සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරැත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම ප්‍රගීත් වැනි අතුරැදහන් කරන ලද, පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්දකයින්, වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල් දැමීම යනු මෙම පවතින මර්දනකාරී දේශපාලන පරිසරයට තව දුරටත් සහය වීමක් බව අපගේ හැගීමයි. එබැවින් මර්දනයට එරෙහිව පෙළ ගැසීමත් ඒ මර්දනයට එරෙහිව වන අරගලයට සහය වීමත්, යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව අද දවසේත් මෙසේ සටහන් තබමු.