේ අපේ රටේ පාලකයන් ය. එහි දී, ඔවුන් වැඩියත්ම ”සාර්ථක වුණේ” ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙනි. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් ආරම්භ කෙරුණු උපයෝගීතාවාදී යටිගං බලා පිහිනීම, එදා සිට අද වන තෙක් රට පාලනය කළ දේශපාලඥයන්ගේ ජනප්‍රිය තුරුම්පුව විය. බලයට පත්වීම සහ බලයේ රැඳී සිටීම සඳහා එය සාර්ථක උපාය මාර්ගයක් විය. ඒ සඳහා වන විශාල වන්දිය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වෙසෙන පොදු ජනතාව තවමත් ගෙවමින් සිටිති. අද අප භුක්තිවිඳින ”සාර්ථකත්වය” එය යි.

උඩුගං බලා පිහිනීම වෙනුවට යටිගං බලා පිහිනීම මතවාදී තලයේ දී තෝරාගත් ඊළඟ වැදගත් පිරිස වන්නේ මාධ්‍ය ආයතනයි. පාලකයාට බලයට පත්විම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගීතා මෙවලමක් වූ ඒ රැල්ලට ගසාගෙන යාම මාධ්‍ය ආයතනවලට සරු වෙළඳපොලක් විය.

පටිසෝතගාමී කීර්ති නාමය රාවයට හිමිවන්නේ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් පමණක් නොවේ. ඇත්ත වශයෙන්ම ගතහොත්, රාවයේ ඉතිහාසය තුළ ඉස්මතු වූ දේශපාලනික පක්ෂපාතීත්වයන් ඇතැම් අවස්ථාවක රාවයේ හොඳ නාමයට කැලැල් වූ අවස්ථා තිබේ. එහෙත්, සමාජයීය කාරණා සම්බන්ධයෙන් රාවයට ඇත්තේ ඊට වඩා පොහොසත් අතීතයකි. සමාජ සාධාරණත්වය වෙනුවෙන්, පවතින සමාජ අගතීන්ට යට නොවි සිටීම සඳහා රාවය ගත් තැත එහි දී කැපී පෙනේ. ජාතිවාදය, කුලවාදය සහ ආගම්වාදය ඈ සකල අගතීන් කොන්දේසි විරහිතව බැහැර කළ ප්‍රධාන මාධ්‍ය ප්‍රවාහයේ එකම සිංහල පුවත්පත රාවය යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ ආශ්‍රයෙන් බොහෝ විට දේශපාලඥයාවත්, ඇතැම් විට රාජ්‍ය සේවකයාව සහ සිවිල් සමාජයමත් පමණක් නොව, ඒ දක්වා ශුද්ධ වූ ක්ෂේත්‍රයක් වශයෙන් සැළකුනු ලංකාවේ අධිකරණයත් එහි නිර්දය විවේචනයට ලක්විය. ඒ නිසාම, ස්වාධීන බුද්ධිමතුන් මෙන්ම, විකල්ප මතධාරී පෘථුල පරාසයක් නියෝජනය කළ තෝතැන්න බවට පත්වීමට ඊට හැකිවුණි.

රාවයේ එම පටිසෝතගාමී 25 වැනි සංවත්සරය පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක්, රාවයේ සාමාන්‍ය පාඨකයන්ට අමතරව, ඊට සහභාගී වූහ. තවත් සෑහෙන පිරිසක් එම සංවත්සර උත්සවය කල්තියාම වර්ජනය කළෝය. ඒ අතරට, රාවයේ ඇතැම් කර්තෘ මණ්ඩල සාමාජිකයන්, රටේ ප්‍රමුඛ පෙලේ කලාකරුවන්, රාවයේ නිත්‍ය ලේඛකයන්, බුද්ධිමතුන් සහ රාවයට ආදරය කරන තවත් පාඨකයෝ බොහොමයක් සිටි බව මම පෞද්ගලිකව දනිමි.

ලංකාවේ සෑම මාධ්‍යක් තුළම, විශේෂයෙන් රජයේ සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තුළ විකාශය වන ප්‍රවෘත්ති ප්‍රකාශ සිරිතක් වශයෙන් රජයේ ප්‍රධානියාගේ ප්‍රචාරකවාදයෙන් පටන්ගෙන ඉතිරි දේශපාලඥයන්ගේ කයිවාරුවලට සහ කෙරුවාවන්ට මුල් තැන දෙන වාර්තාකරණයත්, රටේ ඕනෑම උත්සවයක [දේශපාලනික හෝ ආගමික වේවා, ජාතික හෝ සංස්කෘතික වේවා, සාහිත්‍යමය හෝ කලාත්මක වේවා] මෙකී නොකී සෑම උත්සවයකම කේක් ගෙඩිය බවට පාලකයාව පත්කොට, අසා සිටින්නන් වෙහෙසටත්, කෝපයටත් පත්කිරීමේ නිස්සාර සංස්කෘතියකට හුරු වී ඇති අවස්ථාවක, පටිසෝතගාමී චාරිකාවක් සමරණ රාවය වැනි පුවත්පතක් ඊට වෙනස්ව නොගියේ මන්ද යන්න, ඉහත කී පිරිසේ බලවත් අප්‍රසාදයට හේතු වී තිබුණි.

රාවයේ ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් උත්සව සභාව අමතා මේ පිරිසට වක්‍ර උත්තරයක් දුන්නේය. ඔහු කී පරිදි, රට පත්ව ඇති අගාධය ගැන පාලකයන් ඉදිරියේ සජීවීව කරුණු දක්වා ඒ අවස්ථාවේම පාලකයන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම, එකී පාලකයන්ව එහි ප්‍රධානත්වයට වැඩම කළ පරමාර්ථය වූ බව අපි දැනගතිමු. මම බලා සිටියෙමි. මුස්ලිම් කොන්ග්‍රසය කතා කෙළේය. දෙමළ ජාතික සන්ධානය කතා කෙළේය. ප්‍රධාන විරුද්ධ පක්ෂය කතා කෙළේය. ඒ කිසි කතාවක්, වික්ටර් අයිවන් අපේක්ෂා කළ ප්‍රතිචාරයට අහලකින්වත් නොසිටියේය. අවසානයේ ජනාධිපතිවරයා කතා කෙළේය. වෙනදා කියන, ජාතිය එක්සත් කිරීම පිළිබඳ අලංකාරෝක්තිය හැරුණු කොට, ඔහු බාගෙට කියූ වෙන කිසිවක් මට නොතේරුණි. කෙසේ වෙතත්, වික්ටර් අයිවන්ගේ අපේක්ෂාව ජනාධිපතිවරයාගේ සැලකිල්ලට ලක්වුණේ ද නැත.

උත්සවය පටන් ගැනුණේ, ඉතා ආකර්ශණීය විද්‍යුත් විකාශනයකිනි. එහි දී, නිදහසෙන් පසු රට පත්ව ඇති අගාධයේ තරම පිළිබඳ දළ රූපමය නිරූපණයක් සමග පරිකතා ආඛ්‍යානයක් ඉදිරිපත් කෙරිණ. නිදහසේ පටන් රට පාලනය කළ රාජ්‍ය නායකයන් අතරින් ජේ.ආර්.ජයවර්ධන ප්‍රධාන චූදිතයා බවට පත්කරමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙසට විටින් විට ඇඟිල්ල දිගු කරමින්, දකුණේ කැරලිකාරීත්වය සහ උතුරේ කැරලිකාරීත්වය කටගැස්මට ගනිමින් ඉදිරිපත් කෙරුණු එම පක්ෂග්‍රාහී ඉතිහාස කතාව අවසන් කෙරුණේ, මහින්ද රාජපක්ෂගේ ගතවූ හත් වසර පිළිබඳ විශාල හිස්තැනක් ඉතිරි කරමිනි. මෙකී රාජපක්ෂ පරිච්ඡේදය රාවයේ ඉතිහාස කතාව තුළ හිටිහැටියේම ගොළු විය. වර්ණවත් හොලිවුඩ් ශෛලියෙන් පටන්ගෙන, අවසාන භාගය නිහඩ චිත්‍රපටියක් විණැ යි මට සිතුණි. එය, පටිසෝතගාමී ඉතිහාස කථනයක් නම් නොවුණේමය.

ලංකාව ආලෝකමත් කළ විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රාඥයන්ට ප්‍රණාම දැක්වීම හැරුණුකොට, මේ සමස්ත ක්‍රියාවලිය තුළ එකම සාධනීය අංගයකට තිබුණේ මහාචාර්ය සරත් විජේසූරියගේ දේශනය යි. ජනාධිපතිවරයා ඇතුලූ මැති ඇමතිවරුන් ද, විරුද්ධ පක්ෂයේ නායකයන් ද ඉදිරියේ ඔහු ඉදිරිපත් කළ නිරවුල් කතාව මේ රටේ සෑම පුරවැසියෙකුටම ඇසීමට සැලැස්විය යුත්තකැ යි මම විශ්වාස කරමි. පටිසෝතගාමී දෘෂ්ටියම එහි න්‍යෂ්ටිය වශයෙන් පැවතුණු හෙයිනි.

උත්සවයේ අන්තර්ගතය එසේ තිබිය දී, සමස්ත සංවත්සරය රාවයේ සැමරුමක් වෙනවා වෙනුවට රාජ්‍ය නායකයාගේ මංගල්‍යයක් බවට පත්වූ ආකාරය, විසිපස් වසක පටිසෝතගාමී චාරිකාව හෑල්ලූවට ලක්කළ ඊළඟ කාරණයයි. කොටින්ගෙන් ජනතාව මුදාගත්තේ යැයි පුන පුනා කියන ජනාධිපතිවරයෙකු එම ජනතාවටම මෙතරම් බිය වන තවත් කිසි රටක් ලෝකයේ ඇත් දැ යි මේ උත්සව පරිශ්‍රයට ඇතුලූ වෙද්දී මගේ සිත ප්‍රශ්න කෙළේය. ඕනෑම කෙනෙකු විශේෂ අවස්ථාවක දී සාමාන්‍ය පරීක්ෂාවකට ලක්වීම අසාධාරණ නැත. එහෙත්, රාවයේ සංවත්සරයට යන මගේ අණ්ඩකෝෂ යුගලය පවා ආරක්ෂක නිලධාරීන්ගේ අතට හසුවීම මට ගෙන දුන්නේ මහත් ලජ්ජාවකි. මගේ සිගරට් පැකට්ටුව සහ ලයිටරය ගෙන යාමට අවසර නොදීම මත ඇති වූ සුළු අදහස් හුවමාරුවක් නිසා එම නිලධාරියා මට එසේ හිංසා කෙළේ යැයි මම මුලින් සිතුවෙමි. එහෙත් පසුව දැන ගත් පරිදි, තවත් බොහෝ පිරිමින් එම අත්දැකීමටම මුහණදී තිබුණි. තමන්ට අපහාස වන පරිද්දෙන් ශරීරය පරීක්ෂා කිරීම පිළිබඳව විරෝධය පෑ මගේ බිරිඳගේ ටෙලිෆෝනයේ ඇති අංක අයත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව පිරික්සා බැලීමට පවා ඔවුන්ට අවශ්‍ය විය. ප්‍රකට නවකතාකාරියක් වන කැත්ලින් ජයවර්ධනගේ කොණ්ඩ කට්ට ඔවුන්ට ප්‍රශ්නයක් විය. නර්තනය සම්බන්ධයෙන් මේ උත්සවයේ දී සම්භාවනාවට පත් චිත්‍රසේනගේ බිරිඳ වන වජිරා චිත්‍රසේන මහත්මිය ඇගේ මහලූ වියේ ප්‍රශ්න හේතුවෙන් යනඑන තැන ගෙනයන පුංචි ටෝච් එක මෙම පරිශ්‍රය තුළට ගෙන යාම තහනම් විය. මේ අපහාසයට මුහුණදීම ප්‍රතික්ෂේප කළ සුනිල් විජේසිරිවර්ධන, නිර්මාල් රංජිත් දේවසිරි, ජයතිලක කම්මැල්ලවීර, චන්ද්‍රගුප්ත තේනුවර, ජේ. සී. වැලිඅමුණ සහ ලක්ෂ්මන් ගුණසේකර වැනි තවත් පිරිසක් ආපසු හැරී ගෙදර ගියෝය. එපමණක් ද නොව, සියත මාධ්‍ය ආයතනයට සහ මව්බිම මාධ්‍ය ආයතනයට, මෙම උත්සවය ආවරණය කිරීම ජනාධිපති අංශයේ නියෝග මත තහනම් කෙරුණි. එම සියත මාධ්‍ය ආයතනයම, මීට සතියකට උඩදී රාවයේ විසිපස් වැනි සංවත්සරය වෙනුවෙන් වික්ටර් අයිවන්, මම සහ සුනේත්‍රා රාජකරුණානායකගේ සහභාගීත්වයෙන් පැය එක හමාරක වැඩසටහනක් ද සම්පාදනය කර තිබුණි.

නින්දාව එතෙකින් නතර වුණේ නැත. ශරීර පරීක්ෂාව අවසානයේ අප කාගේත් පපුවේ ස්ටිකර් එකක් ඇලෙව්වේය. ‘‘සෙකියුරිටි චෙක්ඩ්‘‘(පරීක්ෂාවට ලක්විය) යනුවෙන් මෙවැනි ස්ටිකරයක් සාමාන්‍යයෙන් අලවන්නේ ගුවන් ගමන් මලූවල ය. උත්ප්‍රාසය වන්නේ, එවැනි බඩුපොදි බවට අප පත්වුණේ, ජනාධිපතිවරයාගේ අරලියගහ මන්දිරයට යාමට ගොස් නොව, රාවයේ පටිසෝතගාමී පරිශ්‍රයට ඇතුලූ වීමට යාමේ දී වීම යි.

මේ සමස්තය තුළ දක්නට ලැඛෙන අනුසෝතගාමී දේශපාලනය ගැන ඉදිරියට අපට වාද විවාද කරගත හැකිය. එහෙත්, රාවයට ආදරය කරන ජනතාව අපහාසයට පත්වීම පිළිබඳව මේ අවස්ථාවේ දී සමාව අයැදීමට තරම් රාවය නිහතමානී විය යුතු යැයි මම විශ්වාස කරමි.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]