‘විකල්ප’ විසින් දිගන ප්‍රදේශය මූලික කොටගෙන මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ම්ලේච්ජ ප්‍රහාර එල්ලවීමේ ප්‍රධාන සිදුවීම සිදුවී දින 11කට පසු මෙම සටහන තබන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා සෙබලුන්(STF) හා පොලිස් ආරක්ෂාව යටතේ ඉහත දේපල හානි, ආගමික ස්ථාන ගිනිබත් කිරීම් ඇතුළු සිදුවීම් වලට බොහෝ තැන් වලදී එළිපිටම සහය දක්වා තිබෙන බවටත් ඉතා සංවිධානාත්මකව සිදු කළ මෙම ප්‍රහාරයන්ට එමඟින් තටු ලැබී ඇති බවට වන සාක්ෂින් සමඟය.

අප සිද්ධිය සිදු වූ ප්‍රදේශ වලට සෘජුව සංචාරය කොට කරන ලද අධ්‍යන හා නිරීක්ෂණත්, මෙම සිද්ධීන් ඇසින් දුටු සාක්ෂිකරුවන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් විසින් කරන ලද ප්‍රකාශ හා එහිදී විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ ලබාගත් වීඩියෝ දර්ශන මෙයට පදනම් වේ. පුරවැසියන්ගේ ආරක්ෂාව පතා ඇතැම් සාක්ෂි පළකළ අයගේ නම් සඳහන් නොකරන අතර තම අනන්‍යතාවය පළ කිරීමට කැමැත්ත පලකළ අයගේ පමණක් නම් හා ජායාරූප මෙම ලිපියෙහි පලකරමු.

ලොරි රථ රියදුරෙකු වන අම්බාල පුවක්ගහදිවෙල, පුස්ගොවිට පදිංචිව සිටි හතලිස් එක් හැවරිදී දෙදරු පියෙකු වන එච්.බී. කුමාරසිංහ, 2018 පෙබරවාරි මස 22 වන දින අලුයම 1 ට පමණ තෙල්දෙණිය නගරයේ පුද්ගලික ඉන්ධන පිරවුම් හල් පරිශ්‍රයකයට කඩා වැදී පිරිසකගේ පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්වයේ පසු වී පසු ගිය මාර්තු 2 වන දින මහනුවර මහා රෝහලේදී මිය ගොස් තිබේ. ඊට පසුදින එනම් මාර්තු 03 වන දින ඔහුගේ මෘත ශරීරය අවසන් කටයුතු සිදු කිරීමට තෙල්දෙණිය නගරයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් තිබෙන අතර දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකිරීම ඒ අනුව මාර්තු මස 05 වන සදුදා දිනට යොදා ගෙන තිබේ. මාර්ගයේ ගමන් ගත් තම ත්‍රිරෝද රථයට ඉස්සර කිරීමට ඉඩ නොදිම හේතුවෙන් කුපිත වූ ත්‍රිවිල් රථයක සිටි බිමත් යැයි කියන මුස්ලිම් තරුණයන් සිවූ දෙනෙක් මෙම ප්‍රහාරය සිදු කොට තිබේ. පහර කෑමට ලක්වූ කුමාරසිංහ සිංහල ජාතිකයෙකි. ඒ අතර සැකකරුවන් සම්බන්ධ පරීක්ෂණ කටයුතු එම කාලය පුරාම මන්දගාමිව සිදු වූ බවට චෝදනා පොලිසිය වෙත දැන් ඉදිරිපත් වේ.

කෙසේවෙතත් මෙම කරුණ පදනම්ව කාලයක් පුරා සංවිධානය වෙමින් පැවති ජාතිවාදී සංවිධාන මරණයේ වාසිය ගන්නේ මෙම ප්‍රහාරය “ම්ලේච්ජ, කෲර ජාතිවාදී පහර දීමක්” ලෙසට අර්ථ කථනය කරමිනි. ඒ අනුව මියගිය කුමාරසිංහ ගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට පවුලේ සමීපතමයන් කිසි කෙනෙකුත් නොදන්නා පුද්ගලයින් රැසක් පැමිණ තිබේ. විශේෂයෙන්ම කුප්‍රකට බොදු බල සේනා සංවිධානයේ ඥාණසාර භික්ෂුව ද ඒ අතර වේ. පිට ප්‍රදේශ වලින් බස් රථ වලින් ද පිරිස් පැමිණ තිබෙන්නේ ඒ අතරතුරය.

කෙසේවෙතත් අවසන් කටයුතු සිදුවන දවසේ යම් කිසි කලහකාරී සිදුවීමක් සිදුවෙතැයි බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු අනුව පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්ය බලකා ආරක්ෂාව තෙල්දෙණිය, දිගන ඇතුළු ප්‍රදේශ වෙත ලබා දෙන බව නිල ලෙසද නොනිල ලෙස කට කතා හරහාද මුස්ලිම් ජනතාව වෙත පැමිණ තිබේ. මේ අතර තුර 2018.03.04 වෙනි දින සවස වයස අවු: 17-30 අතර වයස් වියැති තරුණ පිරිසක් විසින් ත්‍රිවිල් රථ වලින් පැමිණ පහත දැක්වෙන පත්‍රිකාව දිගන හා ඒ අවට කඩ සාප්පු වෙත බෙදා හැර තිබේ.

2018.03.05 වන දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට දිගන, තෙල්දෙණිය, මැදමහනුවර, රංගල ප්‍රධාන කොටගත් සියලු ප්‍රදේශ වල කහ කොඩි හා සුදු කොඩි ඔසවා තබා ලෙස “ශ්‍රී සිංහළේ බුද්ධි මණ්ඩපය ,එක්සත් ජනතා ආරක්ෂණ සභාව” නමින් මුද්‍රිත පත්‍රිකා වලින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් රජයේ නිල නිවේදනයක් මඟින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට නැති අවස්ථාවක සියලු කඩවල් වසා තබා නිවෙස්වලට වී සිටීමට පොලිසිය විසින් ද මහජනයා දැනුවත් කොට තිබේ. “ගෙවල් වලට වෙලා ඉන්න. එලියට එන්න එපා. ආරක්ෂාව ගැන අපි බලාගන්නම් යයි “පොලිසිය විසින් ද මුස්ලිම් ප්‍රජාව වෙත පවසා තිබේ. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ. පළමු ගැටලුව පැන නගින්නේ එතැනදි ය. රජය විසින් ශෝක දිනයක් ‘නිල නිවේදනයක්’ මඟින් නිකුත් කොට තිබුනේ නැත. එසේ නම් එය නිල ලෙස පොලිසිය විසින් ගන්නේ කෙසේද ? “ශ්‍රී සිංහළේ බුද්ධි මණ්ඩපය ,එක්සත් ජනතා ආරක්ෂණ සභාව” යනු කවුරුන්ද? ඒ අනුව මෙය දින කිහිපයක මෙහෙයුමක් බව ඉතා පැහැදිලිය.

එහෙත් පොලිසිය විසින් ආරක්ෂාව සපයන බවට වන විශ්වාසයත් බලාපොරෝත්තුවත් මත සිටි මුස්ලිම් ජනතාවට සිදු වුයේ අනෙකකි. මිය ගිය කුමාරසිංහගේ නිවාස හා දිගන නගරය අතර දුර කිලෝමීටර් 30කට වැඩිය. ඒ අනුව දිගන මහියංගන පාරේ එක පෙලට කිලෝ මීටර් 10 ක වැනි දුර පරාසයක පිහිටි බලගොල්ල, කෙන්ගල්ල, දිගන ප්‍රදේශ වලට පස්වරු 1- 2 ත් අතර කඩාවැදුනු 2000 කට ආසන්න පිරිසක් මුස්ලිම් පල්ලි, ව්‍යාපාරික ස්ථන, නිවාස, යානවාහන පමණක් ඉතා සංවිධානාත්මකව විනාශ කරන්නෙත් ගිනිබත් කරන්නෙත් කොහොමද?

දිගන නගරය තුළ පමණක් සැලකුවත් සිංහල, දෙමල, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන එකපෙලට පිහිටා තිබියදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පමණක් මොවුන් විසින් හානි කිරීමට වග බලා ගෙන තිබේ. කඩ සාප්පු වසා දැමීම මෙම ක්‍රියාවන් පහසු කොට තිබේ.

ආරක්ෂාව සපයනවා යයි කියූ පොලිසිය හා විශේෂ කාර්ය බලකායත්, පොලිසියත් මේ සිදුවීම් වනතෙක් සිටියේ කොහිද? පල්ලේකැලේ, තෙල්දෙණිය, මැණික්හින්න හා රංගල හා මහනුවර පොලිසියද පිහිටා ඇත්තේ දිගන නගරයට අවම මිනිත්තු 11ක කාලයකුත් උපරිම මිනිත්තු 47 ක ප්‍රවේශ කාලයක් අතර තුරය. එහෙත් වැඩ වැදගත් වන්නේ එදින විශේෂ ආරක්ෂාවද පැවති දිනයක් වීමය.

පහත ගුගල් සිතියම් නිරීක්ෂණය කරන්න.

දිගන හා පල්ලේකැලේ පොලිස් ස්ථානය අතර දුර 4.2 km
මිනිත්තු 11
දිගන නගරය හා මැණික්හින්න පොලිස් ස්ථානය අතර දුර 5.2 km
මිනිත්තු 12
දිගන නගරය හා තෙල්දෙණිය පොලිස් ස්ථානය අතර දුර 8.2km
මිනිත්තු 14
දිගන නගරය හා රංගලපොලිස් ස්ථානය අතර දුර 17.3 km
මිනිත්තු 34
දිගන නගරය හා මහනුවර පොලිස් ස්ථානය අතර දුර 17.4 km
මිනිත්තු 47

මෙයට අමතරව, යුධ හමුදා කඳවුරු කීපයක් ද, රයිෆල් බලකා කඳවුරක් ද පල්ලේකැලේ අවට පිහිට තිබේ.

පොලිස් නිලධාරීන්ගේ හා විශේෂ කාර්ය බලකා බටයින්ගේ හැසිරීම පිලිබඳ ජනතා අනාවරණ

මේ පිලිබඳ ජනතාව හා ආගමික නායකයින් දරණ මතය නම් එදින සිදුවීම ප්‍රධාන කොටගෙන ඇදිරි නීතිය පැවති දින කිහිපය තුළ දී පවා ගිනිබත් කිරීම් හා විනාශ කාරී ලෙස හැසිරුණු ජාතිවාදීන් අමානුෂික ලෙස පහරදීම් සිදුකලේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අනු දැනුම හා උදව්වද මත බවයි. ඇතැම් තැන් හි ඔවුන් බලා සිටියදීමය.

අනෙක් අතට මුස්ලිම් ජනයාට පමණක් ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ ඔවුන් තමන් එලවා දැමු බවත් ප්‍රහාර සඳහා පැමිණි පුද්ගලයන්ට රිසි සේ හැසිරීමට ඉඩ දුන් බවත් කියති.


දිගන රජවැල්ල මස්ජිදුන් නූර් ජුම්මා මස්ජිද් මුස්‌ලිම් පල්ලිය

මේ දිගන රජවැල්ල මස්ජිදුන් නූර් ජුම්මා මස්ජිද් මුස්‌ලිම් පල්ලියේ සිදුවීම සිදුවන මොහොතේ එහි සිටි පහර කෑමකට සිටි නියාස් කාන් මහතා (45)

“පල්ලිය පැත්තට කට්ටිය එනකොටම මම එලියට ආවා බලන්න මොකක්ද කියලා. දවල් 1.55-2.05 ත් අතර වගේ සිද්ධිය වුනේ. තෙල්දෙණිය පැත්තේ ඉදන් 2000ක් විතර මාර්ච් එකේ එනවා කියලා ආරංචිය අවා. ඒ අය උඩට අවේ නෑ. කුණ්ඩසාලේ පැත්තෙන් එකපාරට 45 ක් විතර කට්ටියක් අවා. අපි ඔක්කොටම කඩ වහල ගෙදෙට්ට වෙලා ඉන්න කියලා පොලිසියෙන් කියල තිබ්බ. එයාලා ඔක්කොම බලාගන්නව කියලා. මන් විතරයි හිටියේ ඒ වෙලාවේ. මාව දැක්ක ගමන් “අඩෝ තම්බියා මෙහෙ වර” කියල හොඳටම ගහන්න පටන් ගත්ත. මං හිතුවේ නෑ මන් ඉතුරු වෙයි කියල. පොලිසියේ මහත්තයෙක් ඇවිත් මාව අතාරින්න කිව්වා. මං ගෙදර දිව්ව. හොඳටම බය වෙලා හිටියේ පස්සේ ළඟ සිංහල ගෙදරක නර්ස් කෙනෙක් ඉන්නවා. එයාල මාව වාහනෙම නුවර එක්කන් ගියා. ඇහැ ලඟ මැහුම් දාලා තියෙන්නේ දැන්. පල්ලෙහා STF බලන් ඉද්දි පල්ලියට ගැහුවේ මන් ඒක බය නැතුව කියනවා. එයාලා මේ පැත්තටවත් අවේ නෑ. ගහන්න පටන් ගද්දි” හෙතෙම කිවේය.


මේ දිගන රජවැල්ල මස්ජිදුන් නූර් ජුම්මා මස්ජිද් මුස්‌ලිම් පල්ලිය අසල 05 වන දින ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම CCTV කැමරාවක සටහන් වී තිබු දර්ශන කිපයක්. මෙහි ආයුධ රහිතව සිටින උසස් පොලිස් නිලධාරීයෙක් ද සමාන්‍ය පොලිස් නිලධාරින්ද හොදින් බැලුවිට නිරීක්ෂණය කළ හැකිය. එහෙත් පල්ලියට ප්‍රහාර එල්ලවන්නේ ඉන් පසුවයි. එසේ වන්නේ කෙසේද ? මේ පිරිස විසිරුවා හැරීමට පොලිසිය කටයුතු නොකලේ ඇයි? පැමිණි පිරිස ඉතා සැහැල්ලුවෙන් පොලිසිය සිටියදීම මාර්ගය අවහිර කරමින් සිටින අයුරු දැකිය හැකියි.

මේ තවත් අනෙක් බරපතලම සාක්ෂියකි. ‘විකල්ප’ කළ සංචාරයේදී එය ඉතා හොදින්ම පෙනිණි.

“මේ 05 වෙනිදා අපේ අරක්ෂාවට හිටපු STF අයට අපි පල්ලියේ දවල් කෑම හදපුව, කෑමත් උයලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. උදේ ඉදල හොඳට කතාබහ කරලා හිටියා. ඒත් එහෙම තියෙද්දී අපේ පල්ලිය ඇවිත් කුඩු කරලා ගියා. ඒ වෙලාවේ STF එකට මොකද වුනේ, අපි අහන්නේ එච්චරයි. වෙන මොනවත් අහන්න ඕනිද? ඕනි කෙනෙකුට ඒක තේරෙනව. ආරක්ෂාවක් දුන්නනම් කොහොමද එචචර ලොකු සෙනගක් ඇවිත්, ත්‍රිවිල්, බයික් වලින් මේ මහා දවාලේ ගල් ගහල, වීදුරු කඩලා පෙට්‍රල් බෝම්බ දාන්නේ. අපි දන්නවනේ සයිටම් එකට ළමයි එනකොට කොහොමද බ්ලොක් කරන්නේ කියලා. අඩුම තරමේ වතුර ටිකක් ගහල සෙනග විසුරුවන්න ආවද ?”

හානි කර තිබු DVR පද්ධතිය තිබු ස්ථානය

“අපිට නම් ආයේ STF එක එපා, එයාලා තමයි මේකේ ඉන්නේ. දෙනවනම් ආමි, නෙවි, එයාෆොර්ස් දෙන්න. එයාලා එනකම් එක දිගට මේ අය ගැහුවා. මට බයයි එත් මං කියනවා. STF එකෙන් තමයි පල්ලියට ගහන්න හොඳට ඇරලා දීලා තියෙන්නේ. පිටිපස්සෙන් එන දොරවල් පල්ලි එන අය ඇර අනිත් කවුද දන්නේ. පල්ලියට ගහද්දි එයාලා මේ පැත්තට වත් එන්නේ නැතුව හිටියා. ගෑනු ළමයි අවේ බයික් වල පිටිපස්සේ බෑග් දාගෙන. බෑග් වලින් ලොකු ගල් අරන් පල්ලිය ඇතුලට ගැහුවා. එක පොලිස් රාළහාමිකෙනෙක් මෙතන හිටියේ තුවක්කුවකුත් නැතුව. අනික CCTV DVR ඔක්කොම කුඩු කරලා”



හානියට පත් වු පල්ලියේ ස්ථාන කීපයක්.

මස්ජිදුල් ලාෆීර් ජුම්මා පල්ලිය, පල්ලේකැලේ -මව්ලවිතුමන්

“පැය භාගෙන් වගේ ගහල ඉවර කළා. ඊට පස්සේ පැයක් විතර හිටියා පාරේ කට්ටිය 200 ක් විතර හිටියා. පැය 2කක කාලයක් පත්තු වෙන තුරු කිසිම FORCES හෝ කිසිම නිලධාරියෙක් ඒකට ක්‍රියාවක් ගත්තේ නෑ .මේ පළාතට අයිති ළඟම පොලිසි 3 ක් තියෙනව. 4 km ඇතුළේ වගේ එහෙ මෙහෙ වෙන්න . අර ළමයා මැරුණ ගෙදර පැය 2 ක් විතර ගින්දර ඇවිලුනා. එළියේ තවත් වෙලා තිබුනා. අර ගින්න තියෙන කම්ම කවුරුත් අවේ නෑ .අපිට දුකයි සාමානියෙන් අධ්‍යාපනයට සම්බන්ධ දෙයක් නේ සයිටම් කියන දේ. සයිටම් university problem එකට involve වෙලා වැලැක්කුවා, ඒ කියන්නේ අධ්‍යාපනේ ලංකාවට අවශ්‍ය නෑ කියන එකයි. එකේ තේරුම, එකේ තේරුම උනේ. රටට ලෝකෙට පෙන්නුවේ. අධ්‍යාපනේ මෙහෙට අවශ්‍ය නෑ. එතකොට මේකෙන් කිව්වේ ත්‍රස්තවාදයක් අවශ්‍යයි කියලා.ඒ දෙක හොඳට එකට තියලා බැලුවොත් යම් කිසි දෙයක් තේරුම් ගන්නට පුළුවන්

මුහුණු රෙදි පටි වලින් හා ලේන්සු වලින්ද ආවරණය කොටගෙන, හෙල්මට් පැළද පොලු , කඩු, බැට්, පෙට්‍රල් බෝම්බ අතැටිව මහියංගන නුවර ප්‍රධාන පාරේ මෙම ස්ථාන, නිවාස සුනු විසුනු කලේ කාගේ සහයෙන්ද ? යන්න නැවතත් පැන නගින ගැටලුවයි.

හානියට පත් මස්ජිදුල් ලාෆීර් ජුම්මා පල්ලිය, පල්ලේකැලේ


ගිනි තැබීම සඳහා පොහොර බෑග් පිටින් ගෙනවිත් තිබු ලී කුඩු

[පැය දෙකක පමණ කාලයක් ගිනිගෙන ඇති මියගිය අබ්දුල් බාසිත් (26) ගේ නිවස (නිවස ඉදිරිපස කොටසේ කුඩා සේල් රබර් සෙරෙප්පු කඩයක් පවත්වා ගෙන ගොස් තිබේ. පිටුපසින් පිවිසුම් දොරක් නැත]

හුස්ම ගැනීමේ අපහසුතාවය මත මියගිය බාසිත් නිවසින් පිටතට එම නොහැකිව නිවසේ රැදී සිටියා යයි සැලකෙන ස්ථානය

විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සෘජුවම සම්බන්ධ වී ඇති තවත් එක සිදුවීමක් ද වාර්තා වේ. එනම් හිජ්රාපුර මුස්ලිම් පල්ලියට කඩා වැදුණු විශේෂ කාර්ය බලකා බටයන් විසින් පල්ලියේ සවස වතාවත් අවසන් කළ පිරිසකට හා මවුලවි තුමන්ට පහරදීම කලබවට වන චෝදනාව හා අමානුෂික ලෙස හා පහත් ලෙස පරුෂ වචනයෙන් බැන ඇති බවට වන සාක්ෂින්ය.

“STF කට්ටිය කඩාගෙන පල්ලියට ආවා. මං බයට ගිහින් ගේට්ටුව වහනකොටම මාවත් අල්ලගත්ත. හම්බයෝ කියල පටන් අරගෙන හොඳම කුණුහරුප කිව්වා. එව්වා මට කියන්ඩවත් බෑ දැන්. එතරම්ම නරක ජරාම වචන වලින් තමයි කතා කරේ, හම්ම්බ්යෝ තොපි ගහන්නද පොලු තියාගෙන ඉන්නේ කියල කෑගහගෙන ආව. ඒ වෙලාවේ වෙන දේවල් එක්ක අපි හොඳටම බය වෙලයි හිටියේ .” |‘විකල්ප’ වෙත අදහස් දක්වමින් තම නම සටහන් කිරීමට අකමැති වූ තවත් අයෙක් කියා සිටියේය.

ඒ අනුව හිජ්රාපුර පල්ලියේ මෙම සිදුවීම පිලිබඳ ආරංචියක් ලදුව ඒ පිළිබඳව විමසීම සඳහා මැද දුම්බර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු වන මහනුවර, දිගන, හිජ්රාපුර පදිංචි අබ්දුල් සලීල් මොහොමඩ් ෆාසිල් මහතා තම මිතුරෙකු වන ෆයිසාල් මොහොඩ් ගේ නිවසට ගොස් සිටියදි පැමිණි විශේෂ කාර්ය බලකා සෙබළුන් පෙට්‍රල් බෝම්බ පිරවු බෑගයක් ඔහු අතට දී එය තමන් විසින් රැගෙන ආ බවට පිළිගන්නැයි බලකරමින් අත් පා බැඳ දමා අමානුෂික පහර දීම් සිදුකොට තිබේ. ඉන් අනතුරුව ඔවුන් විසින්ම රෝහල කරා රැගෙන ගොස් තිබෙන අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින්ද ඔවුන් අන්තේට්ටම් වලට ලක් කොට තිබෙන බවට වාර්තා වේ. මේ මුස්ලිම් ජනයා ඇතුළු සමස්ත ජනයාගේ ආරක්ෂාවට සිටි STF නිලධාරීන් ආරක්ෂාව සපයා තිබෙන අයුරුය.

එසේම දිගන නගරයේ සම්පුර්ණවශයෙන්ම ගිනිගෙන දැවීගිය දුරකථන අලෙවි සැල් හිමියෙකු වන මොහොමඩ් නවාස් මොහොමඩ් තාරික් පැවසුවේ “කඩේ තිබ්බ බඩු ටික ඔක්කොම මංකොල්ල ගහල කඩේට පෙට්‍රල් බෝම්ම දැම්මේ .මගේ ගෙදර තියෙන්නේ කඩේ පිටිපස්සේ. අපි 13 දෙනෙක් එතකොට හිටිය බබාලත් එක්ක. වහලෙන් තමයි පැනගත්තේ. කඩේ ගින්න ඔටෝ නිවෙනකම්ම කවුරුත් අවේ නෑ. මන් ගල් ගහද්දීම පොලිසියට කෝල් කලේ, මේ පහළ ටවුමට අපි එන ගමන් කියල කිව්වා එත් මගේ කඩේ ගින්න සම්පුර්ණයෙන් පත්තු වෙලා පත්තු වෙලා ඔටෝම නිමිල ගියේ. විනාඩි 40 ක් විතර ගියපුවාම තම කට්ටිය ආවේ”

මේ සියල්ල සිදුවන විට දිගන නගරයේ ආරක්ෂාවට පොලිසියද STF බටයන්ද සිටි බව අවධාරණය කළ යුතුය.

ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතිදින කීපය තුළ “ගහලා පලයල්ලා, උඹලට පැයක් දෙනවා” යයි ප්‍රචණ්ඩත්වය අතින් ගෙන පැමිණි මැර පිරිස් වලට විශේෂ කාර්ය බලකා බටයන් කියූ බවටද තොරතුරු අප වෙත ලැබී තිබේ.

ඒ අනුව මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී පැමිණි පිරිස් අඹතැන්න වෙලේ කඩේ ප්‍රදේශය ආශ්‍රිතව ආරක්ෂක අංශ කිසිවක් නොකියා සිටගෙන බලා සිටියදී CCTV කැමරාවට ගල් ගසන අයුරු එහි තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනු දක්නට ලැබේ. එහෙත් ඉන් අනතුරුව එය අක්‍රිය වී තිබේ. දර්ශන 2018.03.07 වන දින උදෑසන 09.59 ට ආසන්න කාලයක සටහන් වූ ඒවාය. STF බටයන් ඉතා හොදින් මේ දර්ශන තුළ නිරීක්ෂණය කළ හැකියි.


මේ ඒ අසල පිහිටා තිබු ලි වැඩපල සම්පුර්ණයෙන්ම ගිනිබත් වී තිබු අයුරු.

අප සමඟ අදහස් දැක්වූ ෆැෂන් වුඩ් ආයතනයේ හිමිකරු එම්.එම්.රියාස්(38)

“මට 7 වෙනිදා කෝල් එකක් අවා උදේ 8 ට විතර අපේ මඩුවට එන්ඩ එපා කියලා, මාත් එක්ක ඉන්න මිත්‍රයින් කෝල් කළා, ලොකු crowd එකක් ඇවිල්ල ඉන්නවා මුස්ලිම් මිනිසුන්ට ගහනව පන්සල ළඟ කියල ආරංචි වුණා. එත් මං 9 ට විතර අවා. එන්ඩ දුන්නේ නෑ පොලිසියෙන් එහෙම අපිට පස්සේ ගෙදර ගියා. පස්සේ 10 ට විතර කෝල් කරලා කිව්වා ෂොප් එක සම්පුර්ණයෙන්ම පත්තු වෙනවා කියල. එන්ඩ බැරිඋනා එදා curfew දාලා තිබ්බේ. මේක වෙනකොට 4 දෙනෙක් ඉදල තියෙනව මෙතන ආරක්ෂාවට

දිගන නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි මේ මිලේචජ ප්‍රහාර කටුගස්තොට, අඹතැන්න, පුජාපිටිය, මඩවල, මැණික්හින්න, අලදෙණිය, සෙනරත්ගම, යටිවාවල, මුල්ලේගම, පුජාපිටිය, උල්ලදුපිටිය, අකුරණ, වත්තේගම හා අවසාන වශයෙන් ආනමඩුව දක්වා දිග හැරුණද මේ තරම් දුරක් යන්නට 10 ක් 15 කින් සමන්විත කණ්ඩායමකට එක වර හැකි වේනම් එය හාස්කමකි. එහෙත් මේ වාර්තා කළ හුදෙකලා සිදුවීම් ගණනට වඩා වැඩි ගණනක් වාර්තා නොවීමේ ඉඩ කඩ බොභෝ විට ඇත. නම් සඳහන් කිරීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට බොහෝ දෙනෙක් බය වී සිටියේ මේ පැතිර ගිය ක්‍රියාමාර්ගයට මුළුමනින්ම විශේෂ කාර්ය බලකා සෙබළුන්ගෙන් හා ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් සෘජුවම සහය, අනුග්‍රහය ලැබී තිබුණු හෙයිනි. අනෙක් අතට ‘විකල්ප’ කළ නිරික්ෂණයන්හිදී පෙනී ගියේ 05 වන දින දහවල් හදිසියේ මෙම ප්‍රදේශ පුරා සිදු වූ විදුලි බල ඇනහිටීම් හා මෙම සිදුවීම් අතරද යම් සම්බන්ධයක් තිබිය හැකි බවය. ඒ නිසාම ඇතැම් තැන්හි CCTV පද්ධති අක්‍රිය වී තිබේ. අනෙක් තැන් වල විනාශ කොට තිබේ.

ඒ අනුව තවත් සාක්ෂි තොග පිටින් ලැබෙමින් තිබේ. බොහෝ තැන් වල CCTV පද්ධති වලට හානි කරන්න යයි පවසන්නේ STF නිලධාරින්ය. එහෙත් අග්‍රාමාත්‍යවරයා තත්වය පාලනය කාලා යැයි විශේෂ කාර්ය බලකයේ නිලධාරීන්ට පැසසුම් ද කර තිබේ. මිට කලකට ඉහතදී මහනුවර දිසාව භාරවද සිටි දැන් පොලිස්පතිවරයාද බවට පත්ව ඇති පුජිත ජයසුන්දර මේවාට දෙන උත්තර මොනවද ?

රටේ මිනිසුන්ගේ ආරක්ෂාව භාරව සිටින ආරක්ෂක අංශද ඇල්මැරුණු ස්භාවයෙන් ප්‍රචණ්ඩත්වයට අත් උදව් දී ඇත්නම් ඒ එකී තනි තනි නිලධාරීන්ගේ හෝ බටයන්ගේ තම හිතු මනාපයට නොවන බව පමණක් අප අවධාරණය කරමු. ඒවා මෙහෙය විමට අනිවාර්යයෙන්ම කෙනෙක් සිටිය යුතුමය.

දැන් ඉදිරියේදී ඇතැම් විට මේ තනි තනි සෙබළුන් හෝ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ හැකිය. එසේ නොවීමද සිදු විය හැකියි. එහෙත් එය මෙහෙය වූ ප්‍රධාන මොළකරුවන් කොහේද? නත්තරම්පොත, කුණ්ඩසාලේ පැවති මහසොහොන් බලකා මහලේකම් කාර්යාල දෙමහල් ගොඩනැගිල්ල අද ඊයෙක පවතින දෙයක් ද නොවේ.

එසේනම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මුස්ලිම් ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ පළමු ජාතිවාදී ප්‍රහාරය නොවන මේ අමානුෂික ප්‍රහාර වල කෙලවර අවබෝධ කොට නොගන්නේ නම් ඒවා ඇදී යා හැක්කේ කොතනටද බව මෙරටේ ජනතාව දැන්වත් සිතිය යුතුය.

රාජ්‍ය ත්‍රස්තවාද මුහුණුවර එන්න එන්නම පරිනත වෙමින් තිබේ. රාජපක්ෂ රෙජීමයේ වසර 10 තුල හානියට පත් මුස්ලිම් පල්ලි සංඛ්‍යාව 17 කි. යහපාලන වසර 3 ඇතුලත එය 117ක් වී තිබේ. යහපාලනයට තව ඇත්තේ දින 900 කට අඩු කාලයකි. වාසිය ගන්නේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවට කැපෙන්නට ලකුණු ඉතුරු වී නැත.

මෙහි පිංතූර විශාල කර බැලීම සදහා ඒ මත click කරන්න)