Colombo, end of the War, Featured Articles, Features

UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු


සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට මේ දිනවල ලංකා රාජ්‍යයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ. නමුත් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ විරෝධය දක්වන මෙම පිරිස්වලට එම ඇමරිකානු යෝජනාව පිළිබදව පැහැදිළි අදහසක් නොමැති බවය.

මෙම තත්ත්වය තුල විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) එම ඇමරිකානු යෝජනාවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් මෙන්ම උගත් පාඩම් හා සංහිදියා කොමිසම(LLRC) පිළිබදවත්, අහි අභ්‍යන්තර දේශපාලනික කරැණුත් මෙන්ම නිරීක්ෂණයන්ද සමග වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මේ පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව වන යෝජනාව
ප්‍රශ්න සහ පිළිතුරු
(2012 මාර්තු)

මේ ලියවිල්ල මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) සහ එහි 19 වන සමුළුවට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳව වන යෝජනාවට අදාළ මූලික තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කෙරේ. මේ දිනවල(UNHRC) හි සිදුවන්නේ මොනවාද සහ ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් එමගින් ඇති විය හැකි බලපෑම කුමක්ද යන්න පැහැදිලි කිරීමත්, ඒ සම්බන්ධයෙන් ඇති වැරදි සහගත අවබෝධයන් දුරු කිරීමත් මේ ලියවිල්ලේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු, ලෝකය පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ සුරැකීම සඳහාත්, මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවන අවස්ථාවලදී ඒවා ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ස්ථාපිත කර ඇති අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයයි. මේ UNHRC නිව්යෝක් හිදී රැස්වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තෝරා පත් කරන සාමාජික රටවල් 47 කින් සමන්විතයි.

ශ්‍රී ලංකාව UNHRC හි සාමාජික රටක්ද?

නැහැ. 2008 වසරේදී පැවති ඡන්ද විමසීමකදි ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය අහිමි විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ දිනවල UNHRC හි සිදුවෙන්නේ මොනවාද?

ඇමරිකා එක්සත් ජනපදය විසින්, මෙවර පැවැත්වෙන UNHRC හි 19 වන සැසියට, ශ්‍රී ලංකාව් මානව හිමිකම් තත්ත්වයත්, රජය විසින්ම පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ඉදිරිපත් කළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම(LLRC) යනු කුමක්ද?

LLRC යනු, යුද්ධයට මුල් වූ හේතු සහ එයින් මිනිසුන්ගේ ජීවිතවලට ඇති වුණු බලපෑම සොයා බැලීම සහ ජාතික එක්සත්භාවයත් ප්‍රතිසන්ධානයත් ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්දේශ යෝජනා කිරීමත්, යුද්ධයේ බලපෑමට ගොදුරු වූ පුද්ගලයින්ගේ ජීවිත යළි ගොඩනැංවීම සඳහා ක්‍රියාත්මක කල යුතු නිසි යාන්ත්‍රණයක් හඳුනාගැනීමත් සඳහා 2010 වසරේ මැයි 15 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද කොමිසමයි. අට දෙනෙකුගෙන් සමන්විත වූ මේ කොමිසම විසින් කොළඹදී සහ වෙනත් දිස්ත්‍රික්ක කිහිපයකදී ජනතාවගේ දුක්ගැනවිලි සහ සාක්ෂි විමසීම් සැසිවාර පවත්වන ලදි. කෙසේ වතුදු, කොළඹින් පිට පැවති සැසිවාර වලදී, ප්‍රමාණවත් කාලයක් නොමැති වීම සහ නිසි සැලසුමක් නොමැති වීම හේතුවෙන් සාක්ෂි ලබා දීමට උවමනාවූ බොහෝ දෙනෙකුට එය හමුවට යාමට නොහැකි විය. උග්‍ර මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ මේ කොමිසම හමුවේ තීරණාත්මක සාක්ෂි ලබා දුන් පුද්ගලයින් පසුව හිංසාවන්ට සහ තර්ජනයන්ට ගොදුරු වූ බවත් වාර්තා විය. කොමිසම සිය අවසන් වාර්තාව 2011 නොවැම්බර් මසදී ජනාධිපති වෙත බාර දෙන ලදි. යුද සමයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝයන් ගැන තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක් ගෙන ඒම, අවතැන්වූවන්ට ආධාර කිරීම, හමුදාකරණය පිළිබඳ ගැටළු විසඳීම, ආයුධ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරම සහ දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ඒමේ අවශ්‍යතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ වන නිර්දේශ බොහෝමයක් එහි ඇතුළත් වෙයි. ඇතැම් පිරිස් මේ නිර්දේශයන් සාධනීය ඒවා බව පිලිගන්නා අතර තවත් පිරිසක් ඒවා ප්‍රමාණවත් නැතැයි විවේචන එල්ල කරති. තවත් කණ්ඩායම් LLRC ය එයට පැවරුණු කාර්යය ඉක්මවා ගොස් ඇතැයි චෝදනා නගති.

LLRC යේ නිර්දේශවලට සිදුවී ඇත්තේ කුමක්ද?

මේ වාර්තාව 2011 දෙසැම්බර් මසදී ප්‍රසිද්ධ කළ ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් එහි නිර්දේශයන් ක්‍රියාත්මක කරනවා යැයි විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති නමුත්, එය මේ දක්වා ක්‍රියාත්මක කළ නිර්දේශයන් මොනවාද කියා හෝ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් ගැන හෝ කිසිවක්ම සඳහන් කර නැත. ඛඛඍක්‍ යේ අවසන් වාර්තාවේ දැක්වෙන පරිදි, කොමිසම 2010 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ අන්තර්වාර නිර්දේශ පිළිබඳ කිසිදු ප්‍රගතියක් අත් වී නැත.

ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවේ අරමුණ කුමක්ද?
මේ යෝජනාවේ ප්‍රධාන කාරණා තුනක් අඩංගු වෙයි.

01) LLRC වාර්තාවේ සාධනීය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමත්, සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් යුක්තිය, සමානාත්මතාව, වගවීම සහ ප්‍රතිසන්ධානය තහවුරු කිරීම සඳහා විශ්වසනීය සහ ස්වාධීන යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම සඳහා අදාල නෛතික වගකීම සහ කැපවීම සපුරා ලීම වස් අවශ්‍ය වන සියලුම අමතර පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටීම.

02) LLRC වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් පිළිබඳ ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටත් ආණ්ඩුව මේ දක්වා ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර මොනවාදැයි විස්තර කෙරන සැලැස්මක් හැකි තරම් කඩිනමින් ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම.

03) එකී පියවරයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදෙන දෙන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කාර්ය පටිපාටීන් උනන්දු කිරීම. ඒවා පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කිරීම. එසේ ලබාදුන් සහය පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් සමුළුවේ විසි දෙවන සැසිවාරයේදී ඉදිරිපත් කරන්නැයි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම.

එහි පළමුවෙනි පරිච්ඡේද දෙක මගින්, LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි (වාර්තාව බාරදී මාස හතරකට පසුවත් මේ එකදු නර්දේශයක්වත් තවම ක්‍රියාත්මකකර නැත.) දෙවෙනි පරිච්ඡේදය මගින් මේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ලංකා ආණ්ඩුවට සහය ලබා දෙන්නැයි එක්සත් ජාතින්ගේ විවිධ යාන්ත්‍රණයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ යෝජනාවේ කිසිම තැනක ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක පැනවීමක්, හමුදාමය මැදිහත්වීමක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට දඬුවම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. ආණ්ඩුවෙන් අපේක්ෂා කරනු ලබන්නේ, LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කිරීම පමණි. ආණ්ඩුවට කිරීමට ඇත්තේ සුළු දෙයකි. මේ සැලසුම ඉදිරිපත් කිරීම මගින් ආණ්ඩුව තම වගකීම් ඉටු කරනු ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳ ලාංකික ජනතාවටත් අනෙක් අයටත් තොරතුරු දැනගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.

මේ යෝජනාව මානව හිමිකම් සමුළුවේදී සම්මත වුවොත්, ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම කුමක්ද?

යෝජනාවේ අරමුණ වන්නේ තමන් විසින්ම පත්කළ LLRC කොමිසම මගින් නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුව යොමු කරවීමයි. LLRC නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්නත්, එය කරන්නේ කෙසේද යන්නත් ගැන කිසිදු තොරතුරක් ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියේ දැනගැනීමට නැති තත්ත්වයක් තුළ මේ යෝජනාව වැන්නක් වැදගත්ය. එසේම මේ යෝජනාව ඉදිරිපත් වන්නේ, මේ ආණ්ඩුව විසින්ම මීට පෙර පත් කළ විවිධ කොමිසම් වල නිර්දේශයන් ක්‍රියාත්මක වී නැති තත්ත්වයක් තුළයි. ඛඛඍක්‍ නිර්දේශයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් සමුළුවේත්, එක්සත් ජාතීන්ගේ අනෙක් සාමාජික රටවල් සහ ආයතන වලත් තාක්ෂණික සහය ලංකාවට ලබා දෙන්නැයි මේ යෝජනාව මගින් ඉල්ලා සිටියි.

මේ යෝජනාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟීලි ගැසීමක් යැයි කියමින් ආණ්ඩුව සහ වෙනත් පාර්ශවයන් එය විවේචනය කර ඇත. කිසිදු රටකට හෝ ආයතනයකට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට හැකිවන කිසිදු සඳහනක් එහි ඇතුළත් නැති අතර එමගින් යෝජනා කෙරෙන්නේ, තමන්ගේ වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සහය ලබා දීමක් ගැනයි.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සාමයට සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට මේ යෝජනාව සහය වන්නේ කෙසේද?

මානව හිමිකම්, රාජ්‍ය පාලනය, ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම පිළිබඳ සාධනීය නිර්දේශ ගණනාවක් LLRC වාර්තාවේ ඇතුළත් වන අතර, ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළහොත්, ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් වීමට ඉවහල් වනු ඇත. එසේම එමගින් තම නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් වෙතින් තාක්ෂණික සහය ලබා ගැනිමේ අවස්ථාවද ශ්‍රී ලංකා ආණ්ඩුවට හිමි වනු ඇත.