Image Credit:Facebook/Groundviews

[‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/
‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය]

අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන් පිළිදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ මුස්ලිම් කොන්ග්‍රසය විසින් සිය මතය ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන් එහිදී එම ප්‍රචණ්ඩත්වය විසින් ඇති කල විනාශයත්, එයට වගකිව යුත්තන් පිලීබදව හැගවුම් ද සහිත එම ප්‍රකාශයන් බීබිසිය වාර්තා කර තිබෙන අතර පහතින් දැක්වෙන්නේ උපුටාගත් එම ප්‍රකාශයන්ය.

අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා – නීතිවේදීන්

10426587_10154289566395640_1428721462825386713_n

කොළඹ පැවැත්වෙන බොහෝ විරෝධතා රැලිවලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගන්නා පොලිසිය, අලුත්ගමදී කලහකාරී තත්වයක් මතුවීමට අනුබල දී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය ඒ බව කියා සිටියේ, පසුගිය ජුනි 15, 16 දිනවල හටගත් ගැටුම්වලින් විනාශයට පත් වූ අලුත්ගම ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ‘පොලිසියේ නීති විරෝධී පියවර වෙනස් කිරීමට ශක්තිය ඇති එකම පුද්ගලයා රජයේ නීතිපතිවරයා

විශේෂයෙන්ම ඒ අවස්ථාවේ අලුත්ගම පැවති වාතාවරණය අනුව, බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැලිය සහ පෙළපාලියට අනුමැතිය පළ කිරීමෙන් පොලිසිය වැළකිය යුතුව තිබුණු බවද නීතිවේදී උපුල් ජයසූරිය, සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේය.

මොකද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා,” යනුවෙන්ද සඳහන් කළේය.

නීති විරෝධීයි

එබැවින් අලුත්ගම රැලිය පවත්වා කිසියම් “අයුතු ලාභයක් ලබා ගැනීමට” ඉහල නිලධාරීන් උත්සාහ දරා තිබෙන බව පෙනී යන බවත් ඔහු සඳහන් කළේය.

අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා

ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව විනාශ කිරීමට තුඩු දෙන සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් නීතිඥ සංගමය කිහිප වතාවක්ම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පවසන නීතිවේදී උපුල් ජයසූරිය, ඔහු එසේ පියවර ගත්තේ නම් අලුත්ගම සහ බේරුවල හටගත් ගැටුම් වලක්වා ගත හැකිව තිබුණු බවද සංදේශයට කියා සිටියේය.

බොදු බල සේනා සංවිධානය හෝ එහි ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගැටුම්වලට අනුබල දෙන ප්‍රකාශ කළ බවට සාක්ෂි නැතැයි පොලිසිය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි මාධ්‍යවල සහ යූටියුබ් වැනි මාධ්‍ය ජාලවල සටහන්ව තිබෙන බවද කියා සිටියේය.

සාක්ෂි නැති බවට පොලිසිය කරන ප්‍රකාශය නීති විරෝධී බවද ඔහු කියා සිටියේය.

“පොලිසියේ ඒ නීති විරෝධී පියවර වෙනස් කිරීම සඳහා ශක්තිය ඇති එකම පුද්ගලයා තමයි රජයේ නීතිපතිවරයා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා අත් අඩංගුවට ගත යුතු අය අත් අඩංගුවට ගන්න කියල පොලිසියට නියෝග කරාවි කියල,” යනුවෙන්ද ඔහු පැවසීය. @bbc

##
අලුත්ගම මැරයන් අපි හඳුනනවා
– රනිල්

10428615_10154289563960640_8701426359431369550_n
සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ, ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය.

හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ සංදේශයට කියා සිටියේය.

අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.@bbc
##
අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි – මුස්ලිම් කොන්ග්‍රසය

10473369_10154289557185640_7081695772301698828_n
අලුත්ගම සහ බේරුවල හට ගත් ගැටුම්වලින් මරුමුවට පත්වූවන් ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බරපතළ සැක පවතින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

වෙඩි වැදී මියගිය පුද්ගලයන් පිහි ඇනුම් හේතුවෙන් මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පවසන මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් එම්ටී හසන් අලි, පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවද බීබීසී යට කියා සිටියේය.

බලපිටියේ රෝහලට ඇතුළත් කළ සියලු දෙනා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි බව තමා රෝහලේ කළ සංචාරයකදී දැන ගන්නට ලැබුන බවද ඔහු සඳහන් කළේය.

ගැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට අයත් සාමාජිකයන් එම ජනාධිපති කොමිසමට ඇතුළත් කළ යුතු බව ද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා පවසයි. @bbc

ස්තූතිය-බීබීසී