සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රෝහණ විජේවීර – මරණයේ දේශපාලනය


[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල
ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී
පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත
ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී. සමරු උත්සවයක් නොපවත්වන ලද්දේ වුවත්
තමන් ද අභ්‍යන්තර වශයෙන් සිය නායකයා වූ රෝහණ විජේවීර සමරනු ලබන
බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙබ් අඩවියට
ලිපියක් ලියමින් සදහන් කර තිබුණි. එනයින් රෝහණ විජේවීර සිය නායකයා
ලෙස සළකන ජාතික මට්ටමේ දේශපාලන ප්‍රවණතා තුනක් මෙරට පවතී.

මෙම ප්‍රවණතා තුනම ලිබියානු කැරලිකරුවන් විසින් අත් අඩංඟුවට ගැනීමෙන්
පසු හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාපි මරා දැමීම දුටුවේ මානව හිමිකම්
කෙළෙසීමක් ලෙස ය. මෙම ප්‍රණතාවන්ගෙන් සමහරක් ලිබියානු නායකයා
ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හැදින් වූහ. ඊට හේතුව වශයෙන් දක්වන
ලද්දේ අත් අඩංගුවට ගැනීමෙන් පසු කුමණ අපරාධයක් සම්බන්ධයෙන්
චෝදනා ලැබ තිබුණ ද ඕනෑම අයෙකුට අධිකරණය හමුවේ සිය නිර්දෝශීත්වය
පෙන්වීමට අවස්ථාවක් තිබිය යුතුය යන අයිතිය යි.

එසේ නමුත් මෙම ප්‍රවණතා තුනම විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට
දැරෙන උත්සාහය හැරුණ විට එම ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂනයක්
ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම විජේවිරගේ දේශපාලනය විසින් ඝාතනයට
ලක් වූ සිය හෝ දහස් ගණනාවක් වන විපාක්ෂික දේශපාලන ක්‍රියාධරයින්
ගැන කතා කරන්නේ ද නැත.

විජේවීරගේ මරණය සිදු වූයේ 1990 නොවැම්බර් 13 දින දින අළුයම ය.
නිරායුධව අත් අඩංගුවට පත් වූ ඔහු පසුව ඝාතනය කරන ලද බවට පොදු
පිළිගැනීමක් මේ තාක් පැවැති නමුත් විජේවීරගේ මරණයට වගකිව යුතු හමුදා
නිලධාරීන් කව්රුන්දැයි ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් ප්‍රථම වතාවට
හෙළිදරව් කරන ඇත්තේ ඊයේ පෙරේදා ය. 2011 නොවැම්බර් 15දින ය. ඒ
දෙමළ ජාතික සන්නද්ධ අරගලය සමඟ කළ යුද්දයෙහි ලා ශ්‍රී ලංකා සන්නද්ධ
හමුදාවන් කොන්දේසි විරහිතව ආරක්ෂා කරන දිවයින දිනපතා පුවත් පත
විසිනි. එම හෙළිදරව්ව එම පුවත් පතට කරන ලද්දේ එකවට යුද හමුදා
පොලීසියේ ලාන්ස් කෝප්රල්වරයකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා විසිනි. ඔහු
වත්මනෙහි උතුරු මැද පළාත් සභාවෙහි ජවිපෙ නියෝජනය කරයි. ( ඔහු
ජවිපෙ වාම ප්‍රවණතාවයට සහයෝගය දක්වන බව කියනු ලැබේ.) මෙයට පෙර
ද ඔහු විසින් විජේවීර ඝාතනය පිළිබඳව කතා කර තිබූ නමුත් ඉතාමත්
විස්තරාත්මකව එම ඝාතනය හෙළිදරව් කර ඇත්තේ මෙවර ය.

එම ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීම වටී.

‛‛මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ
යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15
දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ
ඉහළම නිලධාරියෝ බව මම දැක්කා. එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන්
(එනම් විජේවීරගෙන්) ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා.

‛‛ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා
වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය,
මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය
බව මට මතකයි. ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත්
සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන්
6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

‛‛පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි
බොරැල්ල කනත්තට ගියේ. ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල්
වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු
ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා
තිබුණා. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි
තියල තිබුණේ.

‛‛යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ
දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල
ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා.
නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා’’

මෙම විස්තරය මේජර් ජෙනරල් සරත් මුණසිංහ විසින් ලියන ලද ‛‛අ
සෝල්ජර්ස් වර්ෂන්’’ කෘතියේ එන විජේවීරගේ මරණය පිළිබද විස්තරය සමඟ
සැසදේ. ස්ථානය, දිනය, වේලාව, පුද්ගලයින් යන සාධක කතා දෙකෙහි ම
සමාන ය. ජෙනරල් සරත් මුණසිංහ විජේවීරගේ ඇස් බැඳ පැජරෝවක
නංවාගෙන ගිය බව කියා කතාව නතර කරයි. විජේවීරගෙන් ප්‍රශ්ණ කළේ තමා
බව ප්‍රකාශ කරන ජේනරල් මුණසිංහ අමාත්‍ය රංජන් විජේරත්න ද ප්‍රශ්ණ
කිහිපයක් අසන ලද බවත් සිය පොතෙහි සදහන් කරයි. නමින් සදහන් නොකර
ද ඔහු එම අවස්ථාවෙහි පොලිස් අධිකාරී උඩුගම්පල ද එහි සිටි බව අඟවයි.
මෙම ඇසින් දුටු සාක්ෂිය කරුණු ගණනාවක් අනාවරණය කරයි.

1. විජේවීර ඝාතන තීරණය ගෙන ඇත්තේ ඔහු අත් අඩංඟුවට ගත් මේජර්
ජානක පෙරේරා විසින් නොව එවකට හමුදාපති වූ සිසිල් වෛද්‍යරත්න මේජර්
තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු පිරිසකි.

2. ඔහුට වෙඩි තැබීමට පෙර වධහිංසා පමුණුවා තිබුණි.

3. ඔහු ආදාහනාගාරයට දමන ලද්දේ ප්‍රාණය නිරුද්ධවීමට පෙර ය.

4. මේජර් ජෙනරල් සරත් මුණසිංහ යම් යම් නිලධාරීන්ගේ නම් සදහන්
කිරීමෙන් වළකින පරිද්දෙන්ම ලාන්ස් කොපරල් ඉන්ද්‍රානන්ද ද සිල්වා ද
විජේවීරට වධ දී වෙඩි තබා පණ පිටින් ආදාහනාගාරයට දැමීමට වගකිව යුතු
ඉහළ නිලධාරියාගේ නම සදහන් කරන්නේ නැත.

විජේවීර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි එකම
දේශපාලනඥයා එවකට නව සමසමාජ පක්ෂයේ නායකයා වූ වාසුදේව
නානායක්කාරය. ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි කවර නායකයකු හෝ එදා
මෙදා තුර විජේවීර ඝාතනය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරනසේ කිසිදු ඉල්ලීමක්
කර නැත.

විජේවීර ඝාතනය කිරීමෙන් පසු දින එනම් 1989 නොවැම්බර් 14වන දින
පුවත්පත් සාකච්ජාවක් කැදවූ එවකට ආරක්ෂ අමාත්‍ය වූ රංජන් විජේරත්න
කියා සිටියේ ජවිපෙ තොරතුරු ලබා ගැනීමට යම් ස්ථානයකට විජේවීර සහ
එහි තවත් නායකයකු වූ එච්.බී. හේරත් රැගෙන යන ලද අවස්ථාවෙහි
පිස්තෝලයක් ඇඳගත් හේරත් විජේවීරට වෙඩි තබා ඝාතනය කරන ලද බව යි.
(අද දක්වාම නිරායුද මිනිසුන් මරා දමා රාජ්‍ය යන්ත්‍රය කියන කතාව මෙහි
විවිධ අනුවර්ථනයන් ය).

නමුත් ඉහත කී ලිපියේ ම ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන්නේ එදින රැයෙහි ම
තමා හේරත්ගේ ජයාරුපයක් ගැනීමට ගිය බවත් දරුණු ලෙස වධහිංසා
පමුූනුවා තිබූ ඔහුගේ අත් එසවීමට පවා හැකි තත්ත්වයක් නොතිබූ බව ය.
1971 දීත් 1988 – 1990 අතර තුර සන්නද්ධ බලයෙන් රාජ්‍ය අත්පත් කර ගැනීමට
සිංහල විප්ලවවාදීන් දැරූ ප්‍රයත්න පරාජය විය. 1981 සිට 2009 දක්වා සන්නද්ධ
බලයෙන් වෙනම රාජ්‍යක් පිහිටුවා ගැනීමට දෙමළ විප්ලවාවදින් දැරූ ප්‍රයත්න ද
එලෙසම පරාජය විය. (විප්ලවාවාදී යන වචනය මෙහිදී භාවිත කැරෙන්නේ
සන්නද්ධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යන අර්ථයෙනි). මෙම ප්‍රයත්න
වෙනුවෙන් සිංහල සහ දෙමළ තරුණ පිරිස් සිරගත කරනු ලැබීමේ සිට
වධහිංසාවන්ට ලක්වීම හරහා මරණය දක්වා ඇති තරම් වන්දි ගෙවූහ. මෙම
සන්නද්ධ අරගලයන් පරාජය කිරීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රය පිළිගත් නීතියේ
සීමාවන් අතිශය දරුණු ලෙස ඉක්මවා ගිය බව රහසක් නොවේ. කතරගම රූ
රුජින වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සහ ඇඹිළිපිටිය සමූහ ඝාතනය වැනි
සිද්ධීන් සම්බන්ධයෙන් හැර අඩුම වශයෙන් රාජ්‍ය හමුදාවන්හි පමණ ඉක්මවා
යෑම් ගැන කිසිදු පුළුල් සාකච්ජාවක් හෝ ශ්‍රී ලංකාවෙහි ඇති වී නැත. එහි
විපාක අද දක්වාම අපි භුක්ති විදිමු. බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක
හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක්
කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන
තිබෙන්නේ එනිසා ය.

එල්ටීටීඊය සමඟ ලංකාණ්ඩුවේ අවසාන යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ සේවය
කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ගොර්ඩන් වයිස් එම කාලය අළලා ‛ද කේජ්’
නමින් ප්‍රසිද්ධ කළ ග්‍රන්ථයෙහි සදහන් කරන පරිදි 1971 දී සහ 1988-2000 අතර
තුරු ආරක්ෂ හමුදා විසින් නිරායුද සැකකරුවන් ඝාතනය කරනු ලැබීමේ
සම්ප්‍රදාය සළකා බලන කළ යුද්ධයේ අවසන් අදියරෙහි සිදුවූ සිවිල් වැසියන්
ඝාතනය පුදුමයට කරුණක් නොවේ.

විජේවීර ඝාතනය පිළිබඳව දැන් දිවයින පුවත්පත විසින් හෙළිදරව් කර ඇති
කරුණු වැදගත් වන පසුබිම මෙය යි. රෝහණ විජේවීරගේ මරණය සිදුවූ
අන්දමත් එයට වගකිය යුත්තේ කවරකුද යන්නත් වැදගත් වන්නේ ජවිපෙ
දේශපාලනය අනුමත කිරීමට නොව එවැනි ක්‍රියාවන් තවදුරටත් ශ්‍රී ලංකාවේ
සිදුවනු වැළැක්වීමට ය. යුද්ධයේ අවසන් සමයෙහි යුද වැදී සිටි දෙපාර්ශවයම
විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ
සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටින දේශීය සහ අන්තර් ජාතික
මානව හිමිකම් සංවිධාන ඇත්ත වශයෙන්ම නම් සිය අවධානය 1971 සිට 1988-
1990 දක්වා ද යොමු කිරීම වැදගත් වන්නේ ද මෙම පසුබිම තුළ ය. අඩුම
වශයෙන් ඒ අරභයා සොයා ගත හැකි පරීක්ෂණ වාර්තා යනාදිය හරහා ශ්‍රී
ලංකාවෙහි මනුෂ්‍යත්වයට එරෙහිව සිදුව ඇති අපරාධ වාර්ගික රාමුවෙන්
පිටතට ගැනීම ම වුව වැදගත් දේශපාලන වර්ධනයක් වනු ඇත.

විජේවීර ඝාතන පරීක්ෂනය ඒ සඳහා යෝග්‍ය ආරම්භයක් විය හැකිය. එවැනි
පරීක්ෂණයක උෘණ පූරණය වනු ඇත්තේ විජේවීර විසින් දියත් කරන ලද
ඝාතන දේශපාලනය පිළිබඳව ද ස්වයං විවේචනාත්මක විමසා බැලීමකි. ඇත්ත
වාම දේශපාලනයක ප්‍රවිශ්ඨය විය යුත්තේ විජේවීර සුවඳ දුමින් පිදෙන
සුරුවමක් බවට පත් කිරීම නොව ඝාතනයේ දේශපාලනය අවසන් කිරීමේ
සාකච්ජාවක් බවට ඔහුගේ මරණය පත් කර ගැනීම යි.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshpriya]