“රවීන්ද්‍රන් මයුරන්” කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ ‘ලොක්කා’. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ…එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක හීනයයි! මයුරන් පුතාව හැබැහින් දකින හීනෙ. මේ ලියවිල්ල ලියන මොහොතෙත් – ඔබ කියවන මොහොතෙත් අම්මා ඒ හීනෙ එහෙමම දකිනවා. මං රෝස්මලර් අම්මගෙ ඇස් දෙකට එබෙනවා….

ළඟ ම අන්තිම මතකෙදි අම්මා, ‘මයුරන්’ පුතාව දකින්නෙ 2011 පෙබරවාරි 28 උදේ. ආයෙත් ඒ හදවත අම්මට මුණගැහෙන් නැහැ. ඒත් එක මොහොතකදි මේ මෑතක 2015 පෙබරවාරි 27 වන දා මයුරන් ජීවමාන වෙනවා. හැබැයි අම්මගෙ උත්ථාන සෙනෙහස ඉස්සරහ නෙමෙයි…නොහිතපු නෑදෑයො පිරිසක් ඉදිරියෙ. මේක පුදුමයක් නැති සහතික ඇත්ත කතාවක්. එතැන දැනට කොමාවක් තියමු. 2011දි අතුරුදහන් කරන්න කලින් 2009 මැයි මාසෙ 05 වන දා මයුරන්ගෙ තටු මුල් වරට සිඳෙනවා. හරියටම කිව්වොත් සිඳෙනවා නෙමෙයි, සිඳිනවා. මුලින්ම අතීත කතාව ලිහාගෙන ඉමු.

මයුරන් උතුරු අහස යට මුලින්ම ඇස් අරින්නෙ 1985 ජුනි 21වනදා. බාධක – ගැටුම් – වැටුම් – රිදුම් මැද්දෙ වුණත් ජීවිතේ විඳින – ආදරේ හොයන මයුරන් 2006 නොවැම්බර් 03වනදා විවාහප්‍රාප්ත වෙනවා. යුධ සමයේ අවසන් අදියරේදි, ඒ කියන්නෙ 2009 මැයි 05 වනදා මයුරන්ව පළමු වරට බලෙන් රැගෙන යනවා. ඒකත් එක්තරා විදිහක රාජ්‍ය පැහැරගැනීමක් ; රාජ්‍යය විසින් සමීපතයන්ගෙන් දරුවා අතුරුදහන් කිරීමක්. ‘නෙලුක්කුලම් රජයේ පුනරුත්ථාපන කඳවුරට’ තමයි මයුරන්ව රැගෙන යන්නෙ. ඒ ගැන අම්මා දැනගන්නෙ පස්සෙ. හේතුව හැටියට පාලකයො දක්වන්නෙ ‘LTTEයට එක් දිනක් සම්බන්ධ වෙච්ච අය පවා පුනරුත්ථාපනයට ලක් කරනවා’ කියලයි. රාජ්‍ය මර්දනය පීඩිතයා මත්තෙ ඉතිහාසෙ ඉඳන් ම ක්‍රියාත්මක වුණේ එහෙමයි. අදාළ පුනරුත්ථාපන කාලෙන් පස්සෙ ගම් බිම් බලා එන්න මයුරන්ට හැකිවෙනවා. ඒ වගේම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයගෙ අත්සන, අනුමැතිය එක්ක ‘සමාජගත කිරීමෙ සහතික පත්‍රෙකුත්’ මයුරන්ට ලැබෙනවා. පිට ප්‍රදේශ වලට පවා ගිහින් රැකියාව කරන්න පුළුවන් කියලත් දැනුම් දෙනවා. ඒත් ප්‍රායෝගිකව ‘නිදහස් ජීවිතයක්’ මේ පුත්‍රයට ලැබෙන් නැහැ.

2011 පෙබරවාරි 28 වැනිදා රජයේ ආරක්ෂක අංශ මයුරන්ව නැවත අතුරුදහන් කරනවා. ඒ කාලෙ වෙනකොට තමන්ගෙ පවුලත්තෙක්ක මයුරන් ජීවත් වුණේ, ‘සෙට්ටිකුලම් අරුණාචලම්’ කඳවුරේ. ඊට පස්සෙ අම්මා, ලොක්කා ගෙදර නාව ප්‍රශ්නෙට උත්තර හොයන් යන්න පුළුවන් හැම තැනටම යනවා. මුලින්ම කඳවුරු පොලීසියට – එතැනින් කිලිනොච්චි පොලීසියට…ඒත් මේ හැම තැනෙකින්ම අම්මගෙ ප්‍රශ්නෙ – දරු දුක තේරුම් ගන් නැහැ. ‘පණිවිඩයක් තිබ්බොත් කියන්නං’ වගේ සුරංගනා කතා විතරයි අම්මට උත්තර හැටියට ලැබෙන්නෙ. එහෙම වුණත් නොසැලෙන රෝස්මලර් අම්මා, වැලිකන්ද ප්‍රධාන කමාන්ඩර්ට පවා මේ ගැන දන්වලා පුතා ගැන නිශ්චිත තොරතුරු අහනවා….පමා නොවී වවුනියාවෙ ICRC කරා ගිහින් යුක්තිය ඉල්ලනවා. 2014 නොවැම්බර් මාසෙ ජනාධිපති කාර්යාංශෙට මේ ගැන දැනුම් දෙනවා. නමුත් පුතාගෙ එකමෙක හිනාවක්වත් – එකමෙක කඳුලක්වත් අම්මට දකින්න ලැබෙන් නැහැ. කාලෙට සමපාතව ‘කඳවුරු ජීවිතයක් ගත කිරීම නිසා’ එළියෙ ක්‍රියාකාරී දෙමළ දේශපාලකයො මුණ ගැහෙන්න අවම ඉඩක්වත් ලැබෙන් නැහැ….. හරි, හිතේ දුකයි – ඇහේ තෙතයි එක්ක කාලෙ පියාඹනවා. මේ වගේ අඳුරු කාල පරිච්ඡේදෙකින් පස්සෙ ජීවන පිටුව වෙනත් පැත්තකට පෙරලෙන්න පටන් ගන්නෙ ගිය පෙබරවාරි 27වනදා. ඔන්න දැන් ලියැවිල්ල මුලට අපි ආපස්සට යනවා….

2015 පෙබරවාරි 27 වන දා මයුරන් ජීවමාන වෙනවා. ඒ ‘මුලතිව්’ වල ‘මාන්ජෝලෙයි’ රෝහලේදි. එදා මයුරන්ගෙ නෑයො පිරිසක් රෝහලට ගිහින් ඉන්න මොහොතක ඔවුන් මයුරන්ව හැබැහින් දකිනවා. කතා කරනවා. එතකොට මයුරන් ඉඳලා තියෙන්නෙ සිවිල් පිට හිටපු ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් එක්ක. මයුරන් ඇවිත් තියෙන්නෙ ‘මුත්‍රා පරීක්ෂණේකට’. එතැනදි ඔවුන්ට මයුරන් මොනවද කිව්වෙ ? මෙන්න මයුරන්ගෙ හෘද සාක්ෂිය!

“මාව ඔවුන් රැගෙන ගියා. අරන් ගිහින් හොඳටම පහර දුන්නා. ‘පුරුෂ ලිංගයට’ දැඩි තුවාල සිදු කිරීම් වගේම පහර දීම් සිදු කළා. අද මේ ආවෙ මුත්‍රා පරීක්ෂණේකට….”

ඊළඟ නිමේෂෙදි මයුරන් පුත්‍රයා, ඔවුන්ගේ සමාගමෙන් මිදිලා රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් යටතට පත්වෙනවා. ඒත් නෑදෑ හිතවතුන්ට ‘අලුත් බලාපොරොත්තුවක්’ දැනෙනවා. එතැන හිටපු අය, ” මයුරන් ජීවතුන් අතර ඉන්නවා කියලා ” හොඳටම දන්න – සාක්ෂි ලබා දෙන්න ඔවුන් කැමතියි. වේදනා කොච්චර අසුබ වුණත් මේ සුබ පණිවිඩේ ලැබුණට පස්සෙ ‘රෝස්මලර් අම්මගෙ’ ජීවිතාශාව තව තවත් පිබිදෙනවා. අම්මා වහාම ‘මානව හිමිකම් කොමිසම’ට මේ ගැන දැනුම් දෙනවා. ඒත් එතැනදිත් ලියාපදිංචි කර ගැනීම විතරයි වෙන්නෙ. නිශ්චිත තොරතුරු වලට බාලගිරි දෝසෙ….

ඉතින්, විවාහක – පුංචි කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් වෙන – රෝස්මලර් අම්මගෙ පණ – “රවීන්ද්‍රන් මයුරන්” අතුරුදහන් කෙරුවත් “සාක්ෂි සහිතව” දැනුත් ජීවතුන් අතර සිටිනවා. ඒ ගැන හොඳාකාරවම පැහැදිලියි. ‘රාජපක්ෂ ආණ්ඩුව’ පැවති අවධියෙ ‘අතුරුදන් දරුවො’ ගැන ඇහුවම මහින්දයි,වාසුයි කිව්වෙ ‘කොල්ලො කෙල්ලො පැනලා ගියා කියලයි, අනෙක් අය රට යන්නැති කියලයි’. එතකොට අපි හිටියෙ අඬලා හිනාවෙනවද ? හිනාවෙලා අඬනවද ? මනසිකාරෙනුත් එහා කලකිරීමෙන්…එතකොට තමන්ගෙ උප්පත්ති නිජ-භූමිය පවා අහිමි වෙච්ච මේ දරුවො කොහේ හරි ඉඳන් ‘ආදරේ කියන්නේ කඳුලයි ‘ කියන කාරණේ මුමුණන්නැති….

දැන්, වෙනත් පාලක පත්වීමක් ඇතුළෙ ජනාධිපති,අගමැති ඇතුළු සියලුම පාලක බලධාරීන්ගෙන් වගේම මානව හිමිකම් ආශ්‍රිත ආයතනයන්ගෙන් අපි ඉල්ලන්නෙ ‘යුක්තිය වගේම සාධාරණත්වය’ ඉෂ්ට කරන්න කියලයි. ඒ වගේම රෝස්මලර් අම්මගෙන් උදුරාගත්ත “හුස්ම” ආයෙමත් ඒ ළයාදර පෙනහලු වලට මුදාහරින්න කියලයි. මොකද, ජීවිතේට කොච්චර හිනා එකතු වුණත් මෙහෙව් බිමක ” ආදරේ කියන්නේ, කඳුලයි! ”

10526161_625099914284290_1351076398723688294_nකසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala