සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Vauniya

යුධ අපරාධ සහ ආරියවතී

යුධ අපරාධ, සාමුල ඝාතන මේ යුද්ධය පැවති සමයෙත් යුද්ධයෙන් පසුවත් සහ තවමත් ඇසෙන වචන ය. ජාතීවාදීන්ට නම් මේ වචන පෙන්නන්න බැරි ය. ඔවුන්ට අනුව මේ යුද්ධයෙන් මැරුණේ කොටි පමණ ය. සිවිල් වැසියන් මැරුණ නම් ඒ මැරුණේ කොටින් ය. හමුදාව අතින් දෙමළ ජනයාට සීරිමක්වත් වුනේ නැත. රජය විසින්ම නිකුත් කළ රජයට ආවඩන සිංහල දේශපේ‍්‍රමීන්, විරුද්ධ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේද යුද්ධයේ අවසන් අදියරේදී සිදුවුනු ඇතැම් සිදුවීම් පිලිබදව පැහැදිලි ස්වාධින පරික්ෂණයක් කළ යුතු බව සදහන්ව ඇත. රජයට එල්ල වන මෙම චෝදනා ඔවුන් ප‍්‍රතික්ෂේප කරනවා ඇරෙන්න ඒ සම්බන්ධව හා වගවීම සම්බන්ධව තවමත් කිසිදු පරික්ෂණයක් නොකර මුනිවත රකිමින් සිටි.

නමුත් පශ්චාත් යුධ සමයේ පසුවන අපට දැන් නිතරම අහන්න ලැබෙන්නේ හමුදා නිලධාරින් විසින් තම පෙම්වතිය, පෙමිවතියගේ දෙමාවිපියන් පමණක් නොව තමන්ගේම දෙමව්පියන් හා විවිධ පුද්ගලයින් ඝාතනය කළ සිද්ධීන් ය. හමුදාවට සම්බන්ධ හා හමුදාවෙන් පැන ගිය අය විසින් සිදුකර මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ ගැන ය. මේ අතර රජයේ ආශිර්වාදයෙන් හමුදාව විසින් උතුරේ ජනයාගේ ඉඩම් ද මංකොල්ලකමින් සිටි. අද හමුදාවේ අවසරයක් නැතිව උතුරේ ජනයාට හුස්ම ගන්නවත් නොහැකිය.

යුධ අපරාධ සම්බන්ධව එසේ චෝදනා එල්ල වෙමින් පවතිද්දි දකුණේ තම පුතාව හමුදාවට දුන් මවකගේ දුක මෙසේ අපට ඇසේ. ඇය නමින් ආරියවතිය, බිඩි ඔතා ඇය තම බඩ වියත රැක ගන්නේ ය. ඇයට පුතුන් දෙදෙනෙක් සිටියා ය. මධුෂංක සහ ගාමීණිය ඇයගේ පුතුන් ය. වැඩිමහල් පුතා වන මධුෂංකව ඇය හමුදාවට බාර කරන්නේ රට ජාතීය බේරා ගන්න ජනාධිපතිතුමා කළ ඉල්ලීමකට බව ඇය පවසයි. ‘‘යුද්දෙ අවසන කාලේ රට ජාතිය බේර ගන්න ජනාධිපතිතුමා ළමයි ඉල්ලද්දි මම මධුෂංකව හමුදාවට බාර දුන්නා උන් මගේ දරුවව මරා ගත්තා”

මේ ආරියවති අම්මාගේ වචන වලින්න ඇය තම දරුවා ගැන කියන අදෝනාවයි. මධුෂංකගේ පියා ඔහු කුඩා කාලයේදීම මිය යන අතර ඉන් පසු මධුෂංකව සහ ඔහුගේ මල්ලිව ජීවත් කරන්නේ ඇයගේ මව වන ආරියවති විසින් බිඩි ඔතා උපයා ගන්නා සොච්චමින්ය. ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩාවට ද එකසේ දක්ෂ මධුෂංක 2009 වසරේ විශේෂ කාර්ය බලකායට බැදෙන්නේ හමුදාවට ඇති දැඩි ඇල්ම නිසාය. එසේ හමුදා සේවයට බැදුන ඔහු එහි කීර්තිමත් නාමයක් රදවා ගන්නේ ඔහුගේ උපන් හපන්කම් ඇති ක‍්‍රිඩාවෙනි. තම ආසාව නිසාව හමුදාවට බැදුන මධුෂංක, වව්නියාව හමුදා කදවුරට මාරු කිරිමෙන් අනතුරුව, නිවාඩු ලබා පැමිනීමෙන් පසු නැවත සේවයට වාර්තා නොකරන බවට ආරියවති මහත්මියට පවසන්නේය. ඇයට මේ පිළිබදව කුතුහලයක් උපන්නේ ඉතා ආශාවෙන් හමුදා සේවයට බැදුන තම පුතා දැන් මෙසේ හමුදාවට යෑම පැහැර හරින්නේ මන්දයි කියා සොයා බැලීමේදි මධුෂංක තම මවට මෙසේ පවසා ඇත. ‘‘වව්නියාව කෑම්ප් එකේ සර් කෙනෙක් මාවයි තව කොල්ලො හතර දෙනෙකුයි තෝරගෙන ඉන්නේ හැමදාම ?ට කවුරුහරි ඉන්න ඕනේ හමුදාවේ ඔහොම තමා යැයි” මධුෂංක තම මවට පවසා ඇත.

2010 වසරේ අවසන් වරට නිවාඩු ලබා නිවසට පැමිණෙන ඔහු ඇයගේ මවට පවසන්නේ තමන් ඉක්මනින්ම හමුදාවෙන් ඉවත් වන බවත් තව දුරටත් හමුදාවේ සිටිය නොහැකි බවත් ය. 2010 අගෝස්තු මස නිවාඩු අවසන් වී නැවත හමුදා කදවුරට යන ඔහුගෙන් තම මවට දුරකථන ඇමතුමන් ලැබෙන්නේ නැත. ‘‘වෙනදා පුතා කෑම්ප් එකට ගියාම මට කතා කරල කියනවා අම්මෙ මම ආවා කියලා. ඒත් මේ පාර පුතා කතා කලේ නැහැ. අපි කතා කලාට ෆෝන් එක වැඩ කලෙත් නැහැ” යැයි ආරියවති මහත්මිය පැවසුවාය.

ඉන් දින කිහිපයකට පසු එනම් 2010 සැප්තැම්බර් 06 වන දින ආරියවති මහත්මියගේ නිවසට පැමිණෙන පොලිස් නිලධාරින් ඇයට පවසන්නේ ‘‘මධුෂංක සියදිවි නසාගෙන” ඇති බවයි. ඇයට මෙය අදහා ගත නොහැකි ය. වවිනියාව කෑම්ප් එකේ සේවයේ යෙදුන තම පුතාගේ මිනිය ඇයට හමුවන්නේ මුලතිව් ප‍්‍රදේශයේ බංකරයකදීය. පශ්චාත් මරණ පරික්ෂණයේදි ඔහුගේ සිරැරේ තුවාල 10 පමණ ඇති බව වෛද්‍යවරයා සිය වාර්තාවේ සදහන් කරන බව පවසයි. මේ අතර මෙම මරණය සැක සහිත බව ඇය ව්විනියාව පොලිසියට පවස යි. මේ වන විට මේ සම්බන්ධව මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙහි හොදම කාරනය වනනේ වෙඩි වැදී ඇත්තේ ඔහුගේ කකුලේ පිටුපසට ය. සියදිවි නසා ගැනීමට අවශ්‍ය නම් ඔහු කකුලට වෙඩි තබා ගනීද? මුලතිව් මහේස්ත‍්‍රාත්තුමාගේ නියෝගයකට අනුව 2011 වසරේ මිනිය ගොඩගෙන නැවත පරීක්ෂණයක් පවත්වයි. මේ වන විට ඔහුගේ මිනියේ පරික්ෂන කටයුතු අවසන්ව ඇත. රෝහලෙන් සිරුර නැවත වල දමන ලෙස ආරියවතී මහත්මියට දැනුම්දී තිබුන ද ඒ සදහා වත්කමක් නොමැතිව ඇය ලතවෙමින් සිටී. ඇගේ ධෛර්්‍යයෙන් ඇය වෙහෙසෙන්නේ ඇයගේ දරුවාට යුක්තිය ඉටු කරවා ගැනීමටය. ඔහුගේ මාමා ඔහුගෙන් හමුදාවට යන්න බෑ කියන්නේ ඇයි කියා ඇසු මධූෂංක ඔහු සමග පවසා ඇත්තේ ‘‘ලොක්කෙක් මාව තෝරන්න ඉන්නවා ?ට ලොක්ක එක්ක ඉන්න ඕනේ අකමැති වුනොත් ගහනවා” යැයි කියා ය.

පසුගිය 2012 සැප්තැම්බර් 06 වන දිනට ඔහු මෙලොව හැරගොස් වසර දෙකකි.

ආරියවති මහත්මිය තම පුතාට මොකද වුනේ කියල දැනගන්න තාමත් උත්සහ කරයි. ඇගේ ධෛර්්‍යයෙන් ඇය නොසැලී සටන් කරයි. මධුසංක මැරුවාද ? නැත්තනම් මැරුණද ? එය උසාවිය විසින් තීරණය කරයි. කෙසේ වෙතත් රට ජාතිය බේර ගන්න ගිය මධුෂංකට සිදුවී ඇත්තේ ලොක්කන්ගේ අඹු කමට සිටිමට ය. ඔවුන්ගේ පහත් ආශාවන් ඉෂ්ඨ කිරිමටය.

මේ යුද්ධය අවසන් වීමෙන් පසුව ඇසුන එක් කතාවක් පමණී. සිංහල මධුෂංකට මෙහෙම වෙද්දි දෙමළ තරුණියන්ට මොනව වෙන්න ඇද්ද? නිමලරූබන්ට, ඩිල්රුක්ෂාන්ට වෙන්න ඇත්තේ මොන වගේ දෙයක්ද? මධුෂංක මැරුණාමත් එක එක කතන්දර ගොතල තිබුනා. නිමලරූබන්ලටත් ඒ වගේ කතා ගෙතුව? ඩිල්රුක්ෂාන්ටත් ඒ වගේම කතා හැදුව?. තව මේ වගේ කතන්දර කොච්චර මේ සමාජයේ සැගව ඇතිද?

යුද්ධය ආරම්භයේදි ඝාතනය වුනු ජනයාගේ සංඛ්‍යාව තවමත් නිශ්චිතව ඉදිරිපත් වෙලා නැහැ. මේ මැරුණ ඔක්කොම කොටිද ? එතකොට බන්ධනාගාර වල පුනුරුත්ථාපන කදවුරු වල ඉන්න මිනිස්සු කොටිද ? සිවිල් වැසියන්ද ? සැබෑ ලෙසම මේ යුද්දයෙන් මැරුණේ කවුද ? සිවිල් වැසියන් අතර සිටි කොටින් තෝරගෙන මැරුවේ කොහොමද ? මේ අතුරුදහන් වෙලා ඉන්න අය කවුද ?

මේ ප‍්‍රශ්න වලට උත්තර ඔබම හොයන්න. ජාතිවාදින්ට නම් මේක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ය. තමන් වරදක් නොකල බවට ඔප්පු කරන්න ජාතීවාදින් තාමත් අසමත්. තවමත් යුද්ධය කල හැටි ගැන දේශන පවත්වන වගකිවයුත්තන්, යුද්ධයේදී සිදුවනු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන, යුද්ධය සිදුවු ආකාරය ගැන, වගවීම ගැන, පරික්ෂන තවමත් නැහැ.

කවදා හෝ සත්‍ය හෙලිවනු ඇත. නමුත් අපි සත්‍ය සොයා යා යුතුය. වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුය. එයට එල්ටීටීඊ ද, හමුදාවද කියා බෙදීමක් අවශ්‍ය වන්නේ ම නැත.