සිංහල, Colombo, Democracy, Human Rights, Media

කියන තරමට සිල් රෙද්ද සුදු නැත

රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ ස්ථරවලින් පැමිණයවුන් නිසා, ඒ ඒ අය එම සංසිද්ධිය දෙස බලන ආකාරය ද වෙනස් විය හැකිය. ඒ නිසා, කෙනෙකුට එය ‘සාර්ථක’ සැමරුමක් විය හැකි අතර තවත් අයට එය ‘අසාර්ථක’ සැමරුමක් විය හැකිය.

අදාළ වන්නේ, එය නොවේ. රාවය නැමති සංඥාව තුළ එම උත්සවය ගත් තැන කුමක් ද යන්න විමසා බැලීමයි. රාවයේ සංඥාව යනුවෙන් අදහස් කරන්නේ, විසිපස් වසරක් තිස්සේ රාවය පුවත්පත ගොඩනගාගෙන සිටි ප්‍රතිරූපය යි. එම ප්‍රතිරූපය පසුබිමේ පැවැත්විය යුතුව තිබූ විසිපස් වැනි සමරු උත්සවය රටේ පාලකයන්ට ප්‍රමුඛත්වය දෙමින් පැවැත්වීම මගින් එය වඩාත් ඔපවත් වී ද නැද්ද යන්න මහින්ද අබේසුන්දර කෙනෙකුගෙන් විමසීමෙන් පලක් නැත.

මේ උත්සවයේ ස්වභාවය විවේචනය කොට මා ලියූ ලිපියක් පාදක කරගෙන පිළිතුරු බඳින වික්ටර් අයිවන් එම ලිපියෙන් එක කාරණයක් සැලකිල්ලට ගෙන, එනම්, ඇති වු අපහසුව පිළිබඳව රාවය පාඨකයන් වෙත කණගාටුව ප්‍රකාශ කිරීම අගය කරමි. එහෙත් ලංකාව පත්ව ඇති අගාධය පිළිබඳව මෙම උත්සවයේ දී ප්‍රදර්ශනය කෙරුණු වාර්තා චිත්‍රපටය තුළ, පසු ගිය අවුරුදු හත පිළිබඳ එක වචනයකවත් විවේචනයක් නැත්තේ මන්ද යන ප්‍රශ්නය ඔහු මගහරී. ඒ වෙනුවට ඔහු කරන්නේ, මා ඇතුලූ තවත් පිරිසකගේ අතීත සහ වර්තමාන ”කැරට්ටුව” පෙන්වා දී, මේ ”විනාශකාරී” පිරිසෙන් පරිස්සම් විය යුතු බවට පාලකයන්ට අනතුරු ඇඟවීම යි.

වර්තමානය තේරුම් ගැනීම සඳහා ඉතිහාසය පාවිච්චි කිරීම ශාස්ත්‍රීය අභ්‍යාසයක්. එහෙත් වර්තමාන කර්තෘකයන්ව සමාභජනය කොට නිදොස් කිරීම සඳහා ඉතිහාසය සේවයට ගැනීම කෛරාටික අභ්‍යාසයක්. වික්ටර් අයිවන්ගේ වර්තමාන ලේඛන භාවිතය ගමන් කරන්නේ දෙවැනි මාර්ගයේ බව මගේ අදහස යි. ඒ නිසා, පසු ගිය හත් වසර තුළ අපේ පාලකයන්ට අදාළව ඔහු ලියූ ඕනෑම ලිපියක, එම පාලකයන්ගේ වැරදි පෙන්වා දීමේ තත්පරයේ දීම, ඊට කලින් සිටි පාලකයන්ගේ වැරදි ක්‍රියාකලාපයන් ද උඩ දැමීමෙන් වර්තමාන කර්තෘකයාගේ වැරදිවල බර දියාරු කිරීම මේ ලේඛන තුළ කැපී පෙනේ. එය දෙපිටකාට්ටු සෙල්ලමකි.

යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් තමන් දරණ මතය සනාථ කිරීම සඳහා, ”මගේ මතය හරි කියලා කෙනෙක් කිව්වා”, ”මගේ මතයට විරුද්ධ වුණේ සුළු පිරිසක් විතරයි” ”බොහෝ දෙනා මගේ මතය අගය කළා” ”ඉස්සර මගේ මතයට එකඟ නොවිච්ච අය, පස්සේ ඇවිත් කිව්වා මං හරි කියලා” ආදී වශයෙන් වන මොන්ටිසෝරි තර්ක ගැන ද කිව යුත්තේ එයයි.

”පටිසෝතගාමී හා විප්ලවකාරී ළදරු වලිප්පුව” මැයෙන් වික්ටර් අයිවන් ලියා ඇති ලියවිල්ල මා කියැවූයේ ඉහත සඳහන් පසුබිම් දැනුම ඇතිවයි. එම ලිපිය මට විමතියක් නොවුණේ එබැවිනි. එහි දී, ”දැන් අපට එම සංවාදය සියලූ දෙනාගේ හදවත්වලට දැනෙන සජීවී තැනකින් ආරම්භ කළ හැකියැයි වික්ටර් අයිවන් කියයි.

සියලූ දෙනාගේ හදවත්වලට දැනෙන සේ කතා කිරීම, ආලය පිළිබඳ කාරණයක දී මිස දේශපාලනයේ දී ගුණදායක නැත. ජාතිමාමකත්වය, දේශප්‍රේමය සහ මව්බිම ආදී කතිකා පහසුවෙන්ම ආමන්ත්‍රණය කෙරෙන්නේ හදවත්වලට යි. එවිට, මුළු රටක හෝ ජාතියක ලේ හැලෙන්නට ඇති ඉඩකඩ වැඩි යි. හදවත්වලට නැතිව බුද්ධියට කතා කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක දැකිය හැකි ලක්ෂණයකි.. හැබැයි, එවැනි සංස්කෘතියක් නැති සමාජයක බුද්ධියට කතා කිරීම බොහෝ විට බහුතරයේ ප්‍රසාදයට ලක්වන්නේ නැත. සිදුවන්නේ, එසේ කතා කරන්නාගේ ලේ හැලීම යි.

වික්ටර් අයිවන් තොරාගන්නා, හදවත්වලට දැනෙන සජීවී තැනඅපූරු එකකි. ප්‍රතිවාදියාට පහර දීමට සුදුසු පසුබිම තමන්ගේ හිතුමතේට සම්පාදනය කර ගැනීම, එහි කතිකාමය ප්‍රබන්ධය බවට පත්ව ඇත. කතිකාමය ප්‍රබන්ධයක් යනු කූට ගොඩනැගීමකි. එහි දී, පහර දීමේ පහසුව සඳහා ද, පහර දීමේ ඉලක්කය ටක්කෙට සරිකර ගැනීම සඳහා ද, පුද්ගලයන් පිරිසක් එක ගොඩකට දැමෙත්. මා හැරුණු කොට, ජයතිලක කම්මැල්ලවීර, සුනිල් විෙජ්සිරිවර්ධන, ෙජ්. සී. වැලිඅමුණ, නිර්මාල් රංජිත් දේවසිරි, චන්ද්‍රගුප්ත තේනුවර සහ ලක්ෂමන් ගුණසේකර වැන්නෝ දැනට එම ප්‍රහාරයට ලක්වෙත්. මොවුන් ගැන සැළකීමේ දී ඔවුනොවුන් අතරත්, ඔවුන් සහ මා අතරත් අදහස් විෂමතා බොහොමයි. උදාහරණයක් වශයෙන්, ජිනීවා යෝජනා ගැන නිර්මාල් රංජිත්ගේ අදහස්, මගේ අදහස්වලින් වෙනස් ය. සුනිල් විෙජ්සිරිවර්ධනගේ ගාන්ධිවාදයට මගේ එකඟතාවක් නැත. මොවුන් සියල්ලන් එක කුලකයකට ගත හැකි වන්නේ, මේ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශිෂ්ටත්වයක් වෙනුවෙන් අවංකව පෙනී සිටින්නන් වීමෙන්ම පමණි. වික්ටර් අයිවන්ගේ කර්කශ විවේචනයේ එල්ලයත් එයම යි. ”උං ඔක්කොම මගේ ආතල් එක කෑවා” වැනි කෝපයක් ඔහුගේ ලිපියෙන් ධ්වනිත වන්නේ එබැවිනි.

මෙසේ තනි අහුරකට ඉහත කී සියල්ලන් ගත් පසු ඔවුන්ට ආරෝපණය කෙරෙන ”පාපය” නිර්මාණය කරන්නේ ද වික්ටර් අයිවන්මයි. ඒ මෙසේ ය: ”ගාමිණි වියන්ගොඩ කෙරෙන් සේම, උත්සවයට සහභාගී වීමෙන් වැළැකී ආපසු ගිය කිහිප දෙනාගේ ද විරෝධයට බලපා තිඛෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ රාවය එම උත්සවයට ජනාධිපති සහභාගී කර ගැනීම ය. සමහරවිට, ඔවුන්ට ජනාධිපති නරකම වර්ගයේ ඒකාධිපති නායකයෙකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකිය.”

ජනාධිපතිවරයා නරකම වර්ගයේ ඒකාධිපතියෙකු වශයෙන් අපට පෙනී ගිය හැකි යැයි වික්ටර් අයිවන් තුළ ඇති විශ්වාසය මෙසේ ලොකු අකුරෙන් ලියා දැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට තවදුරටත් වික්ටර් අයිවන් පාත්‍ර වීමට හේතු විය හැකි වෙතත්, එය වෙනත් පිරිසකගේ වියදමින් නඩත්තු කර ගැනීමට බැලීම සදාචාරාත්මක නැත. ඒ සඳහා ඔහු එක දිගට වාක්‍ය 19 ක් වචන 209 කින් ලියයි. ඒ, ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු නොවේ යැයි කීමට යි.

වික්ටර් අයිවන්ගේ එම උපකල්පනයේ පළමු කොටස සළකා බලන්නේ නම්, මුලින්ම, ”ජනාධිපති සහභාගී වීම” යන යෙදුම පිරිපහදු කරගත යුතුව තිබේ. ජනාධිපතිවරයා ”සහභාගී වීම” එකකි. නිල වශයෙන් ”විශේෂ ආරාධිතයා” වීමත්, ඒ සඳහා, සුනිල් විෙජ්සිර්වර්ධන පෙන්වා දෙන පරිදි, ”රාවයේ අවකාශයට ජනාධිපතිවරයා ඇතුලූ වෙනවා වෙනුවට ජනාධිපතිවරයාගේ අවකාශයට රාවය ඇතුලූ කිරීමත්” වෙනම කාරණයකි. (මීට සතියකට පසු, ‘දිවයින’ ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකරගේ දියණියගේ විවාහ මංගල්‍යයේ ප්‍රධාන අමුත්තා වුණේ ජනාධිපතිවරයා ය. එම උත්සවයේ දී අප කිසිවෙකුගේ අඟපසඟ පරීක්ෂා කිරීමක් තබා අඩු වශයෙන් එම විවාහ මංගල්‍ය සඳහා වන ආරාධනා පතක්වත් ගල්කිස්ස හෝටලයේ කිසි දොරටුවක දී ඉල්ලා නොසිටි බව මෙහි දී සඳහන් කරන්නේ, ”දිවයින” සහ ”රාවය” මෙවැනි සාමාන්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් පවා තැන් මාරු කරගෙන ඇති තරම සංකේතවත් කෙරෙති යි සිතෙන බැවිනි).

රාවයේ සංවත්සරයට ජනාධිපතිවරයා පමණක් නොව, වෙනත් දේශපාලන නායකයන් ද ”විශේෂ ආරාධිතයන් වශයෙන්” සහභාගී කර නොගත්තේ නම් මැනවැ යි යන්න මගේ විශ්වාසය යි. හේතුව, එය නිකම්ම සහභාගී කර ගැනීමක් නොවුණු නිසා ය. කළු සුදු වශයෙන් කරුණු පහදා දී, මේ රට ගමන් කළ යුතු මාර්ගය ඔවුන්ට ඒත්තු ගැන්වීම, එම සහභාගී කර ගැනීම පසුපස පැවති වික්ටර් අයිවන්ගේ අභිලාෂය විය. මුළු ලෝකයාම දන්නා, ”උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන” කොමිෂන් වාර්තාවේ එක අකුරක්වත් ක්‍රියාත්මක කිරීම තවමත් කරඅරින පාලකයන් ඉදිරියේ විනාඩි දහයක කතාවක් පැවැත්වීමෙන් රටේ අනාගත ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු විය හැකි යැයි විශ්වාස කිරීම, මගේ දැනුමේ හැටියට, නිෂ්ඵල සහ බොළඳ ව්‍යායාමයකි. කෙසේ වෙතත්, උත්සවය අවසානයේ දී එහි සාධනීය පැත්තක් ද මා දැක්කේය. එනම්, වික්ටර් අයිවන්ගේ මෙම ළමා ක්‍රීඩාව එම පැයේ දීම පුස්සක් කර පෙන්වීමට එදා කතා කළ සියලූ දේශපාලඥයන් වගබලා ගැනීමයි.

වික්ටර්ගේ උපකල්පනයේ දෙවැනි කොටස ගැන මට කීමට ඇත්තේ, වර්තමාන ජනාධිපතිවරයා නරකම වර්ගයේ ඒකාධිපතියෙකු යැයි තවම මා විශ්වාස නොකරන බව යි. එහෙත්, නරක වර්ගයේ හෝ හොඳ වර්ගයේ (එවැනි ඒකාධිපතියන් ඇතොත්) ඒකාධිපතියෙකු වීමේ මාර්ගයක ඔහු අද නිශ්චිතවම ගමන් කරමින් සිටිති ය යන්නත්, එය පුලූවන් තරමින් ඉක්මණින් වැලැක්විය යුතු ය යන්නත් මගේ විශ්වාසය යි.

ඊළඟට, තවත් මතයක් ඔහු ප්‍රතිවාදියාගේ නමට බැර කරයි: ”ගාමිණී වියන්ගොඩට සේම සංවත්සරය වර්ජනය කළ කිහිප දෙනාගේ ද විරෝධය කෙරෙහි ජනාධිපතිවරයාගේ සහභාගීත්වය පමණක් නොව, මෙම අර්බුදය ජයගැනීම සඳහා රාවය ඉදිරිපත් කර තිඛෙන ප්‍රතිසංවිධාන ප්‍රවේශය ද බලපෑවේ යැයි කිව හැකිය. ඔවුන් කල්පනා කරන බව පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය තිඛෙන තාක් එවැනි දේකට අත නොගැසිය යුතු බව ය. එවැනි දේකට අතගසනවා නම් අතගැසිය යුත්තේ රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමෙන් පසුව පමණක් බව ය.”

මේ නිගමනයට ඔහු ආවේ කෙසේ ද? රෙජිමයක් පරාජය කිරීමෙන් පසුව පමණක් යමක් අත්පත් කරගත හැකි යැයි සිතීම, මට අනුව, අදේශපාලනික ය. එය හරියට, සුළු ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ සමාජවාදය පැමිණීමෙන් පසුව පමණකැ යි කියන්නා සේ ය. රෙජිමයක් පරාජය කිරීම යනු කේවල අභ්‍යාසයක් නොවේ. රෙජිමය සමග අභිමුඛ වීම යනුවෙන් හැඳින්වෙන දේශපාලනයක්, රෙජිමයක් පෙරැලීමට මත්තෙන් තිබේ. විශ්‍රාම වැටුප් පනතක් ගෙනා ආණ්ඩුව එය හකුලා ගත්තේ එවැනි දේශපාලනික අභිමුඛ වීමකින් පසුව යි. මේ විදිහට, රෙජිමයක් පෙරලා දැමීම පිළිබඳ ප්‍රශ්නය උද්ගත වෙතත් එය උද්ගත වන්නේ, ඊට අභිමුඛ වන දේශපාලනික ක්‍රියාවලිය කෙරෙහි රෙජිමය දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය මතම පමණි. මේ නිසා, විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ගැනීම, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබා ගැනීම, බලය විමධ්‍යගත කිරීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම ආදිය සඳහා මේ රෙජිමය සමග අභිමුඛ වීමයි සැබෑ දේශපාලනය… එය පෙරලා දමා ඇති කරගන්නා වෙනත් ආණ්ඩුවක් මාර්ගයෙන් වුව එවැනි ඉල්ලීම් දිනාගත හැකි වන්නේ අද කරන එවැනි දේශපාලනික අරගලයක අත්දැකීම් මාර්ගයෙනි. මෙය, නායකයන් ගෙන්වා තමන් ඉදිරිපසින් වාඩි කරවා, බණක් කියා අනුමෝදන් කරගත හැකි පුණ්‍ය කර්මයක් නොවේ. ඒ නිසා රාවය ඉදිරිපත් කර තිඛෙති යි කියන ප්‍රතිසංවිධාන ප්‍රවේශය පිළිබඳ මගේ ඇති කෝන්තරය, මේ ආණ්ඩුව පෙරලා දමන්නේ ද නැද්ද යන්නට සම්බන්ධයක් ඇති දෙයක් නොව. එය සම්බන්ධ වන්නේ, ඒ කියන ප්‍රතිසංවිධාන ප්‍රවේශය මේ රජය ආරක්ෂා කිරීමේ වංචනික අරමුණ සහිත ට්‍රෝජාන් අශ්වයෙකු වශයෙන් පාවිච්චි කිරීම වික්ටර් අයිවන්ගේ අභිප්‍රාය ද යන්න යි.

ඊළඟට, මේ කණ්ඩායම සම්බන්ධයෙන් ”හදවත්වලට දැනෙන” තවත් ”සජීවී තැනක්” වික්ටර්ට හමුවෙයි. ඒ මෙසේ ය:

‘‘රටේ පවතින අර්බුදයට ඔවුන් දෙන මානය විනාශකාරී ය. ඒ මානය රටේ පවතින ඇත්ත දේශපාලන චිත්‍රය විකෘති කරයි. ඒ නිසා රාවයේ ප්‍රවේශය ඉදිරියට ගැනීම සඳහා ඔවුන් දෙන මානයට ලැඛෙන වැදගත්කම බිඳ දැමීම අත්‍යාවශ්‍ය ය. එසේම මෙම පුද්ගල කණ්ඩායම ප්‍රකෘති සිහියෙන් ක්‍රියා කරන තැනකට ගැනීම ද වැදගත් ය. සමහරවිට එම අවශ්‍යතා දෙකම ජයගත හැකි වනු ඇත්තේ මෙම විරෝධතා කණ්ඩායම අන්තවාදී තැනකට තල්ලූ කිරීමට බලපා තිඛෙන හේතු සාධාරණව සලකා බලන තැනකට යාමෙනි.”

මේ ආශ්‍රයෙන්, මුලින්ම වික්ටර් අයිවන්ගෙන් ඇසිය යුතු මූලික පැනයක් තිබේ. ”රාවයේ ප්‍රවේශය” යැයි ඔහු අදහස් කරන්නේ කුමක් ද? පසු ගිය අවුරුදු හතක කාලය තිස්සේ ඔහු ලියූ දේවල් ද, එසේ නැතහොත් රාවයේ සෙසු කර්තෘ මණ්ඩල සාමාජිකයන් සහ නිත්‍ය ලේඛකයන් බහුතරයක් එම කාලය තුළ ලියූ දේවල් ද? අවුරුදු හතකට පෙරාතුව, මූලික කරුණු අරභයා වික්ටර් අයිවන් සහ මේ කියන ලේඛකයන් ලියූ දේවල්වල එක්තරා සමානරූපී බවක් තිබුණි. එහෙත් පසු ගිය අවුරුදු හතක කාලය තුළ වික්ටර් අයිවන්ගේ ”ප්‍රවේශය”, හැකි නම්, රාවයේ වෙනත් කිසි කර්තෘ මණ්ඩල සාමාජිකයෙකුගේ හෝ බාහිර නිත්‍ය ලේඛකයෙකුගේ ලියවිලි තුළින් පෙන්නුම් කරන්නැ යි මම ඔහුට යෝජනා කරමි. එසේ නම්, ”රාවයේ ප්‍රවේශය” යැයි වික්ටර් අයිවන් මෙහි දී හඳුන්වනවා ඇත්තේ වික්ටර් අයිවන්ගේම ප්‍රවේශය විය යුතුය. එය ”වික්ටර් අයිවන් ප්‍රවේශය” වශයෙන් හඳුන්වාගන්නේ නැතිව, ”රාවයේ ප්‍රවේශයක්” වශයෙන් ගෙනහැරපාන්නේ, වංචනිකව යන්න මගේ හැඟීම යි. ඔහුගේ පෞද්ගලික ප්‍රවේශය රාවයේ විසිපස් වසරක ප්‍රතිරූපයේ හයියෙන් අධිනිශ්චය කර ගැනීමක් ඒ මගින් සිද්ධ වන නිසා ය. එසේ වුව ද, ”රාවය යනු මම ය” යනුවෙන් වික්ටර් අයිවන් කියන්නේ නම්, (එසේ කීමට ඔහුට අයිතිය තිබේ) ඉහත චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට ද මම මැළි නොවෙමි.

මා ඇතුළු ඉහත සඳහන් කණ්ඩායම පසෙකින් තබන්න. වික්ටර් අයිවන්ගේ තර්කයට අනුව, ඔහු හැරුණු කොට ”ප්‍රකෘති සිහියෙන්” ක්‍රියා කරන තව එක ලේඛකයෙකු ඔහුගේ රාවය කර්තෘ මණ්ඩලයෙන්ම සොයා දෙන ලෙස දෙවනුව මම ඉල්ලා සිටිමි. මන්ද යත්, වික්ටර් අයිවන් එක පසෙකටත්, සෙසු කර්තෘ මණ්ඩල සාමාජිකයන් අනිත් පසටත් දැම්මොත්, වික්ටර් අයිවන් ලියන්නේ ”ප්‍රකෘති සිහියෙන්” නම්, අනිත් අය ලියන්නේ ”විකෘති සිහියෙන්” විය යුතු බැවිනි. අනිත් අය ”ප්‍රකෘති සිහියෙන්” නම් වික්ටර් අයිවන් ”විකෘති සිහියෙන්” විය යුතු බැවිනි. ඒ තරමට, එම දෙපාර්ශ්වය, ”ප්‍රවේශයක්” සම්බන්ධයෙන් ගත් විට, නොපෑහෙන බැවිනි.

දැන්, ඔහුගේ ප්‍රහාරයට ඉලක්ක වන කණ්ඩායම විනාශකාරී ලූ/ එම වචනයේ තත්කාලීන බර අනුව බලන විට එය, වර්තමාන ”දේශප්‍රේමීන්” සිය විරුද්ධවාදීන්ට අලවන ලේබලයට කියාපු විශේෂණයකි. තමන්ගේ විරුද්ධවාදීන්ව පාලක පැලැන්තියේ උදහසට ලක්කිරීම සඳහා ”දේශප්‍රේමීන්” පාවිච්චි කරන වෛරී භාෂාවට එය සමරූපී ය. එසේ උසිගැන්වීම ආරම්භ කිරීමෙන් පසු ඔහු ලියන්නේ මේ කියන පිරිස ”අන්තවාදී තැනකට තල්ලූ කිරීමට බලපෑ හේතු සාධාරණව සළකා බැලිය යුතු” බවයි.

එහි දී, යුද්ධයට විරුද්ධව පෙනී සිටීම සහ එම යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය වීම නිසා ඇති කරගත බද්ධ වෛරයක් මත මා ඇතුළු මේ පිරිස ක්‍රියා කරති යි වික්ටර් අයිවන් කියන විට, මට සිතෙන්නේ, රාවයට වඩා අද දවසේ ඔහු ඔබින්නේ සිළුමිණ කර්තෘත්වයට බව යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිගාමීත්වයට විරුද්ධ වන්නන්, ”ප්‍රකෘති සිහියෙන් තොර”, ”හැඟීම්බරව සහ කෝපයෙන්” හැසිරෙන්නන් වන අතරේ ඔහු වනාහී, ”සන්සුන්ව හා තර්කානුකූලව” කරුණු දක්වන කෘතහස්ත මාධ්‍යවේදියා ය.

මෙහි දී කැපී පෙනෙන විශේෂත්වය වන්නේ, වික්ටර් අයිවන්ගේ මේ ”තර්කානුකූලව සහ සන්සුන්ව” කරුණු දැක්වීමේ පුරුද්ද උපදින්නේ, මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව වීම යි. මේ නිසා, තමන්ගේ වර්තමාන ”සන්සුන්” භාවිතාව ගැන ඔහු මුලින්ම ස්තුතිවන්ත විය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. කුඩා ළමයෙකු සේ කෝපයෙන් පුපුරමින්, ද්වේෂයෙන් දැවෙමින්, එක් ගැහැනියක් වෛශ්‍යාවක් යැයි ලිවීම සඳහා මළගිය පිරිමින්ගේ සාක්ෂි පවා තමාගේ සහායට කැඳවමින්, ආවේගකාරීව චෞර රැජිණ ලියූ වික්ටර් අයිවන්, එහි දෙවැනි කොටසක් වශයෙන්, චෞර රාජයා (හෝ චෞර අධිරාජයා) ලියනු වෙනුවට, චෞර රාජ්‍යයක් ගැන ලිවීමට පෙළඹීම, කොකා ඉගිල්ලූණු මොහොත යි.

එය, වික්ටර් අයිවන්ගේ වර්තමාන දේශපාලනයේ අපූරු කතා වස්තුව යි. රැජිණක් ගැන අතිශය පුද්ගලවාදීව ලියූ ඔහු 2005 න් පසු රජෙකු ගැන නොලියා රාජ්‍යයක් හෙවත් ක්‍රමයක් ගැන ලියන්නට පෙළෙඹෙන්නේ රජෙකු ආරක්ෂා කිරීම සඳහා මිස රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීමක් සඳහා නොවේ. ඔහුගේ නූතන ප්‍රවාදය වන්නේ, පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් මිස, පුද්ගලයන් හෝ ආණ්ඩු වෙනස් කිරීමෙන් පලක් නොවන බවයි. බැලු බැල්මට මෙය විදග්ධ ආස්ථානයකි. එපමණක් නොව, ග්‍රාම්‍ය අර්ථයකින් ගත් විට, එය මාක්ස්වාදී ද වෙයි. එහෙත් එම තර්කය හතර පැත්තෙන් වෑහෙන කූට ප්‍රයෝගය වසං කිරීමට, වික්ටර් අයිවන්ට තමන්ගේම ඉතිහාසය ඉඩ දෙන්නේ නැත. ගත වූ අවුරුදු විසිපහෙන් අඩු වශයෙන් අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ, පවතින ක්‍රමය සහ පුද්ගලයා නැමැති සාධක දෙක අතර අනුපාතය තුළ වික්ටර් අයිවන් සිටියේ පුද්ගල සාධකය පැත්තේ බව නොදන්නෝ කවරහු ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් එන් සිල්වා, හැරී ජයවර්ධන සහ ලෙනින් රත්නායක ඇතුළු බොහෝ පුද්ගලයන්ට එරෙහිව ඔහු ගෙන ගිය නිර්දය අරගලයේ දී, ක්‍රමයට එරෙහි සටනක අංශ= මාත්‍ර සෙවනැල්ලකටවත් ඉඩක් නොවුණි. එහි දී ඉලක්ක ගොදුර වශයෙන් කවදත් සිටියේ නිශ්චිත පුද්ගලයෙක්ම යි. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු වික්ටර් අයිවන්ගේ මේ මුහුණුවර අංශක 180 කින් කරණම් ගැසුවේය. චෞර රැජිණ ගෙන් පසු චෞර රජෙකු ගේ කෘතියක් වෙනුවට කෙලින්ම චෞර රාජ්‍යයක් වෙත ඔහු යන්නේ එබැවිනි. දැන් මෙය, වික්ටර් අයිවන්ගේ දේශපාලනික පර්යාලෝකයේ වෙනසක් ද? මම එසේ නොසිතමි.

වික්ටර් අයිවන් කවදත් පුද්ගලවාදී යි. එදත් එහෙම යි, අදත් එහෙම යි. ඉස්සර, දූෂණය සහ අසාධාරණය ඉදිරියේ, ක්‍රමයට උඩින් ඔහුගේ පෑන හැසිරුණේ පුද්ගලයාව ඉලක්ක කරගනිමිනි. අද එමෙන් විසිතිස් ගුණයක දූෂණයක් සහ අසාධාරණයක් ඉදිරියේ ඔහුගේ ඉලක්කයට හසුවන්නේ පුද්ගලයා නොව, පවතින ක්‍රමය යි. මේ වනාහී, ප්‍රවේශයන් දෙකක් නොවේ. එදා පුද්ගලයාට එරෙහිව යාම සඳහා පවතින ක්‍රමය පිළිකන්නට තල්ලූ කළ වික්ටර් අයිවන්, අද පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා එම ‘පවතින ක්‍රමය’ ආලින්දයට කැඳවයි. ක්‍රමය වෙනස් කරන තෙක් ආණ්ඩු වෙනස් කිරීමෙන්, එනම් රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමෙන් පලක් නැතැ යි, දිව්රා කියයි. මේ උපාය මාර්ගික වෙනස පදනම් වන්නේ, වෙන කිසිවක් මත නොව, යම් පුද්ගලයෙකුව විනාශ කළ යුතු ද, ආරක්ෂා කළ යුතු ද යන කේන්ද්‍රීය කාරණයේ වෙනස මත පමණි.

ඔහුගෙන් යෝජිත ක්‍රමවේදය අනුව (මැතිවරණයකින් පමණක්) පවතින ක්‍රමය වෙනස් කිරීමට චිරාත් කාලයක් ගතවන නිසා චිරාත් කාලයක් අදාළ පුද්ගලයාව ආරක්ෂා කෙරෙනු ඇත. ඉතිං, වික්ටර් අයිවන්ගේ වර්තමාන දේශපාලනය සම්පිණ්ඩනය කළොත්, පුද්ගලයා විනාශ කිරීමේ දේශපාලනයක සිට, පුද්ගලයා සහ ක්‍රමය යන දෙකම එක විට ආරක්ෂා කිරීමේ හුරුබුහුටි දේශපාලනයකට අද ඔහු උරදී ඇති බව පෙනේ. එවැන්නෙකුට, අප වැන්නන්, ”හැඟීම්බරව සහ කෝපයෙන්”හැසිරෙන, ”ප්‍රකෘති සිහියෙන් තොර, විනාශකාරීපුද්ගලයන් වශයෙන් පෙනීම අරුමයක් නොවේ.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]