end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

අමතකව ගිය සමූහ මිනීවලවල් හෙවත් නන්දිකඩාල්වල මියගියවුන් සිහිකිරීම

[Editor Note: සාමූහික මතකයන් මෙන්ම, සාමුහික හෘද සාක්ෂිය පිළිබද ඉතිරිව ඇති එකම සිහිවටනයන් වන සොහොන් භූමි බිමට සමතලා කරමින්, ඒ මත විසල් මැදුරැ ගොඩනගමින් එය අමතක කිරීමට බොහෝ යුධකාමී පාලකයන් උත්සහ දැරැවත් එය ඔවුන් සිතනා ලෙස පහසු නොවේ. 2009 වසරේ ලංකාවේ උතුරේ දෙමළ ජනයා මත එල්ලකරන ලද බිහිසුනු පීඩනය හමුවේ සිය හෘදසාක්ෂියත්, මතකයනුත් නන්දිකඩාල් කලපුවේ ගීලී වියැකී යනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එය එලෙසම විය යුතු යැයි ප්‍රාර්ථනා කළේය. නමුත් එය එසේ නොවන බවට පසක් කරමින් මෙම ලිපිය ‘විකල්ප‘ තුළ පල කරනු ලබන්නේ පශ්චාත් යුධ ලංකාව තුළ ගොඩනගමින් ඇති දේවල් පිළිබදව පුදුමයටත්, භීතියටත් පත්ව ඇති නිසාවෙනි. එසේම උණඩයෙන් තලා දැමූ ඒ මිනිස් අත්මයන්ගේ වේදනාව සමනය කරනවා වෙනුවට සිදුවෙමින් ඇත්තේ ඒ වේදනාවන් නැවත නැවතත් පාරමින්, ඔවුන්ට ඉතිරි වී ඇති සිය සමීපතමයින්ගේ මතකයනුත් ප්‍රචණ්ඩත්වයෙන් සහ සාහසිකත්වයෙන් තලා දමමින් ඇති බැවිනි.]


පසු ගිය සතියේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කළ The end of war in Sri Lanka, captured for posterity by Google Earth (”ගූගල් අර්ත් මතු පරම්පරාව උදෙසා සටහන් කර ගත් ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අවසානය”) වූකලි, ගූගල් අර්ත් ඔස්සේ නිදහසේ පිවිසිය හැකි ඓතිහාසික චන්ද්‍රිකා ඡායාරූප මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අවසානය දෙස හෙළු පළමු බැල්ම යි. උනන්දුව දක්වන ක්ෂේත‍්‍ර සහ ඓතිහාසික ස්ථාන සුපිරික්සීමට සහ ඒවා පිළිබඳව අනෙකුන් අවදි කිරීමට ගූගල් අර්ත් භාවිත කරන්නන් වෙත කෙරුණු විවෘත ආරාධනාවක් වන මෙම ලිපිය, ශ‍්‍රී ලංකාවෙහි යුද්ධයේ අතිදරුණු අවසන් සති පිළිබඳව සිදු වන සාකච්ඡාව ශක්තිමත් කිරීමට හේතු විය හැකි ය. මෙම කාල පරිච්ඡේදය ආශ‍්‍රිතව නන්දිකඩල් ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගන්නා ඡායාරූපවල ස්වභාවය පදනම් කර ගෙන, ලිපිය නිශ්චිතව මෙසේ සඳහන් කරයි:

(1) ඇතැම් ඓතිහාසික ඡායාරූපවල ගුණාත්මක භාවය(ඇතැම් විට අතිවිශාල ප‍්‍රදේශ වසා ගත් පුළුල් වලා පටල දිස් වෙයි) සහ (2) පවත්නා ඓතිහාසික ඡායාරූප අතර තිබෙන විශාල පරතර(මාර්තු මැද, මැයි අග, නිල වශයෙන් යුද්ධය අවසන් කිරීමෙන් සහ එල්ටීටීඊ නායකයා ඝාතනය කිරීමෙන් පසු, අනතුරුව ජූනි මැද සහ අගෝස්තු මුල) හේතු කොට ගෙන ගූගල් මැප්ස් සහ ගූගල් අර්ත් කෙනෙකුට ලබා නොදෙන යමක් වේ ද, එය නම් යම් ප‍්‍රදේශයකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල වූයේ කවදා ද යන්න සහ වඩා වැදගත් කරුණ වන ඒවා එල්ල කළේ කවුරුන් ද යන්න පිළිබඳව කවර හෝ ප‍්‍රබල විශ්ලේෂණයක් කිරීමේ හැකියාව යි.

Facebook, Twitter සහ Email හරහා පුළුල් ලෙස බෙදාහදා ගැනුණු මෙම ලිපියෙන් පැහැදිලිව ඇඟවුණේ, ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසානය පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සඳහා අද දවසේ යොදා ගත හැකි හොඳ ම මූලාශ‍්‍රය ගූගල් අර්ත් බව යි. ගූගල් සර්වර ඔස්සේ පිවිසිය හැකි ඡායාරූප අනෙක් මූලාශ‍්‍රවලින් ලබා ගත නොහැකි ය, නොහොත් අන්තර්ජාලය තුළ අන් තැනක සංරක්ෂණය කොට නැත.

පෙර ලිපියෙන් අධ්‍යයනය කරන ලද්දේ 2009 මාර්තු සහ මැයි අතරතුර යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වුණු විනාශයේ සහ මානව අවතැන් වීමේ සැබෑ පරිමාණය සහ තරම පිළිබඳව වුවත්, මෙහි ලා අවධානය යොමු කෙරෙන්නේ ඊනියා සිවිල් ආරක්ෂක කලාප(CSZs) තුළ සහ ඒ ආශ‍්‍රිතව පිහිටි මහා සොහොන් බිම් පිළිබඳව යි. අපගේ පළමු ලිපිය, ප‍්‍රධාන යුනොසැට්(UNOSAT) වාර්තා දෙකක් මත පදනම් විය. වත්මන් අධ්‍යයනය පදනම් වන්නේ, 2009 අගෝස්තු මස ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ(AAAS) විද්‍යාත්මක වගකීම, මානව හිමිකම් සහ නීතිය පිළිබඳ වැඩ සටහනෙන් ඉදිරිපත් වුණු High-Resolution Satellite Imagery and the Conflict in Sri Lanka(”ඉහළ විභේදනයකින් යුත් චන්ද්‍රිකා ඡායාරූප සහ ශ‍්‍රී ලංකාවෙහි ගැටුම”) නමැති වාර්තාව මත ය. යුනොසැට් වාර්තාව මෙන් ම – හියුමන් රයිට්ස් වොච්හි සහ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නියමයෙන් කෙරුණු – AAAS අධ්‍යයනය ද, ප‍්‍රසිද්ධ කළ පසුව නිල හෙළා දැකීමකට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රතිවිශ්ලේෂණයකට මුහුණ දුන්නේ ය. ඒ සඳහා බොහෝ දුරට පදනම් කර ගැනුණේ, ෂෙල් ප‍්‍රහාර පිළිබඳ ප‍්‍රබල ඇඟවුම් වන 2009 මැයි 6 සහ 10 අතරතුර සිවිල් ආරක්ෂක කලාප තුළ අභ්‍යන්තර අවතැන් වූවන් රැඳී සිටි වාසස්ථාන ඉවත් කිරීම කෙරෙහි ද, වඩාත් ම මතභේදකාරී කරුණ වන බර කාලතුවක්කු යොදා ගත් මෙම ෂෙල් ප‍්‍රහාර එල්ල වූයේ කොහි සිට ද යන්න විභාග කිරීමට තුඩු දුන් නිකුත් වීමේ රටාවන් කෙරෙහි ද අවධානය යොමු කළ කොටස් ය.

මෙම ලිපිය, බෙහෙවින් භාවාත්මක සහ බරපතළ ලෙස විවාදයට බඳුන් වන මෙම පැතිකඩවල් පිළිබඳව අවධානය යොමු නො කරයි.

ඒ වෙනුවට මෙම ලිපිය අවධානය යොමු කරනුයේ, සිය වාර්තාවට ඈඳා AAAS නිකුත් කළ ගූගල් අර්ත් ස්තරයක් ඔස්සේ ලබා ගත හැකි, 2009 මැයි 6 දා සහ යළි 10 දා නන්දිකඩල් ප‍්‍රදේශය විමසා බලන ඡායාරූප පිළිබඳව යි. ගූගල් අර්ත් ද, යුද්ධය නිල වශයෙන් අවසන් කිරීමෙන් දින කිහිපයකට පසු එළඹි 2009/5/24 දා සිට 2011 අගෝස්තු 10 දා දක්වා ඡායාරූප විදහා දක්වයි. මැක් පරිගණක සඳහා වන Kaleidoscope නමින් හැඳින්වෙන වැඩ සටහන යොදා ගෙන ඡායාරූප අතර පවත්නා වෙනස්කම් පිළිබඳව සරල විශ්ලේෂණයක් කරන මෙම අධ්‍යයනය, පළමුව AAAS විසින් හඳුනා ගැනුණු මහා සොහොන් බිම් කාලයත් සමග වෙනස් වී තිබෙන ආකාරය විමසා බලයි.

මෙම අධ්‍යයනයේ දී සලකා බැලෙන සාමාන්‍ය වපසරිය වනුයේ, පහත අළු පැහැයෙන් ඉස්මතු කර දක්වා ඇති, උතුරින් පුදුමාතලන් සහ දකුණින් මුලතිව් අතරෙහි, කලපුවට සහ මුහුදට මැදි වන සේ පිහිටි දිගු බිම් තීරුව යි.


View Larger Map

AAASහි ගූගල් අර්ත් ස්තරය ද විමසා බලනුයේ මෙම ප‍්‍රදේශය ම වන අතර, එය පාදක සිතියම් ස්තරය මත අතුරන ලද විශ්ලේෂණාත්මක ඓතිහාසික ස්ථාන ගණනාවක් විදහා පායි. ස්තරය මත තිබෙන උනන්දුව දනවන ලක්ෂ්‍ය සියල්ල, එනම් මෙහි අධ්‍යයනයට ලක් වන විෂය වන සොහොන් බිම් පිහිටි ස්ථාන පමණක් බව සැලකිල්ලට ගන්න.

Click here for larger image.

AAAS විසින් හඳුනා ගැනුණු පළමු සොහොන් අඩවිය පිහිටා තිබෙන්නේ, මුලතිව් සිටි පුදුකුඩිඉරිප්පු වෙත දිවෙන ඒ-35 මාර්ගයෙන් මීටර් 350ක් පමණ දුරින්, 9 18′ 31.66″ N 80 47′ 09.42″ E ඛණ්ඩාංකවල ය. 9 18′ 31.66″ N 80 47′ 09.42″ වාර්තාව සඳහන් කරන පරිදි,

”මැයි 6 දා වන විට, අභ්‍යන්තර අවතැන් වූවන්ගේ වාසස්ථාන යැයි සිතිය හැකි ඉදි කිරීම් ගණනාවක් ද, භූමදාන කිරීම් 195ක් පමණ තිබිණැයි සැලකෙන (රතු වර්ණයෙන් පිට මායිම දැක්වෙන) සොහොන් බිමක් ද පැවතිණ. මැයි 10 දා වන විට, සොහොන් බිම සැලකිය යුතු ලෙස පුළුල් කොට ඇත. මැයි 24 දා වන විට, වීදිය හරහා වැටුණු ප‍්‍රදේශයක් එළි පෙහෙළි කොට එය ද භූමදාන කිරීම් සඳහා යොදා ගෙන තිබෙන අතර, මෙම ස්ථානයෙහි මුළු සොහොන් සංඛ්‍යාව (තක්සේරු කර ඇති පරිදි) 342ක් දක්වා ඉහළ නැග ඇත.”

Graveyard 1 – Between 6 and 10 May from Centre for Policy Alternatives on Vimeo.

දින හතරක් තුළ සොහොන් බිම පුළුල් වුණු ආකාරය ඉහත විඩියෝ පටයෙන් පැහැදිලි වේ – වඩා තද වර්ණයෙන් දැක්වෙන ස්තරය මැයි 6 දා සිට වන අතර, වඩා ළා වර්ණයෙන් දැක්වෙන ස්තරය මැයි 10 දා සිට ය. විශ්ලේෂණය සඳහා ඉහත දී යොදා ගෙන තිබෙන ඉහළ විභේදනයක් සහිත ඡායාරූප මෙතැනින් (මැයි 06) සහ මෙතැනින් (මැයි 10) බාගත කර ගත හැකි ය. 2011 අගෝස්තු මාසය දක්වා වන ඓතිහාසික ඡායාරූප සහිතව ගූගල් අර්ත් අප වෙත සපයනුයේ, යුද්ධය අවසන් වීමෙන් පසු වසරවල දී මෙම සොහොන් බිම වෙනස් වී ඇති ආකාරය පළමු වතාවට දැක ගැනීමට අවස්ථාවකි.

Site of graveyard in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.

ඉහත විඩියෝ පටයෙහි යොදා ගෙන තිබෙන ඉහළ අගයක් සහිත ඡායාරූප දෙක, ගූගල් අර්ත් වෙතින් මෙතැනින් (2009 මැයි) සහ මෙතැනින් (2011 අගෝස්තු) ලබා ගන්න. ප‍්‍රදේශයෙහි සිදුව ඇති වෙනස පැහැදිලි ය – යුද්ධය අවසන් වීමෙන් වසර තුනකට පසුව සෑම සොහොනක ම පස් ගොඩනැගිලි අතුරුදන්ව තිබෙන අතර, අඩවියේ තැනින් තැන ලඳු කැළෑ වෙයි. අතීත ඡායාරූප ඇසුරු නොකර 2011 වසරේ ඡායාරූප පමණක් විමසා බැලීමෙන්, මෙය සිය ගණනකගේ සොහොන් බිමක් බව තීරණය කළ නොහැකි ය.

AAASහි ගූගල් අර්ත් ස්තරයේ / වාර්තාවෙහි ඇතුළත් වන, 9 19′ 52.62″ N 80 45′ 40.13″ E ඛණ්ඩාංකවල පිහිටි දෙවන උදාහරණය සම්බන්ධයෙන් ද මෙය සත්‍ය ය. AAAS වාර්තාව සඳහන් කරන පරිදි,

”මෙම අධ්‍යයනයේ දී හඳුනා ගැනෙන දෙවන සොහොන් බිම පිහිටියේ, කලින් විස්තර කෙරුණු ස්ථානයෙන් කිලෝමීටර 3.6ක් පමණ වයඹට වන්නට ය. සොහොන්වල සැලැස්ම, සමාන පරතරයකින් යුතු පේළිවලින් සහ තීරුවලින් යුතු කලින් අඩවියට බෙහෙවින් සමාන විය. කෙසේ වුව ද, හත් වන රූප සටහනෙහි දැක්වෙන පරිදි, එහි පරිමාණය පළමු වැන්නට වඩා බෙහෙවින් විශාල ය. මැයි 6 දා ඡායාරූපවලින් පළමු වරට හඳුනා ගැනුණු මෙම අඩවිය, තක්සේරු කර ඇති පරිදි, එදිනට සොහොන් 960කින් සමන්විත ය. මෙම සොහොන් බිම, පළමු අඩවිය මෙන් නො ව, මැයි 6 දා සහ මැයි 10 දා අතරතුර දී හෝ මැයි 10 දා සහ මැයි 24 දා අතරතුර දී වර්ධනය වුණු බවට කිසිදු ලකුණක් ප‍්‍රකට නො කරයි. මෙම අඩවිය පිළිබඳ එක් සැලකිය යුතු ලක්ෂණයක් නම්, මාධ්‍ය වාර්තාකරණයේ දී එය එල්ටීටීඊයට අයත් අඩවියක් ලෙස හඳුනා ගැනීම යි. මෙම ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා AAAS සන්තකව කිසිදු ක‍්‍රමයක් නොමැති නමුත්, මෙම අඩවිය සහ දකුණට වන්නට පිහිටි පෙර සොහොන් බිම අතර පවත්නා සමානකම්වලින් ඇඟවෙනුයේ ඒවා එක වර ඇරඹෙන්නට ඇති බව ය.
අපට දැන් ගූගල් අර්ත්හි දැක ගත හැකි වන දෙය, AAASහි මෙම විශ්ලේෂණයට සම්මාදම් වෙයි. උදාහරණයක් ලෙස, මැයි 6 දා සහ මැයි 10 දා අතරතුර හෝ මැයි 10 දා සහ මැයි 24 දා අතරතුර වර්ධනයක් නොපවතින නමුත්, 2009/3/16 සහ 2009/5/24 අතරතුර සැලකිය යුතු වර්ධනයක් පවතී.”

Site of graveyard 2 in Nandikadal – March to May 2009 from Centre for Policy Alternatives on Vimeo.

ඉහළ අගයක් සහිත ඡායාරූප මෙතැනින්(2009 මාර්තු) සහ මෙතැනින්(2009 මැයි) ලබා ගන්න. ඉහත විඩියෝ පටයෙහි ඇතුළත් වඩා කොළ පැහැයෙන් යුතු ඡායාරූපය මාර්තු මාසයේ වන අතර, ඉන් පෙන්නුම් කෙරෙනුයේ 2009 මැයි අග ඡායාරූපයෙන් හසු කර ගැනෙන සොහොන් බිමට වඩා කුඩා බිම් කැබැල්ලකි. ගූගල් අර්ත්හි මිනුම් මෙවලම යොදා ගනිමින් මනින විට, මැයි මාසයේ දී බිම් කැබැල්ලේ වර්ග ඵලය මීටර 65 × මීටර 89ක් පමණ වේ. මාර්තු මාසයේ දී මෙය මීටර 27 × මීටර 35ක් පමණ විය.

අද දින සොහොන් බිමේ පෙනුම මෙවැනි ය.

ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. මෙය 2009 මැයි මාසයේ දී එය දිස් වුණු ආකාරය සමග සසඳන්න.

ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. නැවතත්, 2011 වසරේ ඡායාරූප පමණක් විමසා බැලීමෙන්, 9 19′ 52.62″ N 80 45′ 40.13″ E. ඛණ්ඩාංකවල විශාල සොහොන් බිමක් තිබුණු බව අනුමාන කිරීමට පවා නොහැකි ය.

Site of graveyard 2 in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.

AAAS වාර්තාවේ අවසන් උදාහරණය ලැබෙනුයේ, from 9 21′ 29.10″ N 80 43′ 59.18″ E. ඛණ්ඩාංකවලිනි. වාර්තාව සඳහන් කරන පරිදි,

”මෙම අධ්‍යයනයෙන් විශ්ලේෂණය කෙරෙන අවසන් සොහොන් බිම පිහිටා තිබුණේ දෙවන සොහොන් බිමෙන් කිලෝමීටර 4.3ක් වයඹට වන්නට සහ ඉහත විස්තර කරන ලද පළමු සොහොන් බිමෙන් කිලෝමීටර 8ක් පමණ වයඹට වන්නට ය. මාධ්‍ය වාර්තාවල දී සිවිල් වැසියන් උදෙසා යොදා ගත් සුසාන භූමියක් ලෙස හඳුනා ගැනුණු මෙම ස්ථානය, සංවිධානය වී තිබෙන ආකාරය සහ ප‍්‍රමාණය අතින් අනෙක් ස්ථානවලින් සැලකිය යුතු ලෙස වෙනස් විය. කලින් අඩවි දෙකේ පැවති නොවෙනස් රටාවට වෙනස් මෙම ප‍්‍රදේශයේ සැලැස්ම විධිමත් බවින් අඩු විය. හත් වන රූප සටහනෙහි පෙන්නුම් කර ඇති පරිදි, වළ දැමීම් කළ ස්ථාන මත පිහිටි පැහැදිලි පස් ගොඩැලි ප‍්‍රදේශය පුරා පැතිරී තිබිණ. මෙම එක් එක් පස් ගොඩැල්ලේ හැඩය ද පෙර අඩවිවල දීට වඩා විධිමත් බවින් අඩු වුණු බැවින්, පවත්නා ඡායාරූපය තුළ ඒවා හඳුනා ගැනීම දුෂ්කර වෙයි. මැයි 6 දා මෙම අඩවිය තුළ භූමදාන කිරීම් 44ක් හඳුනා ගැනුණු අතර, මැයි 6, මැයි 10 සහ මැයි 24 අතරතුර දී කිසිදු වෙනසක් නිරීක්ෂණය නොවී ය. යළිදු, මෙම අඩවියේ අවිධිමත් බව නිසා සොහොන් ගණන් කිරීම ඉතා දුෂ්කර වන අතර, ඡායාරූපය තුළ පවත්නා බොහෝ සොහොන් දෘශ්‍යමාන නොවන බව නිසැක ය.”

2009 මැයි අග දී මෙම සොහොන් බිමේ පෙනුම මෙවැනි ය.


ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න.

2011 අගෝස්තුවේ දී එහි පෙනුම මෙවැනි ය.

ඉහළ අගයක් සහිත ඡායාරූපය මෙතැනින් ලබා ගන්න. මෙම ගූගල් අර්ත් ඡායාරූපයේ සොහොන් බිම හසු කර ගන්නා වම් පැත්ත, ඡායාරූපයේ දකුණු පැත්තට වඩා ඉහළ අගයකින් යුක්ත ය. මෙය ගූගල් අර්ත්හි පාදක සිතියම් දත්ත තුළ පවත්නා වෙනස්කම් නිසා සිදු වූවකි. කෙසේ වුව ද, ස්වභාව ධර්මය සොහොන් බිම මුළුමනින් ම අරක් ගෙන ඇති බව ඉතා පැහැදිලි ය.

Site of graveyard 3 in Nandikadal – May 2009 to August 2011 from Centre for Policy Alternatives on Vimeo.

මෙම සොහොන් බිම් පිළිබඳ විශ්ලේෂණයෙහි තවත් පැතිකඩක් වෙයි. 2009 දී යුද්ධයේ අවසන් සති චණ්ඩ ලෙස ගෙවී ගිය ප‍්‍රදේශ වෙත දැන් ශ‍්‍රී ලංකාවේ ඕනෑ ම කෙනෙකුට මෙන් ම විදේශීය සංචාරකයන්ට ද පිවිසිය හැකි ය. බීබීසීයේ චාල්ස් හැවිලන්ඞ් මෑතක දී ද මෙම වසර මුල දී Economist සඟරාවේ පළ වුණු මෙම ලිපියෙහි ද සටහන් කොට ඇති පරිදි, සංචාරක කණ්ඩායම් දහස් ගණනක් මෙම ප‍්‍රදේශවල චාරිකා කර ඇත. බීබීසී වාර්තාව සඳහන් කරන පරිදි, කලින් ළඟා විය නොහැකි වුණු බොහෝ අඩවි දැන් අනිවාර්යයෙන් ම දැක ගත යුතු ආකර්ෂණීය ස්ථාන බවට පත්ව ඇත.

එහෙත්, මෙම ප‍්‍රදේශයෙහි සිදුව තිබෙන ප‍්‍රකට විනාශය ඡායාරූප ගැනීම සඳහා බොහෝ අවස්ථාවන් සම්පාදනය කළ ද, දැන් තණ ගොඩැලිවලින්, කැකිල්ල සහ නොමේරූ ගසින් ඇත්තට ම වැසී ගොස් තිබෙනුයේ යුද්ධයේ සැබෑ, සැඟවුණු පිරිවැය වීම උත්ප‍්‍රාසයට කරුණකි. උදාහරණයක් ලෙස, පරිශීලකයන්ට භූමියට ඈඳා ඡායාරූප පැටවුම්ගත කළ හැකි විශාල ඡායාරූප සත්කාරක අඩවියක් වන පැනොරාමියෝ වැන්නක දී මෙය පැහැදිලිව දැකිය හැකි ය. මෙය ලියන අවස්ථාව වන විට, නන්දිකඩාල් ප‍්‍රදේශය Panoramioහි දිස් වූයේ මේ ආකාරයෙනි.

වඩා විශාල ඡායාරූපයක් ලබා ගැනීමට නම් මෙහි Clik කරන්න, නැත් නම් මෙතැනින් සජීවී අඩවිය වෙත පිවිසෙන්න. යුද්ධයේ සුන්බුන්වල දුර දර්ශන ඔස්සේ මෙහි පිළිබිඹු කෙරෙනුයේ දසුන් නැරඹිය හැකි රටාවකි. වසර කිහිපයකට පෙර එල්ටීටීඊයෙන් ග‍්‍රහණයට ගැනුණු ෆර්හා Farha III නැවේ නටබුන් ආශ‍්‍රිතව අන් කවර හෝ ස්ථානයකට වඩා විශාල ඡායාරූප සංඛ්‍යාවක් කේන්ද්‍රගත වී තිබෙනු ඔබට පෙනේ. සෑම ඡායාරූපයක් ම භූමියෙහි සිදුව ඇති විනාශය හසු කර ගනී. එක් ඡායාරූපයක් ගෙන ඇත්තේ AAAS විසින් හඳුනා ගැනුණු විශාල සොහොන් බිමකට නුදුරේ සිට වීම උත්ප‍්‍රාසාත්මක ය. මෙම ප‍්‍රදේශය හාත්පස ඇවිද ඇති බොහෝ දෙනාගේ පයට පෑගුණේ, 2011 තරම් කලින් ම ස්වභාව ධර්මය සිය ගමන ගොස් තිබුණු බැවින් සැඟවී ගිය සොහොන් ය.

ගූගල් අර්ත් ඡායාරූප වූකලි යුද්ධයේ මානව පිරිවැය පිළිබඳ අසමසම වූත් දුක්මුසු වූත් සිහි කිරීමකි. යන්තම් වසර තුනක් ගෙවෙද්දී ස්වභාව ධර්මය සොහොන් බිම් වැළඳ ගෙන ඇති සැටි ගූගල් අර්ත් දැනටමත් සටහන් කර ඇත. මෙතැන් සිට වසර පහක්, දහයක්, පහළොවක් ගත වන විට, මෙම ප‍්‍රදේශවල සිදු වන නව සංවර්ධනය සහ යුද සුන්බුන් ඉවත් කිරීම සමග, මෙම සොහොන් බිම් සහ ඉතිරි පහදු සුන්බුන් කුමක් බවට පත් වනු ඇද්ද යනු සිතා ගැනීම දුෂ්කර ය. ඒවා දැනට මත් පොදු හෘද සාක්ෂියෙන් මකා දමා ඇත. වාර්තාව සැකසීමට නියම කළ AAAS සහ මානව හිමිකම් සංවිධාන ඇතුළු දේශීය හෝ ජාත්‍යන්තර කිසිම මාධ්‍යයක්, පශ්චාත් යුද සමයේ දී ඒවා කෙරෙහි අවධානය යොමු කර නැත. ඒවා සැබවින් ම අදෘශ්‍යමාන ය, අමතකව ගොස් ය.

අප නන්දිකඩල්හි මියගිය සහ වැළ ලූ අය සිහි කරන්නේ සහ සිහි කළ යුත්තේ කෙසේ ද? ඒවා කාගේ සොහොන් ද, එය ගැටලූවක් කරගත යුතු ද? ඔවුන් සිහි කිරීමට සුදුසු ද? ආණ්ඩුව, අතීතයේ දී කළාක් මෙන් ම, මෙම සොහොන් බිම් මත ඉදිකිරීම් කරනු ඇත් ද? මිය ගිය අයට මූලික ගෞරවය පමණක් දැක්වූ මෙම අඩවි, අමාරුවෙන් ඒවා මතින් ඇවිද යන සංචාරකයන්ගෙන් සහ ස්වභාව ධර්මයෙන් ආරක්ෂා කිරීම සුදුසු ද? නන්දිකඩල්හි දී සහ ඒ හාත්පස දී මිය ගියවුන් ස්මරණය කිරීම සහ ඔවුන්ට ගෞරව කිරීම, වඩා අර්ථාන්විත පශ්චාත් යුද ප‍්‍රතිසන්ධානයකට සහ සමාදානයකට දායක විය හැකි ද? යුද වැදුණු රටක් පිළිබඳව සිහි කිරීමට තරම් නොමේරූ වයසේ පසු වන වාසනාවන්තයන්ට එහි මානව පිරිවැය සහ ප‍්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනු පිණිස, පාසල් තම ඉගැන්වීම්වල දී ගූගල් අර්ත්හි විදහා පා ඇති මෙම ඡායාරූප ප‍්‍රයෝජනයට ගත යුතු ද?

එල්ටීටීඊයට අයත් සොහොන් බිම් විනාශ කිරීම පිළිබඳව ලියමින් තීරු ලිපි රචක විහඟ පෙරේරා 2012 ජුලි මාසයේ සඳහන් කළේ,

… මහනුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියට මෑතක දී ගිය අවස්ථාවේ, ස්මාරක ඵලක සහ සොහොන් ගෙවල් විනාශ කිරීම යළි මගේ මතකයට ආවේ ය. මෙම සුසාන භූමිය වූකලි ග‍්‍රිනිච්හි පිහිටි, II වන ලෝක යුද්ධයේ දී ශ‍්‍රී ලංකාවෙහි(එකල ලංකාවෙහි) දී මිය ගිය අය උදෙසා තැනූ ස්මාරක ඵලක 200ක් පමණ සතු පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමි කවුන්සිලයට සම්පාදනය කරන ලදුව ඉන් නඩත්තු වන බිම්කඩකි. මෙම සැකැස්මේ වැදගත්කම වනුයේ, මෙම ස්මාරක සොහොන් මිත‍්‍ර පාක්ෂික මෙන් ම සන්ධාන හමුදා භටයන්ට ද අයත් ඒවා වීම යි. සන්ධාන හමුදා භටයන්ට අයත් සොහොන් කැප කර ඇත්තේ, විශේෂයෙන් ම අසාර්ථක නිවුන් ගුවන් ප‍්‍රහාර දෙකේ දී මිය ගිය ඉතාලි සහ ජපාන නිලධාරීන් සිහි කරනු පිණිස බව සිතිය හැකි ය. සොහොන් ඵලකවලින් ජාතිකත්වය, ජයග‍්‍රහණය හෝ පරාජය ප‍්‍රකාශයට පත් නොවීම වඩා සිත් ගන්නාසුලූ දෙයකි. මිය ගියවුන් මිහිදන් කොට එක සමානව ස්මරණය කරනු ලැබේ. සතුරු කඳවුරුවල සිටි අනෙකාට එරෙහිව සටන් වැදුණවුන් ස්මරණය කෙරෙනුයේ එකිනෙකට අසල්වැසි බිම්කඩවල ය.

ස්මාරක, ශාන්ත මෙන් ම ගම්භිර ද වේ. නොමනා විභූෂණයෙන් නොහොත් පමණට වැඩි අලංකරණයෙන් තොර මනා සාවධාන බවකින් යුතු සැකැස්ම, යුද්ධය සමස්තයක් ලෙස ජයග‍්‍රාහකයා සහ පරාජකයා යන දෙදෙනා මත ම නින්නාද නංවන නිස්සාරත්වය සහ කරුණාව කියා පායි. එබැවින්, අනුස්මරණය යන්න ”පරාජිතයා” අමානුෂික ලෙස හෙළා දැකීමක් වත්, ප‍්‍රදේශවාදී ජාතිකවාදය පිළිබඳව කෙරෙන අන්ධ දේශානුරාගී හඬ තැළීමක් වත් නොවන්නේ ය. එම සුසාන භූමියේ දී, යුද්ධයෙන් මිය ගිය තැනැත්තේ, මිනිසෙක් ද අභිමානයෙන් ද යුතු අයෙක් ද වන්නේ ය…

පශ්චාත් යුද සමයේ දී ශ‍්‍රී ලංකා භූමිය මත එහි මෙහි ගොඩ නැගෙමින් පවත්නා දෑ පිළිබඳව අපි බොහෝ දෙනෙක් මවිතයට පත්ව සිටිමු. එහෙත්, මාධ්‍යවේදියෙකු සහ මනෝ විද්‍යාඥයෙකු වන ඩැනියෙල් ගෝල්මන් සඳහන් කරනුයේ, ”වළලා දැමූ අසුන්දරත්වයේ බරින් සමාජයන් ගිලී යා හැකි” බව ය. අප ශ‍්‍රී ලංකාවේ උතුරෙහි තිබෙන දෙමළ ජාතිකයන්ගේ මෙම සොහොන් ස්මරණය කිරීමට තෝරා ගන්නා ක‍්‍රමය, ප‍්‍රතිසන්ධානය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් හෝ වාර්ගික ගැටුම අඛණ්ඩව අවුලූවන ගිනි අඟුරක් විය හැකි ය.

[උපුටා ගැනීම- ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ Sri Lanka’s forgotten mass graves: Google Earth and remembering the dead in Nandikadal ලිපියෙනි]

[@VIKALPA]